මුතුරජවෙළ අභය භූමියට අක්කර 400ක නිවාස ව්‍යාපෘතියක්

2018-03-21 09:38:00       622
feature-top
ශ්‍රී ලංකාවේ ඉතා ම වැදගත් තෙත් බිම් පද්ධතියක්‌ වන මුතුරාජවෙළ අභය භූමියේ අක්‌කර 406 ක භූමි ප්‍රදේශයක්‌ ගොඩ කර නිවාස සංකීර්ණයක්‌ ඉදි කිරීමට මැල්වත්ත ප්‍රොපටි ඩිවලොප්මන්ට්‌ නමැති පුද්ගලික සමාගමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ලබා දී තිබේ. මෙම සමාගම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ගම්පහ දිස්‌ත්‍රික්‌, සහකාර කොමසාරිස්‌ගේ සහයෝගය හා මඟපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා ගොවිජන සේවා කොමසාරිස්‌වරයාගේ අනුමැතිය ලබා ගෙන ඇත. ඒ අනුව වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් 165ඒ තුඩුව - බෝපිටිය හා 166ඒ කුංජවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි ව්‍යාප්තව ඇති අභය භූමියට අයත් පුරන් වූ කුඹුරු ඉඩම් ලෙස පවතින තෙත් බිම් ගොඩ කිරීම සඳහා පර්චසයකට රුපියල් පන්සියය බැගින් පර්චස්‌ 65102 ක්‌ සඳහා රුපියල් 3,25,51000 ක මුදලක්‌ මෙම සමාගමෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙත ගෙවා තිබේ. මේ සියල්ල සිදු කර ඇත්තේ නීති විරෝධී ලෙස ය. 
 
 මුතුරාජවෙළ ලංකාවේ විශාලත ම වෙරළාශ්‍රිත ලවණ වගුරු බිමයි. කැලණි ගඟේ සිට මීගමුව කලපුව දක්‌වා විහිදී ඇති මෙහි බටහිර මායිම මුහුදු තීරය වන අතර නැඟෙනහිර මායිම මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයයි. නාගරික හා කාර්මික ප්‍රදේශ ගණනාවක්‌ පුරා ව්‍යාප්තව ඇති මෙම තෙත් බිම වගුරු පරිසර හා කඩොලාන පරිසර වලින් සමන්විත වේ. අතීතයේ සශ්‍රීක කුඹුරු යායක්‌ ලෙස ප්‍රචලිත වූ මෙය මුතු මෙන් වටිනා සහල් ලබා දුන් රජුට අයත් වෙල් යාය නිසා මුතුරාජවෙළ නම් වූ බව ජනශ්‍රැති වල සඳහන් වේ. 
 
ඕලන්ද යුගයේ දී කැලණි ගඟේ සිට භාණ්‌ඩ ප්‍රවාහනය සඳහා මීගමුව - කොළඹ මාර්ගයට සමාන්තර ව මීගමු කලපුව දක්‌වා මුතුරාජවෙළ වෙල් යාය හරහා ඇළ මාර්ගයක්‌ සකස්‌ කර ඇත. එය ඕලන්ද ඇළ ලෙස හැඳින්වේ. පසුව ඉංගී්‍රසීන් විසින් භාණ්‌ඩ ප්‍රවාහනය විධිමත් කිරීම සඳහා කැලණි ගඟේ සිට මුහුදු වෙරළට සමාන්තරව මුතුරාජවෙළ වෙල් යාය හරහා මීගමුව කලපුව දක්‌වාත් එතැන් සිට පුත්තලම දක්‌වාත් හැමිල්ටන් ඇළ සකසන ලදී. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලවණ ජලය මුතුරාජවෙළට ගලා ඒම සිදු වීම නිසා වී වගාවට නුසුදුසු තත්ත්වයක්‌ උද්ගතවී ගොවිතැන අභාවයට පත් වී ඇත. වඩදිය අවස්‌ථාවේ දී ලවණ ජලය ගලා ඒම පාලනය කිරීම සඳහා හැමිල්ටන් ඇළ හා ඕලන්ද ඇළ යා කරමින් දොරටු සහිත කුඩා ඇළ මාර්ග 20 කට අධික ප්‍රමාණයක්‌ සකස්‌ කළ ද ඉන් ප්‍රතිඵලයක්‌ ලැබී නැත. මේ නිසා මෙම තෙත් බිම් පද්ධතිය ලවණ වගුරු පද්ධතියක්‌ බවට ක්‍රමයෙන් පරිවර්තනය වී ඇත. 

මේ හේතුව නිසා බොහෝ දෙනෙකු හෙක්‌ටයාර 3068 ක භූමි ප්‍රදේශයක්‌ පුරා ව්‍යාප්තව ඇති මුතුරාජවෙළ වගුරු බිම වැඩකට නොමැති හිස්‌ භූමියක්‌ ලෙස සලකයි. සමහරුන් මෙම ප්‍රදේශය ගොඩකර නිවාස යෝජනාක්‍රම ක්‍රියාත්මක කිරීමට පිඹුරුපත් සැකසූහ. තවත් සමහරු කර්මාන්තපුරයක්‌ බවට පරිවර්තනය කිරීමට ව්‍යාපෘති වාර්තා සකස්‌ කළහ. 1965 වසරේ දී පැවති රජයේ සැලැසුම වූයේ මුතුරාජවෙළ තෙත් බිම ගොඩකර කොළඹ පැල්පත්වාසීන් මේ ප්‍රදේශයේ පදිංචි කිරීමට ය. නමුත් පරිසරය පිළිබඳ ව අවබෝධයක්‌ ඇති සුළු පිරිසකගේ මඟපෙන්වීම යටතේ මෙම තෙත් බිමේ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම අවබෝධ කර ගෙන එය තිරසර ලෙස භාවිතයට ගත යුතු ආකාරය පිළිබඳ ව සැලැසුම් සකස්‌ කෙරිනි. 1991 වසරේ දී මහ කොළඹ ආර්ථික කොමිසම මඟින් සකස්‌ කළ මෙම සැලැසුමට 1992 වසරේ දී රජයේ අනුමැතියට යටත් ව ක්‍රියාත්මක කිරීමේ අවකාශය හිමි විය. මෙය මුතුරාජවෙළ හා මීගමුව කලපු මහ සැලැසුම නම් වේ. 1994 වසරේ දී මධ්‍යම පරිසර අධිකාරියේ, තෙත් බිම් සංරක්‌ෂණ ව්‍යාපෘතිය මඟින් මුතුරාජවෙළ හා මීගමුව කලපුව සඳහා සංරක්‌ෂණ හා කළමනාකරණ සැලැසුමක්‌ ද සකස්‌ කෙරිණි. 
 
 මෙම සැලැසුම්වලට අනුව මුතුරාජවෙළ කොටස්‌ තුනකට වෙන් කරන ලදී. එනම් කොළඹ ආශ්‍රිත දැඩි නාගරික සීමාවේ පිහිටි තෙත් බිම් ප්‍රදේශය උප කාර්මික කලාපය ලෙසත්, මීගමුව කලපුව ආශ්‍රිතව පිහිටි කොටස මුතුරාජවෙළ අභය භූමිය ලෙසත්, ඒ අතර කොටස ස්‌වාරක්‌ෂක කලාපය හෙවත් ප්‍රේරක කලාපය ලෙසත් වෙන් කෙරිණි. ස්‌වාරක්‌ෂක කලාපය වෙන් කිරීමේ අරමුණ වූයේ උප කාර්මික කලාපය හා අභය භූමිය අතර ඝට්‌ටනයන් අවම කිරීමට ය. 
 
 මෙම සැලැසුමට අනුව යෝජනා කෙරුණු අභය භූමිය ප්‍රකාශයට පත් කිරීම සිදු කෙරුණේ වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතට අනුව යි. මේ පනතේ 2(2) උප වගන්තියට අනුව 1996 ඔක්‌තෝම්බර් මස 31 වන දින අංක 947/13 දරන අති විශෙෂ ගැසට්‌ පත්‍රයට අනුව තෙත් බිමේ හෙක්‌ටයාර 1028.62 ක භූමි ප්‍රදේශයක්‌ මුතුරාජවෙළ අභය භූමිය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මීට අමතරව ජාතික පාරිසරික පනතේ 24 ඇ හා 24 ඈ උප වගන්තිවලට අනුව මුතුරාජවෙළ ස්‌වාරක්‌ෂක කලාපය ලෙස වෙන් කළ තෙත් බිම් ප්‍රදේශය ලංකාවේ ප්‍රථම පරිසර ආරක්‌ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඒ 2006 ඔක්‌තෝම්බර් මස 13 වැනි දින අංක 1466/26 දරන ගැසට්‌ නිවේදනය මඟිනි. මෙම ගැසට්‌ නිවේදනයෙන් ස්‌වාරක්‌ෂක කලාපයේ තෙත් බිම් හෙක්‌ටයාර 206.678 ක්‌ මුතුරාජවෙළ පරිසර ආරක්‌ෂණ ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. 
 
 මෙම තෙත් බිම් පද්ධතිය සංරක්‌ෂණය සඳහා සැලැසුම් සකස්‌ කිරීමට ප්‍රථම 1989 වසරේ දී සකස්‌ කෙරුණු ආසියානු තෙත් බිම් නාමාවලියේ ජාත්‍යන්තරව වැදගත් වන ලංකාවේ තෙත් බිම් 41 අතුරෙන් එකක්‌ ලෙස ද මෙම වගුරු බිම නම් කෙරිණි. එපමණක්‌ නොව මෙය ලංකාවේ ප්‍රමුඛ තෙත් බිම් පද්ධති 12 න් එකක්‌ ලෙස ද හඳුනාගෙන තිබේ. 
 
 හෙක්‌ටයාර 3164 ක්‌ වන මීගමුව කලපුව හා සම්බන්ධ මුතුරාජවෙළ තෙත් බිම මේ ආකාරයට ආරක්‌ෂා කිරීමට හේතුව මෙහි පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමයි. නාගරික ප්‍රදේශ ගණනාවක්‌ ඇතුළුව විශාල ප්‍රදේශයක්‌ ගංවතුර උවදුරින් ආරක්‌ෂා කරමින් වැසි ජලයේ අතිරික්‌තය රඳා සිටීම, අවට ප්‍රදේශයේ භූගත ජල මට්‌ටම ඉහළ අගයක පවත්වාගෙන යැම, වැසි ජලයේ රොන් මඩ ආදිය තැන්පත් කර ගෙන ජලය පිරිසිදු තත්ත්වයට පත් කිරීමට අමතර ව නාගරික ප්‍රදේශයේ අධික කාබන්ඩයොක්‌සයිඩ් මට්‌ටම යාමනය කිරීම, පරිසර උෂ්ණත්වය ප්‍රශස්‌ත මට්‌ටමක පවත්වාගෙන යැම ආදී ප්‍රයෝජන රාශියක්‌ මෙම තෙත් බිමෙන් ඉටු වේ. 
 
 ගොවිජන සේවා කොමසාරිස්‌තුමා විසින් වන සත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‍ෂක ආඥ පනත, ජාතික පාරිසරික පනත හා පුරාවස්‌තු ආඥ පනත යන පනත් තුනම උල්ලංඝනය කරමින් මුතුරාජවෙල අභය භූමියේ අක්‌කර 406 ක්‌ ගොඩකර නිවාස ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවය. මීට එරෙහිව වගකිවයුතු සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.
 
 මුතුරාජවෙළ අභය භූමිය ගොඩකර ගොඩනැඟීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය වහා ම නතර කිරීමට පියවර ගෙන මුතුරාජවෙළ තෙත් බිම් පද්ධතියේ රැකවරණය කඩිනමින් තහවුරු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ සඳහා 2006 වසරේ දී සකස්‌ කරන ලද ජාතික තෙත් බිම් ප්‍රතිපත්තිය හා උපායමාර්ගික සැලැසුමට අනුව ක්‍රියාමාර්ග ගෙන තෙත් බිම් සංරක්‍ෂණයට අවශ්‍ය  නීති රීති හා පරිපාලන ව්‍යහයක්‌ සකස්‌ කර ක්‍රියාවට නැංවිය යුතු ය. එමගින් සමාජ ආරක්‍ෂණය තහවුරු කළ යුතු ය. එසේ නොමැති ව නව ලිබරල් ආර්ථික සැලැසුම් ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන්ට අවශ්‍ය පරිදි සියලු සමාජ ආරක්‍ෂණ අණ පනත් ජනතා විරෝධී ලෙස සංශෝධනය කර රටේ ජනතාවගේ ඉඩම් ඇතුළු ස්‌වාභාවික සම්පත් විවෘත ආර්ථික ක්‍රියාවලිය සඳහා යෙදවීම වහා ම නතර කළ යුතුව ඇත.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »