ජපන්නුන්ට වඳින්න දාගැබක් හැදූ ලංකාවේ හපන්නු

2018-11-01 02:45:00       56
feature-top
ජපාන‍ දේශගුණයට ගැළපෙන බෝධියක්
    භූමිකම්පාවලට ඔරොත්තු දෙන දාගැබක්

ජපානයේ සවරා කතෝරි නගරයේ පිහිටි ලංකාජි විහාරස්ථානයේ අභිනව චෛත්‍යයෙහි කොත නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේදී සිදු කෙරේ. මේ විශේෂ ලිපිය ඒ නිමිත්තෙනි.

කුරුණෑගල කාඩිහාගම සිට සමන් රත්නවීර ලොකු බාස් උන්නැහේ සහ ගෝළයන් දෙදෙනා ජපානයේ සවරා කතොරි නගරයේ ලංකාජි විහාරස්ථානයට ආවේ අභියෝගාත්මක කාරියකට මුල පුරන්නටය. සවරා පන්සල නමින් ජපානයේ ප්‍රචලිත ලංකාජි විහාරස්ථානයට අඩුවක්ව තිබුණු චෛත්‍යය ඉදි කිරීම පැවරී තිබුණේ ඔවුන්ටය. රත්නවීරලා ලංකාවේ දාගැබ් ඉදි කොට අත්දැකීම් ඇත්තෝය.

මුල්ගල් තැබීමේ උත්සවය යෙදී තිබූ 2017 අගෝස්තු 02 වන දිනට පෙරදා රාත්‍රියේ පොළොව හෙල්ලුණේය. කුරුණෑගල බාස් උන්නැහේලාට එය නුපුරුදු දෙයකි. සුභ නැකතින් මුල් ගල් තබා මඳ වේලාවකින් තවත් භූමිකම්පාවකි. ජපානයේ දාගැබ් තැනීම ලංකාවේ ආකාරයට සිදු කරන්න බැරි බව ස්වභාවධර්මය විසින්ම අපේ බාස් උන්නැහේලාට පෙන්වා දුන්නේ ඒ ආකාරයටය.

“අපේ ක්‍රමයට හැදුවොත් මේ වගේ භූමි කම්පාවලදී දාගැබට හානි වෙන්න පුළුවන්...” රත්නවීර ලොකු බාස් උන්නැහේගේ අදහස විය.

එහෙයින් සියලු කටයුතු යළි මුල සිට අරඹන්නට සිදු විය. ජපාන ගෘහ නිර්මාණ සමාගමක දායකත්වය ඇතිව භූමිකම්පා සඳහා ඔරොත්තු දෙන ආකාරයේ වාස්තුවිද්‍යා සැලසුමක් සැකසිණි. ජපන් තාක්ෂණය හා ශ්‍රී ලාංකේය සම්ප්‍රදායෙන් සුසැදි දෙමුහුන් ක්‍රමවේදයක් පදනම් කරගනිමින් දාගැබ නිමැවීම ඇරඹුණේ ඒ අනුවය.

ජපානයේ මුල්ම ථෙරවාද බෞද්ධ විහාරස්ථානය සවරා පන්සලයි. සවරා පන්සලේ නිර්මාතෘ බානගල හිමියෝ අසූව දශකයේදී ජපානයේ ධර්මදූත සේවයේ යෙදී සිටියහ. උන් වහන්සේට දැනුණු විශාලතම අඩුව වූයේ එහි ථෙරවාද බෞද්ධ විහාරස්ථානයක් නොවීමය. අනගාරික ධර්මපාල තුමන් අවස්ථා කීපයකදීම ජපානයේ සංචාරය කර තිබුණද, ථෙරවාද බුදු දහම ජපානයේ ප්‍රචලිත කරලීමේ අවකාශයක් එතුමන්ට උදා වූයේ නැත. මේ නිසා ජපානයේ තෝකියෝ නුවර ආසන්නයෙන් කෙසේ හෝ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුය, යන්න බානගල හිමියන්ගේ සිත උපන් අභියෝගාත්මක අපේක්ෂාව විය.

ජපානයේ පවත්නා නීති-රීති අනුව ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් ඇරඹීම අතිමහත් දුෂ්කර කාර්යයක් විණි. මහායාන බුදු දහම පවතින රටක, ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් ස්ථිරව ස්ථාපිත කිරීම දෙස ජපන් ජාතිකයන් මෙන්ම ජපන් බලධාරීන්ද බැලුවේ සැකමුසු හැඟීමකිනි. උපතිස්ස හිමියෝ මේ වෙහෙසකර අභියෝගයට මුහුණ දෙමින්, ජපානයේ ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් ඉදි කරලීමේ දුෂ්කර ක්‍රියාවට මුල පිරූහ.

ජපානයේ තෝකියෝ නුවර පදිංචිව සිටි දානපතිනියක වූ යොෂිඩා ආර්යාවගේත්, යොකහමා නුවර නකසතෝ මහතාගේත් ආධාර උපකාර සහ අනුබලය මෙහිදී බානගල හිමියන්ට මහත් ශක්තියක් විණි. ඒ වකවානුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ධුරය හෙබවූයේ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාය. කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩික්මන් ද අල්විස් මහතා රාජකාරි මට්ටමට ඔබ්බට ගොස් ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක් ජපානයේ පිහිටුවීමේ සත්කාර්යයට සහයෝගය දුන්නේය.

1984 මැයි මස 26 වන දා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ටෝකියෝ නුවර ඉකෙගාමි හොන්මොන්ජි විහාරස්ථානයේ පැවැති විශේෂ උත්සවයකදී ලාංකාජි නමින් ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානයක වැඩ කටයුතු නිල වශයෙන් ඇරඹිණ. මේ කාලයේ බානගල උපතිස්ස හිමියන් සමඟ නෙළුවේ රතනතිස්ස හිමියෝ සහ තිනියාවල පාලිත හිමියෝ මූලික සංවිධාන කාර්යයන්හි නිරත වූහ.

මුලින්ම ඉදිකෙරුණේ බුදු මැඳුරය. ඊට පසුව සංඝාවාසය ඊට එක් කෙරිණි. 2008 වසරේ දී නව ධර්ම ශාලාවේ ඉදිකිරීම් අවසන් විය. වත්මනෙහි ත්සුකුබා නගරයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති තුන්හිටියාවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ද මේ කාලයේ වැඩ සිටියේ සවරා පන්සලේය. ධම්ම‍ාලෝක හිමි ත්සුකුබා විහාරස්ථානයේ කාර්යයන් සඳහා පිටත්ව ගිය පසු කොස්වත්තේ පාලිත හිමියෝ සවරාහි ලංකාජි විහාරස්ථානයට එක් වූහ.

සැදැහැවතුන්ගේ වන්දනාමාන කටයුතු සඳහා බෝධීන් වහන්සේ නමකගේ අවශ්‍යතාවද ලංකාජි විහාරස්ථානයට තදින්ම දැනී තිබිණි. ඉතා අසීරු වෑයමකින් පසු ජපානයේ කාලගුණ විපර්යාසයන්ට හුරු කරගත් බෝධීන් වහන්සේ නමක් 2013 වසරේදී විහාර භූමියේ රෝපණය කෙරිණි.

දැන් අඩුපාඩුවකට ඇත්තේ දාගැබකි. විහාර භූමියේ දාගැබක් ඉදි කිරීම විහාරවාසී භික්ෂූන් වහන්සේ පමණක් නොව දායක දායිකාවන්ද බොහෝ කල් සිට අපේක්ෂා කළ කාර්යයකි. දැනට දශක දෙකක පමණ කාලයක් පුරා මේ සඳහා විවිධ ප්‍රයත්නයන් දියත් කෙරිණි. එහෙත් ඒ කිසිවක් සාර්ථක කරගැනීමට හැකි වූයේ නැත.

කෙසේ වෙතත් සවරා ලංකාජි විහාරාධිකාරී හේනෙගෙදර සීලභද්‍ර හාමුදුරුවන් උත්සාහය අත්හැරියේ නැත. උන්වහන්සේ දාගැබ ඉදිකිරීමේ අවශ්‍යතාව සපුරාගැනීම සඳහා නිබඳ වෙහෙසුණහ.

2016 අප්‍රේල් මාසයේ අප සිටියේ ජපානයේය. “සමන් මහත්තයෝ, හෙට හවස තුනට විතර කොහොම හරි පන්සලට එන්න,” කියා දුරකතනයෙන් මා ඇමතූ සීලභද්‍ර හාමුදුරුවෝ ඉල්ලා සිටියහ. පසුදා පන්සලට යද්දී අප මිත්‍ර ජගත් රාමනායකද එහි වූයේය. රාමා ඩීබීකේ ආයතනයේ සභාපති ජගත් සවරා විහාරස්ථාන සංවර්ධන කමිටුවේ අධ්‍යක්ෂවරයෙකි. සීලභද්‍ර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් එදින පැවති සාකච්ඡාවේ අරමුණ දාගැබ ගොඩ නැංවීමය.

“අපි අවුරුදු ගණනාවක් තිස්සේ දාගැබක් හදන්න උත්සාහ ගත්තා. ඒත් ඒ එක උත්සාහයක්වත් සාර්ථක කරගන්න බැරි වුණා. ඒක එහෙම කියලා උත්සාහය අත්හරින්නත් බෑ. අපි බලන්නෙ තවත් පාරක් උත්සාහ කරන්න,” සීලභද්‍ර හාමුදුරු‍වෝ සාකච්ඡාව ආරම්භ කරමින් අදහස් දැක්වූහ.

අන් අය අදහස් දැක්වීමට කලින් ජගත් ඉස්සර වුණේය.

“මම මේක දකින්නෙ මෙහෙමයි. අපි බොහෝ අය විවිධ අවස්ථාවල දාගැබ හදන්න උත්සාහ ගත්තා තමයි. 2002 අවුරුද්දෙ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පන්සලට ආපු වෙලාවෙදි එතුමා මූල්‍ය ආධාරයකුත් කළා. ඒ වගේ විවිධ අය විවිධ මට්ටමෙන් සහයෝගය දුන්නා. ඒත් අපිට මේ වැඩේ එකලාසයක් කරගන්න බැරි වුණා. මට හිතෙන්නෙ විශාල පිරිසකගේ දායකත්වයෙන් මේ වැඩේ කරන්න යෑම නිසා ප්‍රායෝගික දුෂ්කරතා මතු වුණා කියලායි. ඒ හින්දා මේ සැරේ අපි මේක වෙනස් විදියකට කරමු,” ජගත් කීවේය.

“මොකක්ද ජගත් මහත්ත‍යෝ වෙනස් විදිය?” හාමුදුරුවරු විමසූහ. “මම මේ වැඩේ තනියම බාර ගන්නවා,” ජගත් වෙනස් විදිය පෙන්වා දුන්නේය.

දාගැබ ඉදි කිරීමේ මුළු බර ජගත් කරට ගත්තේ එහෙමය. චෛත්‍යය ඉදි කිරීමේ කටයුතු 2017 අගෝස්තුවේ සිට ඉදිරියට කරගෙන යද්දී විවිධ අභියෝග හා බාධකවලට මුහුණ පෑමට සිදු විණි. භූමිකම්පාවලට ඔරොත්තු දිය හැකි ලෙස සැලසුම් වෙනස් කිරීමට සිදුවීම එකකි. ජපානයේ ඇති ගඩොළු වර්ග දාගැබ ඉදි කිරීම උදෙසා නොගැළපීම තවත් එකකි. මේ නිසා ශ්‍රී ලංකාවෙන් ගඩොළු ගෙන්වා ගැනීමට සිදු විණි. ඉදිකිරීම නිම කරලීම සඳහා අපේක්ෂිත කාලය දිග්ගැස්සුණි. ඇස්තමේන්තු කළ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් වැය විණි.

“ඒ සේරම දුෂ්කරතා මැද්දෙ, ජගත් මහත්තයාගේ ආධාර උපකාර ඇතුව අපි දාගැබ ගොඩනැංවීමේ කටයුතු ඉස්සරහට අරන් ගියා. සීත කාලෙදි වැඩ කරන්න අමාරු නිසා තාවකාලිකව ඉදි කිරීම් කටයුතු නැවැත්තුවා. වසන්තය උදාවත් එක්ක ආයෙම වැඩ පටන් ගත්තා,” සීලභද්‍ර හාමුදුරුවෝ පැවසූහ.

සවරා පන්සල වෙත ළඟා වන එක් ප්‍රවේශ මාර්ගයක් වැටී ඇත්තේ ඉමක් කොනක් නොපෙනෙන දැවැන්ත වෙල් යායක් මැදිනි. ගොයම් නිල්ල අතරින් ඉහළට එසැවුණු දාගැබ ඈතට පෙනෙද්දී සිත පුරා ශාන්ත රසයක් ඇඳී යයි. මේ දර්ශනයෙන් වශීකෘත ලාංකිකයන් මෙන්ම ජපන් ජාතිකයෝද චෛත්‍ය කර්මාන්තයට සහාය දක්වන්නට නොපැකිළව ඉදිරිපත් වූහ.

“දාගැබ ඉදි කිරීමේ බරපැන සියල්ල මගෙන් බව මම ඒ අයට කරුණාවෙන් පහදලා දුන්නා. අපි ඒ අයට කිව්වා ඔබේ ආධාර පන්සලේ වෙනත් සංවර්ධන කටයුතු සඳහා ලබා දෙන්න කියලා,” ජගත් සතුටු සිතින් කීය.

“මමත්, මගේ බිරිය සමන්තාත්, පවුලේ අයත් ජපානයට ඇවිත් දැන් අවුරුදු 30ක් වෙනවා. ඒ කාලයේ පටන් මේ දක්වාම බානගල උපතිස්ස හාමුදුරුවොත්, සවරා පන්සලත් අපේ ජීවිතවලට මඟ පෙන්වලා තියෙනවා. ඉතින් මට ඕනැ වුණේ ඊට කෘතවේදීත්වය දක්වන්නයි. තවත් අවුරුදු ගණනාවක් පවතින කෘතවේදිත්වයේ සංකේතයක් ගෞරවනීය ලෙස ‍ගොඩ නංවන්නයි. ඒකයි මම මේ පුණ්‍යකර්මයට දායක වුණේ,” ජගත් පැහැදිලි කළේය.

දැගැබෙහි ධාතූන් වහන්සේ සහ පූජා භාණ්ඩ නිධානෝත්සවය පසුගිය අගෝස්තු 19 වන දා පැවති අතර, තෝකියෝ අවට සිටින සැදැහැවත්හු ඊට සහභාගි වූහ.

ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, කොළඹ අග්‍රශ්‍රාවක, දඹදිව සාංචි හා ජපානයේ ලංකාජි විහාරාධිපති බානගල උපතිස්ස නාහිමි සහ ලංකාජි විහාරාධිකාරි හේනෙගෙදර සීලභද්‍ර හිමි පැවිදි දිවියට පිවිස අඩ සියවසක් සපිරෙන්නේ මේ වසරේදීය.

“ඒ සැමරුමත් නිමිති කරගෙන දාගැබේ කොත නිරාවරණය කරන්න හැකි වීම ලොකු ම භාග්‍යයක්,” ජගත් සැදැහැ සිතින් පැවසීය. පසුගිය සති කීපය තිස්සේම දාගැබ වටා චිත්‍රකර්මාන්ත කාර්යයන් නිම කෙරුණේ ප්‍රකට චිත්‍ර ශිල්පී සුනිල් ගාමිණීගේ මෙහෙයවීමෙනි. සවරා විහාරස්ථානයේ බුදු මැඳුරෙහි චිත්‍ර නිර්මාණයන්ද සිදු කළේ සුනිල් විසින්මය.

අද (28) ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොත නිරාවරණය කිරීමේ මහා පින්කමට ජපාන භික්ෂූන් වහන්සේ සහ ජපන් බෞද්ධ ජනතාවද එක් වීම විශේෂයකි.



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »