දැන් ඉස්සර වගේ හේන් කරන්න බෑ

2018-12-04 11:35:00       65
feature-top
හේන් ගොවි­තැන අතෑ­රලා අපි වගේ අය වෙන මොනවා කර­න්නද?

* වියළි මිරිස් විකු­ණ­න­වාට වඩා අමු මිරිස් විකිණීම අපට ලාභයි
* ඒ කාලෙත් හේන්ව­ල­ට අලි රංචු පිටින් ආවා. ඒත් විනා­ශය අඩුයි
* අපට කාගෙ­න්වත් වච­නෙ­කි­න්වත් උද­ව්වක් නෑ

ඉඩෝ­රය අහ­වර කර­මින් එක සීරු­වට ඇද­හැ­ලෙන මහ වැසි සමඟ ගොවි­යන් සිය හේන් බිම්වල වගා­අර­ඹන්නේ අපේක්ෂා රැසක් පෙර­දැ­රි­වය. වල් කොටා පුලුස්සා ලහි ලහියේ සැකසු බිමෙහි වැපිරූ කුරහං සිටවූ ඉඩ ඉරිඟු පැසී, කිරි­වැදී එත්ම ගොවි සිත අප්‍ර­මාණ සොම්න­සින් පිනා­යන්නේ සිය ඕනෑ එපා­කම් එකක් දෙකක් හෝ මල්ඵල ගැන්වෙන දිනය වැඩි ඈතක නොවන බව මොන­වට සන් කර­මිනි. සාර පැහැ­යෙන් දලු­ලන වට්ටක්කා කොළ මුළු හේන් බිම පුරා ඇදෙන විට සිය අත­මිට සරු­වෙන, කෑමෙහි බීමෙහි අඩු­වක් නොවන සෞභා­ග්‍ය­මත් කාල පරි­ච්ඡේ­ද­යක උදාව බව ගොවි­යන් වටහා ගනුයේ උතුරා යන සතු­ටෙනි. හේන් ගොවි­තැ­නෙන් සිය ජීව­නෝ­පාය සරි­කර ගැනීමට වෙහෙ­සෙන ගැමි­යන්ගේ දසුන අදද රජ­රට වන මායිම් ගම්මැ­දි­වල දුලබ නොවේ. නිකිණි මහේ ගහ­කොළ විය­ළවා, ජල උල්පත් සිඳි­මින් ඇති­වෙන ඉඩෝර සමය හේන සිය ඒකා­යන සවිය කොට­ගත් උද­වි­යට තම වගා බිම් සකස් කර­ග­න්නට ඉඩ­කඩ උදා­වන සංක්‍රාන්ති කාල වක­වා­නු­වක් මෙනි.

අනු­රා­ධ­පු­රයේ නොච්චි­යා­ගම, කහ­ට­ග­ස්දි­ගි­ලිය, කැකි­රාව, තිර­ප්පනේ, හොරො­ච්ප­තාන, මහ­වි­ල­ච්චිය, තන්ති­රි­ම­ලය, තලාව, තඹු­ත්තේ­ගම, හා පලු­ග­ස්වැව ආදි ප්‍රදේ­ශ­වල ගම් ගණ­නා­වක ප්‍රජාව තව­මත් දිවි සරි කර­නුයේ හේන් වගා­වෙනි. නිසි කලට වැසි නොවැ­ටීම, ප්‍රමි­ති­යෙන් යුතු බීජ සපයා ගැනීම, විවිධ පලි­බෝධ හානි, වල් අලින්, ඌරන්, රිල­වුන්, වඳු­රන් හා හාවුන් ආදි වන සතු­න්ගෙන් වගා­වන් වෙත සිදු­වන හානිය, ඉඩම් නිර­වුල් නොවීම පිළි­බඳ ගැටලු, හේන් ගොවීන් සඳහා ඇති රජයේ සහ­න­දායි උප­කාර ප්‍රමා­ණ­වත් නොවීම, භව බෝග සඳහා නිසි මිලක් නොලැ­බීම ආදි කම්ක­ටොලු රැස­කට වත්මන් හේන් ගොවියා මැදිව සිටී.

නොච්චි­යා­ගම ප්‍රදේ­ශයේ ගලේ ඇළ, ඇත්ප­න්තිය, ඇහැ­ටු­වා­ගම, කුඩා­වැව, අඹ­ග­හ­වැව, කුකු­ල්ක­ටුව, රනෝවා, දුණු­ම­ඩ­ලාව, කොකු­න්නෑව, හැල­ඹ­වැව, ලිද­වැව ආදි ගම්මාන හේන් ආශ්‍රි­තව සිදු­කෙ­රෙන මිරිස් වගාව සඳහා කලක සිට ප්‍රක­ටය. විශේ­ෂ­යෙන්ම ගොවීහු වැඩි පිරි­සක් අමු මිරිස් අස්වැන්න ඉලක්ක කොට­ගෙන වගාවේ යෙදී සිටිති. වාර්ෂි­කව දේශීය වියළි මිරිස් අව­ශ්‍ය­තා­වෙන් වැඩි කොට­සක් ආන­ය­නික මිරිස් මගින් සපුරා ගන්නට සිදුව ඇති පසු­බි­මක අමු මිරිස් අලෙවි කිරීම මේ ගොවීන්ගේ ඉල­ක්කය වී ඇත. නොච්චි­යා­ගම, ගල­යාය ගමේ එල්.සී. ජය­ති­ලක අමු මිරිස් වගා­වෙන් හොඳ හැටි පදම් වී ඇති ගොවි මහ­තෙකි. මිරිස් වගාව ගැන කරුණු කාරණා හෙතෙම අප හා විස්තර කළේය.

“වේලපු මිරිස් කිලෝ එකක් හදන්න අමු මිරිස් කිලෝ හත­රක් විතර ඕනැ. එහෙම බලන කොට අමු­වෙන්ම මිරිස් විකු­ණන එක අපිට හැම අතින්ම ලාභයි. සම­හර වෙළෙන්දෝ හේන­ටම ඇවිල්ලා අමු මිරිස් කිලෝ එක රුපි­යල් හාර පන්සී­යට ගන්නවා. සම­හර අය දඹු­ල්ලට නැත්නම් තඹු­ත්තේ­ගම මාක­ට්ව­ලට දෙනවා. පහු­ගිය කාලෙම පෑවිල්ල නිසා හරි­හ­මන් විදි­හට ගොවි­තැ­නක් කර­ගන්න බැරි­වුණා.

සම­හරු වගා ළිං කපා­ගෙන දහ­දුක් විඳ­ගෙන ගොවි­තැන් කෙරුවා. මේ පාර­නම් දෙයි­යනේ කියලා කර­ද­ර­යක් වෙන එකක් නෑ.”

හේන් වගා සම­යට රාත්‍රියේ වන­න්ත­රේට ඉහ­ළින් හද මෝදුවී එත්ම වන රොදක ඈත ඉස්ම­ත්තක හිඳ හඬ නඟන රෑ කොවු­ලෙ­කුගේ හඬ ඇසෙන්නේ ශෝකා­කූ­ලව ය. දඬු වැට බැඳපු හේනේ ගහක අට­වා­ගත් පැලේ සිටින ගොවි මුව­ගින් දිවා කල විඳි මහ­න්සිය සේම සිතු­විලි අතර තෙර­පෙන හුද­ක­ලාව මඟ­හැ­ර­වීමට කවි කියැවෙන්නේද නිරා­යා­ස­යෙන් මෙන්ය. ගතෙහි හිරි­ගඩු පිපෙ­න­ත­ර­මට රැය පහන් වන තුරු දැනෙන සීතල තව­මින් ගිනි මැලය අස­ලට වී හේනේ ඒ කොන මේ කොන බැලුම් පාන ගොවි සිතේ කකි­යන්නේ කිය නොහැකි සන්තා­ප­යකි. ගොවි­තැ­නට හිත­බැඳි තඹු­ත්තේ­ගම, තෙල්හි­රි­යාව ගමේ ඩී. ජයන්ත මහතා දිගු කලක සිට හේන් වගාවේ යෙදෙ­න්නෙකි. එදා මෙදා හේන් කිරීමේ වෙනස පිළි­බඳ ඔහු අප හා දොඩ­මලු වූයේ මෙසේය.

“අපි ඉස්සර හේන් කර­න­කොට තෙල්, පොහොර ජාති මොකුත්ම ඉස්සේ නෑ. අලුත් පොළොවේ හැම­දේම සරු­වට හැදුණා. අමු බඩ­ඉ­රිඟු තමයි සරු­වට තිබ්බේ. ඉස්සර ඉරිඟු ගස් හරි උසයි. කර­ලත් බොහෝම සරු­වට හැදෙ­නවා. පොඩි ළම­යෙ­කුට කඩන්න බැරි උසින් තමයි කරල හැදෙන්නේ. ඒ තරම් ගහ උසයි. තම්බලා නැත්නම් පුච්චලා ගත්ත­හම පුදුම රහයි. බඩ­ඉ­රිඟු ඇට කර­ලත් සම­හර වෙලා­වට විකු­ණ­නවා. කරල් පිටින් ගෝනි­ව­ලට දාලා තලලා තමයි ඇට කරලා විකු­ණුවේ. ඔය එච් හතර කියන වී වර්ගෙත් හේන්වල වැපු­රුවා. අලි රංචු පිටින් හිටියා. ඒත් ලොකු කර­ද­ර­යක් තිබුණේ නෑ. එනවා දැක්කොත් ටෝච් අල්ලලා කෑග­හ­පු­ව­හම උන් මඟ ඇරලා යනවා. ඒත් දැන් ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ. ”

බිම් කරු­වල වැටී එත්ම රජ­යන පාළු මූසල නිහැ­ඬි­යාව ද හේනේ රැය පහන් කරන ගැමි­යාගේ මනසේ ඇති කරන්නේ තිගැස්සීමකි. බව බෝග අසා­නාසි කර­මින් වගා බිමට වදින සිවු­පා­වු­නට වැට බඳි­මින් නිදි­ව­ර්ජි­තව රැය පහන් කරන ඔවුන් වරෙක හොල්මන්, අව­තාර ආදි අම­නුෂ්‍ය බල­පෑම් කෙරෙහි තැති ගන්නේ සිය අත්දැ­කීම් අනු­සා­ර­යෙන් උක­හා­ගත් විශ්වා­ස­යන්ද පද­නම් කොට­ගෙ­නය. බිම් කරු­වල වැටී­ගෙන එන වෙලාව මෙන්ම මහ රෑ දොගොඩ හරි යාමය මේ ආකා­ර­යෙන් හොල්මන් අව­තාර සැරි­ස­රන සමයං වෙලා­වල් ලෙස සල­ක­මින් එවැනි අවස්ථා මඟ­හැර යන්නට ගැමියෝ වග­බලා ගත්හ.

ඈත ගම්මැ­දි­වල දිවි ගෙවන ගැමි දිවිය සැබැ­වින්ම සුන්ද­ර­ත්වය හා අපූ­ර්ව­ත්වය මුසු­වූ­වකි. ඒ අපූ­ර­ත්වය මඟ­හැර විටෙක ගලා ආ දුක්ඛ දෝම­නස්ස සිතා­මතා අකා­මකා දම­න්නට තරම් ගැමි­යන් සුබ­වාදි වූයේ සිය මනෝ­භා­ව­යන් තුළම ගොඩ­න­ඟා­ගත් ලෝක­යක හුද­කලා වෙමිනි. ගැමි ජීවි­තයේ සිතුම් පැතුම් හා චර්යා රටා, ඇව­තුම් පැව­තුම්

උද්දී­ප­නය කර­මින් අව්‍යජ සිතු­විලි තුළින් ජන සමා­ජය වෙත මතුව ආ ජන­කවි වර්ත­මා­න­යට ශේෂ වන්නට ඇත්තේ ද ඒ ඔස්සේය යන්න අනු­මාන කළ හැකිය. එත­රම් දැන උග­ත්ක­මක් නොවු­වද එවන් අව­ස්ථා­වක ගායනා කළ කාව්‍ය තුළින් ඔවු­නගේ නිර්ව්‍යාජ දිවි­පෙ­වෙත පිළි­බඳ අපුර්ව තතු විත්ති හෙළි­ද­රව් වී ඇති වග නොර­හ­සකි.

පෙර කාලේ තැනු පැල දැන් දිරාලා
එම කාලේ බැදපු වැට ගොනු කඩාලා
පැළ­පතේ ගොයම් රෑ රැක බලාලා
නිදි­මතේ කියමු පැල්කවි ගොතාලා

හේන් වගා කාල­යට දරු දැරි­ය­න්ටද ඉස්පා­සු­වක් නැති තරම්ය. හේන් බිමෙහි පැළ ඉන්ද­වන්ට, බීජ සිටු­වන්ට, දඬු යට කරන්ට මව්පි­යන්ට උප­කාරි වෙන්ට මේ දරු දැරි­යන්ට සිදු­වන්නේ ගැමි ජන ජීවි­තයේ රස නීරස හා මනාව මුහු වෙමිනි. හේනෙහි වෙහෙස මහන්සි වෙන උද­වි­යට තේ පැන්, ඔසු පැන්, කුරහං රොටී ආදි අඩුම කුඩුම ගෙන­යන ළමා ළප­ටීන්ගේ මුවගේ මතුව ඇත්තේ අවි­හිං­සක සින­හ­වකි. අස්වනු නෙළන වක­වා­නුව වන විට පවුලේ සියලු දෙනා හේනේ පැල් කොටේ දවස ගෙවන ආකා­රය නොච්චි­යා­ග­මදී දැකිය හැකි සුලභ දසු­නකි. හේනේ නේක කාර්යන්ට දායක වෙමින් ඔවුහු ජීවිත සට­නට උරදී සිටිති. නොච්චි­යා­ගම, ගල­යාය හේන් යායේ දී හමුවු නිරෝ­ෂණි බස්නා­යක මේ කර්කෂ පරි­ස­ර­යට හොඳින් හුරුවී සිටි­න්නි­යකි.

“දැන් හේන් කරලා නඩත්තු කරන එක ලේසි වැඩක් නෙමෙයි. මිරිස්, එළ­ව­ළු­ව­ලට එක එක රෝග එනවා. කාගෙ­න්වත් අපිට කියලා වච­නේ­කි­න්වත් උද­ව්වක් නෑ. අස්වැන්න ගන්න කාලෙට අපි ගොඩක් වෙලා­වට හේනේ පැලේ තමයි ඉන්නේ. හේනේ ඉන්න එකෙන් උදේම වැඩ පටන් ගන්නත් පුළු­වන්. රෑ වෙන­කන් වැඩ කර­න්නත් පුළු­වන්. සත්තු­න්ගෙන්, හොර හතු­ර­න්ගෙන් වෙන කර­ද­රත් අඩුයි එත­කොට.”

නව­දැලි හේන, අත්ද­ඬුවා හේන හා හේන් කනතු වශ­යෙන් හේනේ ස්වභා­වය අනුව වර්ග කොට දක්ව­න්නට අපේ පැරැ­න්නන් පෙලැඹී ඇත්තේ පරි­ස­රය හා ඔවු­නගේ ඇති අවි­යෝ­ජ­නීය සබැ­ඳි­යාව කොතෙක්ද යන්නට දෙස් දෙමිනි. අලු­තින්ම ගස් කපා පාදා භව බෝග වවන භුමිය නව­දැලි හේන ලෙසත්, අත් දණ්ඩක් තර­මට වැවුණු ගහ­කොළ පාදා ගිනි තබා වපු­රන හේන අත්ද­ඬුවා හේන ලෙසත් ගැමි­යන් හැඳි­න්වුයේ තෙරු­මක් ඇතිව බව පැහැ­දි­ලිය.

වවා අතෑර දැමු හේන් බිමක කුඩා පඳුරු වර්ධ­නය වී ඇති විටක එම පඳුරු කපා ගිනි තබා වැවීම හේන් කනතු ක්‍රමය ලෙස ගැමි­යන් විසින් හඳු­න්වනු ලැබුවේ පරි­ස­ර­යෙන් උකහා ගත් අත්දැ­කීම් අනු­වය. හේන් බිමේ කැලෑ කපා පාදා ගිනිලෑ­මට පෙරා­තුව අවට ලැගු­ම්ගෙන සිටින සිවු­පා­වුන් පලවා හැරීම සඳහා හඬ නඟා සිදු­කළ හේන් යාති­කාව මගින් ද ගහ­කොළ සේම සතා සීපාවා කෙරෙ­හිද ගැමියා තුළ වු නිර්ව්‍යාජ බැඳීම කොතෙක් ද යන්න සනාථ කරයි.

හේන් වගාව ගැන හොඳ අව­බෝ­ධ­යක් ඇති වය­සින් ද මුහු­කුරා ගොස් සිටින එස්. තිල­ක­රත්න මහතා පැහැ­දිලි කළේ කාලා­නු­රූ­පව සිදුව ඇති වෙනස පිළි­බ­ඳ­වය.

“අපිට තිබුණු දේශීය එළ­වළු බීජ ටික නැති­වුණු එක තමයි සිද්ධ වුණු ලොකුම හානිය. මේ අලුත් බීජ­ව­ලින් ගස්, වැල්ව­ල­ටත් ලෙඩ. ගෙඩි කර­ල්ව­ල­ටත් ලෙඩ. මල් හැලෙනවා. ලෙඩ එකක් නෙමෙයි. ඇත්ත­ටම අපි ළඟ තිබ්බ එළ­වළු බීජ­ව­ලට මේ කිසි ලෙඩක් තිබුණේ නෑ. මිරිස් ඇට වුණත් එහෙ­මයි. ඵල­දා­වත් හොඳයි. ලෙඩත් අඩුයි. අනිත් එක ඉස්සර ගොවි­තැ­නට කියලා දැන් තරම් නිල­ධාරි ගොඩක් හිටියේ නෑ. හැබැයි හිටපු කීප­දෙනා මිනි­ස්සුන්ට උදවු කෙරුවා. දැන් ඉන්න අය දකින්න කාර්යා­ල­ව­ලට යන්න ඕනෑ. එහෙම ගියත් සම­හර දවස් වලට නෑ. ”

මෙස­ම­යෙහි ගැමි ළියට පැව­රෙන වග­කීම් සම්භා­රය සුළු­පටු නොවේ. හිමි­දිරි උදෑ­සන අව­දිව පිළි­යෙළ කළ කුරහං පිට්ටු, කුරහං රොටී ආදිය පන් මල්ලෙහි රුවා සිය දරු සිඟිත්තා උකු­ළෙහි හොවා, පන්මල්ල හිසෙහි තබා ඇය හේනට ගමන් කර­න්නීය. හෙවණ සහිත ගසක සුදුසු අත්තක් බලා තොටිල්ල බැඳ දරුවා එහි රුවා හේනේ අතෝ­රක් නැති කාර්යන් සඳහා ඇය දායක වන්නේ ඉන් අන­තු­රු­වය. හේන් ගොවි­යාගේ අමා­රුම කර්ත­ව්‍යය වන්නේ වන සතු­න්ගෙන් සිදු­වන ගැහැ­ටින් දුක් මහ­න්සිවී හදා වඩා ගන්නා බව බෝග රැක ගැනී­මය. උන්ගෙන් බව­බෝ­ග­ව­ලට සිදු­වන අසා­නා­සිය පිළි­බඳ නොච්චි­යා­ගම, ළිඳ­වැව ගම්මා­යිමේ හේන් වගාවේ නියුතු එස්.එල්. සෝම­පාල මහතා පැව­සුවේ මෙබ­න්දකි.

“අද වෙන­කොට හේන් ගොවි­යන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වල් අලි කර­දරේ. යන්තන් හැදී­ගෙන එන හේනට අලි දෙතුන් දෙනෙක් පැන්නොත් කන්න­යක් තිස්සේ වෙච්ච මහ­න්සිය ඔක්කොම වතුරේ. මේ කාලේ හේන් වගා­වට කියලා කාගෙ­න්වත් ලොකු උද­ව්වක් හම්බ­වෙන්නේ නෑ. මිනිස්සු තමන්ගේ මහ­න්සි­යෙන් දහ­දුක් විඳ­ගෙන ගොවි­තැන් කර­නවා. සම­හර කන්න­වල ගොවි­තැන වැස්සට විනාශ වෙනවා. සම­හර කන්න­වල පෑවි­ල්ලට විනාශ වෙනවා. සම­හර දව­ස්ව­ලට අස්වැ­න්නට හරි මිලක් නෑ. එක එක ප්‍රශ්න. ඒත් මේ ගොවි­තැන අත­ර­ඇ­රලා අපි වගේ මිනි­ස්සුන්ට ජීවත් වෙන්ඩ වෙන ක්‍රම­යක් නෑ. ”

හේන් ගොවි­තැනේ අස්වනු නෙළන සමය ගැමි ජන­තා­වට ප්‍රීතිය, සෞභාග්‍ය උදා­ක­ර­වන කාල­යකි. ගැමි දරු දැරි­යන් මේ කාල­ස­මය ගත­ක­ර­නුයේ අප්‍ර­මාණ ප්‍රීති­ය­කිනි. පුලුස්සා හෝ තම්බා ගත් ඉරිඟු කරල් සප­මින්, එහේ මෙහේ දුව පනින ළමා ළපැ­ටීන්ගේ මුහු­ණු­වල ඇඳුණු හස­රැලි කියා­පා­නුයේ ජීවි­තය පිළි­බඳ කදිම පාඩ­මකි. කිරි­වැදී පැසී එන බඩ ඉරිඟු කරල් නොයෙක් මාදි­ලියේ සකු­ණ­ය­න්ගෙන් රැක බලා ගැනීම සඳහා කෑ කෝ ගස­මින් දුව පනින දරු දැරි­යන්ගේ හඩ ඈතට ඇසෙ­නුයේ ගැමි පරි­ස­රය හා බැඳි නිර්ව්‍යාජ ජීවන රටාව පිළි­බඳ සංවේ­දනා රැසක් මනසේ සියුම් තැන්හි මෝදු කර­ව­මින්ය. එහෙත් මේ ජීවිත වට­කොට බැදි කදුළු කථාව තව­මත් වග­කි­ව­යුතු කිසි­ව­කුත් නිසි ලෙස නොකි­ය­වන ලද්දකි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »