ගොඩ මඩ දෙකම පුරවන්නට නියමිතය ඕවිට දෙණිය අස්වැද්දුම කම්මුතුය

2018-11-06 12:56:00       14
feature-top
ගංගාධාර නිම්න තැනිතලා සහ උස්බිම් ඇතුළත් ප‍්‍රදේශ ගොවිතැනෙහි යොදා ගත් ආකාරය ලංකාවේ භූ විෂමතා අනුව විවිධත්වයකින් යුක්තය. එ්වායේ වගා කරන ලද භෝග පවා මෙම විවිධත්වයට අනුරූප වන පරිදි හැඩ ගැසී තිබූ බව තේරුම් ගන්නට හැකිය. බස්නාහිර තෙත් කලාපයට ගැනෙන ගම්පහ කොළඹ කළුතර දිස්ත‍්‍රික්කයන්හි තිබෙන භූ විෂමතාවය ඉතාමත් සංකීර්ණ වේ. කඳුහෙල් අතරින් පෙනෙන නිම්න භූමි තුළ කෙරුණු පාරම්පරික වී ගොවිතැන දෙණි ඕවිටිවල කෙරුණු කොරටු සහ උස්බිම් සහ තැනිතලා වල සිදු වුණු හේන් ගෙවතු පිළිබඳ පාරම්පරික චිත‍්‍රයක් අපට මවා ගන්නට හැකිය.
 
 මෙම ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට අයත් පාරම්පරික ඉඩකඩම් ගැන ලිඛිත ඉතිහාසයේ අපට තොරතුරු හමුවන්නේ ලේකම් මිටි, හී ලේකම් මිටි සහ තෝම්බුවලිනි. පසු කාලයේදී විදානෙ ලේඛන සහ ඔප්පු තිරප්පුවලින්ද මේ තොරතුරු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන ගොස් ඇත. පාරම්පරික ජනතාව විසින් මේවා හඳුන්වන ලද්දේ ඕවිට, අස්වැද්දුම, දෙණිය, පිල්ලෑව ආදී වශයෙනි. තමතමන් ගේ ඉඩම්වල තිබෙන භූ විෂමතාවය අනුව ගැමියන් මේ නම් භාවිතා කර තිබේ. කුඹුරු සහ වෙල් ආශ‍්‍රිතව වී ගොවිතැන පමණක් කෙරුණි. කුඹුරට යාබදව තිබුණි. සියලූම ඉඩම් ඉහතකී ආකාරයට නාමකරණයක් සහිතව පරිහරණය කොට තිබේ. මේ ක‍්‍රමය බස්නාහිර පළාතට පමණක් නොව රටේ අනෙක් පළත්වලට ද එ්වායේ භූ විෂමතාවය අනුව යොදා ගෙන තිබෙන බව පෙනේ. මෙම නාමකරණයෙන් දැක්වෙන ඉඩම් පිළිබඳ නිර්වචනයක් ඇත්තේ සිංහල භාෂාව තුළ පමණක් නොව පාරම්පරික ගැමියන්ගේ දැනුම සහ අදහස් තුළය. මේ පිළිබඳ ජාතික ලේඛනාගාරයේ සිටි මහාචාර්ය කේ.ඞී. පරණවිතාන මහතා අගනා පර්යේෂණයක් කොට තිබුණි. පාරම්පරික දැනුම අනුව සහ පර්යේෂණ දැනුම අනුව මෙම ඉඩම් වල ස්වභාවය මෙසේ ගොනු කළ හැකිය.
 
 paddy2දෙණිය - කුඹුරු ආශ‍්‍රිතව පවත්නා තෙත් බිමකි. කඳු මතින් රූරා වැටෙන ජලය සඳහා පෙරණයක් වශයෙන් කි‍්‍රයා කරයි. ඇතැම් විට ලවණ සහිතය. මළකඩ සහිතය. පීට් ස්වභාවයක් ගනී. කොරටු භෝග සඳහා පාරම්පරිකව භාවිතා කර ඇත.
 
 ඕවිට - කුඹුරු ආශ‍්‍රිත තෙත් බිමකි. පස සාරවත්ය. කමත් සහ පාවරයන්ට ද භාවිතා වේ. විවිධ ජලාශ‍්‍රිත ඖෂධ පැළෑටි වැවේ. පක්ෂීන්ට වාසස්ථාන වේ. කොරටු භෝග සඳහා පාරම්පරිකව යොදා ගෙන ඇත.
 
 අස්වැද්දුම සහ අස්ලියැද්ද - කුඹුරු ආශි‍්‍රත තෙත් බිමකි. ඕවිටි සහ දෙණි කුඹුරු වගාවන් පිණිස යොදා ගැනීමේදී මේ නාමකරණය එළඹ ඇත.
 
 අරාව - වත්තෙබඩ අරාව පුවක් ගහ අරාව ආදී නාමකරණයන් ඇත. බොහෝ විට කුඹුරු ඉඩමකි. ගොඩ ඉඩමක් වූ විට ඕවිටක් හෝ දෙණියක් වේ. අරාව යනු තෙත් බිමකි.
 
 මඩිත්ත - මඩ සහිත බිම. කුඹුරක්ම නොවිය හැකිය. මී ගවයන් ලගින කුඹුරු ආශ‍්‍රිත බිමක් මේ නමින් හැඳින්විය හැකිය.
 
 පිල්ලෑව - කුඹුරක් අසල ඇති රක්ෂිතය. පාවර කමත ආදී කුඹුරේ කටයුතු කළ හැකි ස්ථානයකි. වැහි කාලයට තෙත් බිමකි. ළඳු කැලෑවලින් (ඖෂධ පැළෑටි ඇති* සමන්විතය. මීගවයන් ගේ ලැගුම් ස්ථානයකි.
 
 පැලැස්ස - ලොකු ගස් නොමැති ළඳු කැලය. වර්ෂා කාලයට තෙත් බිමකි. රක්ෂිතයකි. දිය උල්පත් ආරක්ෂා කරන ස්ථානයකි.
 
 වල්පිට - වල් බිහි වූ හේනකට භාවිත නමකි. ගොඩ ඉඩමක් වුවද භෝග වගාවට යෙදිය හැකි කෘෂිකාර්මික ඉඩමකි.
 
 වතුරාව - දිය පිරුණු මඩ වගුරු බිමකි. වතුරාන යනුවෙන්ද ව්‍යවහාර වේ.
 
 පොතාන - කුඹුරක යාබද කොටසක් හෝ වැවක ඉහළ පෙදෙසක්. තෘණ භූමියකි. තෙත් බිමක් වශයෙන් සැලකිය හැකිය.
 
 අරඹ - පුවක් හෝ පොල් බහුල වශයෙන් වැවෙන උස් බිමකි. තෙත් බිමක් නොවුණද කුඹුරු ආශ‍්‍රිතව පවතින රක්ෂිතයකි.
 
 අගාර -වැවකට ජල උල්පත් ගලා එන දිය පාර. ඖෂධීය පැළෑටි ලවණතාවය පාලනය කරන පැළෑටි මේ අගාර පාරවල් වල දක්නට හැකිය. තෙත් බිම් ආරක්ෂා කරයි.
 
 මුත්තෙට්ටුව - රාජ්‍ය භාගය ලබා ගන්නා බිම්, ගොඩ සහ මඩ ඉඩම් දෙකම මේ නමින් හැඳින්වේ. කුඹුරක් හඳුන්වන විට මුත්තෙට්ටු කුඹුර යනුවෙන් ද ගොඩ ඉඩමක් හඳුන්වන විට මුත්තෙට්ටු හේන හෝ වත්ත යනුවෙන්ද හැඳින්වේ.
 
 ලංකාවේ නීතියට එක් වූ ඉඩම් ආඥා පනත්වල මෙම පාරම්පරික ඉඩම් ගැන සඳහන් වන්නේ ස්ථාන නාම වශයෙන් පමණි. ගොවි ජන සංවර්ධන පනතේද මෙවැනි තැන් ගැන විශේෂ සඳහනක් නැත. නමුත් 2018/04/20 අංක 05/2018 දරන චක‍්‍ර ලේඛනය මගින් මෙම ඉඩම් සහ කුඹුරු ඉඩම් කොටස් තුනකට වර්ග කරන ලෙසට උපදෙස් දී තිබේ. එ් කොටස කුඹුර වශයෙන්ද බී කොටස පුරන්වී ඇති කුඹුරු වශයෙන්ද සී කොටස ඉහතකී ඉඩම් වර්ගයන්ට අයත් ලෙසට ද හඳුන්වා දී තිබේ. සී වර්ගය ගොඩ ඉඩම් නාම ලේඛනයට ඇතුළත් කිරීමට ඉල්ලූම් කළ හැකිය. වගාවට යෝග්‍ය මෙකී ඉඩම්වල පාරම්පරික භාවිතයන් ගැන කිසිම සැලකිල්ලක් මෙහිදී දක්වා නොමැති බව පෙනී යයි. මෙම වර්ග කිරීමට හේතුවී ඇත්තේ බස්නාහිර පළාතේ ඉඩම් වෙළෙඳපොළ පුළුල්ව යෑමයි. ජනතාව ගොවිතැනින් ඈත්වී නාගරීකරණයට ලක් වීමත් අධ්‍යාපනය තුළ කුඹුරු
 
 ගොවිතැන පිළිබඳ ඉගෙනුම ක‍්‍රමයෙන් ඈත් වීමත් නිසා ගොවි ශ‍්‍රමය පිළිබඳ ඇතිවූ අර්බුදය මගින් කුඹුරු පුරන් බවට පත් වෙමින් ඇත. යටකී තෙත් බිම් ගොඩ කිරීමත් වෙනත් කටයුතුවලට යොදා ගැනීමත් ශීඝ‍්‍රයෙන් සිදුව තිබේ. 2015 න් පසු යහපාලන රජය බස්නාහිර අධිනගර සංකල්පය හඳුන්වා දී ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් 2002 දී ඉදිරිපත් කළ රී ගෙනින් ශ‍්‍රී ලංකා වැඩ සටහන් තේමාව පදනම් කොට ගෙනයි. ගම්පහ සහ කොළඹ පුළුල්ව පැතිරෙන නාගරික ජනාවාස කළුතර දක්වාම පුළුල් කිරීමත් පාරවල් ඉදිකිරීම අධිවේගී මාර්ග ව්‍යාප්තියටත් ඉඩකඩ සැලසීම එහි බලාපොරොත්තුවයි. මේ නිසා පරිසරය සුරකින ජෛව විවිධත්වය සුරකින වගාවට යෝග්‍ය මේ ඉඩම් විනාශ වී යෑමේ තර්ජනයකට ලක්ව තිබේ. මෑතකදී නාගරික සංවර්ධන අධිකාරිය විසින් තෙත් බිම් ප‍්‍රඥප්තියක් හඳුන්වා දීමට කරුණු එකතු කිරීමට උත්සාහ දරා ඇත්තේ මේ නිසයි.
 
 බස්නාහිර පළාත් තෙත්බිම් කලාපීකරණ නිර්නායක
 
 01. යම්කිසි පනතක් මගින් සංරක්ෂණ, ආරක්ෂක හෝ කළමනාකරණ ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති තෙත් බිම්.
 
 02. ස්ථානීය එ්කදේශීය ජීවීන් ඇතුළු එ්ක දේශීය ජීවීන් හා තර්ජනයට ලක් වූ ජීවීන් සැලකිය යුතු සංඛ්‍යාවක් සහිත විශේෂ විවිධත්ව සාපේක්ෂකව ඉහළ අගයක් ගන්නා උප පරිසර පද්ධති වැඩි ගණනක් දක්නට ලැබෙන පාරිසරික සේවා දායකත්වයෙන් වැඩි සංරක්ෂණ හෝ ආරක්ෂක ප‍්‍රදේශයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමේ විභවයක් ඇති තෙත් බිම්..
 
 03. ගංවතුර අවදානම අවම කිරීම සඳහා ජලය රඳවා ගැනීමේ ධාරිතාවක් හා අවශ්‍යතාවක් සහිත ජල රැුඳවුම් හා ජල බැස යෑමේ ප‍්‍රදේශ.
 
 04. වී වගාව පමණක් සිදු කරන තෙත් බිම් (කුඹුරු*
 
 05. දිගු කාලයක සිට අඛණ්ඩව කෘෂිකාර්මික කටයුතු (කුඹුරු නොවන* පවත්වාගෙන යන හා එයට අනුශාංගික පහත් බිම් සහිත තෙත් බිම්.
 
 06. අඛණ්ඩව අවුරුදු 05 ක් තුළ වී වගාවක් නොකළ තෙත් බිම්. (පුරන් වූ කුඹුරු*
 
 මෙම ප‍්‍රඥප්තිය සඳහා ඉහත දක්වන විශේෂිත තෙත් බිම් පිළිබඳව නාමකරණය සහ භාවිතාව පිළිබඳ මා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනට විමර්ශනය කරමින් ඇත. ප‍්‍රඥප්තිය තුළ මෙම අදහස් ඇතුළත් වුවද ජනතාව වෙත ද මේ අදහස් හා දැනුම නැවත සම්පේ‍්‍රෂණය විය යුතුය. එසේ නැතහොත් අධිවේගී සංවර්ධන ඉලක්කයන් සපුරාලන රජය සහ නිලධාරීන් සමග අත්වැල් බැඳගෙන ජනතාව විසින් ද තෙත්බිම් අපහරණය කිරීමට පෙළඹෙනු ඇත. එය දැනටමත් සිදුවන බව පෙන්වා දිය යුතුය.

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »