අසල්වාසියා බඩ ගින්නේ ලෝක ආහාර නිශ්පාදනයෙන් තුනෙන් එකක්‌ කසල ගොඩට

2018-05-04 11:13:00       383
feature-top
සෑම වසරක දීම ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ම කැළි කසළ ලෙස නාස්‌ති කරයි. තවත් විස්‌තරාත්මකව කීවොත් ලෝක එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියයට 45 ක්‌, මත්ස්‍යය නිෂ්පාදනයෙන් සියයට 35 ක්‌, ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 30 ක්‌, කිරි නිෂ්පාදනයෙන් සියයට 20 ක්‌ සහ මස්‌ නිෂ්පාදනයෙන් සියයට 20 ක්‌ මෙසේ වාර්ෂිකව කුණු ගොඩවලට විසි කෙරෙන බව එම වාර්තාවලින් පැහැදිළි වේ. මෙම නාස්‌ති කෙරෙන ප්‍රමාණය වසරකට කුසගින්නෙන් මිය යන මිනිසුන් ප්‍රමාණය වන බිලියන 3 කගේ බඩ කට පුරවන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

ජ(ර්)මනියේ එක්‌තරා නගරයක අවන්හලකට ගොඩ වුණු යහළුවන් දෙදෙනකුට සිද්ද වුණු හරි අපූරු ඇබැද්දියක්‌ මෙසේය.

ඔවුන් දෙදෙනා තමන් විසින් ඇනවුම් කළ කෑම වලින් අඩක්‌ පමණ අනුභව කොට. ආහාර ගැනීම අවසන් කර බිල ගෙවන්නට සූදානම් වනු දුටු අසල මේසයක සිටි කාන්තාවක්‌,

"ඇයි මෙච්චර ගොඩක්‌ කෑම ඉතිරි කළේ?. කන්න පුලුවන් ගානට එපැයි ඇනවුම් කරන්න..?. " යනුවෙන් ඇසුවාය.

"අපි ඒ ඔක්‌කොටම ගෙවනවා. ඔහේ ඔහේගේ වැඩක්‌ බලා ගන්නවා......" අර යාළුවො දෙදෙනා කීහ.

ඉන් අනතුරුව වචනයක්‌වත් නොබිණූ කාන්තාව, තම ජංගම දුරකථනයෙන් කාටදෝ ඇමතුමක්‌ ගත්තාය. ගත වූයේ නිමේෂයකි. එම ස්‌ථානයට පැමිණි නිලධාරීන් දෙදෙනෙකු අර යාළුවන් දෙදෙනාට එරට නීතියට අනුව වරදක්‌ කර ඇති බව පෙන්වා දී, ආහාර නාස්‌ති කළාට මාර්ක්‌ 50 ක දඩයක්‌ ගෙවන ලෙස නියම කරන ලදී. (ලංකාවේ මුදලින් රුපියල් 4,000 ක්‌ පමණ)

ජ(ර්ම)නිය කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු නැත්තටම නැති වී බොහොම අමාරුවෙන් ඔළුව එසවූ සංවර්ධිත රටකි. ආහාර නාස්‌තියට වැට බැඳ තිබෙන්නේ ජර්මනිය පමණක්‌ නොවේ. සිංගප්පූරුව, සවුදි අරාබිය වැනි රටවල් වලත් ආහාර අපතේ දැමීමට එරෙහිව මෙවැනි නීති තිබේ.

ආහාර නාස්‌තියෙ ශෝචනීය විපාක.

ආහාර නාස්‌තිය මේ වන විට ලොවම වෙලා ගත් බරපතළ අර්බුදයක්‌ව ඇත. 1970 න් පසු කාලයේ ලෝක ජනගහනය දෙගුණයකට ආසන්න වන ලෙස වැඩි වී ඇත. සෑම වසරකම එයට එක්‌වන ප්‍රමාණය කෝටි 8 කි. මෙම රාත්‍රියේ අපගේ කෑම මේසයට 219,000 ක්‌ අලුතින් එක්‌වනු ඇත. හෙට රාත්‍රියේද තවත් එවැනිම පිරිසක්‌ එක්‌ වනු ඇත. ලෝක ජනගහන වර්ධන වේගය දෙස බැලු විට පෙනී යන්නේ අනාගතයේ දී වැඩිම ජනගහන වර්ධනයක්‌ සිදු වනු ඇත්තේ දුප්පත් රටවල් වල බවය. ඔවුන් බොහෝ දෙනෙකුට දීමට සිදුව තිබෙන්නේ හිස්‌ පිඟන්ය. දිගින් දිගටම සිදුවන මේ වර්ධනය යම් මොහොතකදී ගොවීන්ගේ නිෂ්පාදන හැකියාව සහ ලෝකයේ භූමි සහ ජල සම්පත්වලට දරාගත නොහැකි මට්‌ටමට ළඟා වනු ඇත. එක්‌සත් ජාතීන්ගේ කෘෂිකර්ම සංවිධානයට අනුව ලෝක ජනගහනයෙන් දැනටමත් සියයට 13 ක්‌ පමණ එනම්, බිලියන 9 දෙනෙකු (මේ බිලියන 9 න් 5 ක්‌ම ළමයින් ය.) තවත් පැහැදිළිව කිවහොත්, ජනගහනයෙන් සෑමහත් දෙනෙකුගෙන් එක්‌ අයෙකුම කුසගින්නෙන් පෙළෙති. ඉදින් අප ලෝක ආහාර අර්බුදය විසඳා ගන්නේ කෙසේ ද.? ඇත්තටම ඊනියා හරිත විප්ලවයේ කස කරුවන් හොරණෑකරුවන් කී ලෙස අප වැඩි වැඩියෙන් ජාන තාක්‌ෂණය, නැනෝ තාක්‌ෂණය මානව වර්ගයාගේ යහපත උදෙසා නොව, තම ලාබ උවමනාවන් උදෙසා කඩේ යවමින් සිටින බහුජාතික සමාගම් වල සරණ යා යුතු වෙමු ද?. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හෙළි කරන පහත දැක්‌වෙන තොරතුරු විමසීමෙන් ලෝකය මීට වඩා තම සහෝදර මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කාරුණික විය යුතුව තිබෙන බව පසක්‌ වෙයි. සෑම වසරක දීම ලෝක ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එක්‌ පංගුවක්‌ම කැළි කසළ ලෙස නාස්‌ති කෙරෙන බවත්, මෙම ප්‍රමාණය සංඛ්‍යාත්මකව මෙට්‌රික්‌ ටොන් බිලියන 1.3 ක්‌ වන බවත් FAO වාර්තා හෙළි කරයි. මුදලින් ගණනය කළොත් ඇමරිකානු ඩොලර් ටි්‍රලියනයක්‌ පමණ වෙයි. තවත් විස්‌තරාත්මකව කීවොත් ලෝක එළවළු හා පලතුරු නිෂ්පාදනයෙන් සියයට 45 ක්‌, මත්ස්‍යය නිෂ්පාදනයෙන් සියයට 35 ක්‌, ධාන්‍ය නිෂ්පාදනයෙන් සියයට 30 ක්‌, කිරි නිෂ්පාදනයෙන් සියයට 20 ක්‌ සහ මස්‌ නිෂ්පාදනයෙන් සියයට 20 ක්‌ මෙසේ වාර්ෂිකව කුණු ගොඩවලට විසි කෙරෙන බව එම වාර්තාවලින් පැහැදිළි වේ. මෙම නාස්‌ති කෙරෙන ප්‍රමාණය වසරකට කුසගින්නෙන් මිය යන මිනිසුන් ප්‍රමාණය වන බිලියන 3 කගේ බඩ කට පුරවන්නට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් ය.

වැඩියෙන් නාස්‌ති කරන්නේ ඇති හැකි ඇත්තන්ය.

ආහාර පරිභෝජනයේදී සිදු කෙරෙන නාස්‌ති කිරීම සැලකූ විට, ලෝකයේ නොම්මර එකේ නාස්‌තිකාරයින් හමු වන්නේ සංවර්ධිත රටවල් වලින්ය. එක්‌ ඇමරිකානුවෙකු වසරක දීනාස්‌ති කරන කෑම ප්‍රමාණය හොන්ඩර 2 ක්‌ පමණ වෙයි. උප සහරානු අප්‍රිකානු රටවල් වල මෙම අගය (එක්‌ පුද්ගලයෙකු) කිලෝ ග්රෑම් 8 ක්‌ පමණ වන අතර, මෙම කිලෝ ගරෑම් 8 පවා නාස්‌ති වන්නේ ආහාර නිෂ්පාදනය කිරීමේ දී සහ ප්‍රවාහණය කිරීමේ දී භාවිත කෙරෙන දුර්වල ක්‍රමවේද නිසා මිස, වැඩියෙන් බෙදා ගෙන කන්නට බැරි වීම නිසා නොවන බව හෙළි වී තිබේ. (("https://www.weforum.org/agenda/2015/08 /which-countries-waste-the-most-food/" https://www.weforum.org/agenda/2015/08/w hich-countries-waste-the-most-food/ ) සංවර්ධිත රටවල් ආහාර නාස්‌ති කරන, එහෙත් ඉහත ආහාර නාස්‌තියට අදාල සංඛ්‍ය ලේඛණවලට නොගැනෙන තවත් ක්‍රම කිහිපයක්‌ම වෙයි. එනම් මිනිසුන්ට කෑමට තිබෙන ආහාර ගොවිපොළ සහ සුරතල් සතුන්ට කෑමට දීමය. තවත් ක්‍රමයක්‌ වන්නේ මධ්‍යසාර සහ බයෝ ඩීසල් නිෂ්පාදනය කිරීමට භාවිත කිරීමය. එක්‌සත් ජනපදය 2009 වසරේදී ලබාගත් ධාන්‍ය ටොන් දශලක්‌ෂ 410 ක අස්‌වැන්නෙන් ටොන් 119 ක්‌ යොදා ගන්නා ලද්දේ මෝටර් රථ සඳහා ජෛව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහාය. එම ප්‍රමාණය කෝටි 35 ක ජනගහණයකට වසරක ආහාර සඳහා ප්‍රමාණවත්ය.

නාය යාම්, ගංවතුර සහ නියගය සඳහා ද බලපාන ආහාර නාස්‌තිය.

බඩගින්නෙන් පෙළෙන මිනිසුන්ගේ ආමාශ කරා යා යුතුව තිබෙන ආහාර අවාසනාවකට කුණු ගොඩවලට යෑවීමේ ඵල විපාක ද සුලු පටු නොවේ. අපේ රටේ පසුගිය ගංවතුර සහ නාය යාමේ තර්ජන වලින් බැට කා සිටින පොදු ජනතාව මත පත බෑ වුණූ කුණු කසල සුනාමියෙන් ඇති වූ මහා පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු වලින් මේ වන විටත් ජනතාව අන්ත අසරණ ලෙස බැට කමින් සිටී. රටේ කොයි කාලෙක ගත්තත් කැළි කසළ ප්‍රශ්න විසඳා දෙන ලෙස කෙරෙන උද්ඝෝෂණ ද දැන් දැන් සරසවි වල කෙරෙන කෙළවරක්‌ නැති උද්ඝෝෂණ ගානට පත්ව තිබෙනු පෙනේ. බිම් මට්‌ටමේ ගත්තත් පෙනෙන්නට තිබෙන්නේ නිවෙස්‌ වල මුලුතැන්ගෙවල් වල, ගෙයි පිටුපස, රාජ්‍ය ආයතන පිටු පස ගොඩ ගසා තිබෙන කැළි කසල ගොඩවල් ය. මේ කුණු ගොඩවලින් වැඩි හරියක්‌ම ආහාර ද්‍රව්‍යයන් වෙයි. රෝග වාහක මැසි මදුරුවන් සහ මීයන් වැනි සතුන් බෝ වීම, කුණු කන වන සතුන් මිය යාම, ගංවතුර තර්ජන වැඩි වීම, මහජන පීඩාව වැනි කැළි කසළ නිසාවෙන් සිදුවන පාරිසරික සහ සෞඛ්‍ය ප්‍රශ්න බොහෝ දෙනෙකු දැන හඳුනා ගෙන සිටිය ද අවිධිමත් ලෙස කැළි කසළ ගෙවතු තුළ සහ කසල බැහැරලන ස්‌ථාන තුළ ගොඩ ගසා ගෙන සිටීමෙන් ජනනයවන විෂ රසායනික ද්‍රව්‍යයන් සහ විෂ වායූ පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවදානය යොමු වී නොමැති වීම කණගාටුදායක තත්ත්වයකි.

අහක දැමෙන ආහාර නිසාවෙන් ජෛව ගෝලයට වාර්ෂිකව එකතු වන කාබන් පාද සටහනේ ප්‍රමාණය ගිගා ටොන් 3.3 ක්‌ පමණ වෙතැයි ගණන් බලා තිබේ. මේ ප්‍රමාණය, වායු ගෝලයට මුදා හැරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයෙන් සියයට 14 ක්‌ පමණ වෙයි. (කාබන් පාද සටහන යනු (Carbon footprint) පෘථිවි උණුසුම ඉහළ නැන්වීමට ඉවහල් වන, ප්‍රධාන ලෙස මීතේන් සහ කාබන් ඩයොක්‌සයිඩ් වායූන් වෙයි. පෘථිවි උණුසුම ඉහළ යාමේ ඇඟට දැනෙන බරපතලළදේශගුණික විපර්යාස ඊයේ පෙරේදාත් අප අත් වින්ඳෙමු.) මෙම අගය දෙවන වන්නේ කාබන් පාද සටහනේ ඉහළින්ම සිටින රටවල්වන එක්‌සත් ජනපදය සහ චීනයට පමණක්‌ වෙයි. ආහාර නාස්‌තිය එතැනින් නවතින්නේ නැත. අහක දැමෙන ආහාර කසළ ලෙස බැහැර කරන්නට මහ පොළොවේ හෙක්‌ටෙයාර බිලියන 1.4 ක්‌ නාස්‌ති වෙයි. මේ ප්‍රමාණය ගෙයක්‌ හදා ගන්න, වගා කරන්නට ඉඩමක්‌ නැති තවත් සහෝදර මිනිසුන් බිලියන ගණනකගේ ඉඩම් අයිතිය උදුරා ගැනීමක්‌ වෙයි. කෑම නාස්‌තියේ තවත් විපාකයක්‌ වන්නේ මෙසේ බැහැර කෙරෙන කුණු කසල නිසාවෙන් සිදුවන පිරිසිදු ජල දූෂණයයි. මෙම ප්‍රමාණය ඝණ වර්ග කිලෝ මීටර 250 ක නිල් ජල පාද සටහනක්‌ (Blue-water footprint) වන බවත්, මෙය, ඇමරිකානුවන් වර්ෂයක දී තම නිවෙස්‌ වලින් බැහැර කරන අප ජල ප්‍රමාණය මෙන් 38 ගුණයක්‌ වන බවත් සොයා ගෙන ඇත.

අපේ රටේ කෑම නාස්‌තියෙ වග තුග කෙසේ ද යත්.?

හැට හැත්තෑව දශකයේ දී ඇමරිකාව විසින් ජාතක කරන ලද ගෝලීය නව ලිබරල් ආර්ථික ක්‍රමය විසින් එතෙක්‌ ලොව බොහෝ රටවල් වල සංස්‌ථාපනය වී තිබුණූ පරමාදර්ශී සමාජ හර පද්ධතීන් බොහොමයක්‌ම වාෂ්ප කෙරිණි. ප්‍රාග්ධනය විසින් ගොඩ ගැසිය යුතු ලාබ කඳු වලට ඉඩ කඩ විවෘත කරනු වස්‌ නාස්‌තිකාර අධිපාරිභොගික සමාජයක්‌ නිර්මාණය කරන ලදී. මෙම නව සමාජය ඇතමුන් විසින් හඳුන්වන ලද්දේ "අහක දමන සමාජය." නමිනි. (Throwaway society) පසුගිය දශක දෙකේ දී මෙරට ජනතාවගේ ජීවන විලාසය ද අහක දමන සමාජ ක්‍රමයට අනුරූපිව මැනවින් පත්තියන් වී ඇත. නාස්‌තිය වළක්‌වන්නට බරපතළ සමාජ රීති, සිරිත් විරිත් සහ ආකල්ප මුල් බැස ගෙන තිබුණු සමාජය, කොටින්ම බත් ඇටයක්‌ විසි කලත් ටොක්‌කක්‌ ඇන්න තාත්තලා අද දකින්නට නැත. හාල් ගරන්නට කලින් හාල් මිටක්‌ අරපරෙස්‌සමට අරන් තිබ්බ, රෑට ඉතිරිවෙච්ච දංකොඩ බත් වලින් දිය බත්, බත් අග්ගලා හදන අම්මලා අද නැත. කොටින්ම මෙසේ ඉතිරි වන බත් වෑන්ජන වලින් බල්ලන්ට බළලුන්ට, කුරුල්ලන්ට කන්න දෙනවා වෙනුවට ඒවා මුට්‌ටි ගණන් වීසි කොට සුරතල් සතුන්ට සකස්‌ කොට තිබෙන කොම්පැනි බලු කෑම, පූස්‌ කෑම වල බදු අඩු කරන්නට තරම් තිරිසන් ප්‍රේමයෙන් මන රංජිත වූ ජාතියක්‌ මේ වන විට ප්‍රාදූර්භූත ව ඇත.

සමීක්‌ෂණ වලින් හෙළි වන්නේ, මෙරට නාගරික කසල වලින් සියයට 80 ක්‌ 90 ක්‌ පමණම ආහාර ද්‍රව්‍යය වන බවය. ඉනුත් වැඩි හරියක්‌ම පිසූ ආහාර වර්ගයයන් ය. අපේ රටේ ජනගහනයෙන් සැළකිය යුතු පිරිසක්‌ දිනකට තුන් වේල නොකන උදවිය වේ. වර්තමානයෙ අපේ රටේ බහුතරයකට තිබෙන්නේ ආහාර සම්බන්ධයෙන් තමන්ට හෝ රටට හිතකර ආකල්ප නොව, ඇරියස්‌ ඇල්ලීම පිළිබඳ කාරණාවකි. ළමා කාලයේ දී අවශ්‍ය තරම් ආහාර ලබා ගැනීමට නොහැකි වීමේ හේතුවෙන් ඒ කාලෙටත් එක්‌ක සල්ලි ටිකක්‌ ගැවසෙන කාලේදී කා දැමීමයි බොහෝ දෙනෙකු කරන්නේ. මෙය ලංකාවේ බොහෝ මධ්‍යම පාන්තිකයින් ට සහ මෑතක දී ධනවත් වූ අයට අතිශයින්ම අදාලය. මේ ඇරියස්‌ කවර් කර ගැනීමේ විපාක මේ අයගේ ශරීර දිහා බැලුවිට වටහා ගන්නට පිළිවන. මේ, අයගේ ශරීර මැදි වයසේ දී හරහට උස යන්න පටන් ගන්නා අතර, බෙල්ල හා ඔළුව එකක්‌ වන්නට පටන් ගනී. ලබ්බට කොටු ගැහුවා ක්‌ සේ විශාල උදරයක්‌ හා කෙට්‌ටු කකුල් දෙකක්‌ පහල වෙයි. කාන්තාවන් නම් උදර පෙදෙසේ ස්‌පෙයා වීල් එකක්‌ දෙකක්‌ ඇත. (අතිරේක ටයර්) මේ ගොල්ලො කන බොන විධිය ටිකක්‌ විතර නිරීක්‌ෂණය කළොත් මේ ඇරියස්‌ කවර් කර ගැනීමෙ නාස්‌තිකාර චර්යාව තේරුම් ගන්න පුළුවන්. මගුල් ගෙවල්වලදී කෑම බෙදා ගන්නා විට මේ ඇත්තෝ පොලිමේ ගිහින් ප්‍රයිඩ් රයිස්‌, නූඩ්ල්ස්‌, සුදු බත්, තිබෙන ඔක්‌කොම වෑංජන, මස්‌ ජාති, මාළු, ඉස්‌සන්, දැල්ලන්, කොත ගසාගෙන, අන අනා සිට අඩකටත් වැඩියෙන් කුණු කූඩයට දමති. ඩෙසට්‌ එකට ද අයිස්‌ ක්‍රීම්, මී කිරි, යෝගට්‌ ද, පුඩින් ද කා, තිබුනොත් චොක්‌ලට්‌ මූෂ් එකකුත් කා, අවසානෙ දී තල ගුළියකුත් කා "ෂා කෑම ටිකනම් මරුවට තිබුනා..." යි කියමින් බඩ අත ගාමින් හෝටල් වලින් එළියට එති. ඒ වගේම මේ උදවියගේ මාසේ බඩු ලයිස්‌තුව නිරීක්‌ෂණය කළොත් වැඩි පුරම තිබෙන්නේ තඩි කෝලා බීම කෑන්, සොසේජස්‌, බ්‍රොයිලර් චිකන්, ක්‌ෂණික නූඩ්ල්ස්‌ පැකට්‌, සුප් කැට, නා නා ප්‍රකාරයේ ටින් කෑම, පැකට්‌ කළ ක්‌ෂණික හා කෘත්‍රිම කෑම ජාතිය. තම දරුවන්ටත් ඔවුන් අරන් දෙන්නේ තම ළමා කාලේ දී කන්නට බැරි වුණු හොට්‌ ඩොග්ස්‌, ප්‍රයිඩ් රයිස්‌, පීසා, සබ්මරීන්, පේස්‌ටි්‍ර. චොක්‌ලට්‌, කෝලා වගේ කෘත්‍රිම කෑම බීමය. ඔවුන් ආදරය කියා කියන්නේ ළමයින් ට අධික ලෙස කෑම බීම අරන් දීමය. ඇඳුම් පැලඳුම් විශාල ප්‍රමාණයක්‌ අරන් දීම හා ඉල්ලන ඉල්ලන සෙල්ලම් බඩු අරන් දීම ය. මේවායින් බොහෝ ප්‍රමාණයක්‌ යන්නේ කුණු ගොඩන් වලට ය.

මිනිසුන් ලෙස අප මෙයට වඩා අපගේ නිල් ග්‍රහලෝකය සමගත්, මණුෂ්‍ය වර්ගයා සමගත් ආදරණීය විය යුතු නොවෙමු ද? මේ ලෝකයේ බොහෝ දේවල් අපට වෙනස්‌ කළ හැකිය. නීති රීති වලින් සියල්ල සිදු වෙතැයි බලා නොසිට නාස්‌තිය පිටු දැකීම සඳහා අප කාගේ කාගෙත් උර මත පැටවුණු වගකීමක්‌ ඇත. වෙළෙඳපොළට යන විට අවබෝධාත්මක පාරිභෝගිකයෙකු ලෙස හිතන්න පුරුදු වන්න. තම ශරීර සෞඛ්‍යට හිතකර ප්‍රමාණයට සහ ගුණාත්මයෙන් යුතු ආහාර මිල දී ගැනීමට සහ අනුභවයට පුරුදු වන්න. ඔබේ ආමාශයට වඩා ඇස බඩගිනිකාරයෙකු වග නිතරම මතක තබා ගන්න. ඔබේ ආහාර අරපිරිමැස්‌සෙන් යුතුව භාවිත කරන්නට පුරුදු වන්න. එය ඔබේ සාක්‌කුවටත්, පරිසරයටත් හිතකර වනු නොඅනුමානය. කන්නට බැරිනම් අපරාදෙ, වීසි කරන්න එපා. කාට හරි දෙන්න. ලුෂන් බුලත් සිංහලයන් ගුණදාස කපුගේ ශූරීන්ගේ මුවින් පැවසූ ලෙස වීසි කරන සමාජ ක්‍රමය විසින් දෑස්‌ වලින් හංස ගීතිකා ගයන, දෑත් පා ඉඳුල් යදින්නන් වැඩි වැඩියෙන් බිහි කරමින් සිටින බව මතක තබා ගන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »