මිහින්තලා වැව කෙලෙසන රජරට සරසවියේ කුණු වතුර
බලධාරීන්ට නෑසෙන මිහින්තලා වැවේ දුක්මුසු කතාව

2019-09-30 09:39:00       109
feature-top
වැවට අපද්‍රව්‍ය මුසු වන්නේ විසි වසරක සිටයි - වසර 20 ම බලධාරීහු නිහඬය

පිරිපහදු යන්ත්‍රවල ප්‍රශ්නයක් - ලේඛකාධිකාරි

නියඟයෙන් සිඳුණු මිහින්තලා වැව දැන් පිරෙන්නේ මල අපද්‍රව්‍ය එක්ක පොසොන් මාවතේ ළිං වතුර බොන්නත් බැහැ - ජනතාවගෙන් මැසිවිලි

අනුරාධපුර මිහින්තලා පූජනීය නගර බෞද්ධයන් වූ අපට අති පූජනීය ස්ථාන වන්නේය. ආගමික අතින් පමණක් නොව සංස්කෘතිමය වශයෙන් වන්දනීය ස්ථාන වූ අනුරාධපුර මිහින්තලා දෙනගරයන්හි ඇති පෞරාණික වටිනාකම මිල කළ හැකි වන්නේ නැත. මේ නිසාවෙන් මේ ස්ථාන සුරුකීමෙහිලා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පමණක් නොව ලාංකිකයන් වන අප අතේද ඇති වගකීම බොහෝය. එහෙත් ඒ සියල්ල පසෙක ලමින් මේ කියන්නට යන්නේ අපේ ඇත්තන් අතින් විනාශ මුඛයට යන එවන් අති පූජනීය නගරයකට අත්ව ඇති භයානක ඉරණමක් ගැනය.

මෙම ලිපියෙන් විස්තර වන දෑ අද ඊයේ ඇති වූවක් නොවන බව පළමුව කිව යුතුය. වසර කිහිපයක පමණ කාලයක සිට මේ පිළිබඳ මාධ්‍ය මඟින් හඬනගා කීවද මේ නගරවලට අත් වන්නට යන ඉරණම වැළැක්වීමට වගකිව යුතු කිසිවෙකුත් කටයුතු නොකළේ ජාතියේ අවාසනාවටය. මේ කතාව නැවතත් දිග හැරෙන්නේ ලාංකීය ප්‍රෞඩත්වය ගැන දෙවරක් කියා දෙන්නට ඇවැසි නොවූ ජාතියේම දරු පිරිසක් උසස් අධ්‍යාපනය ලබන සරසවි බිමකිනි. ඒ රජරට විශ්වවිද්‍යාලයෙනි. රජරට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයෙන් ගලා එන කුණු කානු අවහිර වීමෙන් මේ මොහොත වන විටත් මිහින්තලේ පූජා නගරය දුගදින් පිරී පවතී. අවට නිවාස වල පදිංචිකරුවන්ටද මේ දුර්ගන්ධය ඉවසිය නොහැකි තත්ත්වයකට පත් වී ඇති අතර කුණු කානුවල ජලය හා අනිකුත් අපද්‍රව්‍ය පල්වීමෙන් මදුරුවන් පවා බෝවී මේ ශුද්ධ නගරය අශුද්ධ වන්නට පටන් ගෙන ඇත.

හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වූ ගම්උදාව යටතේ 1993 වර්ෂයේ දී මිහින්තලේ නගරය කාර්මික නගරයක් ලෙසින් ප්‍රතිසංස්කරණ කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් රජරට විශ්වවිද්‍යාලය බිහි විය. මේ අනුව 1996 වර්ෂයේ දී විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන දරු දැරියන් අතට පත්වීමත් සමඟ එම විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වලින් ඉවත්වන අපද්‍රව්‍ය මිහින්තලේ නගරය හරහා වැටී ඇති කානු පද්ධතියට එකතුවීමෙන් මිහින්තලේ වැව් ජලයට එම අපද්‍රව්‍ය මුසු වෙයි. වසර 20 කටත් වඩා අධික කාලයක සිට මෙම නේවාසිකාගාරවලින් බැහැර වන අපද්‍රව්‍ය මිහින්තලේ වැවේ ජලයට එකතු වෙයි.

එදා සිට අද දක්වා නේවාසිකාගාරවලින් ඉවත්වන අපද්‍රව්‍ය හේතුවෙන් පීඩාවට පත් වූ ජන කොටස් අද හෝ හෙට ඒ සඳහා පිළියමක් ලැබෙතැයි බලාපොරොත්තු සහගතව බලා සිටියද මේ වසර 20 ක කාලය තුළ ඒ සඳහා විසදුම් දෙන්නට විශ්වවිද්‍යාල බලධාරීහු හෝ රජයේ බලධාරීහු හෝ කටයුතු කළේ නැත. එහෙත් දිනෙන් දින මේ අවට වැසියන්ට සිදුව ඇත්තේ දුර්ගන්ධය සහිත කුණු කානු දෙස බලමින් සුසුම් ලන්නට පමණි. කරුණු මෙසේ හෙයින් වසර කිහිපයක සිට මිහින්තලේ ප්‍රාදේශිය සෞඛ්‍ය කාර්යාලය කිහිප විටක්ම නඩු මගට බැස්ස ද සිදු වූයේ කාලයාගේ ඇවෑමෙන් කුණු කානු දිගේ නොනැවතී මිහින්තලේ වැව කරා අපද්‍රව්‍ය බැහැර වීමයි. වැසි සමයත් සමඟම දැඩි ලෙස පීඩාවට පත්වන ජනතාව දුර්ගන්ධය සමඟ මැසි මදුරුවන්ගේ ද දරුණු පීඩාවට පත් වන්නේ කාලයක පටන්ය.

පොසොන් සමයේ දී මිහින්තලේ වැඳ පුදා ගන්නට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා පෙර රජ දරුවන් ඉදිකළ මිහින්තලේ වැව අපද්‍රව්‍ය වලින් ගහන වූ දුර්වර්ණ වූ දුගද හමන ජලය පිරුණු තැනක් බවට පත් වී ඇත. රජරට පුරා ඇති දැඩි නියගයත් සමඟම මිහින්තලේ වැව සිදී ගියේ මීට මාස කිහිපයකට පෙරය. ජනතාවගේ දැඩි ඉල්ලීම පරිදි මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කෙරිණ. මෙම අවස්ථාවේ එකදු ජල බිඳුවක් හෝ නොතිබුණත් කුණු කානු පද්ධතිය මඟින් බැහැරවන අපද්‍රව්‍ය වැව පරිශ්‍රය තුළට ඇතුළු වී ඇත. ඉදිරි දින කිහිපය තුළදි මාස් කන්නයේ වැසි ඇති වීමත් සමඟ සියලු අපද්‍රව්‍ය වැව් ජලය සමඟ එකතුවෙයි.

විශාල මුදලක් වැය කරමින් මිහින්තලේ වැව ප්‍රතිසංස්කරණය කළ ද මිහින්තලේ වැවේ ජලය පිරෙන්නේ රජරට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවලින් ඉවතලන අපද්‍රව්‍ය සමඟ නිසා මිනිස් පරිභෝජනය සඳහා යොදා ගත නොහැකි බව ජනතාව පවසති. මේ වැව ප්‍රතිසංස්කරණය කිරීමට පෙර වැවට එකතු වන අපද්‍රව්‍ය වළකා ගැනීම සඳහා විකල්පයක් යොදා නොගෙන වැව ප්‍රතිසංස්කරණය කිරීම ජනතාවගේ දෝෂ දර්ශනයට ලක්ව තිබේ. වැවේ ජලය පිරී ඇති සමයේ දී දිවයිනේ නන් දෙසින් පැමිණෙන බැතිමතුන් මෙම ජලය පරිහරණය කිරීමෙන් සමේ රෝග මෙන්ම ආසාදන තත්ත්වයන්ට පත්ව රෝහල්ගත කළ වාර අනන්තය. බොහෝ කාලයක් නේවාසිකාගාරවලින් බැහැරවන අපද්‍රව්‍ය හේතුවෙන් පීඩා විඳින ජනතාව තම ගම් බිම් නිවෙස් අතහැර වෙනත් ප්‍රදේශ කරා යෑමට පටන් ගෙන ඇත. උග්‍ර දුර්ගන්ධය මැසි මදුරුවන් හේතුවෙන් පීඩා විදින මෙම ජනතාවට අදාළ බලධාරීන් විසින් සාධාරණයක් ඉටු කිරීමට නොහැකි වී ඇත. මිහිදු මා හිමියන් වැඩිය පුණ්‍ය භූමිය අද වන විට දුර්ගන්ධයෙන් පිරි ස්ථානයක් බවට පත් වී හමාරය.

මේ වනවිට සරසවි තාවකාලිකව නතරව ඇති හෙයින් එම නේවාසිකාගාර වල කිසිදු සිසුවෙක් නොමැත. එහෙත් එය එසේ වීම මේ ප්‍රශ්නයට ස්ථීර හෝ තාවකාලික විසදුමක් වන්නේ නැත. නමුත් විශ්වවිද්‍යාල බලධාරීන්ට නම් සරසවි වැසීම එයට විසදුමක් ගෙන දෙන බව පවසන්නට මැලි වන්නේ නැත.

“මේ දවස්වල කැම්පස් වහලනේ. ඒ නිසා අපිරිසුදු ජලය වැවට යන්න විදියක් නැහැ. මීට පෙර පිරිපහදු කරන යන්ත්‍ර සවි කළා. නමුත් ඒ යන්ත්‍ර වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙලා. ඒ ගැන අහන්න ඕන ඉංජිනේරුවන්ගෙන්. ..“ අප කළ විමසීමකදී එසේ පැවැසූයේ එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාය. නමුත් මහා වැස්සක් පතිත වු ගමන් මේ වැව පිරෙන්නේ මේ මල අපද්‍රව්‍ය සමඟින් බව ඔවුහු කල්පනා කරන්නේ නැත. සරසවි යළි විවෘත කළ පසු මෙයට සිදුකරන විසදුම් පිළිබඳ ඔවුහු කල්පනා කරන්නේ නැත.

වසර කිහිපයක සිට කුණු කානුවල ජලය හේතුවෙන් පීඩා විදින මිහින්තලේ පොසොන් මාවතේ සේනක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ මෙවන් අදහසකි.

“මේ දිනවල කැම්පස් එක වහලා. කුණු කානුවේ වතුර අඩුයි. අනික වැව හදපු නිසා වැවේ වතුර නැහැ. ඒ වුණත් වැව ලගට යන්න බැහැ කුණු ගදයි. කානුව දිගේ එන වතුර වැවේ වතුර එකතු වෙන තැන අප ජලය එකතු වෙලා. තව දවස් කිහිපයකින් මාස් කන්නයේ වැසි ආරම්භ වෙනවා. කැම්පස් එකත් පටන් ගන්නවා. නේවාසිකාගාරවලින් ඉවත් කරන සියලූම අප ජලය නැවතත් කානුව දිගේ ඇවිත් මිහින්තලේ වැවට තමයි එකතු වෙන්නේ. ලොකු මුදලක් වියදම් කරලා වැව හැදුවා. වැවට වතුර පිරුණට හදිස්සියට නාගන්නවත් බෑ. ජලය දුර්වර්ණයි. දුගඳයි. නොදන්නා කෙනෙක් නෑවොත් එහෙම මුළු ඇඟම කසලා පලු දානවා. එහෙම නොදන්න නාපු අය හැමෝම වගේ ලෙඩ වුණා. මේ කුණු කානුව දෙපැත්තේ ඉන්න බොහෝ දෙනෙක් පුදුම විදියේ දුකක් විදිනවා. දොරවල් වහගෙන තමයි ඉන්නේ. මැස්සෝ මදුරුවෝ නිසා දවල්ටත් ළමයි මදුරු දැල් දාගෙන ඉන්නේ. නිතර නිතර අපේ දරුවෝ ලෙඩ වෙනවා,මේ විෂ වායුව ආග්‍රණය කරලා. සෞඛ්‍ය ,පරිසර අමාත්‍යාංශවලට වගේම වගකිවයුතු හැම අංශයකටම දැනුම් දුන්නත් මේ සඳහා සාධාරණ විකල්පයක් ලබා දෙන්න බැරි වුණා. අපි ඉල්ලන්නේ නේවාසිකාගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය කුණු කානුවට එකතු නොවී කුමක් හෝ විකල්පයක් යොදන්න කියලයි.“ සේනක බණ්ඩාර මහතා පවසයි.

අවට කිසිවෙකුටත් මේ දුර්ගන්ධය ඉවසා සිටීමට නොහැකි තරම්ය. මේ නිසාවෙන් ඔවුහු නොනවතින චෝදනා එල්ල කරති.

“මෙම කුණු කානුවේ ගද උහුලන්න බෑ. අපද්‍රව්‍ය නිසි පරිදි ගලා යන්නේ නෑ. ඩෙංගු මැලේරියා විතරක් නෙවෙයි. බරවා මදුරුවොත් ඉන්නවා. මේ ප්‍රදේශයේ පදිංචිකරුවන්ගේ ජීවිතවලට කුණු කානුව තර්ජනයක් වෙලා. මහින්දෝදය විහාරස්ථානයේ පැරණි පොකුණටත් අපජලය එකතු වෙනවා. ජලජ ශාක විනාශ වෙමින් පවතිනවා. මේ පිළිබද බලධාරීන්ට දැනුවත් කළත් වැඩක් නැහැ. වසර 10 - 15 ක සිට අදාළ බලධාරීන්ට කියනවා. ඒත් තවම වැඩක් වුණේ නැහැ. මිහින්තලේ වැව විශාල මුදලක් වියදම් දරලා ප්‍රතිසංස්කරණය කරලා වැව හැදුවා. ඒත් වැඩක් වුණේ නැහැ. වැස්ස පටන් ගත්තු ගමන් මේ සියලුම කුණු කානුවේ අපද්‍රව්‍ය හෝදගෙන යන්නේ වැවට. මොනතරම් වතුර තිබුණත් වැඩක් නැහැ. අපිට පරිභෝජනය කරන්න බැරිනම්. එම මුදල් වලින් කරන්න තිබුණේ මේ කුණු කානු පද්ධතියෙන් බැහැර වන දෑ ඉවත් කරන්න සුදුසු ක්‍රමවේදයක් හදන්න. මේ ප්‍රශ්නනේ අපිව මුදාගන්න සුදුසු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. එහෙම නොවුනොත් අපට සිදු වන්නේ ගම් බිම් අතහැර වෙනත් ප්‍රදේශයකට ගිහින් ජිවත් වෙන්නයි.“ඒ මේ ප්‍රශ්නය නිසාවෙන් පරපුරෙන් පරපුරකට පීඩා විඳින දමයන්ති කුමාරිය.

“අපි බීමට පාවිච්චි කරන ළිඳ මේ කුණු කානුවේ වතුරෙන් අපවිත්‍ර වෙලා. කානු උතුරලා ළිඳට අපවිත්‍ර ජලය ගලා එනවා. ඒ මදිවට එම අපවිත්‍ර දෑ ළිඳට උරා ගන්නවා. මේ තත්ත්වය නිසා පොසොන් මාවතේ තිබෙන ළිං වල වතුරෙන් නාන්නවත් බෑ. මුළු ඇගම කසලා පළු දානවා. අපි ඉතා අසීරු තත්ත්වයකට පත්වෙලා ඉන්නේ. මේ පිළිබඳව අදාළ අංශ වෙත දැනුම් දුන්නත් මේ සඳහා රජයෙන් හෝ පාරිසරික ආයතනයකින් හෝ සහනයක් ලබා දෙන්න බැරිවෙලා තිබෙනවා. මාස් කන්නයේ වර්ෂාවත් සමග උග්‍ර පාරිසරික ගැටලු සමඟ තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. වැස්ස ලැබුණත් නැතත් කුණු කානුවල දුර්ගන්ධය මැසි මදුරු උවදුරු ගැහැට විදින්න වෙනවා. අපේ දරුවෝ නිතර ලෙඩ වෙනවා.“ පද්මසීලී මහත්මිය පවසන්නීය.

රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර වලින් බැහැර වෙන අපද්‍රව්‍ය හේතුවෙන් වසර කිහිපයක සිටම පීඩාවට පත්වන ජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යම් පිහිටක් සාධාරණයක් ඉටු කළ නොහැකි මන්දැයි මිහින්තලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එල්.එම්. සෙනෙවිරත්න මහතාගෙන් විමසීමක් කිරීමේදී ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසකි.

“මේ සිදුවීම පාරිසරික ගැටලුවක් තමයි. මීට පෙරත් මේ සඳහා අපි නඩුවක් ගොනු කළා. දැන් පවතින තත්ත්වය උග්‍ර අතට හැරීලා නිසා මාසයක කාලයක් ලබා දී තිබෙනවා, බැහැර කරන අපද්‍රව්‍ය සඳහා විකල්පයක් අනුගමනය කිරිමට.“ ඔවුන්ගෙන් විමසීමේදී පවසා සිටියේ දැනට බාත්රූම්වලින් පමණක් ඉවත් කරන ජලය පමණක් බැහැර කරන බවත්, ටොයිලට් වලින් ඉවත් කරන ජලය බැහැර නොකරන බවත්ය. මේ වන විටත් රජයේ ප්‍රතිපාදන මත අපද්‍රව්‍ය බැහැර කරන්නට විකල්ප මාර්ගයන් අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවත්ය. මාසයක් ඇතූළත අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොකළහොත් නඩු දැමීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළේය.

නේවාසිකාගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය තුළින් පීඩාවට පත්වන ජනතාවගේ අයිතීන් වසර කිහිපයක සිට නිලධාරීවාදයෙන් දෝලනය වෙමින් පවතී. අක්කර 565 ක භූමි වපසරියක් ඇති මිහින්තලේ පූජා භූමිය මෙම කුණු කානු පද්ධතිය හේතුවෙන් දුර්ගන්ධය හමා යන භූමියක් බවට පත් වී හමාරය. වසර කිහිපයක සිට කුණු කානු හා දුර්ගන්ධය පිළිබඳ කොතෙක් කතා කළත් අදාළ තැන්වලට දැනුම් දුන්නත් ජනතාවට සාධාරණයක් ඉටු වූයේ නැත. මෙතෙක් කිසිදු පිළියමක් ලබා දීමට අදාළ බලධාරීන්ට නොහැකි වූයේ මන්දැයි ජනතාව හඩක් නගන අතර ඒ සඳහා සාධාරණ පිළියමක් ලබා දීමට හොදම කාලයත් මෙය බව ඔවුන්ගේ මතයයි.

More News »