‘ගම බේරා­දෙන්න’ පර­කාස මුත්තාගේ ගම්මා­න­යෙන් අඳෝනා­වක්

2018-06-04 12:01:00       369
feature-top
ඔවුහු පන්සලේ රාජකාරිය දේවකාරිය මෙන් කළේ බෙර වැයීම පමණක් නොවේ. නමුදු මේ පරම්පරාවල අය දැන් බෙර පදයක් වයන්නටවත් නොදනී. ගොවිතැන අත්හැර දමා ඇති ඔවුහු ගමෙන් පිට ගොස් කුලී වැඩ කරති. ඔවුහු අද දවසේදී යදිති. පුදති. නඩු යති. හූල්ලති. ඒ කෝන් වැවේ ගැමියන්ගේ අද දවසේ ජීවිතයයි. පැරණි කෝන් වැව ගැමි පරිසරය, ගැමියන් කෙබඳුදැයි දැකිය හැක්කේ ‘අකාල සන්ධ්‍යා’ රුපවාහිනි නාට්‍යයෙන් පමණි.

ඇහැටුවැව හන්දියෙන් දකුණට හැරී කෝන් වැව ගම්මානය දෙසට යන්නට වීමූ. කෝන් වැව ගම්මානය අයත් වන්නේ ඇහැටුවැව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයටයි. 123 මහ ඇඹෝගම ග්‍රාම සේවා වසමට අයත් කෝන් වැව ගම්මානය එකල ගොවිතැන් බතින් සරු සරු සාර වු වැව් ගම්මානයකි.ඒ හිමිදිරියේ මීදූමට මුවා වී ඈතින් පෙනෙන්නට වුයේ ගල්කිරියාගම කඳු වැටියයි. මේ කඳුවැටියේ අශෝකමාලා පිළිබඳ පුරාවෘත්තයක් ඇතැයි ද පැවැසේ. සිඳී ගිය ඇහැටු වැව වැව් බැම්ම දිගේ යමින් සිටියෙමු. අප කෝන් වැවට ළඟා වන විට සිහින් පොද වැස්සක් වැටෙමින් තිබිණි.

"මෙහෙට ඒ තරම් වැස්සක් නැහැ වගේ."

"දැන් මඟ දිගටම වැස්සේ..."

"මඟ දිඟටම වැස්සට මෙහෙට වැස්ස නැහැ"

රියැදුරුත්, තුෂාරත් වැස්ස ගැන කතාවක ය. වැස්ස ගැන ගංවතුර ගැන විවිධ කතා මැද්දෙන් අපි කෝන් වැව ගම්මානයට ළඟා වුෙණමු.

ඒ උදෑසන සිහින් සිරි ‍පොද වැස්ස වැටීමෙන් පොළොව තෙත බරිතව තිබිණි. අප පැමිණි ආරංචියට ගැමියෝ එක්කෙනා දෙන්නා පටු මං මාවත් දිගේ අප සිටි දෙසට එමින් සිටියහ.

"කොයිතරම් දෙයක් ද අපිව බලන්න ආව එක. අපිට අපේ ප්‍රශ්නවලට විසඳුම් එපා. මේ ආව ගමනම මැදැයි. හිතේ තියෙන දුක පිට කරගන්න මෙහෙමවත් ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක්."

ගැමියන් අතර සිටි ජිසිට්ටියා මාමා මිදුලේ ඇන තියා ගෙන බුලත් විටක් සපමින් පවසන්නේය. ගැමි මුහුණු වල සිනහවක් ඇත. නමුදු ඒ හැම මුහුණකම සිනහවට යටින් ලියැවුණ මොකක්දෝ දුක් බර කතාවක් ඇති බව හැගෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.

අහස් දියෙන් ගොවිතැන් කරමින් ජීවත් වන කෝන් වැව ගැමියන්ගේ එකම ජීවනෝපාය මාර්ගය වූයේ ගොවිතැනයි. නමුදු දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. ගමේ බොහෝ පිරිමින් කුලී වැඩ සොයාගෙන ගමෙන් පිටව ගොස්ය.

"පුළුවන්නම් කෝන් වැව ගමට දවසක ගිහින් බලන්න." සිළුමිණ පාඨකයෙක් දිනෙක පැවැසුවේය.

පාඨකයා හෝඩුවාව දී බොහෝ කල්ය. දිනෙන් දින ඒ ප්‍රමාද වූ ගමන ගියේ ඊයේ පෙරේදා දවසකය.

කෝන් වැවේ ගැමියෝ පුරාණයේ බෙර ගැසීම කළහ. බොහෝ විට පන්සලේ තේවාව කෙරුණේ ඔවුන් අතිනි.

"අපේ පරම්පරා පටන් ගන්නේ කළුවා බලිතියන්නාත්, සුරඹා බලිතියන්නාත්, සොත්තනා බලිතියන්නාත්, රත්තරනා බලිතියන්නාත් යන අයගෙන්. ඒ අයට තමයි ක්‍රි.ව.1800 ගණන් වලදි සන්නසකින් ඇඹෝගම විහාරයට ආවතේව කරන්න කියලා රාජකාරිය පවරලා තියෙන්නේ. මේ පවුල් හතර පදිංචි වෙලා හිටියේ කෝන් වැ‍ව පරණ ගමේ. ඒ අයගෙන් පැවතගෙන එන අය තමයි අපි. දැන් ඉන්නේ දහවෙනි පරම්පරාව විතර. ඒ කාලේ මේ ගමේ උළු හෙවිල්පු, එහෙමත් නැත්නම් තහඩු දමපු ගෙවල් තිබුණේ නැහැ. ගමේ කවුරුත් බොහෝම සමගියි. ගමේ එක ගෙදර පවුල් දෙක තුන ඉන්නවා. අපේ අම්මලා තාත්තලා සීයලගෙ කාලේ මේ දැන් වාගේ උළු හෙවිල්ලපු ගෙවල් තිබුණේ නැහැ. එක්දහස් නවසිය හැත්තෑ හයෙන් පස්සේ තමා ගඩොලින් ගෙවල් බැදලා උළු හෙවිල්ලා ගන්න ලැබුණේ. ඒ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයා මේ ගම්වලට බලපු නිසා. අපේ ගමේ ඉස්සර විදිහ බලාගන්න පුළුවන් අකාල සන්ධ්‍යා රූපවාහිනී නාට්‍යයෙන්"

ඔහු එසේ පවසා සුසුමක් හෙළන්නටත් අතරැඳි පුවක් ගෙඩිය ගිරයෙන් කපමින් සුගතපාල මාමා තවත් මොන මොනවාදෝ මුමුනයි.

කලක් ඔවුහු හු‍ෙදකලා ව සිටියහ. ඔවුන්ට ගමෙන් පිට ලෝකයක් නොවීය. එමෙන්ම බාහිර සමාජය ද ඔවුන්ට යම් යම් කෙනෙහිලිකම් කළහ.

"අපි වැඩිදුර ඉගෙන ගත්ත අය නෙමෙයි. මයෙ අක්කා ඉස්කෝලේ අටේ පන්තියේ ඉන්න කාලේ ඉංග්‍රීසි බැරි වුණාම ඉස්කොලේ හාමිනේ කියලා බෙර ගහන එවුන්ට මොන ඉංග්‍රිසි ද කියලා. පන්තියේ දි වෙච්ච ලැජ්ජාව නිසා එදායින් පස්සේ අක්කා ඉස්කෝලේ ගියේ නැහැ. මයෙ අක්කා විතරක් නෙමෙයි අපේ කාලේ හුඟක් අය ඉස්කොලේ ගමන අතහැරියේ ඔය ප්‍රශ්නය නිසා. අපේ අපි අපේ කුලේ ගැන හිත කරදර කරගන්නේ නැහැ. අපි මේ මෑතක් වන තුරුම පන්සලේ රාජකාරි කෙරුවා. මේ පළාතට අවුරුදු දෙක තුනකින් වැස්ස නැහැ. ඒ කියන්නේ කන්න පහක් වගා කරලා නැහැ."

සුගතපාල මාමාගේ දෑසේ කඳුළු ය.

"ඇයි ගමට වැවක් නැද්ද?"

"වැවක් තියෙනවා. යමුකෝ අපේ වැව පෙන්වන්න."

ගැමියෝ ඊළඟට අප වැව බලන්නටත් ගමේ පැරණි නිවාස පෙන්වන්නටත් විය.

"මේ ගමට අලින්ගෙන් හිරි හැර තියෙනවා. මං මෙදා කවුපි වැව්වේ. ඒත් හේනේ තිබ්බ කව්පි වලට අලියගෙන් හානියි. පේනවනේ පොල් පැල ටිකට වෙලා තියෙන දේ " ගුණපාල මාමා තම තම වත්තේ බව භෝග වලට සිදුව ඇති හානිය පෙන්වන්නේ කනගාටුවෙනි.

අපි කෝන් වැවට එන අතරමඟදි ද ගමේ එක් පසෙක ද අලි වැට ගසා ඇති අයුරු දුටුවෙමු. අලි වැටකුත් තිබිය දී අලියා ගම් වදින්නේ කෙළෙස ද? ‍

"අපේ අප්පොච්චියේ කොහොමෙයි කියලා කියන්න ද? ගමේ එක පැත්තකට විතරයි අලි වැට ගහලා තියෙන්නේ. "ගමේ ඇවිදින්නට අප හා පැමිණි ජී සිට්ටියා කියයි.

"මේ පැත්තට අලි වැට නැද්ද?'

අපේ ප්‍රශ්නයට කිසිවෙක් හූ මිටි දෙන්නෙවත් නැත. ගමේ ඇතැම් තැනෙක නව නිවාස ඉදි වෙමින් තිබේ. ඇතැම් නිවාස අලුතින් ඉදි කළ ද පැරණි නිවෙස් එලෙසමය. අතීතයේ දි මැට් බිත්ති සහිත ඒ නිවෙස් පොල් අතු සෙවිල්ලා තිබූ ආකාරය අපි මනසින් දකින්නට උත්සාහ කළෙමු.

"මගේ ගෙදර හෙවිල්ලන්න ඒ කාලේ ගියේ පොල් අතු තිහයි. පස්සේ පස්සේ තමයි අලුත් ගෙවල් ඉදිකර ගත්තේ. දරුවෝ අලුත් ගෙවල් ඉදිකරනවා. ඒත් දැන් ඒවා‍යේ වැඩ අවුරුදු දෙකක වගේ ඉදලා නතර වෙලා. සමහරු ලයිට් ගන්න බැලුවා ඒකත් නතර වෙලා. ආන් අර ගේ අයිති පුතා බැංකුවට ණය වෙලා තමයි ගෙවල් හදන්න ගත්තේ. ඒ ළමයා හමුදාවේ හිටියේ. ඒත් ගෙයි වැඩ අතර මඟ නතර වෙලා. වහල ගහ ගන්න බැරි වුණා. වහලේ නැති නිසා ගෙට තියපු උළුවහු දොර ජනෙල් සේරම දිරලා ගිහිල්ලා."

ගමේ මිනිසුන්ගේ දුක තම දුක කරගත් ගුණපාල මාමා ගම්මුන්ගේ තොරතුරු පවසමින් කඳුළු සලන්නේය.

මොවුන් මේතරම් දුක් වන්නේ හූල්ලන්නේ ඇයි. අපට තෝරා බේරා ගන්නට අපහසු වූ එකම දෙය එයයි.

"මේ තියෙන්නේ වැව. වතුර නැහැ. වැව පිරෙන්න හරි හමන් විදිහට වැස්සේ නැහැ. අර පහළ වෙල් යායට වතුර එනවා. ඒත් මේ හරියට වතුර නැහැ. වැව හදන්න රුපියල් ලක්ෂ පහක් පාස්වෙලා තියෙනවා. එත් ඒ වැඩේ කරගන්න බැරි වුණා."

සුගතපාල මාමා කතාව නතර කරයි. යළිත් ගැමියෝ නිහඩය. එකිනෙකා මුහුණින් මුහුණ බලාගත් ගමන්ය.

කුමක්දෝ අසාධාරණයකට ලක්වී සිටින මේ ගැමියෝ තමන්ගේ දුක කියා ගන්නට බැරුව ලතැවේ. අපට ගම පුරා ඇවිද යන ගමනේදි විශ්‍රාමික විදුහල්පති යු. ටී .බී. දිසානායක හමු විය.

"මේවා මේ කැලෑ ගම්. දැන් තමයි ටිකක් හරි දියුණු වෙලා තියෙන්නේ. නමුදු අද ඉන්න බාල පරම්පරාව ඉගෙන ගත්තට පාසල් ගියාට අපේ වයසේ ඉන්න ඈයෝ හරියට අකුරු සාස්තරේ ඉගෙන ගත්ත අය නොවෙයි. කුල ප්‍රශ්නය ඉස්සර නම් දරුණුවට තිබුණා. දැන් එහෙමත් නැහැ. ගමේ මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ පාරම්පරික ඉඩම් වල. මම මේ ගමේ ඉඩම් කැල්ලක් මිලට ගත්තා. ගමේ අක්කර එකසිය හතක භුමි ප්‍රමාණයක් තියෙනවා. පවුල් එකසිය පණහක් ඉන්නවා. මේ පවුල් ඔක්කෝටම තියෙන්නේ මේ ගම විතරයි. නමුත් දැන් ඇඹෝගම විහාරයෙන් අපට නඩුවක් පවරලා තියෙනවා මේ ඉඩම් අයිති පන්සලට කියලා. අපි දැන් අපේ උරුමයට නඩු කියනවා. ගමේ අනූ දෙකකට නඩු පවරලා තියෙනවා. මේ ගමේ ජීවත් වෙන මේ මිනිස්සු දැන් මැරී මැරී ජීවත් වෙන්නේ. ඔය ඉන්න සිංහල විරිදුවාලගේ ගුණපාල කිහිප වතාවක්ම දිවි නහගන්න ගියා. යාන්තම් පහදලා දීලා දැන් ඔය නඩුවට යන්නේ. උසාවියේ නඩු වාරයට යන දවසට කාටවත් රස්සාවට යන්න හැටියක් නැහැ. මේ අපි ඔක්කෝම ලොරි දෙක තුනක නැගලා යනවා. දවසෙන් භාගයක්ම ගමනට ඉවරයි. මිනිස්සුන්ගේ හිතේ අමාරුව වැඩි කමටම නඩුව පටන් ගත්තට පස්සේ වයසක අය තුන් දෙනෙක්ම මියැදුණා. දැන් ඉන්න අනික් අයටත් අසනීප. අපි කියලා මොනවා කරන්න ද? ගමට අලි වැට ගහන එකයි විදුලිය ගන්න එකයි, වැව හදන එකයි, ගෙවල් හදන එකයි හැමදේම නතර වුණේ ඔන්න ඔය නඩුව නිසයි.

විදුහල්පතිවරයා පවසන විට ගැමිෙයක් ඔහු අනුමත කරන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය. මීට පෙර තවත් බොහෝ දුර ඈත ගම්වල ඇවිද ඇත්තෙමු. නමුදු තම උරුමය වෙනුවෙන් මෙරම්ම තැවෙන පිරිසක් කෙදිනකවත් හමු වී නැත.

"අපි අපේ කුලේ ගැන ලැජ්ජා වෙන්නේ නැහැ. එදා අපේ අත්තලා මුත්තලා කරපු කාරිය අපි තවම කරනවා. නමුත් දැන් පන්සලේ කාරිය කරන්න යන්නේ නැහැ. ගමේ මරණයකට පාංශූකුලය දෙන්න හාමුදුරුවෝ වඩින්නේ පිට ගමකින්. අපිට තියෙන්නේ මේ ගම විතරයි අපි කාට කියලා දුක කියන්නද? ජනාධිපතිතුමාට ලිව්වා. අගමැති තුමාට ලිව්වා. මහනායක හාමුදුරුවරුන්ට කිව්වා. සමහරු අපිට සහනයක් ලබා දෙන්නම් කියලා මුදල් ලබා ගත්තා. ඒත් අපිට තාම සහනයක් නැහැ." ගැමි තරුණයකු පවසන්නේ ගමේම දුක් ගැනවිල්ලයි.

නිසි කලට වැසි වැටෙන්නේ නම් මෙය බොහෝ ගොවිතැනින් සරු සාර ගොවි ගම්මානයකි. කලක් ජලය පිරි තිබු ඉහළ වැව සිදී ගොස්ය. ගම්මුන් විටෙක හිස් අහස දෙස බලා හුල්ලන්නාහ. තවත් විටෙක පුරන් කුඹුරු දෙස බලා හුල්ලනාහ. තවත් විටෙක අතු බර වූ අඹ වලු පිරුණ ග් දෙස බලා හුල්ලන්නාහ.

"මේ අඹ විකුණන්න බැරි ඇයි?" අඹ ගස් යට ඇත්තේ වවුලන් හප කර දැමු අඹ කොටය. මිටි අඹ ගස්වල ගෙඩි ඕනෑතරම්ය. ඒ අඹ ගෙඩියක් කොළඹ වෙළෙඳ පොලෙන් මිලට ගන්නට ගියහොත් ගෙඩියක මිල රුපියල් පනහක් හැටක් වනු නියතය.

එන එන කෙනා අඹ ගෙඩියක් රුපියල් එකයි පනහ දෙක ගානේ ඉල්ලන්නේ. එහෙම දිලා ලාභයක් ලබන්න පුළුවන්ද? ඒ අය මෙහෙන් ගෙනහිල්ලා වැඩි ගාණකට විකුණයි. ඊට වඩා හොඳයි කුරුල්ලෝ කාලා යනවා. හැමෝටම වගේ අඹ ගස් තියෙනවා. ඔන්න ඕකයි අපේ තත්ත්වය. අසංක කියන්නේ තම මිදුලේ ඇති අඹගස් දෙස බලමිනි. ගම වටා යන අතරේ පුංචි මැටි ගෙයක් දැක අප එතැන නැවතුනෙමු.

"මේ නාගම්මාගේ ගේ. මේ ගමේ ඉන්න දෙමළ පවුලක්. "

ජී ‍සිට්ටියා ගමනේ යන අතරතුර නොදන්නා ගම්මුන් ගැන අපට පහදා කියයි. නාගම්මාගේ ගෙදර දැන් ඉන්නේ කාතිස්ගේ රාජුය .

"අපි ගමේ අයත් එක්ක බොහෝම සහයෝගයෙන් ඉන්නවා. අද වෙනකොට අපේ නම විතරයි දෙමළ. අපි දෙමළ කතා කරන්න දන්නේ නැහැ. අපි වදින්නේ බුදුන්ට. ගොවිතැන් කරලා තමයි ජීවත් වෙන්නේ."රාජු තම පුංචි නිවෙසේ දොර හරිමින් පවසන්නේය.

කෝන් වැවේ ගැමියන් දැන් කාටත් වඩා විශ්වාස කරන්නේ පරකාස බණ්ඩා මුත්තා ය. ඒ ප්‍රාදේශීය දෙවි කෙනෙකි.

"අපි මොනදේ පටන් ගන්නෙත් පරකාස බණ්ඩාර මුත්තා දෙවියන් සිහිකරලා. කුඹුරු වැඩ පටන් ගන්නේ, වෙන ඕනෑම සුබ වැඩක් පටන් ගන්නේ පරකාස ‍බණ්ඩාර මුත්තා සිහි කරලා පොල් ගෙඩියක් එල්ලලා. ගොයම් කපලා පාගලා අස්වැන් ගෙට ගේන්නේ කමතේදීම කිරි උතුරවලා. සාමාන්‍යයෙන් කිරි උතුරණ එක දවල් දොළහට කළින් කරනවා. අලුත් සහල් මංගල්‍යයි කිරි ඉතිරවීමයි දෙකක් අර එල්ලපු පොල් ගෙඩියයි තවත් පොල් දාලා ලොල් කිරි අලුත් මුට්ටියක දාලා උතුරවනවා. ඒකටම සහල් දාලා කිරිබත් හදනවා .මේ කිරිබත් වලට ලුණු දාන්නේ නැහැ. ඉන් පස්සේ පරකාස මුත්තා වෙනුවෙන් කොටසක් වෙන් කරලා අනිත් අයට කන්න දෙනවා. අපිට දැන් පරකාස බණ්ඩාර මුත්තාව තමයි හුඟක්ම විශ්වාස . යුද්ධකාලේ අපේ ගමේ දරුවෝ හමුදාවේ හිටියා. නමුත් අපේ ගමේ කාටවත් අතුරු ආන්තරාවක් වුනේ නැහැ. ලෙඩරෝග වලින් බේරෙන්න ඕනෑම දුකක් කරදරයකින් බේරෙන්න අප කියන්නේ උන්වහන්සේට තමයි. ඇත්තම කිව්වොත් දැන් අපිට රජයේ නිලධාරින්ට වඩා අපි පරකාස බණ්ඩාර මුත්තා විශ්වාසයි."

එසේ පවසන්නී සිරියලතාය.

සිංහලා විරුදුවලාගේ කිරා අපට හමුවූයේ ඒ මද්දහනේ තවමත් වැට නිම නොවු තම පුතුගේ නිවෙස දෙස අරමුණකින් තොරව බලා හිදින අතරේය. ඵල පිරුණ අඹ ගසින් කොස් ගසින් සෙවණ වූ ගෙමිදුලේ සිට ඔහු ආගිය තොරතුරු කියන්නට විය. ඔහු දැන් හැත්තෑ හය හැවිරිදිය.

"මම අවුරුදු දාහතක් විතර කාලේ කොළඹට ගියා. බේකරියක සුළු රස්සාවක් කළා .නමුත් ටික කාලයක් යන විට මට කොළඹ එපා වුණා පස්සේ මම ගමට ආවා. ඇවිත් ගොවිතැන් කරන්න පටන් ගත්තා. ඒ කාලේ මම වට්ටක්කා ලොරි ගණන් පැටෙව්වේ. අපි බොහෝම සරුවට ජිවත් වුණ අය. ඒ කාලේ වෙලාවට වැස්ස ලැබෙනවා. දැන් හැමදේම වෙනස් වෙලා." කිරා මාමා පවසන්නේ එදා මෙදා ගමේ වෙනසය.

ගම්මුන් කවුරුත් තමන්ගේ දුක කියන්නට එකතු වන්නේ මහ බෝධිය ළඟටය. අතු ඉති විහිදුණු පැරණි බෝගස පිළිබඳ කිසිවක් කියන්ට ඔවුන් දන්නේ නැත. බෝධින් වහන්සේට පුදපුජා කරමින් මෙහෙණින් වහන්සේ නමක් එහි වැඩ වාසය කරන්නීය. ගැමි ගැහැනුන් එහි පැමිණ මල් පහන් පුදා බෝධිය නහවා නිති ආරක්ෂාව පතති. තම හිතේ ඇති දුක්ඛ දෝමනස්සයන් දුරුවේවා, ගම්මුන්ට සාධාරණයක් ඉටුවේවායි කියා නිරන්තරයෙන්ම ප්‍රාර්ථනය කරති.

"දහසක් කොලේ දෙයියෝ දනි කිව්වලු. අපි මේ ගම්වල තනිවෙච්ච මිනිස්සු. අපේ දුක බලන්න කවුරුවත් නැහැ" සිට්ටම්මා හෙමින් පවසන්නීය.

ගම්මු කවුරුත් හෙට දවස ගැන බලාපොරොත්තු සහගතව සිටිති. කොයි මොහොතේ තම උරුමය අහිමි වේදැයි යන බිය ඔවුන් තුළ ඇත්තේය. කන්න පහක් වගා නොකළ ඔවුන් දැන් ඒ ගැන තැවෙන්නේ නැත. ගමින් පිට ගොස් කුලියක් මලියක් කරගෙන දරුවන්ට උගන්නන්නට හිත් හදාගෙන ඉවරය. අලියා ගම් වැද ඵලදාව විනාශ කළ ද, ගෙවල් දොරවල් කඩා දැමුවද ඔවුන් ඒ ගැන ඉස්සර මෙන් හිත කරදර කර ගන්නේ ද නැත. ඉස්සර වතුර පිරී ගිය, නෙළුම් මලින් ඕලු මලින් හැඩ වූ වැව වල් බිහි වූවාට ඒ ගැන හිත වදවන්නේද නැත. ඔවුන් දැන් ඉහළ පහළ ගන්නා හුස්මක් ගානේ ඇත්තේ ගමේ උරුමය අහිමිවේදැයි යන බිය පමණි. උරුමය ලැබුණ දිනෙක තම හිත් සුවපත් වන බව වැඩිහිටියෝ පවසන්නේ විශ්වාසයෙනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »