ලේසර් තාක්ෂණයට නිරාවරණය කිරීම සීගිරි සිතුවම් විනාශයක් ද?

2018-11-12 11:59:00       56
feature-top
අද දවසේ නැවතත් සීගිරි බිතු සිතුවම් කාලීන මාතෘකාවක් වී තිබේ. ඒ 3D ලේසර් තාක්ෂණය උපයෝගි කර ගනිමින් සීගිරි චිත්‍ර පිටපත් කිරීමේ පුවතක් සමඟ ය. බොහෝ රටවල පැරණි චිත්‍ර සංරක්ෂණය කිරීම සඳහා මෙය යොදා ගැනෙන බව ඇතැමෙක් පවසති.

එහෙත් සමහරුන්ගේ අදහස ලේසර් කිරණ නිසා චිත්‍රවලට හානියක් සිදුවන බවය. 3D ලේසර් තාක්ෂණය යොදා ගෙන කරනු ලබන කර්ත්‍යවයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ කැලණිය විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය බී.ඩී. නන්දදේව ය. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ඔහු සම්බන්ධ කර ගනු ලැබුවේ එබැවිනි.

“සීගිරියේ චිත්‍ර දිරාපත් වීමේ ප්‍රශ්න ඇති වුණේ මීට අවුරුදු දෙකකට පෙර. ඒ ගැන පරික්ෂා කරන්න යුනෙස්කෝ උපදෙස් අනුව අන්තර්ජාතික චිත්‍ර සංරක්ෂණ කිරීමේ ආයතනයක් වන ඉතාලියේ ඊක්‍රොම් ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් ලංකාවට ආවා. ඒ කණ්ඩායමේ ප්‍රධානියා ජර්මන් ජාතික වර්නර් ස්බිත්.

ඔවුන් ලංකාවේ සතියක් විතර ඉඳලා සීගිරි චිත්‍ර පරික්ෂා කරලා කරුණු 8 ක් ඉදිරිපත් කළා. 3D ලේසර් ස්කෑනින් තාක්ෂණය යොදාගෙන චිත්‍ර පිටපත් කිරීමට උපදෙස් ලැබුණේ මෙම විශේෂඥ කණ්ඩායමෙන්. ඊට පසුවයි සීගිරි බිතු සිතුවම් පිටපත් කිරීමේ කටයුත්ත ආරම්භ කළේ.” ඒ මහාචාර්ය නන්දදේවගේ ප්‍රකාශයයි.

ඉතාලියේ ඊක්‍රොම් ආයතනය අන්තර්ජාතික කලාකෘති සංරක්ෂණය කිරීමේ කටයුතු සිදු කරනු ලබන ආයතනයකි. 1967 දී සීගිරි චිත්‍රවලට තාර ගෑ විට ඒවා ඉවත් කර බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ වගකීම පැවරුණේ මෙම ආයතනයට ය.

ලෝක උරුමයන් සංරක්ෂණය කිරීම පිළිබඳව කටයුතු කරන ඉතාලියේ ඊක්‍රොම් ආයතනයේ සේවය කළ ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය ගාමිණි විජේසුරියගෙන් මේ පිළිබඳව විමසුවේ වැඩි තොරතුරු දැන ගැනීමට ය.

“සීගිරි චිත්‍රවලට දිලීර රෝගයක් පැතිරෙන බව 2010 අවුරුද්දෙදි තමයි දැනගන්න ලැබුණේ.

ඊ‍ට පසුව 2011 දී ඊක්‍රොම් ආතනයේ විශේෂඥවරුන් දෙදෙනෙක් ලංකාවට ඇවිත් මේ ගැන පරීක්ෂා කරලා බිතු සිතුවම් ලේඛනගත කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා. ඊට පසුව නැවතත් 2014 දී විතර ප්‍රශ්නය මතු වුණා. ඒ අවස්ථාවේදී නැවතත් 2016 දී ඉතාලියේ ඊක්‍රොම් ආයතනයෙන් විශේෂඥවරුන් කණ්ඩායමක් ආවා.

ඒ විශේෂඥවරුන්ගේ ප්‍රධානියා ජර්මන් ජාතික වර්නර් ස්බිත් ඒ පාරත් චිත්‍ර පිටපත් කිරීමේ වැදගත්කම පැහැදිලි කළා. ඒ නිසයි 3D ලේසර් ස්කෑනින් තාක්ෂණය යොදාගෙන පිටපත් කිරීම සිද්ධ වෙන්නේ. මෙම තාක්ෂණය දැන් අවුරුදු 20 ක් විතර පරණ තාක්ෂණයක්.

ලෝකයේ බොහෝ රටවල්වල කලා කෘති සංරක්ෂණය සඳහා මෙය යොදාගෙන තිබෙනවා. ලංකාවට අලුත් වුණාට ලෝකයට අලුත් දෙයක් නොවෙයි.” යනුවෙන් ආචාර්ය ගාමිණී විජේසුරිය පැවසුවේ දීර්ඝ වශයෙනි.

ලංකාවට 3D ලේසර් තාක්ෂණය අලුත් යැයි අප සිතුවද එම තාක්ෂණය යොදා ගනිමින් චිත්‍ර පිටපත් කිරීම ආරම්භ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

මීට පෙර දළදා මාළිගාවේ චිත්‍ර පිටපත් කිරීමත් සීගිරිය කෞතුකාගාරයේ සීගිරියේ අනුරුව සකස් කිරීමටත් මෙම තාක්ෂණය යොදා ගෙන ඇත. මේ දිනවල සිදු කෙරෙන සීගිරි බිතු සිතුවම් පිටපත් කිරීම සඳහා අවශ්‍ය ශිල්පීන් හමු වී තිබෙන්නේ දළදා මාළිගාවේ චිත්‍ර 3D ලේසර් ස්කෑනින් තාක්ෂණයෙන් පිටපත් කිරීමේ දීය

“දළදා මාළිගාවේ චිත්‍ර පිටපත් කළ කණ්ඩායම කැලණිය විශ්ව විද්‍යාලයේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගි වුණා. එතනදී තමයි ඒ අයව මට මුණ ගැසුණේ. ඒ වන විට සීගිරි චිත්‍ර ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මතු වෙලා තිබුණේ. ඒ නිසයි මම ඒ අය සමඟ මේ ගැන කතා කළේ. ඊට පස්සේ මම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීලා ඉදිරි වැඩ කටයුතු සඳහා පියවර ගත්තා.

ඒ අනුව තමයි මේ කණ්ඩායම මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වැඩ පටන් ගත්තේ.” යනුවෙන් විස්තර කළේ මහචාර්ය නන්දදේව ය.

ජර්මනියේ බැම්බර්ග් විශ්ව විද්‍යාලයේ චිත්‍ර පිටපත් කිරීමේ විශේෂඥ කණ්ඩායමක් ලංකාවට පැමිණියේ ඒ ආකාරයට ය. මෙම කණ්ඩායමේ ප්‍රධානියා මැක්ස් රේපිග්ය.

ඔවුන් ලංකාවට පැමිණි මෙම කටයුත්ත අරඹා තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින්දැයි දැන ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රශාන්ත මණ්ඩාවල ඇමතූ විට ඔහු දැන් වුයේ එකී කටයුත්ත සඳහා අවසරය දී ඇති බව ය. 2018 මාර්තු 15 දාතමින් යුතු ලිපියකින් ඊට අවසර දී තිබේ.

එහෙත් මෙම අවසරය ලබා දුන් කාල වකවානුවේදී මෙහි අධ්‍යක්ෂ ජෙනරල් ලෙස කටයුතු කර ත‍ිබෙන්නේ ආචාර්ය සෙනරත් දිසානායක මිස ප්‍රශාන්ත මණ්ඩාවල නොවේ. එබැවින් එකී අනුමැතිය දුන් ලිපිය නිකුත් කර තිබෙන්නේ ආචාර්ය සෙනරත් දිසානායකගේ අත්සනිනි.

3D ලේසර් ස්කෑනින් තාක්ෂණය භාවිත කිරීමෙන් ලෝක උරුමයක් වන සීගිරිය බිතු සිතුවම් විනාශ වීමේ අවදානමක් තිබේ නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊට අවසර දෙනු ලැබේ ද? එවැනි සැකයක් බොහෝ දෙනෙකුට ඇති වන්නේ සීගිරි බිතු සිතුවම් නැරඹීමට පැමිණෙන අයට ඡායාරූප ගැනීමටවත් අවසරයක් නැති නිසාය. ෆැලැෂර් භාවිත කර ඡායාරූප ගැනීම තහනම් කර තිබියදී 3D ලේසර් තාක්ෂණය යොදා පිටපත් කිරීමෙන් සීගිරි බිතු සිතුවම්වලට හානි නොවේ යැයි සිතිය හැකි ද?

පොලොන්නරුවේ තිවංක පිළිම ගෙයි චිත්‍ර විනාශ වීමට හේතුව ඡායාරූපගත කිරීම බව ඇතැම් විද්වතුන්ගේ අදහස ය. මන්ද චිත්‍ර ආලෝකයට සංවේදි (Photo Sensitive) වන බැවිනි. සාමාන්‍ය තරංගයකට වඩා ලේසර් කිරණේ තරංග ශක්තිය ප්‍රබල ය. තිවංක පිළිම ගෙයි චිත්‍රවලට අත් වූ ඉරණම සීගිරි බිතු සිතුවම්වලටත් අත් විය හැකි ද?

“3D ලේසර් ස්කෑනින් ක්‍රමයට චිත්‍ර පිටපත් කිරීම ලෝකයේ සාමාන්‍යයෙන් සිද්ධ වන දෙයක්. විශේෂයෙන් කතෝලික දේවස්ථානවල චිත්‍ර පිටපත් කරන්නේ මේ ක්‍රමයට හැබැයි ලේසර් කිරණ ශක්තිය අඩු ප්‍රමාණයකින් තමයි යොදා ගන්නේ. වැඩි ශක්ති ප්‍රමාණයක් අඩංගු වුණොත් චිත්‍රවලට හානියක් වෙන්න පුළුවන්. තාක්ෂණය හොඳ දෙයක්. එය භාවිත කරන්නේ කොහොමද කියන එක තමයි සොයා බලන්න වෙන්නේ”. යනුවෙන් භෞතික විද්‍යා මහාචාර්ය අයි.කේ. පෙරේරා සඳහන් කළේය.

මහාචාර්ය බී.ඩී. නන්දදේව සඳහන් කරන්නේ ලේසර් කිරණ පෘෂ්ඨය මත පතිත වන කාලය තත්පරයකින් පන් ලක්ෂයකින් එකක් බවය. ඔහු පවසන ආකාරයට නම්3D ලේසර් කිරණ යොදා පිටපත් කිරීම නිසා චිත්‍රවලට කිසිදු හානියක් සිදු නොවේ. ලියනාඩෝ ඩාවින්චි ඇඳි “අවසාන භෝජන සංග්‍රහය” සිතුවම සංරක්ෂණය කර තිබෙන්නේ ද මෙම තාක්ෂණය උපයෝගි කර ගනිමිනි. ඔහු තවදුරටත් සඳහන් කරන්නේ ඉතා අවම බලශක්තියක් යොදා ගෙන කරනු ලබන මෙම පිටපත් කිරීමේදී සිතුවම්වලට හානි සිදු වේ නම් සුර්ලෝකයට නිරාවරණය වීමෙන් ද හානි සිදු විය යුතු බව ය.

එහෙත් හිරු එළිය පතිත වන්නේ කෙමෙන් කෙමෙන් මිස එක්වරම නොවේ. රාත්‍රී කාලයේ චිත්‍ර පිටපත් කිරී‍මේදී යොදා ගැනෙන 3D ලේසර් ස්කෑනින් ක්‍රමයේදී ආලෝකය සහ උණුසුම පෘෂ්ඨය මත පතිත වන්නේ ක්ෂණිකවම ය. ඒ පිළිබඳව භෞතික විද්‍යා මහාචාර්ය අයි. කේ. පෙරේරාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“එය අපට තීරණය කරන්න වෙන්නේ තරංග ආයාමය අනුව. සමහර තරංග ආයාම පෘෂ්ටයට දැනෙන්නෙවත් නැහැ. සමහර තරංග ආයාම තාපය උරා ගන්නවා. එය නිවැරදිව ගැළපෙන විදිහට යොදා ගැනීම ඉතා වැදගත්.”

3D ලේසර් ස්කෑනින් ක්‍රමය වෙනුවට ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමෙන් පිටපත් කළ හැකි නොවේදැයි කෙනෙකුට තර්ක කළ හැකි වන්නේ එම නිසාය.

“3D හෙවත් ත්‍රිමාණ තාක්ෂණයෙන් මතුපිට පමණක් නොවෙයි. අනෙක් පැත්ත මේ පැත්ත ආදී වශයෙන් පැති ගණනාවක් විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි ඩිජිටල් තාක්ෂණයෙන් පරික්ෂා කරන්න පුළුවන් වෙන්නේ මතුපිට පෘෂ්ඨය විතරයි. සීගිරි චිත්‍රවල තිබෙන ගැටලු හඳුනාගෙන පිළියම් යෙදීමට ඉතාමත් දියුණු තාක්ෂණයක් තිබෙද්දි ඊට වඩා අඩු මට්ටමේ තාක්ෂණයක් යොදා ගන්නේ මොකටද? අපි කාර් තිබෙද්දි බක්කි කරත්තෙන් යන්නේ නැහැනේ” යනුවෙන් මහාචාර්ය නන්දදේව ඊට පිළිතුරු දුන්නේ ඒ ආකාරයට ය.

ඊළඟට බොහෝදෙනකු පැන නඟින ගැටලුව වන්නේ මේ සා කඩිමුඩියේ ලේසර් පිටපත් ලබා ගැනීමේ අවශ්‍යතාව කුමක් ද යන්නයි.

“සීගිරිය වගේ ස්ථානයක ප්‍රශ්නයක් හඳුනාගෙන මිසක් ආවාට ගියාට කවුරුත් අත ගහන්නේ නැහැ. අපේ උරුමයන් සංරක්ෂණය කිරීමටත් ක්‍රමවේදයන් හඳුනා ගැනීමටත්3D ලේසර් ස්කෑනින් තාක්ෂණය යොදා ගැනීම ඉතා වැදගත් මොකද මෙම ලබා ගන්නා දත්ත පරිගණකගත කරලා ඒ මේ අත හරවලා පරික්ෂා කරන්න පුළුවනිනේ. සීගිරි චිත්‍රවල පැළුම්, දිලීර ආසාදන අපි ඉස්සෙල්ලාම නිවැරදිව හඳුනාගන්න ඕනෑ. ඊට පසුවයි ප්‍රතිකාර කළ යුතු වෙන්නේ. අනික මෙම කටයුත්ත සිද්ධ වෙන්නේ සීගිරි චිත්‍රවල ප්‍රශ්නයක් ඇති වූ නිසා. ලංකාවෙන් කළ ආරාධනාවකට අනුව පැමිණි විශේෂඥවරුන්ගේ උපදෙස් අනුවයි මෙම කටයුත්ත කෙරෙන්නේ” යනුවෙන් ආචාර්ය ගාමිණී විජේසුරිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කීර්තිමත් පුරා විද්‍යාඥයකු වන ආචාර්ය රෝලන්ඩ් සිල්වාගෙන් විමසූ විට ඔහු අපුරු කතාවක් අනාවරණය කළේය.

“මම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වී සිටි කාලයේ චිත්‍ර සංරක්ෂණය කිරීමේ කාර්යයේ යෙදි සිටි ලෝක ප්‍රසිද්ධ විද්වතෙක් මෙරටට ආවා. මේ චිත්‍රවල ආරක්ෂාවට පැලැලි දැමීම වැනි කටයුත්තක් කළාට කමක් නැති ද කියලා මම ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු මගෙන් ඇහුවා මේ චිත්‍ර කොයි තරම් පරණ ද කියලා. එහෙම නම් ඔය විදිහටම තියන්න, තව අවුරුදු 1500 ක් තියේවී කියලා ඔහු කිව්වා.”

ආචාර්ය රෝලන්ඩ් සිල්වාගේ කතාවට අනුව සීගිරි අප්සරාවන්ට පාඩුවේ හිඳින්නට ඉඩ දීමෙන් ඔවුන්ට බොහෝ කාලයක් නිරුපද්‍රිතව සිටිය හැකි වනු ඇත .

එහෙත් මේ වන විට සීගිරි අප්සරාවෝ ගිලන් වී සිටිති.

ගිලන් වූ අප්සරාවන්ට ඖෂධ ලබා දීම මේ දිනවල සිදු කෙරේ. මෙම ප්‍රතිකාරවලින් අප්සරාවන් සුවපත් වේද තවතවත් ගිලන් වේද අපි නොදනිමු. තවත් විදිහකින් පවසන්නේ නම් “එකක් කඩතොළු මකා ගන්නට ගිහින් මට වුණ කාරියේ - දෙකක් කඩතොළු හදා දුන්නැයි ඉඳුරුවේ ආචාරියේ” යනුවෙන් කියන්නට ද සිදු විය හැකිය. නැතහොත් මේ දිනවල කෙරෙන ප්‍රතිකාරවලින් එක්වරම සුවපත් විය හැකිය. ඒ සියල්ල භාර වෙන්නේ හෙට දවසට, මතු පරම්පරාවට මිස අද දවසේ පරම්පරාවට නම් නොවේ.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »