මීගමු කලපුවත් විනාශයි

2018-03-09 11:38:00       369
feature-top
දිය දහරේ සහ ගංගාවල ගලා බසිනා දිළිසෙන වතුර නිකම්ම වතුර නොවේය. ඒ අපගේ මුතුන් මිත්තන්ගේ ජීව රුධිරයයි. ලෝ සුපතළ රතු ඉන්දියානු නායක සියැටෙල් එලෙස පවසා සිටියේ ඇමෙරිකානු ජනාධිපති ෆ්රෑන්ක්ලීන්  පියාර්ස් විසින් රතු ඉන්දියානු  මිනිසුන්ගේ භූමිය සංවර්ධනයේ නාමයෙන් මිලයට ගන්නට රතු ඉන්දියානුවන්ට කළ යෝජනාවට ලබාදුන් පිළිතුරෙහි කොටසක් වශයෙනි.
සොබාදහමේ නිර්මාණයක් ලෙස මිනිසා හැඳින්විය හැකි වන්නේ මිනිසාට කවර කාලෙකින්වත් සොබාදහම නිර්මාණය කළ නොහැකි නිසාය. පරිසරය විනාශ කරමින්, ජලය දූෂණය කරමින් සංවර්ධනයේ නාමයෙන් මිනිසා ක්‍රියාකාරකම්වල යෙදුණද අවසානයේ මිනිසාට පරිසරය ජයගත හැකි නොවනු ඇත. මෙලෙසින් අපට සඳහන් කරන්නට සිත්වූයේ සංවර්ධනයේ අතුරු ඵලයක් ලෙස මහා පරිමාණයෙන් විනාශ වෙමින් පවතින මීගමුව කලපුව වෙත ඔබගේ අවධානය යොමු කරවා ගැනීමටය. වර්ග කිලෝමීටර 35.02ක වපසරියකින් යුත් මීගමු කලපුව නිරිත දිග ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කලපුවයි. කුඩා ගංගාවල් කීපයකින් හා ඇළ මාර්ග කිහිපයකින් ‍පෝෂණය වන මීගමු කලපුව පටු මෝය කටකින් මුහුදට විවෘතව ඇත. මේ මීගමු කලපුව හා ඒ අවට සමුද්‍ර ආසන්න කලාපය ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය (E-waste) හා රසායනික අපද්‍රව්‍ය (Chemical waste) හේතුවෙන් ශීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතින බවට තැති ගැන්වෙන සුළු පුවත් මේ වන විට අනාවරණය වෙමින් තිබේ. ලැබෙන තොරතුරුවලට අනුව මේ වන විටද ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායන අපද්‍රව්‍ය හේතු කරගෙන කලපුවේ ජල ජීවී චක්‍රයද විෂම වී ඇති බවට තොරතුරු ලැබේ.
මීගමු කලපුව කේන්ද්‍රය කර ගනිමින් ජීවත් වන ධීවරයන්ට අනුව කලපුව ඉතා හොඳින් දෙදිය හුවමාරු සිදුවන තැනකි. ඒ කියන්නේ වඩදිය -බාදිය ක්‍රියාවලිය නිසි පරිදි සිදුවන දියවරකි. නමුත් අද මෙම ක්‍රියාවලිය විෂ පිරුණු ජලය මුල්කරගෙන ක්‍රියාත්මක වීම ඉතා භයානක තත්ත්වයකි. මීගමුවේ ජීවත් වන යමක් දෙස විමර්ශනාත්මකව බලන බුද්ධිමත් මිනිසුන් පවසන්නේ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායන අපද්‍රව්‍ය වලින් විට මීගමු කලපුව හා මුහුදු කලාපයේ ප්‍රධානතම මත්ස්‍ය ප්‍රජනන ඉසව්ව වන මඩවල බොක්ක මේ වන විටත් විශාල ලෙස දූෂණය වී ඇති බවකි. පෙර කලපුව නිවහන කරගෙන ජීවත් වූ අති පරිසර සංවේදී මත්ස්‍යයන් සේම ජලජ ශාකද මේ වන විට මීගමු කලපුවේ දැකීම විරල වෙමින් පවතින බව ධීවරයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනුයේ මීගමුව කලපුව හා ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ ප්‍රධානතම මත්ස්‍ය ප්‍රජනන ඉසව්වක් වන මඩවල බොක්ක නම් ඇති කොටස මේ වන විට ඉලෙක්ටේ‍රානික හා රසායන අපද්‍රව්‍යවලින් ගහන බවය. තම දැල් ආම්පන්නවලට මෙම අපද්‍රව්‍ය නිරන්තරයෙන් පැටලීමෙන් ඒ බව සනාථ වී ඇතැයි ඔවුහු පවසති. එම තත්ත්වය මීගමු කලපු මත්ස්‍ය ප්‍රජනනයටද බාධාවක් වන තත්ත්වයකි.
මීගමු කලපුව ප්‍රදේශයට සිදුව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ වීරසිංහ අවධාරණය කරන්නේ මෙවැන්නකි. නිවාස අපද්‍රව්‍ය, නාගරික අපද්‍රව්‍ය, වෙළෙඳ‍පොළ අපද්‍රව්‍ය ආදියට වඩා ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය හා රසායනවලින් සිදුවන හානිය විශාලයි හා බරපතළයි. මෙමගින් කලපුවේ මත්ස්‍ය ප්‍රජාව සේම ශාක ප්‍රජාවටද දැඩි තර්ජනයක් ගෙනදෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් මීගමු කලපුවේ ධීවර කර්මාන්තයටද මරු පහරක් එල්ල වෙන්න තිබෙන ඉඩකඩ බොහෝමයි. අපද්‍රව්‍ය කලපුවට බැහැර කිරීම බහුල වශයෙන් ඒකල කාර්මික කලාපයෙනුත්, කටුනායක වෙළෙඳ කලාපයෙනුත් පැමිණෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම ජාඇල, කොටුගොඩ, සීදුව, කුරණ ආදී ප්‍රදේශවල ස්ථානගත වී තිබෙන කර්මාන්තශාලාවලින් බැහැරලන අපද්‍රව්‍ය ට්‍රැක්ටර් හෝ වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් මගින් ගෙනැවිත් දමන්නේ කලපු ඉවුරුවලටයි. එවිට පහසුවෙන්ම එම අපද්‍රව්‍ය ජලය හා සම්මිශ්‍රණය වෙනවා. ජාඇල, දඬුගම්ඔය ඇතුළු කුඩා ජල මාර්ග ඔස්සේද එකී අපද්‍රව්‍ය කලපු ජලය හා මිශ්‍ර වෙනවා. වර්ෂයේ ඇතැම් කාලවලදී උක්ත ඇළ මාර්ගවල දහස් ගණනින් මත්ස්‍යයන් මියයන අවස්ථා මාධ්‍ය වාර්තා කරනවා. එලෙස මසුන් මියයන්නේ මෙම අපද්‍රව්‍ය හේතුවෙනුයි. මියයන මත්ස්‍යයන්ගේ ශරීර කොටස්ද කෙළින්ම පැමිණෙන්නේ මීගමු කලපුවටයි. විෂ සහිත එම මාළුන්ගේ ශරීර කොටස් ආහාරයට ගන්නා කලපු මත්ස්‍යයන්ගේ ශරීරවලටද විෂ ඇතුළුවී එම මත්ස්‍යයන්ද අඩපණ වන බව අප නිරීක්ෂණය කර තිබෙනවා.
කලපු ජලයට විෂ ද්‍රව්‍ය එකතුවීම සම්බන්ධයෙන් හා කලපු මත්ස්‍යයන් තුළ රසායන ද්‍රව්‍ය තැන්පත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය නලින් ලසන්ත පෙරේරාගෙන් කළ විමසීමේදී ඔහු එම තත්ත්වය පැහැදිලි කළේ මෙසේය. රසායන හෝ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය මත්ස්‍ය ශරීරවලට ඇතුළුවීම භයානක තත්ත්වයක්. රජරට කලාපයේ කෘෂි රසායනයක් ලෙස භාවිතා කළ ග්ලයිෆොසේට් රසායනය හේතුවෙන් එම කලාපයේම ජනතාව වකුගඩු රෝගී තර්ජනයට මුහුණ දුන් අයුරුද අප දුටුවා. මෙය සිදුවූයේ ජලය දූෂණය වූ තත්ත්වයක් තුළයි. අනාගතයේදීද මීගමු කලපුවේ සිදුවන රසායන හා ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය තැන්පත් වීමේ ක්‍රියාවලිය හේතුවෙන් ඊටත් වඩා තර්ජනයකට එම කලාපයේ මිනිසුන්ට මුහුණදීමට සිදුවිය හැකියි. අපි දන්නවා මීට දශකයකට දෙකකට පමණ පෙර ජාඇල හා දඬුගම් ඔය ජලය ප්‍රදේශයේ ජනතාව ගෘහ අවශ්‍යතා සඳහා පාවිච්චි කළ බව, අද එම තත්ත්වය හාත්පසින්ම වෙනස්වෙලා. එම  ඇළවල්වලට දියනෑමට හෝ කිසිවෙකු නොබසින තත්ත්වයකුයි තියෙන්නේ. අප පාසල් වියේදී පිහිනමින් කල්ගත කළ එම ඇළ මාර්ග දූෂණය වීම ආරම්භ වූයේ කලාපයේ ස්ථානගත වූ කර්මාන්ත ශාලාවලින් බැහැරලන රසායන හෝ ඉලෙක්ටේ‍රානික අපද්‍රව්‍ය පිරිපහදුවකින් තොරව විවෘතව මෙම ඇළ මාර්ගවලට මුදාහැරීමයි. එකී දූෂිත ජලය මීගමු කලපුවට ගලා යන බව නොරහසක්. මෙම අපද්‍රව්‍ය තුළ රසදිය, කාබන්, ඊයම් වැනි ඉතා අහිතකර දෑ තිබෙන්නට පුළුවන්. බැර ලෝහ වර්ග තිබෙන්නට පුළුවන්. මේවා මාළුන්ගේ ආහාර සමග උන්ගේ ශරීර තුළට යාමේ ඉඩකඩ බොහෝමයි. එලෙසම මාළුන්ගේ ශ්වසනය ඔස්සේ මත්ස්‍ය කරමල් තුළින්ද ඒවා මතස්‍ය ශරීරගත විය හැකියි. භයානක තත්ත්වය සිදුවන්නේ ඉන් අනතුරුවයි. මෙකී තත්ත්වය නොදත් ධීවර ප්‍රජාව අල්ලාගනු ලබන මසුන් බාහිර වෙළෙඳ‍පොළට පැමිණෙනවා. මාළුන්ගේ අක්මාවේ සේම අනෙකුත් ශරීර කොටස්වල රැඳී තිබිය හැකි රසායනයන් නොදැනුවත්වම ජනතාව ආහාරයට ගන්නවා. එලෙස ආහාරයට ගත් පසු ඒ හේතුවෙන් ජනතාවද රෝගීන් විය හැකිය. හඳුනා නොගත් සේම අන්ත්‍ර පිළිකා, මුඛ පිළිකා ඇතුළු විවිධාකාර රෝගී තත්ත්වයන්ට ජනතාව ලක්විය හැකියි
මීගමු කලපුව විනාශය දෙස ඔහේ බලා සිටින පරිසර නිලධාරීන් සේම එයට උඩගෙඩි දෙමින් එය නොදුටුවා සේ සිටින කර්මාන්තකරුවන්ද එයට එරෙහි වන පාලකයන්ද සිටින රටක වෙසෙන අපට සිදුවන්නේ මෙකී පරිසර පද්ධතීන් විනාශව ගිය පසු පෙරකී 'සියැටෙල්'ගේ ප්‍රකාශ රාමුකර බිත්තිවල ගසා තබා ඒ ගැන හූල්ලන්නටය.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »