ගොවිතැන වැවේ වල් අලි ගමේ

2018-01-09 11:09:00       227
feature-top
ඕනෑම සටනකින් ජයග්‍රහණය හිමිවන්නේ වැඩි බලයක් හිමි පාර්ශ්වයටයි. බලය යන්නට අදාළ වන්නේ ශරීර ශක්තිය පමණක් නොවේ. අවි බලය මෙන්ම තාක්ෂණික දැණුම හිමි පාර්ශ්වය ශරීර ශක්තිය හිමි බලවතුන් පරදා ජයග්‍රහණය ලබයි. අද වන විට මෙරට පවතින වන අලි ගැටලුවටද පෙර කී අදහස අදාල වේ. වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා රටේ විවිධ ප්‍රදේශවල ජනතාව විරෝධතා දක්වන අයුරු අප කොතෙකුත් දැක ඇත්තෙමු. එහෙත් වන අලින් විරෝධතා පුවරු ඔසවාගෙන තම අයිතිවාසිකම් ඉල්ලා සිටිනු අප දැක නැත. කතා කරගන්නට බැරි හෙයින් නොයෙකුත් අසාධාරණයන්ට ලක්වෙමින් පීඩනයන් දරාගනිමින් නිහඬව සිටින්නට වන අලින්ට සිදුව තිබේ.

මහජන විරෝධතා නිසාම විදුලි වැටවල් ඉදිකරමින් වනාන්තර වලට වන අලින් කොටු කරමින් මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට වනජීවිය කටයුතු කරයි. යම් සැලසුමකට අනුව එම වන සතුන්ගේද අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔවුන්ට ආහාර සහ ජලය පහසුවෙන් ලබාගතහැකි අයුරින් මෙම විදුලි වැටවල් නිම කර ඇත. එහෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉඟිණිමිටිය ප්‍රදේශයෙන් වාර්තා වන්නේ හිත්පිත් පමණක් නොව මොළයක්ද නැති මිනිසුන්ගේ අමන ක්‍රියාකාරකමක් පිළිබඳවයි.

කොටවෙහෙර තේක්කයාය රක්ෂිතයද, ඉඟිණිමිටිය ජලාශයේ කොටසක්ද හසුවන පරිදි විදුලි වැටක් යොදා ගම්මුන්ට ආරක්ෂාව සපයා තිබිය දී විදුලිවැටෙන් රිංගා ගොස් රක්ෂිතයේ වගා කිරීමට ඇතැම් ජාවාරම්කරුවන් කටයුතු කිරීම නිසා ගම් වැසියන් සහ වන අලින් අතර නොනවතින අරගලයක් නිර්මාණය වී තිබේ. රක්ෂිතය පමණක් නොව දිය සිඳුණු වැව් පිටියද මේ වනවිට ව්‍යාපාරික මට්ටමේ වගා කරුවන් විසින් කම්බි ගසා වෙන් කොටගෙන ඇත. ඇතැම් කොටස් වෙන් කිරීමෙන් පසු මුදල් ලබාගෙන වෙනත් අයට බදු දෙන බවද පැවසේ. මෙම මුදල් ගනුදෙනුවට රජයේ නිලධාරීන්ද සම්බන්ධ බවට ප්‍රදේශවාසීන් අදහස් දක්වති. ඉඟිණිමිටිය ජලාශ භූමියේ අක්කර සිය ගණනක් මේ වනවිට අනවසර වගාකරුවන් විසින් කම්බි ගසා වෙන් කරගෙන ඇත. රක්ෂිතයේ රැඳී සිටින වන අලින්ට ජලයට බැසීමට කිසිදු ඉඩක් නැත. රජයෙන් ලබාදෙන අලිවෙඩි මෙන්ම නීති විරෝධී අවි ආයුධ සහිතව මෙම වගාවන් ආරක්ෂා කරනු ලැබේ.

ඉඩකඩ ඇති හැම බිම් අඟලම වගාවන්ට යොදාගැනීම බැලූ බැල්මට හොඳ බව පෙනෙන නමුත් මොවුන් මේ අත්පත් කරගෙන සිටින්නේ වන සතුන් සඳහා වෙන් කළ කොටසයි. දිවා කාලයේ වගා කරන අතරම රාත්‍රී කාලයේ වන සතුන් දඩයම් කිරීම මෙම වගා කරුවන් ගේ ව්‍යාපාරයයි. රාත්‍රී කාලයේ දිය බීමට පැමිණෙන වන අලින් දියට බසින්නට ඉඩක් නැති තැන අනෙක් පැත්තෙන් විදුලිවැට පෙරලා ගම් වදිති. පසුගිය මාසයේ එක් සතියක් තුළ දී පමණක් පොල්ගස් පන්සියයක් වන අලින් විසින් විනශ කර තිබුණි. ඉපලෝගම ප්‍රදේශයේ 74 වියැති තිදරු පියෙකුද වන අලි ප්‍රහාරයකට ලක්ව මරණයට පත් විය. වන සතුන් දඩයම් කිරීමට අනවසර වගාකරුවන් තැබූ හක්කපටස් කෑමෙන් අවුරුදු හයක් වයසැති අලි පැටවෙකු සති ගනනක් නිරාහාරව සිට මරණයට පත් විය.ගම් වැදුණු අලියෙකු ළිඳකට වැටී අනතුරට පත් විය.මේ එක් මසකටත් අඩු කාලයක් තුළ දී වාර්තා වූ සිදු වීම් ය.

ඉඟිණිමිටිය ජලාශය කොටවෙහෙර, අඹන්පොල, ගල්ගමුව සහ නවගත්තේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරටම අයත් වන අතර මෙම සෑම කොටසකම මේ වන විට අනවසර වගාවන් ආරම්භ වී ඇති ආකාරය දක්නට ලැබේ. සමහර වගා බිම්වල මේ වන විට අස්වනු නෙළමින් පවතී. ඉතා මෑත දී දිය සිඳුණු කොටස්වල මේ වනවිට වගාවන් ආරම්භ කරමින් පවතී. මේ අතර පසුගිය 02වැනිදා නිකවැරටිය වනජීවී පාලන ඒකකය මගින් සිදුකළ හදිසි වැටලීමක දී නීති විරෝධී ගිනි අවි දෙකක් සමග අනවසර වගාකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබිණි. ඉන් එක් ගිනි අවියක් මෙරට නිෂ්පාදිත එකකි.

මෙම ගැටළුව පිළිබඳව අපි විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසූ අතර පහත සඳහන් වන්නේ එම අදහස් වලින් කිහිපයකි.

වගකීම තියෙන්නේ වාරිමාර්ගයට

නිකවැරටිය වනජීවී පාලන ඒකකයේ අඩවි ආරක්ෂක නිලධාරී අයි එම් ජී සෙනවිරත්න මහතා;

“අපි පහුගිය මාසයක පමණ කාලය මහන්සි වෙලා බොහොම අමාරුවෙන් නිකවැරටිය ආසනය පුරා විසිරිලා හිටිය අලි හතලිහක් විතර ගෙනැල්ලා රක්ෂිතයට දැම්මා ඒත් පහුවදාම උන් විදුලිවැට කඩාගෙන ගමට පැන්නා. රක්ෂිතයේ ඇති තරම් ආහාර වතුර තියෙද්දි අලි එළියට පනින්න මොකක්හරි හේතුවක් තියෙන්න ඕනෑ කියල අපට තේරුණා. හොයල බල්දි දැනගත්තා ජලාශයේ අනවසර වගාවන් සිදුවෙන බව. මේ වෙද්දි වතුර හිඳුන වැව් පිටියෙ හැම තැනකම වගා කරලා. අලින්ට වතුරට බහින්න තැනක් නෑ ආයුධ තියාගෙන රකිනවා. අලින්ට වෙඩි තියනවා. ඒ මදිවට වෙනත් සතුන් දඩයම් කරනවා. රක්ෂිතයක් ඇතුලෙ ගිනි අවි තියාගෙන ඉඳීම නීති විරෝධියි. ඒ නිසා අපි ගිනි අවි දෙකක් සමග අනවසර වගා කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. තවත් අනවසර වගා කරුවො විශාල පිරිසක් ඉන්නවා. ඒ අය ගැන කටයුතු කරන්න බලය තියෙන්නෙ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආයතන වලට. එම ආයතනත් නීතිය හරියට ක්‍රියාත්මක කලොත් මේ වන අලි ගැටළුවට විසඳුම් දෙන්න ලේසියි.”

මීළඟ වැස්සට වැවට පස් පිරෙයි

කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා,

“කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන විශාලත්වයෙන් දෙවැනි ජලාශය ඉඟිණිමිටියයි. මීට යාව රජයේ තේක්ක රක්ෂිතය තියෙනවා. නිකවැරටිය ප්‍රදේශයේ ගම්වදින අලි එලවන්නේ මෙම රක්ෂිතයට. රක්ෂිතයෙ ඉන්න අලින්ට වතුර බොන්න තියෙන එකම මූලාශ්‍රය තමයි මේ. මේ දවස්වල නියඟය නිසා වේගයෙන් වැව හිඳෙමින් පවතිනවා. පසුගිය දවසක මට තොරතුරු ලැබුණා වැව් පිටියේ වගා කරනවා කියලා. වැව් අයිති වාරිමාර්ග දෙපාර්තමේන්තුවට. කිසි කෙනෙකුට වැව් පිටියෙ වගා කරන්න අයිතියක් නෑ. වගා කරන්න පස බුරුල් කළාම ඊලඟ වැස්සට මේ පස් සේරම යන්නෙ වැවට. මේකෙන් වැව ගොඩ වෙනවා. ඒ මදිවට මේ අය වගාවට විවිධ රෂායනික ද්‍රව්‍ය යොදනවා. ඒ ඔක්කොම කෙලින්ම වතුරට එකතු වෙනවා. ඉදිරියේ දී මේ ජලාශය මුල් කරගෙන පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න මේ වෙද්දිත් සැලසුම් සකස් කරමින් තිබේන්නේ. මේ ජලාශය යටතේ ධීවර ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මකයි. පසුගිය මැයි මාසෙ අපි ඉස්සෝ ලක්ෂ හතරක් සහ ඇඟිල්ලෝ පනස්දහසක් දැම්මා. මේ රසායනික ද්‍රව්‍ය ධීවර කර්මාන්තයටත් ඍජුව බලපානවා. මේ ප්‍රස්නය සාමාන්‍ය ජනතාවට බලපාන නිසා මටත් මැදිහත් වෙන්න සිදු වෙනවා. නමුත් වාරිමාර්ගයට ඍජුවම මෙම කටයුතු නැවැත්වීමේ වගකීම වගේම අවශ්‍ය නීත්‍යාණුකූල බලයත් තියෙනවා. වන අලි ගම් වැදීමටත් මෙම අනවසර වගාවන් හේතු වෙන නිසා ඉතා ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවා.”

පොලිසිය දැනුවත් කළා

ප්‍රා.ලේ.

මේ පිළිබඳව අප ඉඟිණිමිටිය ජලාශ භාර ඉංජිනේරුවරයා දුරකතනයෙන් ඇමතූ අතර ඔහු ප්‍රකාශ කළ අදහසයි මේ, “ජලාශය ආසන්නයේ වගා කරන බව කීප වරක් වාර්තා වුණා. මේ පිළිබඳව අපි ප්‍රාදේශීය ලේකම්වරු සහ පොලිසිය දැනුවත් කර තිබෙනවා. ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් සහ ජලාශයට අයත් කොටස වෙන්කර හඳුනාගන්න අපිට නොහැකියි. ඒ ගැන දන්නේ ප්‍රාදේශීය ලේකම්වරු. නවගත්තේගම, ගල්ගමුව, අඹන්පොල, කොටවෙහෙර ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් අප ඉල්ලීම් කර තිබෙනවා මෙම ඉඩම් හඳුනාගෙන අනවසර වගා කරුවන් ඉවත් කිරීමට සහය දෙන්න කියලා.”

මේ පිළිබඳව වගකිවයුතු නිලධාරීන් අතින් අතට බෝලය පාස් කරමින් තම වගකීම පැහැර හරින බව පැහැදිලිව පෙනේ. ඉංජිනේරුවරයා ප්‍රකාශ කරන තරම් හඳුනා ගැණීමේ අපහසුතාවයක් එහි නැත. අද වන විට වැවේ ජලය රැඳී ඇති සීමාව දක්වාම වගා කරුවන් වට්ටක්කා, කොමඩු ආදී කෙටි කාලීන භෝග වගා කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

කලක පටන් කෙරෙන වැඩක්

මේ පිළිබඳව අප පලුගොල්ල ග්‍රාම නිලධාරී එස් ඩබ් එම් අතුල බණ්ඩාර සේමසිංහ මහතාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, “මේ අනවසර වගාකරුවො ගැන ගමේ අය මට කීවා. මම ඒ පිළිබඳව නිරීක්ෂණය කරලා ප්‍රාදේශීය ලේකම් තුමාට වාර්තා කළා. අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ‍කොටස් වලත් කලක පටන් මේ වගාවන් පවත්වාගෙන යන බව පේන්න තියෙනවා.

වැව හිඳෙන කාලෙට කවදත් ඔහොමයි.

නම සඳහන් කිරීමට අකමැති ධීවරයෙකු අප හා ප්‍රකාශ කළේ සෑම වසරකම වැව සිඳෙන කාලයට වැව් පිටියේ මෙලෙස වගා කරන බවයි. සමහර පුද්ගලයින් ඉඩම් මැදිකර වෙනත් අයට බදු දෙන බවත් උසස් නිළධාරීන් හා ඔවුන් අතර විවිධ සම්බන්ධතා ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

නීති විරෝධී වුණත් කරන්න දෙයක් නැහැ

මේ පිළිබඳව අපි අනවසර වගා කරුවන්ගෙන්ද විමසීමක් කළ අතර මේ ඔවුන් දැක්වූ සමස්ත අදහසයි, “අපි හැමෝම මේ අවට ගම්වල අය. කන්න තුනකින් අපට කුඹුරු පැහුනෙ නෑ. අපි ජීවත් වෙන්නෙ ගොවිතැනින්. අපි දන්නේ ගොවිතැන. වැස්ස නැති නිසා අපේ ඉඩම් කුඹුරුවල වැඩ කරන්න බෑ. ඒ නිසා අපි වැව් පිටිය වගා කරනවා. මේක නීති විරෝධී බව අපි දන්නවා ඒත් අපිට වෙන කරන්න දෙයක් නෑ. වල් අලි කොහොමත් ගම්වලට පනිනවා. මිනිස්සු මරණවා, වගා පාලු කරනවා. ඒක අපි නිසා වෙන දෙයක් නෙමෙයි.”

එහෙත් අපට පැහැදිලි වූ කරුණ නම් මෙම වගා කරුවන් සියලු දෙනාම කිසියම් ව්‍යාපාරිකයෙකු හෝ කිහිප දෙනෙකු විසින් මුදල් ගෙවා වගාවට යෙදවූ අය බවයි. ඔවුන් කටපාඩමින් මෙන් එකම අදහස ප්‍රකාශ කිරීමද එසේ සිතීමට තවත් හේතුවකි.

කෙසේ වුවත් තම නැතිබැරිකම් හා දුෂ්කරතා පිළිබඳව පමණක් සිතා බලා වන අලින්ගේ නිජබිම් උදුරා ගැණීම කිසිසේත් අනුමත කළ හැකි එකක් නොවේ. ඔවුන්ට සිදුවන අසාධාරණය හඬගා කීමට හැකියාවක් නැති වනඅලි එය ප්‍රකාශ කරන්නේ ගම් වැදී වගා පාලු කිරීමෙනි. මිනිස් ජීවිත හානි කිරීමෙනි. කාලාන්තරයක් තිස්සේ පවතින අලි මිනිස් ගැටුමට හේතුව රට පුරා ඇති මෙවැනි අකටයුතුකම් විය හැකිය. වාර්ගික යුද්ධයක දී මෙන් අනෙකා අවබෝධ කරගැනීමට ඇති නොහැකියාව නිසා මිනිස් ජීවිත මෙන්ම වන අලින් ගේ ජීවිතද අහිමි වෙම්න් පවතී. අප අනෙකාගේ ජීවිතයටද වටිනාකමක් දිය යුතුය. ගෞරව කළ යුතුය. එසේ නොවනතාක් සිදුවන්නේ විවිධාකාර ගැටුම් ඇතිවී දෙපාර්ශ්වයම විනාශ වීමයි.



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »