මුදල් කරන්නෝ

2018-04-23 01:07:00       604
feature-top
ඔවුන් ජීවත්වන්නේ මියැදුණු සතුන්ගේ ඇ‍ටකටු එකතු කරමිනි. කුණු වී ඔජස් ගලන සත්ව මළ සිරුරු සමඟ ගැටෙමින් එදිනෙදා වේල සොයා ගන්නා මේ පිරිස ජීවත්වන්නේ අප අසල්වාසී ඉන්දියාවේ ය.

මියැදී කුණුවන සතුන්ගේ ඕජස් ගලන සිරුරුවල ඇටකටු සමඟ ඔට්ටුවෙමින් ජීවිතය සොයන මිනිස්සු කොට්ඨාසයක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ජීවත් වෙති. ඔවුන්ගේ වත්මන් සාමාජිකයන් පමණක් නොව ඊට එහා පරම්පරා ගණනක් ම කර තිබෙන්නේ ද මැරුණු සතුන්ගේ ඇඟේ හැපෙමින් ජීවත්වීම ය. මේ සියවසට තබා අන් කවර කලෙකටවත් නො ගැළපෙන මේ අසාමාන්‍ය රැකියාවේ නිරත වන්නේ දලිත් කුල උදවියයි. භාරතීය කුලවතුන්ට අනුව දලිත් යනු අන්තිම පහළ කුලයකි. දලිත්වරුන්ගේ ඇඟේ වැදී එන හුළං පොදක් මුහුවන ඉසව්වකවත් කුලවත්හු නො සිටිති. සමාජයෙන් එහෙව් පහළට ඇද වැටුණු දලිත්වරුන් මිලියන 200ක් පමණ ඉන්දියාවේ වෙසෙන බව සඳහන් වේ. කරන්නට වෙන රැකියාවක් නැතිකමට උත්තර් ප්‍රදේශ් හි සත්ව මළකුණුවල ඇටකටු සමඟ හරි හරියට හැපෙන්නේ ද ඒ දලිත්වරුන්ගෙන් ම කොටසකි.

පනස් පස් හැවිරිදි බ්‍රිජ්වාසි ලාල්, දන්නා කියන දා පටන් කරන්නේ සතුන්ගේ මළ කුණු අතගෑම ය. ඔහු වැඩිපුර ම එකතු කරන්නේ හරකුන්ගේ ඇටකටු ය. එනිසා ඔහුට නිතර ම ගව ඝාතකාගාරවලට කිට්ටුව කරක් ගසන්නට සිදු වේ. අසල්වැසියන් බොහෝවිට දකින්නේ ද හරක් ඇටකටු ගොඩක් කරගසාගෙන ගම් වදින ලාල් ව ය. ඒ නිසා ගම්මුන් සිතාගෙන සිටින්නේ ලාල් ගව ඝාතකාගාරයක වැඩ කරන්නේයැයි කියා ය. ගමේ හරකා බාන නැතිවන විට උන්ව මස් කඩ මුදලාලිට දැක්කුවේ ය යන නරක නාමය ලාල් මත ඉබේ ම පැටවෙන්නේ එහි ප්‍රතිඵලයක් හැටියටයි. නරක නාමය මදිවාට ගුටි බැටවලටත්, තර්ජනවලටත් මුහුණ දෙන්නට ඔහුට සිදුවුණු අවස්ථා එමට ය. ඒ කොහොම වුණත්, ගම්මුන්ගේ නොරුස්සනා - පිළිකුල් සහගත රැවුම් - බැලුම් මැද එකතු කරගන්නා හරක් ඇටකටු විකුණා ලාල් සොච්චම් මුදලක් අත මිට මොළවා ගනී. ඒ මුදල අස්ථි කිලෝග්රෑ ම් එකකට ඉන්දියන් රුපියල් 3ක් 4ක් නැත්නම් 5ක් තරමේ ඇබින්දකි. වෙනත් විදිහකට කිවහොත් ඩොලර් ශත 3ත් 4ත් අතර මුදලකි. ලාල් ම කියන විදිහට ඔහු කරන්නේ “ඔනරබල් ගණයේ ජොබ්” එකක් නොව යාන්තමට පස් දෙනකුගේ බඩ කට පුරවා ගන්නට සෑහෙන ගතමනාවක් සොයාගැනිල්ලකි.

“... අපිට දැන් හුඟක් පරෙස්සම් වෙන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ වැඩ පටන් ගන්නේ බිම් කරුවල වැටීගෙන එනකොටම වාගේ. උදේ දහය වෙන්න කලින් අපි වැඩ නවත්වනවා. ...” යැයි හෙතෙම පවසයි.

සත්ව ඇටකටු සොයන රාජකාරිය එවැනි වෙලාවකට සීමා කරන්නට සිදුව තිබෙන්නේ ඉන්දියාවේ ඇතැම් තැනෙකට බලපාන නීති රීති නිසයි. එනම් ගව ඝාතනයට එරෙහිව නීතිය බලාත්මක කර තිබෙන නිසයි. ඒ අනුව ගව ඝාතනය ඉන්දියාවේ ප්‍රාන්ත 18ක් තුළ තහනම් කර තිබේ. උත්තර් ප්‍රදේශ් ද ඉන් එකකි. එසේ වුවත් හරකුන් මැරීම සහ හරක් මස් වෙළඳාම එකී ප්‍රාන්තවල රහසේ සිදු වේ. එය උත්තර් ප්‍රදේශ් සම්බන්ධයෙන් ද අදාළ කාරණයකි. ගවයන් ආරක්ෂා කිරීමට ඇප කැප වී ක්‍රියාකරන කණ්ඩායම් ගව ඝාතකයන්ට එරෙහිව අවි අතට ගෙන තිබීම නිසා භයානක තත්ත්වයක් මතු ව තිබේ. ගව ඝාතනවලට සැක යැයි කියන මුස්ලිම්වරුන් කිහිප දෙනකු පසුගිය කාලයේදී ඝාතනය කෙරිණ. ඉන්දියාවේ බහුතර හින්දූන් ගවයන් වන්දනීය තත්ත්වයෙහිලා සැලකුවත් මුස්ලිම්, ක්‍රිස්තියානි සහ දලිත් යන ජන කොටස් ගව මාංශ අනුභව කරති. ගව ඝාතනය තහනම් කෙරුණු උත්තර් ප්‍රදේශ්හි හරක් ඇටකටු එකතු කරන දලිත්වරුන්ගේ ජීවිත අන්තරාකාරී මට්ටමකට වැටී ඇත්තේ මේ පසුබිම තුළයි.

නීතියෙන් සහ සම්ප්‍රදායෙන් කුමක් සමාජගත වුව ද කුණු වී ඕජස් වැගිරෙන සතකුගේ මස්වලින් ඇටකටු වෙන් කිරීමේ රැකියාව අතිශය දුෂ්කර ය.

“... කුණුවෙන මස් කොච්චර ගඳද කියලා ඔබට හිතා ගන්නවත් බැහැ. සමහර මිනිස්සු හිතන්නේ අපට ඒ ගඳ හුරුයි කියලා. නමුත් අපි එහෙම හුරුවෙලා නැහැ. අපි මේ රස්සාව කරන්නේ අපට වෙන තෝරා ගන්න රැකියාවක් නැති නිසා. ...” යැයි පවසන්නේ සුග්‍රීව් නමැති දලිත් තරුණයෙකි.

ඔහු පවසන අන්දමට ඇතැම් දලිත්වරු සත්ව මෘත දේහ සොයාගෙන දිනකට සැතපුම් විසි හත පවා ඇවිදිති. සමහර කුලවත් මිනිසුන් තමන්ගේ නිවෙස් අද්දර සතුන් මියගිය විට ඒවා ඉවත් කරන්නට කැඳවන්නේ ද මේ දලිත්වරුන් ම ය. ඒ කාරණය සැලකිල්ලට ගත්විට ඔවුහු ද සමාජයට කිසියම් මෙහෙවරක් කරන්නෝ ය. එහෙත් ඔවුන්ට එවැනි අවස්ථාවකදී කුලවතුන්ගෙන් වතුර වීදුරුවක් තරමේ දෙයක් ලැබෙන්නේ නැත.

“... ඉඩමකින්, වත්තකින් නැත්නම් කුඹුරකින් සත්ව මළ කුණක් ඉවත් කරනවා කියන්නේ සමාජයට සේවය සැලසීමක්. ඒ වුණත් අපට කවුරුවත් ගරු කරන්නේ නැහැ. ...” යැයි සුග්‍රීව් පවසයි.

මීළඟ පරම්පරාවට මේ දුක උරුම කරන්නට සුග්‍රීව්ට වුවමනාවක් නැත. ඒත් දරුවන්ට නිසි අධ්‍යාපනයක් දී ඔවුන්ව ඉන් මුදාගන්නට ඔහුට මඟක් ද නැත.

“... මේක හරිම අමාරු වැඩක්. මගේ දරුවෝ අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. වරක් ඔවුන් ඇටකටු එකතු කිරීමට ආවොත් කිසිවෙක් ඔවුන්ට වෙන රැකියාවක් දෙන්නේ නැහැ. මට ඕන ඔවුන්ට වෙනත් රැකියාවක් සොයා දෙන්න. ...”

බයිසාකු ජීවිතයේ හැමදාමත් හීන මැව්වේ වෙනත් කුමක් හෝ රැකියාවක නිරතව වන්නට ය. ඒත් හීනය සැබෑ කරගැනීම හැමදා ම ඔහුගෙන් මඟ හැරිණ.

“... අපි සත්තු මරන්නේ නැහැ. අපි කරන්නේ මැරුණු සතුන්ගේ අස්ථි එකතු කරගන්න එක විතරයි. ඒත් සමහර අය ඒක පිළිගන්නේ නැතිව අපට ගරහනවා. අපට චෝදනා නඟනවා. රෝගී තත්ත්වයට පත් වෙච්ච් හරක් මම ඕන තරම් දැකලා තියෙනවා. තුවාල වුණු හරක් මට හමුවෙලා තිබෙනවා. මිනිස්සු ඒ වගේ සත්තු ගැන සැලකිල්ලක් දක්වනවා නම් හොඳයි, අපට බාධා කරන්නේ නැතිව. ...” යැයි බයිසාකු පවසයි.

සත්ව මළකුණු සොයා බයිසාකු සැතපුම් ගණන් දුර ඇවිදින මිනිසෙකි. සමහර දවසට ඔහුට සත්ව මළ කුණක් හමුවන්නේ පැය ගණනාවක් ඇවිද වෙහෙසට පත් වූ පසුවයි. මළ කුණෙන් ගලවා ගන්නා අස්ථි රැගෙන එන්නට බැරි තරමට බර නම් ඔහු ඒවා කරට ගන්නේ කිසිදු හිරිකිතකින් තොර ව ය. බර කර පින්නාගෙන එන ඇතැම් දිනෙක ඔහු කිසිවක ගැටී වැටී තුවාල ලබයි. එහෙත් බේතක් හේතක් ගන්නට ඔහුට මිල මුදලක් නැත.

“... එක දවසක් මම ඇටකටු කිලෝ 50ක් ගෙනත් විකිණුවා. නමුත් ඊළඟ දිනයේ මට හම්බ වුණේ කිලෝ පහක් පමණයි. කිසිවක් සොයා ගන්න බැරිවුණු දවසුත් ඕන තරම් තියෙනවා.” යැයි ඔහු පැවසුවේ තම සොච්චම් ආදායමේ උච්චාවචනය පැහැදිලි කරමිනි.

අතොරක් නැතිව එල්ලවන කරදර නිසා ම චෝටු සත්ව ඇටකටු මගින් යැපීම නවතා කම්කරු රැකියාවක් සොයා ගත්තේ බොහෝ අමාරුවෙනි. ඒ වුණත් පරණ පුරුදු රස්සාව මුළුමනින් ම අත්හරින්නට චෝටුට හිතක් නැත. වැඩිපුර මුදලක් අතගැවසෙනු දකිනු රිසියෙන් අවසර ලත් තැන ඔහුත් සත්ව මළකුණු අතපත ගා ඇටකටු සොයයි.

ජීවත්වීම මේ තරමටම කර්කෂකදැ යි කියා කෙනකුට විටෙක සිතෙන්නට පුළුවන. පාට පාට සරුව පිත්තල ලෝකයට යටින් තිබෙන්නේ මේ සා කටුක සහ දුෂ්කර යථාර්ථයක් බැව් පවසනු හැර කුමක් කියන්නද?


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »