0 Views  
පොතක් පතක් බතක් වතක් නැතිව පාසල් යන හෙන්නානිගල දරුවෝ


ඉස්කෝලෙ ගොඩනැගිලි ගමට යන පාර මේ නිසා අධ්‍යාපනයත් අබලන්

සීසෑ කුඹුරක එහාට මෙහාට පැද්දෙමින් යන ට‍්‍රැක්ටරයක් මෙන් මෝටර් රථය එ් වළෙන් මේ වළට වැටෙයි. එ් වැටෙන වැටෙන ගානේ මිතුරාත් මමත් ඔරලෝසු බට්ටන් මෙන් එහාට මෙහාට පැද්දෙමු. මිතුරාගේ රිය සැපපහසු එකක් වුවද මේ පැද්දිල්ල අපට මහා හිසරදයකි. ඔහුගේ වාහනයට ආපදාවක් වේදෝයි මාසිතේ සාංකාවකි.

”මේ පාරෙ කොච්චර දුර යන්න  ඕනැද?” මම මිතුරාගෙන් ඇසුවෙමි.
”කිලෝමීටර් පහක් විතර යන්න  ඕන.” ඔහු සිනාසෙමින් පැවසීය.

”මේ වළවල් ගොඬේ යන එක තමයි ප‍්‍රශ්නෙ, නේද?” ඔහු නිහඬවම සිනාසෙමින් රිය පදවයි. පේනතෙක් මානයේ ඉදිරියෙන් පෙනෙන්නේ වළගොඩැලිවලින් පිරි මාර්ගයයි.
දෙහිඅත්තකණ්ඩිය ෙදාළකන්ද මහා විදුහලේ වෛශාඛ්‍ය මංගල්‍යයට සමගාමීව එම විදුහලේ පැවති ‘ගී මන්දාකිණිය’ ගී රස වින්දන සෞන්දර්ය වැඩසටහනට සහභාගි වීමට එහි යන අතරතුර මම හෙන්නානිගල බලා ගියෙමි. හෙන්නානිගල ආදිවාසීන් මුණගැසී ඔවුන්ගේ දුක සැප විමසා එ්ම ගමනේ අරමුණයි.

දෙහිඅත්තකණ්ඩියේ සිට හෙන්නානිගලට දිවෙන මාර්ගය බෙහෙවින් විනාශ වී තිබේ. තාර ගැලවී, වළින් ගහන එහි වාහනයකට තබා පාපැදියකටවත් යෑම අසීරුය. දෙපස දිස්වන්නේ ප‍්‍රදේශවාසීන්ට බත සපයන වෙල් ගහනයයි. එ් කෙළවර හෙන්නානිගල කන්ද පෙනෙයි. ඈත තවත් පසෙකින් වලාකුළින් හා මීදුමින් වැසුණු කඳු වළල්ලක සුන්දර දසුනකි. කැඩුණු බිඳුණු තාරපාර එ් සොබා අසිරිය විඳුමට බාධා කරයි.

ආදීවාසී නායකයාගේ නිවෙසට යන පාර අසාගැනීමට මං හොයන අපට පාර අයිනේ තිබුණු හෙන්නානිගල දකුණ විදුහලේ පුවරුව දර්ශනය විය. විදුහල්පතිවරයාගේ සහාය ලබාගැනීම සුදුසු යැයි සිතූ අපි එහි ගියෙමු. විදුහලේ දරුවෝ සිල් සමාදන්ව සිටිති. විදුහල්පතිවරයා ඔවුන්ට අනුශාසනාවක් කරයි. එහි රැුස්ව සිටි දෙමාපියන් වෙත ළං වූ අපි ආදිවාසී නායකයාගේ නිවෙසට යන පාර විමසුවෙමු.

”ඉන්නවද දන්නෙ නෑ. මේ දවස්වල කුඹුරු වැඩනෙ.” අයෙක් කීය. අපි දුර්මුඛ වූයෙමු. කිසි දිනෙක දැක නැති අප දෙස කුතුහලයෙන් බැලූ ඔවුහු අප ආ කාරිය විමසන්නට වූහ. අපි අපේ අරමුණ පහදා දුනිමු.

”නායකතුමා ගෙදර නෑ. කොහෙ හරි ගිහිල්ල.” අප වෙත එමින් සිටි පුද්ගලයෙක් කීවේය.
”මේ මහත්තයල පත්තරේකින්. අපේ පාර ගැන ලියන්ඩ කියමු.” තවත් හඬක් නැගුණි.
”අපිත් මේ කතාවෙවී ආවෙ මේ පාරෙ කොහොමද යන්නෙ කියල?” මගේ මිතුරා කීවේය.

”ඉස්කෝලෙත් හරියට අඩුපාඩු මහත්තය.” එසේ කීවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්වරයාය.

”අපේ ඉස්කෝලෙ ළමයි 300ක් විතර ඉන්නවා. ගුරු මණ්ඩලය 15 දෙනෙක්. මේ ඉස්කෝලෙ හැදුවෙ මහවැලි ව්‍යාපාරය යටතේ මේ ගම්මාන පටන්ගත්ත කාලෙමයි. එ් කියන්නෙ එක්දාස් නමසිය අසූගණන්වල. දැන් සමහර ගොඩනැගිලි හොඳටම අබලන්. ඊට කාලෙකට පස්සෙ දෙදාස් ගණන්වල හදාපු විද්‍යාගාරෙ පවා අබලන් වෙලා තියෙන්නෙ. එන්ඩකො පෙන්නන්ඩ.” ඔහු මා ගොඩනැගිල්ලක් දෙසට කැඳවාගෙන යන්නට විය. හෙන්නානිගල ආදිවාසි නයුවා මුණගැසීමේ අවස්ථාව අහිමි වීමේ කනස්සල්ලෙන් සිටි මට දිරියක් ලැබුණි.

”එක පාරක් පුස්තකාලෙ කොම්පියුටර් දාලා තිබුණු කොටසෙ සීලිම ඉස්කෝලෙ වෙලාවෙ කඩාගෙන වැටුණ. හොඳ වෙලාවට ළමයි හිටියෙ නෑ. හිටියනම් මොනවා වෙයිද දෙයියො තමයි දන්නෙ. ඊට පස්සෙයි කොම්පියුටර් කාමරේ හදලා එ්වා එ්කට දැම්මෙ.”

පුස්තකාල ගොඩනැගිල්ලෙහි පරිගණක අංශය තිබූ කොටසෙහි පැත්තක සිවිලිම නැත. වහලයේ තැනින් තැන සිදුරු අතරින් අහස පෙනෙයි. පුස්තකාලය පුරා විවිධ බඩු භාණ්ඩ තබා ඇත. එක් බිත්තියක පාසලේ දරුවන් සමස්ත ලංකා නර්තන තරගයකින් ලැබූ ජයක් පිළිබඳ සුබපැතුම් සහිත පුවරුවකි. තවත් පැත්තක පරණ පරිගණක කොටස් කිහිපයකි.

”වැස්ස දාට මේක හැම තැනම තෙමෙනවා. එ් නිසා වැහි කාලෙට මේ පුස්තකාලෙ ඉටිරෙදිවලින් වහනව. යංකො අර එහා පැත්තෙ ගොඩනැගිල්ල පෙන්නන්ඩ. එ්කෙ බිම සිමෙන්ති කැඩිල. ළමයින්ට කූඹි කනව. ශාලාව දෙකට බෙදලා තියෙන්නෙ පරණ ලෑලිවලින්. ඒවා පෙරළුණොත් ළමයින්ට අනතුරක් වෙන්න පුළුවනි.”

ඔහු කියන්නේ ඇත්තකි. එම ශාලාවේ බිම් සිමෙන්තිය කඩතොළු වී ඇත. ශාලාව දෙකට බෙදා ඇත්තේ පරණ අල්මාරියකින් ගලවාගන්නා ලදැයි සිතිය හැකි ලෑලි කිහිපයකිනි. ලේකම්වරයා අනතුරුව මා කැඳවාගෙන ගියේ දරුවන් සිල් සමාදන්ව සිටි ශාලාව වෙතයි. එ් දරුවන්ට කෙටි විවේකයක් ලබාදුන් අතරේය.

එම ශාලාවේ ඇතැම් යටලී හා බාල්ක ඇදවී තිබේ. එක් කණුවක් මත වහළය දරා සිටින විශාල බාල්කයක් පැත්තකට ඇළවී තිබේ. තවත් කනුවක් ඉරිතලා ගොසිනි. වහළයේ සිදුරු අතරින් අහස පෙනෙයි.

”වැහි දවසට මේකත් තෙමෙනව. මේ හුඟක් ගොඩනැගිලිවල වහලවල් දිරල. කොයි වෙලාවෙ හරි කඩාගෙන වැටෙයි කියල බයයි. වැහි කාලෙට ඉස්කෝලෙ වහන තත්වයට පත්වෙනව. අර බලන්න අතන මිදුල කෙළවරේ බැම්ම කැඩිල. එතනින් ළමයින්ව පහළට වැටිල තුවාල වෙන්ඩ පුළුවනි. යංකො ළමයින්ට තියෙන සනීපාරක්ෂක පහසුකම් පෙන්නන්න.” ඔහු මා වෙනතක කැඳවාගෙන ගියේය.

පාසල් බිමේ එක් මායිමකට වන්නට ෙදාර නැති වැසිකිළි දෙකකි. පිරිමි දරුවන් දෙදෙනෙකු එ්වායේ සිටිනු පෙනුණි. තවත් පැත්තක ඉබියතුරු දැමු වැසිකිලි දෙකකි. එ්වා මෑතකදී තනන ලද එ්වා යැයි බැලූබැල්මට පෙනේ. ඊට තරමක් එපිටන් අඩක් නිම කළ කිසියම් ඉදිකිරීමකි.

”ඔන්න මහත්තෙයෙ අපේ ළමයින්ට තියෙන වැසිකිළි පහසුකම්. අර බාගෙට හදලා තියෙන්නෙත් වැසිකිළියක්. එ්ක කොන්තරාත්කාරයෙක් හදන්නෙ. දැන් මාස ගාණක ඉඳලා වැඩ නැවතිලා. එහායින් අලූත හදලා තියෙන වැසිකිළි දෙක ඉස්කෝලෙන් හදපුවා. එ්වා අපි පාසල් සංවර්ධන සමිතිය හරහා හදාගත්තා. එ්ත් කොන්තරත්කාරයාට දුන්න එක හදන්නෙ නෑ.

”ආරක්ෂක වැටක් නෑ. ගේට්ටුවක් නෑ. පිට්ටනිය වල්බිහිවෙලා. විද්‍යාගාරෙ වහලදාල තියෙන්නෙ. කිසිම ප‍්‍රයෝජනයක් ගන්ඩ බෑ. අනික විද්‍යා ගුරුවරයෙකුත් නෑ අවුරුදු එකහමාරක ඉඳල. එ් වගේම බුද්ධාගමයි, දෙමළයි උගන්වන්නත් ගුරුවරු නෑ. ගණිතාගාරයක් තියෙනවා නමට. කිසිම උපකරණයක් නැහැ. ළමයින්ට ඩෙස් පුටු අඩුයි. හතේ ළමයින්ට තියෙන්නෙ කැඩිච්ච ඩෙස් ටිකක්. සමහර ළමයින්ගෙ වයසට ගැළපෙන ඩෙස් පුටු නෑ. එහෙම වුණාම එයාලට ඉඳගෙන ඉගෙනගන්ඩ බෑනෙ.

ලොකු ළමයින්ට බෑනෙ පුංචි අයගෙ බංකුවල වාඩිවෙලා ඉන්ඩ. මේ කිසිම ළමයෙක් අමතර පන්ති යන්නෙ නෑ. එ් නිසා එයාලට ගුරුවරු නැති වුණාම එ් විෂය ඉගෙනගන්න ක‍්‍රමයක්් ඇත්තෙම නෑ. අනික පුස්තකාලෙ තියෙන්නෙ පරණ පොත් ටිකක් විතරයි. එ් අතින් හරියට අඩුපාඩු. මෙහේ දක්ෂ ළමයි ඉන්නවා. නමුත් ඔවුන්ට ඉදිරියට යන්න පහසුකම් නෑ.

”මේ පාසලේ දක්ෂ ක‍්‍රීඩකයො ඉන්නවා. උස පැනීම, දුර පැනීම, එල්ලේ වගේ ක‍්‍රීඩාවලට දක්ෂ ළමයි. ඉස්සරත් සමස්ත ලංකා තරගවලට පවා ගිය ළමයි හිටියා. එ්ත් පිට්ටනියක් නෑ සෙල්ලම් කරන්න. අර පේනවනෙ කැලෑවක් තියෙන්නෙ.” ඔහු පිට්ටනිය පෙන්වයි.

”මේවා ගැන අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරලා අලූත්වැඩියා කරවාගන්න බැලූවෙ නැද්ද?” මම හරස් ප‍්‍රශ්නයක් ඇසුවෙමි.

”අපි පාසල් සංවර්ධන සමිතිය හැටියට කියන්න තියෙන හැමෝටම කිව්වා. අධ්‍යාපන කාර්යාලයට, නැගෙනහිර පළාත් කාර්යාලයට, මේ මෑතකදි අපි ආණ්ඩුකාරතුමාටත් පැමිණිලි කළා. ආණ්ඩුකාරතුමා නම් පොරොන්දු වුණා. මේවා හදලාදෙන්නම් කියලා. ලියුම්වලින් පවා දන්වලා එව්වා හදනවා කියලා. එ්ත් තාමත් නම් කිසිම දෙයක් කෙරුණෙ නෑ.

”ඉතිං දෙමාපියන්ට බැරිද මේවයින් කොටසක්වත් හදාගන්ඩ?” අපි විමසුවෙමු.
”මෙහේ ඉන්නේ බොහෝම දුප්පත් මිනිස්සු. සල්ලිබාගෙ නෑ. අනික මේ වැඩට ආවොත් ජීවත් වෙන්න විදිහක් නෑ. එකපාරක් ළමයෙක් ගෙනාවා පහේ කාසිවලින්ම රුපියල් තුන්සීයක් ඉස්කෝලෙ වැඩකට. එ්කියන්නෙ කැටේ කඩලා කියන එකනෙ. අපි ජීවත්වෙන හැටි දන්නෙ අපි විතරයි මහත්තය. එ්ත් ලොකු සර් මාසෙකට සැරයක් හරි දෙමාපියන්ව කැඳවලා වත්ත පිටිය පිරිසිදු කරන නිසයි මෙහෙමවත් මේක රැුකල තියෙන්නෙ.” ඔහු කීවේ ශෝකයෙනි.

අපි විද්‍යාගාරය බැලීමට ගියෙමු. එය විවෘත කළ නොහැකිය. ස්ථානමාරු ලැබී ගිය විද්‍යා ගුරුවරයා බඩු භාරදී නැති හෙයින් එය අගුළු දමා තිබේ. මම කැඩුණු ජනේලයක සිදුරකින් එබී බලා ඡුායාරූප කිහිපයක්ද ගතිමි. එය පාළුවට ගොසිනි.

”නැටුම් කාමරේට කරන්ට් එක නෑ. නාට්‍ය කරන ළමයින්ට නැටුම් කරන ළමයින්ට ඇඳුම් ඇඳලා බලන්න, නැටුම් නටලා බලන්න කණ්ණාඩියක් නෑ. මේ බලන්න මේ මෑතක හදපු ගොඩනැගිල්ලක් මේක. එ්ත් මේ පේමන්ට් ඉරිතළලා ගැලවිලා.” ඔහු මා විදුහල පුරා කැඳවාගෙන යයි. පාළුවට ගිය ගොඩනැගිලි කිහිපයක්ම තිබේ. එකක් ගුරු නිවාසයකි. එය හොඳටම අබලන්ය. වැසිකිළිය උතුරයි. නහය ඇති අයකුට එ් පැත්තට යාමට නොහැකිය.

”මේක දැන් ගබඩාවට අරන් තියෙන්නෙ. ඇයි ඉතිං ඉස්කෝලෙට ගබඩාවක් නෑනෙ. එ්ත් ඉඩ මදි. මේ පේනවනෙ තැන්තැන්වල බඩු ගොඩගහල තියෙන හැටි.” පාසල් වත්ත පුරාම තැන තැන කැඩුණු බඩු භාණ්ඩ ගොඩගසා තිබේ.

අප එහිදී දුටු තවත් භයානක දර්ශනයක් වන්නේ විදුලි සැපයුමයි. පුස්තකාල ගොඩනැගිල්ලේ බිත්තියක සවි කර ඇති විදුලි මීටර්වල වයර් පතෝල මැස්සක මෙන් එහා මෙහා විසිරී තිබේ. බැරිවීමකින් හෝ මේ වයරයක් පළුදු වී දරුවකුගේ ඇෙඟ් ගැටුණහොත් කුමකින් කුමක් වේදෝයි සිතිය නොහැකිය.
පාසල් සංවර්ධන සමිතියේ ‍ලේකම් අයි.එච්.එම්. ආරියදාස
පාසල් සංවර්ධන සමිතියේ ‍ලේකම් අයි.එච්.එම්. ආරියදාස

මාපියන් පවසන හැටියට දරුවන්ට උග‍්‍ර පිරිසිදු පානීය ජල ප‍්‍රශ්නයක්ද තිබේ. ඇතැම් අවස්ථාවල බවුසර්වලින් පානීය ජලය ගෙනෙන නමුදු එයද අක‍්‍රමිකය. ප‍්‍රමාණවත්ද නැත. මේ නිසා වකුගඩු රෝගද හිස ඔසවමින් තිබේ. එසේම නෑමට වුවද ඔවුන්ට ඇත්තේ වැවේ පිහිට පමණි.

”අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නයක් තමයි මේ පාර. දුරබැහැරින් එන ගුරුවරුන්ට පාරෙ එන්ඩ බෑ. පාර හොඳටම කැඩිල බිඳිල. ගුරුවරු ඉස්කෝලෙට එද්දි හොඳ පණ ගිහින්. මානසික තත්ත්වය වැටිල. එයාලගෙ මෝටර් බයිසිකල් නිතරම කැඩෙනව මේ වළවල්වල වැටිල. ළමයින්ටත් එන්ඩ පහසුකම් නෑ.

උතුර ඉස්කෝලෙත් ගුරුවරු 12 දෙනෙක් විතර ඉන්නව. ළමයි නම් මෙහෙට වඩා අඩුයි. සීයක් විතර ඉන්නව ඇති. හමුදා කඳවුරකුත් තියෙනව. මේ හැම ආයතනයකටම යන්න එන්න තියෙන්නෙ මේ පාර. මේක හදලාදෙන්න කියලා කොයිතරම් කිව්වත් කිසිම කෙනෙක් අවධානය යොමු කළේ නෑ. මේ පාර හදලා දෙනවානම් ලොකු උපකාරයක්.” එ් මාර්ගය ඔස්සේ ආ අපට එ් ගැන අමුතු විස්තර අවශ්‍ය නැත.

හෙන්නානිගල යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති ඓතිහාසික ප‍්‍රදේශයකි. රටේ සංස්කෘතික දායාදයක් වන ආදීවාසීන්ද වෙසෙන මේ ප‍්‍රදේශය සංස්කෘතිකමය වශයෙන් අතිශයින් වටිනා ප‍්‍රදේශයකි. රටට බත සපයන ගොවි පුතුන්ගේ කලාපයකි. කාටත් බරක් නැතිව ජීවත් වන ඔවුන්ගේ දරු පරම්පරාවල අධ්‍යාපන අවශ්‍යතා පිරිමැසීම ජාතියේම වගකීමක් නොවන්නේද?



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks
o