හෙටක් ඉල්ලන අදක් නැති මිනිස්සු

2018-04-09 10:48:00       231
feature-top
කියමනට කියන්නේ ඔවුන්ට එක් තැනක සුමානයකට වඩා සිටිය නොහැකි බව ය. ඒ ඒ කාලයේ ය. එහෙත් දැන් කාලය වෙනස් ය. සිතුම් පැතුම් වෙනස් ය. මේ සංචාරක දිවියක් ගතකරමින් රටපුරා ඇවිද යන අහිගුණ්ඨීක ජනතා‍වගේ ජීවිතයට කරන එබී බැලීමකි.

දිනය මතක නැත. නමුදු අනුරාධපුර වන්දනාවේ ගියේ මීට සති කිහිපයකට පෙර ය. රුවන්මැලි සෑය වැදීමට යාමට එමඟට පිවිසියා පමණි. වෛවර්ණ සාරි හැඳ, මොට්ටු තියාගත්, ඔලගු කර එල්ලාගත්, ගැහැනුන් දෙතුන් දෙනෙකු ම අප වට කර ගත්හ.

"ශාස්ත්‍ර කීනවා... අත බලා ශාස්ත්‍ර කීනවා..." ඔවුහු තොරතෝංචියක් නැතිව කියවති.

"මේ අහල පහල ඉදලා එන අහිගුණ්ඨික ගැහැනුනේ... "

අසල සිටි කෙනකු කියන්නට වූයේ ය.

අනුරාධපුර පූජා නගරයේ මෙන් ම, දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ඇවිද යමින් ජීවිතය සරිකර ගන්නා අහිගුණ්ඨික ජනතාවගේ අද දවස ඔවුන්ගේ ඊයේ දවසට වඩා බෙහෙවින් වෙනස් ය. ජීවිතයේ විවිධ හැල හැප්පිම්වලට ලක් ව සිටින මේ ජනතාවට අද අපේ සමාජයේ ඇත්තේ අඩු තක්සේරුවකි. අඩු සැලකිල්ලකි. නමුදු ලෝකයේ මෙවැනි ජන කොටස්වලට ඇත්තේ ‍යහපත් ඇගයීමකි. අපේ රටේ දී අඩු සැලකිල්ලක් දක්වන අහිගුණ්ඨික ජනතාවට ලෝකයේ වෙනත් රටවල හොඳ ඇගයිමක් ඇත්තේ ය. මොවුන් ලෝකය හඳුන්වන්නේ Romani pepole යන නමිනි. ලෝකයේ රටවල් තිහක පමණ රොමානි ජනතාව වාසය කරන්නේ ය. යුරෝපය , ආසියාව මෙන් ම අප්‍රිකානු රටවල රොමානි ජනතාව තැන තැන යමින් උප සංස්කෘතිකයකට උරුම කම් කියමින් ජීවත් වෙති. එමෙන් ම ලෝකයේ විවිධ රටවල වෙසෙන රොමානි ජනතාව හෙවත් අහිගුණ්ඨික ජනතාව වෙනුවෙන් දිනයක් ද වෙන්කර තිබේ. ඒ දිනය යෙදි ඇත්තේ අද(අප්‍රේල් 8) දිනයටයි. මෙහි ඛේදවාචකය නම් අපේ රටේ අහිගුණ්ඨික ජනතාව සම්බන්ධයෙන් මේ කිසිම දෙයක් වලංගු නොවීම ය. දෙදහස් දාසය වසරේදි ඉන්දියාවේදී ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනය සැමරුව ද ඒ වෙනුවෙන් අපේ රටේ අහිගුණ්ඨික ජනතාවගේ නියෝජනයක් නොවීම කනගාටුදායක කරුණකි. අඩුම තරමේ මෙවැනි දිනයක් තිබෙන බව හෝ අපේ රටේ අහිගුණ්ඨික ජනතාව දන්නේ ද නැත.

අහිගුණ්ඨික යන නම අපට මුලින් ම හමුවන්නේ ජාතක කතා පොතෙනි. පන්සිය පනස් ජාතක පොතේ තුන්සිය පනස් හතරවැනි ජාතක කතාව වන්නේ අහිගුණ්ඨික ජාතකයයි. මේ ජාතකයෙ එන අහිගුණ්ඨිකයා බ්‍රාහ්මන වංශිකයෙකි. 'අහි' යනු සතා ය . 'ගුණ්ඨිකයා' යනු අල්ලන්නා ය. සතුන් අල්ලන්නා 'අහිගුණ්ඨිකයා'ය. ලෝකයේ වෙසෙන අනෙකුත් අහිගුණ්ඨිකයන් ද සතුන් අල්ලමින් උන් ප්‍රදර්ශනය කරමින් ජීවිකාව ගෙන යන්නේ ය. නමුදු අපේ රටේ ජීවත් වන අහිගුණ්ඨික ජනයාට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවී ඇති බව ඔවුන් පවසන්නේ කනගාටුවෙනි.

කුඩාගම, අන්දරබැද්ද, මඩකලපුව - අලිගම්බේ, මිහින්තලේ, වව්නියාව, කලා වැව, යන ප්‍රදේශ හතේ අපේ රටේ අහිගුණ්ඨික ජනතාව වාසය කරති. ඉකුත් දිනෙක අපි ඔවුන් සොයා ගල්ගමුව තඹුත්තේගම ආදි ප්‍රදේශවල සංචාරය කළෙමු. ගල්ගමුව, කුඩාගම, අන්දරබැද්ද ආදි අහිගුණ්ඨික ගම්මාන සොයා ඇවිද ගියෙමු. අහිගුණ්ඨික යැයි කියූ පමණින් අපට සිහියට නැගෙන්නේ කූඩාරම් ලා ගත් සාරි හැට්ට හැඳගත් පිළිවෙළක් නැති අරුමෝසම් කළ ගැහැනුන්, රැවුල වවාගත් බීමත් පිරිමින්, නාවර පෙරාගත් දරු පැටවුන් ය.

ගල්ගමුවෙන් හැරී කුඩාගමට යද්දි අප කිහිප පොළකම නතරවී ඔවුන්ගේ ගෙවල් කොහිදැයි විමසුවෙමු. අවසානයේ අපි ඔවුන් සිටිනා ඉසව්වට ගියෙමු. පරිසරය වෙනස් ය. දැන් එහි සිටින්නෝ උළු සෙවිලි කළ අලංකාර නිවෙස්වල වාසය කරන්නාහ.

"ආරච්චිල නැහැ. ගමෙන් පිට ගිහිල්ලා. බලමු බන්දුල අයියා ඉන්නවද කියලා." තරුණයකු අපට මඟ පෙන්වන්නට වුයේ ය.

බන්දුලගේ නිවෙසට යන අතරතුරදී අපට දාසම්මාගේ වජයන්ති හමුවුවා ය. ඒ උදෑසන ඇය සිය පුතු නගරයේ පන්තියකට රැගෙන යමින් සිටියා ය.

"මම අවුරුද හයක් තිස්සේ නගරයේ පාසලේ රැකියාව කරනවා. දවල්ට පාසල මුර කරන්නේ මම .ඒ වගේම පාසලේ වෙනත් වැඩත් කරනවා. මගේ පුතා මෙවර ශිෂයත්වයෙන් ලකුණු 161 අරන් සමත් වුණා. මගෙ මහත්තයා පොත් විකුණන එක කරන්නේ. ඉස්සර නම් එයා නයි රිලව් නැටෙව්වා. අපිට ඕන අපේ දරුවන්ට හොඳ අනාගතයක් හදන්න. මට තවමත් මගෙ රස්සාව ස්ථිර කරගන්න බැරි වුණා."

වජයන්ති පවසන්නේ කනගාටුවෙනි.

මේ වන විට කුඩාගම අහිගුණ්ඨික පවුල් හයසිය පණහක් පමණ සිටී. ඔවුන්ගේ භාෂාව තෙළිඟු වු නමුදු අද ඔවුන් භාවිත කරන්නේ සිංහල භාෂාව ය. බොහෝ දෙනකු දැන් සාම්ප්‍රදායික රස්සාවල නිරත වන්නේ ද නැත.

"අපේ ගමේ සමහර අය හමුදාවේ සේවය කරනවා. මම නම් රස්සාව හැටියට කරන්නේ ගඩොල් කපන එක. සමහර වෙලාවට අපේ දරුවන්ට රැකියා අවස්ථා දීමට මේ ගම්වලට යම් යම් රාජ්‍ය ආයතනවලින් එනවා. ඒත් මේ ගමේ දරුවෝ තුළ අධ්‍යාපන සුදුසුකම් නැහැ. දැන් පොඩි දරුවන්ට වුණත් තෙළිඟු භාෂාව බැහැ. දැන් අපේ වර්ගයේ අය පිට රට ගිහිල්ලා ඉන්නේ. සමහරු උප්පැන්නෙ නම වෙනස් කරගෙන. තව සමහරු සිංහල පවුල් වලින් විවාහ කරගෙන ඉන්නේ." නම කීමට මෙන් ම ඡායා රූපවලට ද පෙනී සිටීමට අකමැති වූ අයකු අද ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ පැවැසුවේ ය.

අන්දරබැද්ද ගම්මානයේ ආරච්චිල වන්නේ රෙංගසාමිගේ මසන්නා ය.

අන්දරබැද්ද ගම්මානයට යන අතරතුරදී පාඩිපංචාව ගම හමුවේ. එහි ද අහිගුණ්ඨික ජනතාව වාසය කරති.

"අපි ඒකාලේ නයෙක් අල්ලගෙන නැටෙව්වා. එහෙම නැත්නම් රිළවෙක් අල්ලගෙන නැටෙව්වා. නයෙක් අල්ල ගත්තොත් උගේ විෂ දළ කඩනවා. නයාගේ දළ තියෙන්නේ කොපුවක් ඇතුලේ. ඒ නිසා දළ කැඩුවා කියලා හානියක් වෙන්නේ නැහැ සතාට. දළ නැවත නැවත හැදෙනවා. නයි නටන්නේ නැහැ. නයා නටන්නේ නලා සද්දයට නෙමෙයි. නලාව චලනය වෙන විදිහට. වැඩිපුරම පෙට්ටිය ඇත්ලේ ඉන්න නිසා නයින්ගේ ආයු කාලය අඩුයි. රිළවෙක් අල්ල ගන්නේ පුංචිම කාලේ. ඌට මාස තුනක් විතර සෙල්ලම පුරුදු කරනවා. සමහර එවුන් නම් ඉක්මනට පුරුදු වෙනවා. එත් සමහර එවුන් ලේසියෙන් කියන දේ අහන්නේ නැහැ. අපටත් තරහා යනවා. උන් පුරුදු වෙන කාලේ හොඳට ගුටි කනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි ආරච්චිලට ගමේ තැනක් නැහැ. මොනවා හරි ප්‍රශ්නයක් වුණාම යන්නේ පොලිසියට. ඉස්සර විවාහය කරගත්තේ ආරච්චිලට කියලා. මඟුල දවස් හතක් තියෙනවා. මඟුල් උත්සවයට මුල් දවස් හයේ මස් මාළු ගන්නේ නැහැ. ගැහැනු පිරිමි බේදයක් නැතිව බොන්න දෙනවා. නමුත් දැන් මේ හැම දේම වෙනස්වෙලා. මට මතකයි එක්දහස් නවසිය හැට හතර වසරේ දවසක හොරකමක් කරපු කෙනෙකුට දඩුවම් කළා, තෙල් තාච්චියේ අත දාලා දිව්රන්න කියලා. ඒ කාලේ අපේ මිනිස්සු හරක් මස් කෑවේ නැහැ. බොරු කිව්වේ නැහැ. දෙවි දේවතා ගොල්ලෝ ඇදහූවා. දැන් හැම දේම වෙනස් වෙලා.

අන්දරබැද්දේ ආරච්චිල මසන්නා පවසන්නේ කනගාටුවෙනි.

අහිගුණ්ඨික ගමින් ගමට වෙන වෙනම ආරච්චිලා සිටිය ද ඔවුන්ගේ ගම් හතේම නායකයා සිටින්නේ කලාවැව ය . ඔහු කලාවැව මසන්නා ය.

නායකයන් සිටිය ද තවමත් මොවුන්ට තමන්ගේ අනන්‍යතාව රදා පවත්වා ගැනීමට නො හැකි වී ඇත. එනිසා ම ඔවුන්ට අද සමාජයේද තැනක් හිමි වී නැත. ඔවුහු විවිධ පීඩාවන්ට පත් ව සිටිති. නයා, රිළවා , පොළඟා, පිඹුරා ළඟ තබා ගැනීමට වනජීවියෙන් ලයිසන් ලබා ගතයුතු ය. එමෙන් ම මඟ තොටදී ඔවුන් අන් අයට හිරිහැරයක් ලෙස හැසිරෙන්නේ නම් මේ අය නීතියේ ඉදිරියට පැමිණවීමේ අයිතිය පොලිසියට ඇත.

"පහුගිය දවසක අපේ කාන්තාවෝ පස්දෙනෙක්ව පොලිසියෙන් අල්ලා උසාවි ඉදිරිපත් කළා. අපට ඒ අයව බේරා ගන්න රුපියල් දොළොස්දාහක් දඩ ගෙවන්න සිදු වුණා. කවුද අපේ අයිතිය වෙනුවෙන් කතා කරන්නේ."

අහිගුණ්ඨික තරුණයා ප්‍රශ්න කරන්නේ අපෙනි.

මේ අතර පුත්තලම ප්‍රදේශයේ ද අහිගුණ්ඨික ජනතාව වාසය කරන්නේ ය. නමුදු ඔවුන් අප සොයා ගිය පිරිසට වඩා හාත්පසින් ම වෙනස් බව කැපි පෙනේ. තොරතුරු සොයා ගිය ගමනේදී ඇතැමෙකු පැවසුවේ පුත්තලම පැත්තේ සිටින අය යම් යම් සොරකම් කර පොලිසියට හසු වූ විට තමන් අහවල් අහවල් ගමේ යැයි කියා කියන බව ය. මේ නිසා අද වන විට ඔවුන්ට බොහෝ හිරිහැර වලට ලක්වීමට සිදු වූ ඇති බව ඔවුගේ අදහස ය.

කොහොම වුවත් ඔවුහු ජීවිතය ගොඩගැනීමට අපමණ වෙහෙසෙති. එනිසාම තම කණ්ඩායමේ පවුල් කිහිපයක් සමඟ ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල බුළුගහගොඩ දුම්රිය පොළ අසල කුඩාරම්ලා සිටින අහිගුණ්ඨික ඇත්තන් ද අපට ගමන නිමාවේදී හමු විය. වේලාව රාත්‍රි අට පසුවි ය. කොහේදෝ දුර යන දුම්රියක් වේගයෙන් දිව යයි. පාරේ වාහන හඬ නිමක් නැත. නමුදු ඔවුහු ඒ පරිසරයේ සැනසිල්ලේ හිදිති. උයති, නිදති, දරුවෝ සෙල්ලම් කරති. දිවා කාලයේ රිළවෙක්, නයෙක් නටවා පිරිමි කීයක් හෝ හොයා ගනී.

"නයා, රිළවා නැටවීමට රුපියල් එක්දහස් පන්සියක් විතර ගන්නවා. එහෙම නැත්නම් ඉතින් ප්‍රසිද්ධ තැන්වල නැටෙව්වාම කීයක් හරි එකතු කර ගන්නවා. ගෑනු අය ශාස්ත්‍ර කියන්න යනවා. අනෙක් පිරිමි පොත් විකුණන්න යනවා. අපි මෙතැනට ඇවිල්ලා දැන් සති තුනක් විතර වෙනවා. දහවෙනිදට ආයෙම කුඩා ගම යනවා. මේ ගම්වල මිනිස්සු අප හඳුනනවා. ඒ නිසා අපිට කාගෙන්වත් කරදරයක් නැහැ. අපේ ගම් හතේම ආරච්චිල තමයි කලා වැවේ මසන්නා. අපි කතා කරන්නේ තෙළිගු . නමුත් අපේ දරුවන්ට ඒ භාෂාවෙන් වැඩක් නැහැ. ඒනිසා මේ දරුවෝ දැන් කතා කරන්නේ සිංහල. ඉගෙන ගන්නේ සිංහල ඉස්කො­්ලවල. කුඩාගමට යම් ආයතනයකින් අපිට සංස්කෘතික මධ්‍යස්ථානයක් හදලා දුන්නා. නමුත් එයත් නැහැ දැන් හොරු කඩලා. අපිත් කැමතියි අපට සමාජයේ පිළිගැනීමක් ලැබෙනවාට.

කුඩාගමේ ආරච්චිල පොඩි මහත්තයා පවසන්නේ ය.

රාත්‍රී අඳුරට ඔවුන් හුරු ය. පුංචි කුඩාරමේ කිහිප දෙනකු නිදති. ඇතැම් කුඩාරමකින් නැ‍ඟෙන්නේ ජංගම දුරකතන එළියකි. ඔවුහු දිවා කාලයේ අසල කඩයකට දී දුරකථනයේ බැටරිය චාජ් කරගනිති. ඒ වෙනුවෙන් වැය වන මුදල රුපියල් විස්සකි.

අතීතයේ ඉන්දියාවෙන් පැමිණිය ද බින්න වූ තෙළිගු භාෂාව කතා කළ ද, අද මේ මිනිසුන් අපේ රටේ ජන කොටසක් බවට පත් ව සිටී. ‍ලෝකයේ වෙනත් රටක සිටියේ නම් මොවුන්ට වටිනාකමක් ලැබෙනු නොඅනුමාන ය. අහිගුණ්ඨිකයන්ට ජාත්‍යන්තරයේ දිනයක් වෙන් ව ඇත. නමුදු මේ දිනය නියෝජනය කිරීමට හෝ මේ පිළිබඳ දැනුවත් වීමට අපේ රටේ අහිගුණ්ඨික ජනයාට නොලැබීම අවාසනාවකි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »