දරුවන් වදන දරුවෝ

2018-11-03 12:51:00       73
feature-top
අම්මට 13 යි; තාත්තට 16යි.ළමයි බලන්න ගෙදරට යනකොට සමහර අම්මලා සෙල්ලම් කරන්න ගිහින්.සායනයට ආව අඩු වයස් අම්මලා එතැන ඉන්න ළමයි එක්ක සෙල්ලම් කරනවා.පාසල් දරුවන්ටත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතුයි..

"සමහර දවස්වලට ගර්භිණී මවුවරු බලන්න මම යනකොට ඒ අම්මලා අඹ ඇට පනිනවා. ඉතින් හිතාගන්නකෝ අම්මලාගේ වයස.තවත් අවස්ථාවක දරුවා බලන්න මම යනකොට අම්මා ගෙදර නැහැ. එයාගෙ අම්මට දරුවා බලාගන්න දීලා ගමේ සෙල්ලම් කරන්න ගිහින්. ඉතින් ආච්චි අම්මා කියනවා නෝනා මගෙ කෙල්ල අහම්බෙන් අම්මා කෙනෙක් වුණාට තවම පොඩි එකීනෙ කියලා. ඉතින් කතාව ඇත්තනේ."

සූ සැට ආභරණයෙන් සැරසුණු කුල කාන්තාවකට පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා නිදහසේ ගමන් කිරීමේ හැකියාවක් අපේ රටේ පැරණි රජ දවස පැවැති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින් ම වෙනස් ය. වියපත් මවකටවත් තනිවිය නොහැකි සමාජ පරිසරයක් නිර්මාණය වී ඇත.අත දරුවාගේ පටන් වයෝවෘද්ධ මාතාව දක්වා හිංසනයට පත්වන අවස්ථා කොතෙකුත් අසන්නට දකින්නට ලැබෙයි.මෙවැනි වටපිටාවක දරුවකුට යම් කරදරයක් වූ විට එය දැක අනේ අපොයි කියනවාට වඩා ඊට පෙර දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් වඩිහිටි සමාජයට බොහෝ දෑ කළ හැකිය. වර්තමානයේ සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙමින් යන ළමා මවුවරුන්ගේ කතාන්දරය ළමයින්ට එරෙහිව සිදුවන අපරාධයක එක් පැතිකඩක් පමණි.

පොළොන්නරුව මහරෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය ජගත් හේරත් මහතා ළමා මවුවරුන්ගේ කතාවට මෙලෙස මුල පිරීය.

“වයස අවුරුදු 18 න් නීත්‍යානුකූලව විවාහ වුණාට අපි ඒ අයට උපදෙස් දෙන්නේ අවුරුදු 20 ක් වන තුරු දරුවෙක් නොහදන ලෙසයි. වයස 20 දක්වාම අම්මා කෙනෙක් වීමට සුදුසු නැහැ. පසුගිය දවසක මගේ සායනයට ඇවිත් හිටියා අවුරුදු 13 ක ගැබිණි මාතාවක්. අසල්වැසි විවාහක පෙම්වතකුට මෙයා රැවටිලා. මේ ළමා අම්මා තමන්ගේ වාරය එනතුරු සායනයට ඇවිත් ඉන්න අනෙක් අම්මලාගේ කුඩා දරුවෝ එක්ක මිදුලේ සෙල්ලම් කරනවා. මේ දැරියගේ තාත්තා තම දියණියට සිදුවූ ‍ෙම් සිදුවීම ගැන කම්පා වෙලා වස පානය කළා. මේ සිද්ධිය මාවත් කම්පනයට පත් කළා. තවත් අවස්ථාවක තාත්තා කෙනකුගෙන් සාමාන්‍ය පෙළ විභාගෙට සූදානම් වෙන දුවකුට ලිංගික හිරිහැර වෙනවා කියලා අපිට දැන ගන්න ලැබුණා. අම්මා දැනුවත් ව දුව ලියුමක් ලිව්වා, කොල්ලෙක් එක්ක පැනලා යනවා කියලා. එහෙම කියලා ඈත පළාතක නෑදෑ ගෙදරක ඉදන් දැරිය විභාගය කළා. විභාගය උසස් විදිහට සමත් වූණා. දැන් මේ දැරිය උසස්පෙළත් ලියලා ප්‍රතිථල අපේකෂාවෙන් ඉන්නවා. තාත්තා තවම හිතන් ඉන්නේ දුව පැනලා ගියා කියලා. කොහොම හරි තාත්තාට නොදැනෙන්න අම්මා දුවගේ රැකවරණය සැලසුවා. තවත් අවස්ථාවක අම්මා තාත්තා අහිමි අවුරුදු 14ක දැරියක් ආච්චිගේ අනියම් පෙම්වතා විසින් විනාශ කරලා.

මේ වගේ සිදුවීම් නිරන්තර අපට වාර්තා වෙනවා. මේ විදිහට අපි ළඟටඇවිත් වෛද්‍ය උපදෙස් අරන් නිවැරදිව දරුවා හදා ගන්නේ නැතුව හොර පාරෙන් ගිහින් ගබ්සා කරගන්නා අය මොන තරම් ඇතිද? මාධ්‍යයට, රටට අනාවරණය නොවෙන අපරාධ මොන තරම් ඇතිද? අපි කළ යුතු වන්නේ අපේ දරුවන්ට විද්‍යාත්මකව ලිංගික අධ්‍යාපනය ලබා දීමයි. එය ලැජ්ජාවට කරුණක් ලෙස හිතුවොත් දවසෙන් දවස අපේ දරු පරපුර අගාධයට යනවා. අඩු වයසින් ගර්භිණී වන මව්වරුන්ට බිහිවන දරුවන්ගේ උපත්බර අඩුයි. ඒ වගේම උපතින් පසු ඒ දරුවෝ විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතය වැඩියි. ඒ වගේම ගර්භිණී සමයේ සිදුවන ශාරිරික හා මානසික වෙනස්වීම්වලට මේ දැරියන්ට හුරු වීම අසීරුයි. ඒ වගේම අධික රුධිර පීඩනය ඇතිවීමේ ඉඩකඩ වැඩියි. දරු ප්‍රසූතියට සුදුසු තත්ත්වයට වර්ධනය නොවී සිටින බැවින් මෙවැනි අඩු වයස් මවුවරුන් දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමට භාජනය කරනවා. දරුවෙක් නොසලකා හැර කටයුතු කරන්න බැහැ. ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා. ළමා මවුවරු ඇති වීම වළක්වා ගැනීම සඳහා ජාතික කථිකාවක් ගොඩ නැංවිය යුතුයි. අතවරයකට ලක්වූ දරුවෙක් දිහා වපර ඇසින් නොබැලිය යුතුයි. සෑම දරුවෙක්ම තමන්ගේ දරුවෙක් ලෙස සිතිය යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව ගැන මවුපියන්, ගුරුවරු මෙන්ම සමස්ත වැඩිහිටි ප්‍රජාවම දැනුවත් විය යුතුයි. ඒ වගේම රටේ දරුවකුට සිදුවන කරදරයක් තමන්ගේ දරුවාට සිදුවන දෙයක් සේ සලකා කටයුතු කළ යුතුයි. වැඩිහිටි සමාජය ආකල්ප සංවර්ධනය කර නොගතහොත් පොලිසි, උසාවි, රෝහල්වල සංඛ්‍යා‍ ලේඛන තව තවත් ඉහළ යාවි.

රටේ ඕනෑම නිවසක මුළුතැන් ගෙයින් ඇතුළුවී ඉදිරිපස දොරෙන් පිටවී යෑමේ අවසරය ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියටයි. 2010 වර්ෂයේ ආසියා ශාන්තිකර කලාපයේ හොඳ ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත්, 2011 වර්ෂයේ, ලොව හොඳ ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ලෙසත් සම්මානයට පාත්‍ර වූයේ ලලිතා පද්මිණී ය. ඇය බොහෝ අත්දැකීම් ඇති නිලධාරිණියකි. මගේ සායනවලට එන මවුවරුන්ගෙන් වසරකට සියයට පහක් දහයක්වත් අඩු වයස් මවුවරු හමුවෙනවා.ඉතිං අපට දරුවෝ දෙන්නෙක් බලා ගන්න සිදු වෙනවා. හේතුව අම්මාත් දරුවෙක්නේ. පසුගිය අවුරුද්දක අවුරුදු ළමා අම්මා කෙනෙක් මගේ සායනයට ඇවිත් ලියාපදිංචි වුණා. තාත්තා නව යොවුන් වියේ දරුවෙක්.

මේ අය වැඩි වයස් දාලා ලියාපදිංචි වුණා. නමුත් මේ අය බාල වයස්කාර දරුවෝ කියලා මට තේරුණා. පස්සේ මම තොරතුරු සොයා බැලුවා. එතකොට තේරුණා අම්මා 13යි. තාත්තාට අවුරුදු 16 යි. මේ වගේ අම්මලා හිතුවක්කාරයි. එයාලා සායනවලට ආවට දෙන උපදෙස් පිළිපදින්නේ නැහැ. විටමින් පෙති දුන්නම ඒවා ඇළවල්වලට දමලා ගිය අවස්ථා තිබුණා.

එක දවසක් මම ෆීල්ඩ් එකේ යනකොට අවුරුදු 20 ක විතර තාත්තා කෙනෙක් අවුරුදු 16 ක විතර අම්මා කෙනෙක් බිම දිගේ ඇදගෙන යනවා; ඒ අම්මා විලාප දෙනවා. මම ඒ තාත්තට හොඳට ම දොස් කිව්වා. පස්සේ අහල පහල අයටත් කිව්වා ආයෙත් වතාවක් රණ්ඩු වුණොත් මට කියන්න; මම පොලිසියත් එක්ක එනවා කියලා. ඒ තාත්තා බයවෙලා අම්මට හිරිහැර කරන එක නතර කළා. නමුත් ඒ තාත්තාගේ හිරිහැර කිරීම් අම්මාට බලපාල තිබුණා. දරුවාට නිතර ෆිට් එක හැදෙනවා; තවත් නොයෙක් අසනීප තිබෙනවා. ජීවත් වුණේ කටුමැටි පැල්පතක.

සමහර දවස්වලට ගර්භිණී මවුවරු බලන්න මම යනකොට ඒ අම්මලා අඹ ඇට පනිනවා. ඉතින් හිතාගන්නකෝ අම්මලාගේ වයස. තවත් අවස්ථාවක දරුවා බලන්න මම යනකොට අම්මා ගෙදර නැහැ. එයාගෙ අම්මට දරුවා බලාගන්න දීලා ගමේ සෙල්ලම් කරන්න ගිහින්. ඉතින් ආච්චි අම්මා කියනවා නෝනා මගෙ කෙල්ල අහම්බෙන් අම්මා කෙනෙක් වුණාට තවම පොඩි එකීනෙ කියලා.

ඉතින් කතාව ඇත්තනේ. දැරියෝ මේ ආකාරයට අඩු වයසින් මවුවරු වීමට හේතු කීපයක් බලපානවා. එකක් මවුවරු විදේශගත වීම, අනිත් කාරණේ දරුවෝ අනාරක්ෂිත වීම, ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම, බොහෝ ළමා මවුවරු දරුවෙක් කුසට ආවම කරදරයක් කියලා හිතනවා. දරුවෙක් කුසට ආවම නිවෙස පන්සලක් වගේ වෙන්න ඕනෑ. අඩු වයස් මවුවරු ගොඩක් වෙලාවට කළහකාරී පරිසරයක ජීවත්වෙන්නේ. ඒ තත්ත්වය තුළ ජීවත්වෙන දරුවා පසුව කළහකාරී වෙනවා. අසනීපවලින් පෙළෙන අය වෙනවා. අම්මා තාත්තා දෙදෙනාගේ සෙනෙහස නැති වුණාම දරුවෝ වෙන වෙන ආදර සොයාගෙන යනවා. ඒ වගේම අම්මා විදේශගත වූ විට ගෙදර වගකීම් පවුලේ වැඩිමල් දැරියට පැවරෙනවා. ඇයට ගෙදර අම්මාගේ භූමිකාව කරන්න සිදු වෙනවා. තාත්තලා මේ වගේ දැරියෝ තම අඹුකමට තියා ගන්න අවස්ථා තියෙනවා.

ඒ වගේම අම්මා රට ගිය පවුලක අවුරුදු 11 ක දැරියක් පියාගේ මව භාරයේ හිටියා. පස්සේ කොහොම හරි මේ පියා දැරියට අතවර කරලා. මේ කතාව ආච්චි අම්මාට කිව්වට පස්සේ ආච්චි අම්මා කියලා අම්මා රට ඉදන් එනකම් ඉවසගෙන ඉඳපන් කියලා. පස්සේ අසල් වැසියෝ පොලිසියට කියලා මේ තාත්තා අත්අඩංගුවට ගත්තා. මේ වගේ හිත කීරි ගැහෙන සිදුවීම් අනන්තයි. මේ තතත්ත්වය වළක්වා ගන්න නම් අපි දරුවො ආරක්ෂා කළ යුතුයි. වැරැද්දක් වුණාම දරුවා ළඟට අරන් වරද පෙන්වා දිය යුතුයි. දියණියකට මෙලොව සිටින හොඳම යෙහෙළිය තම මව විය යුතුයි. ගැහැනු දරුවෙක් අතරමඟදි අධ්‍යාපනය නතර කළොත් වෘත්තීය පුහුණුවකට හෝ යොමු කළ යුතුයි. එහෙම නොවුණාම දරුවන්ට කරන්න දෙයක් නැහැ.

ජංගම දුරකතනයක් ගන්නවා. ඊළඟට අන්තර්ජාලයේ සැරිසරනවා. සමාජ ජාලා වෙබ් අඩවි හරහා දැන හැඳුනුම්කම් ඇතිකරගෙන හදිසි විවාහ සිදු කර ගන්නවා. නමුත් එයාලා හිතන සුන්දර හීන ලෝකය විවාහය තුළ නැහැ. එතන දී ගැටුම් ඇති වෙනවා. මේ නිසා සමස්ත සමාජයට ම පොදුවේ කිව යුතු වන්නේ ලංකාවේ සෑම තැනම අඩු වැඩි වශයෙන් අඩු වයස් ගැබ් ගැනීම් සිදු වෙනවා. මෙය නීත්‍යානුකූල විවාහ වගේම නීත්‍යානුකූල නොවෙන විදිහට සිදු වෙනවා. ඉතින් අපි කළ යුතු වන්නේ අපේ දරු පරපුර දැනුවත් කිරීමයි.

දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ අපරාධ පරීක්ෂණ ස්ථානයේ උප පොලිස් පරීක්ෂක රෝහිත චන්ද්‍රලාල් මහතා පාසල් මට්ටමින් දැනුවත් කිරීම් පවත්වමින් දැයේ දරුවන් රැක ගැනීමට වෙහෙසෙන නිලධාරියෙකි.

ඒ මහතා තම අත්දැකීම් වචන බවට පත්කළේ දැඩි සංවේගයෙනි. මම මගේ දරුවන්ට මෙන්ම රටේ දරුවන්ටත් දැඩි සේ ආදරය කරන තාත්තා කෙනෙක්. මම වගේ හැමෝම හිතනවා නම් අද අපට ළමා අපචාර ගැන අහන්න දකින්න ලැබෙන්නේ නැහැ.

මේක මහවැලි සී කලාපයේ සිදුවුණු සිදුවීමක්. ඒ වන විට නව වන ශ්‍රේණියේ හිටිය දැරියක් පෙම්වතා විසින් ගෑනියක් බවට පත්කොට තිබුණා. පෙම්වතා අසල්වැසි තරුණයෙක්. එයා දින 14ක් බන්ධනාගාරයේ ඉඳලා ආවා. අවුරුදු කීපයක් ගත වුණා; නඩුව ඇහුවා. ඩී.එන්.පරීක්ෂණයෙන් සැකකරු දරුවාගේ තාත්තා බව ඔප්පු කරගන්න බැරි වුණා; ඔහු නිදහස් වුණා. ඔහු ‌ෙම් දැරියට සහ අැයගේ මවට විරුද්ධ ව අපහාස නඩු දැම්මා. අදටත් ඒ දැරිය කියන්නේ දරුවාගේ තාත්තා ඔහුමයි කියලා.

නමුත් පුංචි දරුවට නීත්‍යානුකූල ව තවම තාත්තා කෙනෙක් නැහැ. පරිවාස නිලධාරී තුමාගේ කාරුණික මැදිහත්වීම මත දැරිය උසස් පෙළ දක්වා ම ඉගෙන ගත්තා. නිරෝගීමත් දරු පරපුරක් රටට දායාද කිරීමට නම් විවාහ වන වයස් සීමාවත් අවුරුදු 21 දක්වා ඉහළ නැංවිය යුතුයි කියලා මම හිතනවා. අතවරයට ලක්වූ දියණියන් විශාල පිරිසකගේ පැමිණිලිවලට අදාළ පරීක්ෂණවලට මම යනවා.

මමත් එ් සමහර සිදුවීම්වල දී මම දැඩි කම්පනයට පත් වී තිබෙනවා. අපි පරීක්ෂණ කටයුතු අවසන් කරලා දැරියට වගේම වැඩිහිටියන්ටත් උපදෙස් දීලා එනවා. පාසල් මට්ටමින් දරුවන් දැනුවත් කිරීම් සිය ගණනක් සිදුකර තිබෙනවා. නමුත් දිනෙන් දින ම කනගාටුදායක සිදුවීම් අපට වාර්තා වෙනවා.

සමහර අවස්ථාවල ආර්ථික ප්‍රශ්න මත දියණිවරු අඩු වයසින් පතිකුලයට යවන මවුපියෝ ඉන්නවා. ඒ අය මේ දරුවාගේ අනාගතය ගැන ඒ තරම් හිතන්නේ නැහැ. ළමයින්ට එරෙහිව සිදුවන හිරිහැර දිනෙන් දින වැඩි වීමක් මිස අඩුවක් නැහැ. වසරින් වසර මේවාගේ සංඛ්‍යාලේඛන දත්ත විශ්ලේෂණය කර කර අර්ථ දැක්වීම් කරනවා. ළමා දිනයට විවිධ සැණකෙළි උත්සව ආදිය පවත්වනවා. විශාල මුදලක් මේ සඳහා රජය මෙන්ම රාජ්‍ය නොවන ආයතනත් යොදවනවා. නමුත් සල්ලාලයන්ගෙන් ආරක්ෂා වෙන්නේ කෙසේද කියලා වැඩිහිටි සමාජය දරුවන් දැන්වත් කරන්නේ නැහැ. ඒකට එක හේතුවක් වන්නේ අපේ රටේ වසර දහස් ගණනක් පැවැති සංස්කෘතිය. පාසල් ගුරුවරු වුණත් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න මැළි වෙනවා.

ඒකට හේතුව අපේ ගුරු පරපුරට මවුපියන්ට වගේම දරුවෝ ගරු කරනවා.

එවැනි තත්ත්වයක් තුළ ලිංගිකත්වය විවෘත ව කතා කිරීමට මැලිකමක් දක්වනවා විය හැකියි. නමුත් එහි හානිය ඇතිවන්නේ දරුවන්ටයි. දෛනික ව දිවයිනේ සිවු දෙසින් ලැබෙන වාර්තා දෙස බලනකොට පෙනෙන්නේ මේ අවාසනාවන්ත තත්ත්වය රටේ එක් තැනකට පමණක් සීමා වු එකක් නොවන බවයි.

රටේ දරු පරපුර ආරක්ෂාකර ගැනීමට නම් සම්ප්‍රදායික සිතුම්වලින් ඔබ්බට ගොස් ලිංගිකත්වය පිළිබඳ ව විද්‍යාත්මක අවබෝධයක් පාසල් අධ්‍යාපනය හරහා ලබා දිය යුතුව ඇත.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »