පුළුවන් නම් යකඩ තළන මැෂිමක් අරන් දෙන්න; ඔවුන්ගේ ආයාචනය එයයි.
රටටම ආයුධ හදන නාඋල බෝවතැන්න වත්තේ කම්මල්කරුවන්ගේ කතාව

2020-04-17 09:41:00       864
feature-top
ආයුධ හදනවා කී ගමන් ඔබට මතක් වෙන්නේ දරුණු ආයුධ ගැන විය යුතුය. ඒ මහාපරිමාණ ආයුධ හදන්නන්ට නම් ඕනෑ තරම් පහසුකම් සපයා ගැනීමේ අපහසුතා නැත. එහෙත් ඔබේ මගේ ගෙදර දොර වැඩ හා ගොවිතැන් වැඩ කරන්නට අවශ්‍ය ආයුධ තනන්නන්ට නම් ඒ කියන මහා පරිමාණයේ පහසුකම් නැත. ඔවුහු බොහෝ අපහසුවෙන් හා නිසි අවම හෝ පහසුකම් නැතිව සිය කර්මාන්තය කරගෙන යති. මේ මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝවතැන්න වත්ත නම්වු ගම්මානයේ ජීවත්වන පිරිසේ ප්‍රධාන කර්මාන්තය වන කම්හල් කර්මාන්තයේ හෙට දවස සම්බන්ධව ඔබට තොරතුරු කියන්නටය.

බැලූ බැල්මටම කෙසග නොවු සිරුරකින් හෙබි එල්.ජී.නිහාල් ප්‍රේමචන්ද්‍ර කපුවත්ත(48) බෝවතැන්න වත්තේ ජීවත්වන වසර විස්සකට එහා අත්දැකීම් ඇති කම්හල්කරුවෙකි.

අපි ඔහු සොයා ගියෙමු. අප ඉදිරියේ ඔහු කියූ කතාව මේ කර්මාන්තයේ අතීතය හා වර්තමානය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවනු ඇත.

‘‘මහත්තයෝ මේ කර්මාන්තේ අපි පටන්ගත්තේ පරම්පරා ආභාසයෙන්. අපි අපේ දෑතේ හයියෙන් මේ කර්මාන්තේ කරන්නේ. රටට දවසින් දවස එන නානාප්‍රකාර යන්ත්‍ර සූත්‍ර හින්දා මේ කර්මාන්තේ ගොඩක් දෙනෙක් දැන් කරන්නෙ නෑ.

අපි තවමත් මේ කටයුත්තතේ නියැලෙන්නේ හරිම ආඩම්බරයෙන්. ඒකට හේතුව තමයි මේ කර්මාන්තෙට තවමත් හොඳ ඉල්ලුමක් තිබීම.

අපිට තියෙන ගැටලුව අපිට පහසුකම් නැහැ; මේ කටයුත්ත කරන්න.

අපේ ගැටලුවලට අත දෙන්න පුළුවන්නම් අපි රටටම වුණත් බඩු හදලා දෙනවා.’’

මැදි වියේ මිනිසකු වු නිහාල් මහතාගේ ආත්ම විශ්වාසය ඉතාමත් ප්‍රබලය.

කතාව අතරතුර යකඩ රත්වෙන ලිපට අගුරු එකතුකරමින් ගින්න සරු කරන ඔහු අත වූ විවිධ අඩු මිටි එහෙමෙහෙ කැරකෙන්නේ සුවච කීකරු ගෝලයන් ලෙසිනි.

ඔහුගේ පුත්‍රයා වූ එල්.ජී. රංජිත් ප්‍රේමචන්ද්‍ර(22) සිය පියාගේ කර්මාන්තයේ නියැළෙන්නේ මහත් ආශාවෙනි.

ගතේ ඇති ශක්තියත් ආත්ම විශ්වාසයත් අතරේ පියා රත්කරන ආයුධවලට වේගවත් මිටි පහර දෙමින් එක හුස්මට හිත් පිත් නැති යකඩයක් කුඩා තුනී පටි බවට පත්වන්නේ මේ තරුණයා ඇතුළු බෝවතැන්න වත්තේ පිරිස් වලිනි.

විවිධ හැඩ තල වලට සැකසු පිහි, කැති, හිරමනා, දෑකැති, පොරෝ, කප්පාදු පිහි, පොල් උල් වැනි එදිනෙදා ජිවිතයේ අවශ්‍ය සියලු උපකරණ බෝවතැන්න වත්ත ගම්මානයේ කම්මල් කරුවන් අතින් නිමවෙන භාණ්ඩ අතර වෙයි.

එල්. ජී. රංජිත් ප්‍රේමචන්ද්‍රට අනුව ඔවුන්ගේ නිෂ්පාදන අලවිය සදහා දිවයිනේ ප්‍රදේශ රැසකින් හොඳ ඉල්ලුමක් තිබේ.

ඒ අතර මහනුවර, නාඋල, කැකිරාව, වව්නියාව, මාතලේ, ගාල්ල, කුරුණෑගල, දඹුල්ල වැනි නගර ඔවුන්ගේ ප්‍රධාන අලවි නගර වේ.

‘‘අපි හදන ආයුධ වැලිමඩ, ගාල්ල, බදුල්ල වගේ දුර බැහැර ප්‍රදේශවලින් පවා ඉල්ලනවා නමුත් ඒ ඉල්ලන ප්‍රමාණයට අපිට දෙන්න බැහැ. හේතුව තමයි එහෙම නිෂ්පාදනයක් අපිට කරන්න විදිහක් නැති එක.

අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි අපේ යකඩ තලාගන්න එක.

ඒකට අපිට බොහෝ දුරට - පොලොන්නරුවට වගේ ඈතට යන්න වෙනවා.

ඒ විතරක් නෙමෙයි ඒ සදහා විශාල මුදලක් වැය කරන්නත් වෙනවා.’’

ඒ, රංජිත් ඇතුළු බෝවතැන්න වත්තේ ජීවිත්වන පිරිසේ ගැටලුයි.

යකඩ තලන්නට පොලොන්නරුවටම වෙන්නේ ඇයි? අපි මේ ප්‍රශ්නය යොමු කළේ කම්හල් කර්මාන්තයේ නිරත වී සිටින තරුණයෙකු වන එල්.ජී.ආර්.පී.ලන්කේෂ්වර (29) මහතාටයි.

‘‘අතීතයේ ඉදලම මේ කර්මාන්තය කළේ ඒ ඒ ප්‍රදේශවල අවශ්‍යතා ඉටුකරන්න. අද වෙනකොට ඒ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා; ඒකට හේතුව පිටරටින් අපේ රටට ගෙන්වන විවිධ ආයුධ නිසා.

ඉතින් ඒකට මුහුණ දෙන්න අපිටත් තරගකාරී වාණිජ මට්ටමට එන්න ඕනේ ඒ නිසා තමයි මේ යකඩ තැළීමේ දී වැඩි ප්‍රමාණයක් තළාගන්න අපි පොලොන්නරු යන්නේ. එහේ තියෙනවා යකඩ තලන මැෂිමක්. ලංකාවේ ප්‍රදේශ රැසකින් ඇවිත් මෙතින්න යකඩ තලාගෙන යනවා. ඒ මැෂින් එක ලංකාවේ නිෂ්පාදනයක්.

ඉතින් අපිට තියෙන ගැටලුව මේ සදහා වැයවන විශාල මුදල.

දැනටමත් අපි දෙන්නා තුන්දෙනා වගේ එකතුවෙලා දවසකට ආයුධ 30 - 35ක් හදනවා.

මැෂිමක් තිබ්බොතින් කෑලි 60 - 70 දක්වා දවසට හදන්න පුළුවන්. ඇත්තටම මේ කර්මාන්තයට පවතින ඉල්ලුම සපයන්න අපිට බැරිවෙලා තියෙනවා. හේතුව යකඩ තලන්න යන කාලය හා ශ්‍රමය. ඉතින් ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ යකඩ තලන මැෂිමක්. ඒකෙන් අපිට විතරක් නෙවෙයි මධ්‍යම පළාතටම මේ මැෂිමෙන් වැඩ ගන්න පුළුවන්.

අපි කාටවත් බරක් නොවුණ මිනිස්සු කොටසක්. ඒ වගේම අපේ රටේ දේවල් අපිම හදනවා කියලා අපිට ආඩම්බරයකුත් තියෙනවා.

පිටරටට ආවඩන්නේ නැතිව අපේ දෙයක් ඉදිරියටත් පවත්වාගෙන යන්න විතරක් නෙවෙයි තවත් අඩුම වශයෙන් 10 - 20 අතර පිරිසකට ඝෘජු රැකියා ලැබෙනවා. වක්‍ර රැකියා ප්‍රමාණයත් ඒ වගේමයි.

ඉතින් අපිට තියෙන ගැටලුව ඕක තමයි.’’

තරුණකමට දෝ එක හුස්මට කියාගෙන ගිය ඒ වදන් තුළ ඇත්තේ හෙටක් පිළිබද බලාපොරොත්තුවකි.

දෙපයේ විරියෙන් නැගී සිටිමේ අවශ්‍යතාවකි.යකඩ තලා මිනිසුන්ගේ අවශ්‍යතාවන් අනුව ඒවා හැඩ කිරිම යනු බොහෝ වෙහෙස කාරි කටයුත්තකි. යන්ත්‍රයකින් සිදුකළ හැකි කාර්‍යයකට වඩා වැඩි වැඩ කොටසක් පිළිවෙලට කිරිමට මිනිසෙකුට බොහෝ උපකාර කරන මේ අයුධ අපට වත්මනේ වැදගත් වන්නේ ඇයි?

තණකොළ කපන යන්ත්‍ර, ගොයම් කපන යන්ත්‍ර මෙන්ම දැන් දැන් සාමාන්‍ය ගස් පවා කපා දැමිය හැකි උපකරණ වෙළදපොලේ දක්නට ලැබෙයි.

ඉන්ධන යොදා ක්‍රියාත්මක කළ හැකි මෙම යන්ත්‍ර තුළින් කායික ශක්තිය අඩුවෙන් වැය වීම වත්මන් සමාජය පහසුවක් ලෙස දැක්ක ද බෝවතැන්න කම්හල්කරුවන්ට අනුව එය මිනිස් සිරුරට බොහෝ ලෙඩ රෝග ඇති කරන්නකි.

කය වෙහෙසා වැඩ කළ බොහෝ පිරිසක් අද වනවිට සිය වගකීම් යන්ත්‍ර සුත්‍රවලට ලබාදීම හේතුවෙන් බොහෝ රෝගීන් බිහිකර ඇති බව සත්‍ය කාරණාවකි.

මිනිසා දිනෙන් දින කාර්‍ය බහුල වීමත් වැඩි පහසුව තකා ඉදිනෙදා ජිවිතයේ බොහෝ කටයුතු යන්ත්‍රවලට බාරදීමත් යන කාරණාවලදි මෙකි කරුණු පිළිබදව වත්මන් සමාජය දෙවතාවක් සිතිය යුතුව ඇත.

කැත්තෙන් කපා, උදැල්ලෙන් පොළව කොටා යළි දෑකැත්ත අතට ගත් ජාතියක් අද වනවිට සිය එදිනෙදා කටයුතු වලින් සියයට අනූවක්ම අද වන විට යන්ත්‍ර සූත්‍රවලට භාරදී හමාරය.

එසේනම් ඒ සදහා පවතින විකල්පය කුමක්ද? පිට රටින් අපිට ලැබෙන බොහෝ දේ පිළිබදව උජාරුවෙන් උදම් අනනවාට වඩා අපේ දේ රැක ගැනීම වෙනුවෙන් අපි අපිම සංවිධාන විය යුතු බව නාඋල බෝවතැන්න වත්තේ මිනිසුන් සමාජයට දෙන පණිවිඩය වන්නේය.

එකත් පසෙකින් ඇලුමිනියම්වලින් අපේ රටේ වළං කර්මාන්තයට හෙනහුරා හැඩුවා සේ කම්හල් කර්මාන්තයට ද හෙනහුරා හඩා අවසන් බව මේ මිනිසුන් දකින විට අපට වැටහෙන්නේ ඔවුන් සමීපයට ගිය විටය.

යකඩ තැලීමට යොදාගන්නා ලිප් ගිනි දැල්වීමට යොදාගන්නා විවිධ දැව අගුරු වලට පවා මොවුන්ට වැඩි මුදලක් වැය කිරිමට සිදුව තිබේ.

යම් කිසි ක්‍රමවේදයක් හරහා මැරී ගිය ගස් වල කොටස් හෝ මොවුන්ගේ අගුරු අවශ්‍යතාවට ලබාගැනීමට පහසුකම් සැලසෙන්නේ නම් එයද ඔවුන්ට අස්වැසිල්ලකි.

කෙසේ වෙතත් ඔවුන් පවසන පරිදි ලංකාව පුරා වාසනාවකට මේ අයුධ සදහා හොද ඉල්ලුමක් පැවතීම ද අස්වැසිල්ලකි.

එසේනම් රජයක් ලෙස ලංකාව පුරා විසිරී සිටින මෙවැනි කුඩා දේශිය කර්මාන්තකරුවන් නගා සිටුවීම සම්බන්ධයෙන් වහා වහා අවධානය යොමු විය යුතුය.

එය මතු ආයෝජනයක් සේම දේශිය අනන්‍යතාව සුරකිමින් අපනයන ක්‍රියාවලියක් දක්වා වර්ධනය කළ හැකි දීර්ඝ කාලීන වැඩපිළිවෙළකි.

ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සැකසීම රට කරවන්නන්ගේ වගකීමකි.

ඒ තුළින් මෙරට අනන්‍යතාව ආරක්ෂා වනවා සේම පාරම්පරික කර්මාන්තයක් වු දේශිය කම්මල් කර්මාන්තයට තවත් බොහෝ කාලයක් ආරක්ෂා වනු නොඅනුමානය.

උදෑසන සිටම සවස් වන තුරු ඇසෙන යකඩ තැලෙන හඩත් ඊට අනුගත වන පවුල්වල තරුණ පිරිසත් ඒ හා බැඳුණ ඔවුන්ගේ ජීවන රටාවත් එකම රිද්මයකි.

බුර බරා නැගෙන පොල්කටු අගුරු ගිනි දලු මතින් බලාපොරොත්තුවේ අපේක්ෂාව හිනැහෙනු පෙනේ. අවශ්‍ය වන්නේ මෙවැනි මිනිසුන් උදෙසා සැකසු විධිමත් වැඩපිළිවළක අවශ්‍යතාවක් පමණි.

එවැන්නක් ඉටුවන තුරු දෑතේ කරගැට මෙන්ම සිරුරුවල ශක්තීන් ද බෝවතැන්න වත්තේ මිනිසුන් දියකර හරිමින් සිටිති.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »