අපට වැරදුන තැන

2018-02-12 12:13:00       584
feature-top
හරිත විප්ලවය විසින් විශ්වකර්ම ප‍්‍රතිඵල ලබා දේ යයි මහත් හඬ නැංවූ නවීන රසායනික කෘෂිකර්මය ලබා දුන් අනිසි ප‍්‍රතිඵල ඇස් පනා පිට ම ඔප්පු වී ඇත. කෘෂිකර්මයේ අත්‍යවශ්‍ය රසායනයන් වශයෙන් කලක් තිස්සේ මහත් ඇගයීමට ලක් වූ කෘෂි රසායනවල අවසාන ඵලය වනුයේ ඔබගේත් මගේත් සෞඛ්‍ය ගැටලූ ය. රජය විසින් ග්ලයිෆොසේට් තහනම් කිරීම අපට මෑතක ම අසන්නට ලැබු එක් පුවතකි. ග්ලයිෆොසේට් පමණක් නොව සියලූ කෘෂි රසායන තහනම් කිරීමට සිදු වන කාලය එතරම් ඈත නො වේ. ලොව පිළිගත් බොහෝ විද්‍යාඥයන් විසින් කෘෂි රසායනවල, විශේෂයෙන් ග්ලයිෆොසේට්වල භයානක ප‍්‍රතිඵල ගැන ඔප්පු කර තිබියදීත් අප රට ඇතැම් කෘෂි විද්‍යාඥයන් තාමත් කීමට උත්සාහ කරන්නේ ඉන් ඔය කියන තරම් හානියක් නැතැයි කියා ය. අප රට කෘෂි විද්‍යාඥයන් බහුතරය දේශීය ගොවිතැන සම්බන්ධයෙන් තාමත් ඍණ මානසිකත්වයකින් බලන අයයි.

යමෙකු ජීවන මාර්ගයක් තෝරා ගන්නේ ආර්ථික සහ සමාජ පැවැත්මට බව සැබෑවකි. එහෙත් ඔබ හෝ මා ආර්ථික කරුණු පමණක් සලකා බලා කුමන හෝ ජීවන මාර්ගයක් වැළඳ ගන්නේ නැත. මිච්ඡා ආජීව යයි අප පිළිගන්නා රැකියාවක් කුමන ආර්ථික ලාබ ලබා දුන්න ද එ් පසුපස හඹා යාමට බොහොමයක් දෙනා පෙළඹෙන්නේ නැත.

අපගේ විශ්ව දැක්ම සහ අප සතුට යයි නිර්වචනය කර ගන්නා තත්ත්වය අතර ඍජු සම්බන්ධයක් ඇති බව ඔබ පිළිගන්නවා ඇත. ඇතැම් අය විශාල ධනයකට හිමිකම් නො කීවත්, තමා යහපත් ජීවන මාර්ගයකට එළඹී ඇතැයි ද, උපයා ගන්නා සුළු ආදායම වුව ද ප‍්‍රමාණවත් යැයි සතුටට පත් වනු අප දැක ඇත. ඇතැම් අය කුමන හෝ ක‍්‍රමවලින් අධික ධනයක් උපයා ගත්තත් තාමත් එය ප‍්‍රමාණවත් නැතැයි කණස්සල්ලෙන් සිටිනු දක්නට ලැබේ. සතුට යන්න ඔබේ ම නිර්වචනයක් වන අතර, එය පදනම් වන්නේ ඔබ ලෝකය දෙස බලන ආකාරය අනුව ය.

මා දැන් ජීවත් වන්නේ ඉතා සතුටින් යයි ඔබට කීමට හැකියාවක් ඇත්නම් එය කෙතරම් භාග්‍ය සම්පන්න තත්ත්වයක් ද? එලෙස වූවා යැයි මඳකට සිතමු. ඔබ ජීවත් වන්නට කැමැති කෙලෙසදැයි ඔබ මුල දී තීරණය කළා වන්නට පුළුවන. අනතුරුව ඔබ එලෙස ඉලක්ක කර ගත් තත්ත්වය සාක්ෂාත් කර ගත්තා යයි ඔබ සෑහීමකට පත් වනවා වෙන්නට පුළුවන. ආපසු හැරී බැලීමේ දී තමා ධනය උපයා ගත් ආකාරය පිළිබඳ ඔබට සෑහීමකට පත් වන්නට පුළුවන් නම් එය කෙතරම් භාග්‍ය සම්පන්න තත්ත්වයක් ද? ඔබ උපයා ගත්තේ මිච්ඡා ආජීවයකට අනුව නම් ඔබට සිතෙන්නේ කුමක් ද?

මා සමග සාකච්ඡා කර ඇති බොහෝ බටහිර ජාතික මිත‍්‍රයන්්ගෙන් මා මෙම ප‍්‍රශ්නය අසා ඇත. ‘‘ඔබ ජීවත් වන්නේ සතුටින් ද?” එ් සැම දෙනාම පාහේ සඳහන් කළේ ඔවුන් සතුටින් ජීවත් වන බව ය. තමන් අසතුටින් ජීවත් වනවා යැයි කිසිවකු මා සමග ප‍්‍රකාශ කර නැත. වැඩිදුරටත් මේ ගැන සාකච්ඡුා කිරීමේ දී පැහැදිලි වූ කරුණු ගැඹුරෙන් විමසා බැලීම අපට ඉතා වැදගත් යැයි සිතමි. මා සාකච්ඡා කළ කීප දෙනා ඇසුරෙන් නිගමනයන්ට එළඹීමට මා පෙළඹෙන්නේ නැත. සියලූ බටහිර ජාතීන් සතුටින් ජීවත් වන බවක් කීමට මා පෙළඹෙන්නේ නැත. සමාජ ආර්ථික සහ මානසික ගැටලූ අධික ම කලාපය බටහිර යැයි මම සිතමි. එහෙත් උගතුන් කීප දෙනෙකු සමග අදාළ විෂය ගැන කළ කතා බහ අපට යම් විග‍්‍රහයකට ආධාරයක් යයි සිතමි.

ඔවුහු එම රටවල මට්ටමෙන් ගත් කල සෑහෙන ඉහළ සමාජ ආර්ථික මට්ටමක ජීවත් වෙති. හොඳ නිවසක් රැුකියාවක්, වාහනයක් සහ අනෙකුත් භෞතික සම්පත් ඔවුනට ඇත. අසනීපයක් හෝ වෙනත් අනතුරුදායක තත්ත්වයක් ඇති වුවහොත් රජයේ සමාජ සුබසාධන වැඩසටහන යටතේ හෝ රක්ෂණ ක‍්‍රමයක් යටතේ ඔවුනට සුරක්ෂිත බවක් සැලසී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනය එතරම් බරක් නො වූයේ එ් සඳහා රජයේ වැඩපිළිවෙළක් සකසා ඇති හෙයිනි. එ් ඔවුනගේ භෞතික ජීවිතයේ ලබා ගත් දේවල් ය.

මෙම ප‍්‍රශ්න ඇසීිමේ දී ඇති සීමාවන් ගැන මා හට ගැටලූ ඇති වූයේ අධ්‍යාත්මික ජීවිතය සහ තෘප්තිය ගැන සාකච්ඡා කිරීමට යාමේ දී ය. බෞද්ධ පසුබිමක සිට ප‍්‍රශ්න අසන මා හට හොඳ නරක, පින් පව්, ගැන මගේ ම දෘෂ්ටියක් ඇත. පංච ශීලය පදනම් කර ගෙන හොඳ නරක, පින් පව් මොනවා ද යන්න විග‍්‍රහයක් මා තුළ ඇත. එහෙත් සතුන් මැරීම, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කිරීම පාපයක්, නරක ක‍්‍රියාවක් යැයි නො සලකන ලෝක දැක්මක් ඇති බටහිර ජාතිකයෙකුට මා කතා කරන සන්තුෂ්ටි නිර්වචනය අදාළ වන්නේ නැත. ඔවුනගේ සන්තුෂ්ටි නිර්වචනය අපට වඩා වෙනස් ය. පංච ශිලය පදනම් කරගෙන බටහිර පුද්ගලයන් සමග මේ ගැන කතා කිරීම එකිනෙකට වෙනස් තරංග මාලා දෙකක් ඔස්සේ සංවාදයකට එළඹීමක් හා සමාන ය.

මස් පිණිස සතුන් ඇති කිරීම ඔවුනගේ සාර්ථක ආදායම් මාර්ගයකි. සතුන් මැරීම නරක ක‍්‍රියාවක් යැයි නිකමට හෝ ඔවුනට වටහා දීමට හැකියාවක් නැත. එය ඔවුනට අදාළ ප‍්‍රස්තුතයක් නොවන බැවිනි. සෞඛ්‍ය හේතු මත ඇතැමුන් මත්පැන් පානය සීමා කර ගෙන ඇත. එහෙත් මත්පැන් සාදයන් පැවැත්වීම ඔවුනගේ ජීවන සන්තුෂ්ටියේ එක් අංගයකි. දේව මැවුම්වාදය විශ්වාස කරන සමාජයක, පවුලක උපන් ඔවුනගේ ජීවන ඉලක්ක ජීවන ක‍්‍රමය තීරණය කරනු ලැබුවේ එ් මත පදනම් වූ ලෝක දැක්ම විසිනි. එම ලෝක දැක්මට අනුගත වූ නිර්ණායක මත ඔවුහු තම ජීවන සන්තුෂ්ටිය තේරුම් ගනිති.

බටහිර කෘෂිකර්මය බිහිවූයේ සහ පදනම් වන්නේ මෙම ලෝක දැක්ම මත ය. සර්ව බලධාරී මැවුම්කරුවකු පිළිබඳව විශ්වාසය එහි මූලය විය. මිනිසා මැවූ සර්වබලධාරී දෙවියන් විසින් ඔහුගේ පැවැත්ම සහ ප‍්‍රයෝජනය සඳහා ගස්කොළන් සහිත පරිසරය සහ අනෙක් සියලූ සත්වයන් මවා දෙන ලදී. සතුන් මැරීම පාපයක් හෝ නරක ක‍්‍රියාවක් වන්නේ යැයි සිතීමට මෙම ලෝක දැක්ම ඉඩකඩක් වෙන් කර දෙන්නේ නැත. මිනිසා තම පැවැත්ම සඳහා කුමන හෝ පරිසර විනාශයක් කළාට කම් නැතැයි යන මානසිකත්වය ලබා දෙන්නේ මෙම ලෝක දැක්ම තුළිනි.

අපගේ ලෝක දැක්ම මෙයට හාත්පසින් ම වෙනස් ය. අපට සර්වබලධාරී මැවුම්කරුවකු නැත. අපගේ මැවුම්කරු අපගේ ම පෙර කර්මය යි. බොදුනුවන් වන අපගේ ලෝක දැක්ම සහ ජීවන මාර්ගයන් පංච ශීලය මත පදනම්ව ඇත. ගොවියා තම කෘෂිකර්මයේ දී අවම වශයෙන් පන්සිල් පද නො කැඩෙන ක‍්‍රමවේදයක් අනුගමනය කරන්නට පෙළඹුනි. පින් පව් විශ්වාස කළ ගොවියා සමස්ත කෘෂිකර්ම තාක්ෂණය එ් මත හසුරුවා ගෙන තිබිණ.

ශ‍්‍රීි ලංකාවේ කෘෂිකර්මයට නවීන තාක්ෂණය නමින් හරිත විප්ලවය ආනයනය කරන ලද්දේ බටහිර රටවලිනි. පන්සිල් දස අකුසල් ගැන එතරම් තැකීමක් නොමැති ලෝක දැක්මක් තුළ නිමැවුණු තාක්ෂණයක් අප මතට බලෙන් පැටවෙන්නේ මේ අනුව ය. සත්ව ඝාතනය සාමාන්‍ය දෙයක් ලෙස සලකන තාක්ෂණයක් අපට ලැබෙන්නේ මේ අනුව ය. පරිසරය යනු අපගේ පාලනයට ලක් කර ගත යුතු දෙයක් යයි අපට උගන්වන්නේ එ් අනුව ය.

අපට තාමත් අවබෝධ කර ගත නො හැකි පැත්තක් නම් අප රට ගොවීන් තම විශ්වාසයනට එකඟ නොවන තම ලෝක දැක්ම සමග ගැටෙන කෘෂිකර්ම තාක්ෂණයක් වැළඳ ගත්තේ ඇයි ද යන්න ය. මේ සම්බන්ධයෙන් නොයෙකුත් විග‍්‍රහයන් තර්කයන් තිබිය හැකි ය.

මා නම් මෙය දකින්නේ අපගේ අනන්‍යතාව සම්බන්ධ කාරණයක් ලෙස ය.

බෞද්ධ අනන්‍යතාවක් අප තුළ තිබේ ද යන්න එක්තරා දුරකට ප‍්‍රශ්නයකි. වසර 450කට අධික යටත් විජිත පාලනය අවසානයේ බටහිර ජාතින් අපට ශේෂ කොට ගිය බොහෝ දෑ ඇත. ඔවුන්ගේ භාෂාව, ආගම, සිරිත් විරිත්, ගති පැවතුම්, දේශපාලන සහ පරිපාලන ක‍්‍රම, නව තාක්ෂණය සහ තාක්ෂණික මෙවලම් ආදි වශයෙන් ජන ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම විහිද ගිය බලපෑම් අපට හඳුනා ගත හැකි ය.

1948 වර්ෂයේ අප දේශපාලන නිදහස ලබා ගත්තා යැයි බලවත් ලෙස උද්දාමයට පත් වුව ද අනෙකුත් කිසිම අංශයකින් නිදහස ලබා ගත්තේ යැයි උදම් ඇනිය හැකි ද? බටහිරට ගැති වන ලෙස පෙර සැකසුම් කළ මානසිකත්වයක් අප තුළ සියුම් ලෙස ස්ථාපනය කිරීමට ඔවුනට හැකි වී නැති ද? ස්වදේශී මානසිකත්වයක් අප තුළ අංශුමාත‍්‍රයක් වශයෙන්වත් දක්නට තිබේ ද?

මෙම මානසිකත්වය තුළ බටහිරෙන් ලැබෙන සෑම දෙය ම මහත් ආසාවකින් වැළඳ ගැනීමට කැමැත්තක් අප තුළ වර්ධනය වී ඇත. හරිත විප්ලවය අපට බටහිර රටවලින් ලැබුණකි. බටහිර දේ උසස් යැයි මහත් හරසරින් වැළඳ ගැනීමට සුදුසු මානසිකත්වයක් අප තුළ තිබූ හෙයින් අපගේ සම්ප‍්‍රදායික ගොවිතැනට පයින් ගසා එය වැළඳ ගැනීමට අපි උත්සුක වූවෙමු.

තාමත් ස්වදේශී මානසිකත්වයකින් සම්ප‍්‍රදායික දේ රැුකගෙන ආ ගොවීනට අප ප‍්‍රතිපත්ති සම්පාදකයන් විසින් ගොබෙල්ස් න්‍යාය යොදන ලදී. ඕනෑම බොරුවක් නිතර නිතර කීමෙන් එය සත්‍යයක් බවට පිළිගැනීමක් අසන්නා තුළ ඇති වීම ගොබෙල්ස් න්‍යාය යි. එලෙස ම බටහිර තාක්ෂණයේ මහිමය පුන පුනා කීමෙන් රාජ්‍ය අනුග‍්‍රහය ලබා දීමෙන් සහ සහනාධාර තුළින් එහි යම් අරුමයක් ඇති බවක් එම ගොවීන් තුළ ස්ථාපනය කෙරිනි.

ඊට අමතරව තව තවත් තර්ක මතු කරන ලදී. අස්වනු වැඩි වීම, පහසුව සහ ලාබදායක වීම යාන්ත‍්‍රිකරණය කළ හැකි වීම ආදි විවිධ වාසි ගොවීනට පෙන්වා දෙන ලදී. මෙම තර්ක එකක්වත් යථාර්ථවාදී නොවන බව දැනටමත් ඔප්පු වී ඇත. එ් සම්බන්ධව බටහිර විද්‍යාඥයන් විසින් ම කරන ලද බොහෝ අධ්‍යයන වාර්තා ඇත.

හරිත විප්ලවයේ දරුණු ප‍්‍රතිඵල ඇස් පනා පිට පෙනෙද්දීත් අපට තාමත් එයින් මිදෙන්නට නො හැකිව ඇත්තේ මෙම හීන මානසිකත්වය නිසා නො වේ ද?

courtesy : mahamegha.lk


More News »