වැනසෙමින් පවතින පොළොන්නරුව අභය භුමිය

2017-12-13 10:48:00       55
feature-top
පොළොන්නරුව පුරාවිද්‍යා බිමට පිවිසෙන ඔබ එහි නටබුන් අතරේ සංචාරය කරන අතරම වන සත්ව අභය භූමියකද සැරිසරන බව දැන සිටියාද?

විජයබාහු, මහා පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරුන්ගේ අණසක පැතිරි මේ බිම ඊට පසු මහා වනාන්තරයක් බවට පත්වුණා. යළිත් පොළොන්නරුවේ නටබුන් පාදාගෙන සංරක්ෂණය ආරම්භ වුණේ ඉංග්‍රීසි පාලන සමයේ. මෙම නටබුන් අවට පැතිර තිබෙන වනාන්තරයේ වැදගත්කම වටහාගත් ඉංග්‍රීසින්ම එම බිම්කඩ රක්ෂිත අභය භූමියක් බවට පත් කළා. අප රටේ නම්කළ මුල්ම අභය භූමි කිහිපයෙන් එකක් වන මෙය පිහිටවූයේ 1930 මැයි 27 දායි.

හෙක්ටයාර් 1521ක විශාලත්වයකින් යුක්තව නම් කළ පොළොන්නරුව අභය භූමිය පැතිර ඇත්තේ පරාක්‍රම සමුද්‍ර ඉස්මත්තේ සිට පුරාවිද්‍යා නටබුන් බිම හරහාය. එය එක් පසෙකින් පරාක්‍රම සමුදුරෙන් ගලායන වාරි ඇළෙන් සීමා වෙයි. තවත් පසෙකින් හතමුණ පාරට මායිම් වෙයි.

අභය භූමියේ විශාලත්වය

පරාක්‍රමබාහු රජ මාලිගය, නිශ්ශංකලතා මණ්ඩපය, වටදාගේ, කිරිවෙහෙර, සිව දේවාල ඇතුලු නටබුන් සියල්ල පිහිටා ඇත්තේ අභය භූමිය තුළ ය. මෙම නටබුන් සංරක්ෂණය කරන විට ඒ වටා වැවී තිබූ වනාන්තරය එළිකර තිබේ. එහෙත් අදටත් මහා වන වැස්මක් මේ අවට අපට දැකගත හැකිය. එය මේ පරිසරය සුන්දර කරන අතරම අවට ගත දවන දාහය සිසිල් කිරීමට ද උපකාරී වෙයි.

ඉංග්‍රීසි පාලන සමයේදී අභය භූමියක් වශයෙන් සුරැකුණු එය අද වන විට විශාල විනාශයකට ලක්ව ඇති ආකාරය දැකගත හැකියි. එහි විශාල භූමි‍යෙන් අද ඉතිරිව පවතින්නේ හෙක්ටයාර් 300ක් පමණයි. භූමියෙන් සියයට 80ක්ම විනාශ වී ඇති අතර එදා වනගතව පැවති ඉඩම්වල අද නිවාස ඇතුලු ගොඩනැගිලි හදලා. සමහර තැන්වල වෙළෙඳසල් ඉදිකරලා. ඒත් මේ විනාශය වලක්වන්න ක්‍රියාමාර්ග ගන්න බවක් නම් අපට පේන්නේ නැහැ.

අභය භුමිය පාලනය වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන්. 1939 අංක 2 දරන වනසත්ව සහ වෘක්ෂලතා පනතට අනුව අභය භූමියක කිසිම ශාකයකට සතකුට හෝ භූමියට හානිකිරීම දඩුවම් ලැබිය යුතු වරදක්. එයට කසළ බැහැර කිරීමත් නීතිවිරෝධීයි. වනජීවී පනතට අමතරව පුරාවිද්‍යා ආඥා පනතත් පොළොන්නරුවට බලපානවා. ඒ මෙය පුරාවිද්‍යා රක්ෂිතයක් බැවින්. ඊට අමතරව මේ නටබුන් නගරය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙනවා. අභය භූමියේ සංචාරය කරන අපට නම් දැකගත හැකි වූයේ මේ තහනම් නියෝග මහදවල් පොළොන්නරුවේදී කඩන බවයි. කිරිවෙහෙර පසුකරමින් යන අපට වම්පසින් කැලය මැද දැකගත හැකි වන්නේ විශාල කසළ ගොඩක්. වන්දනා නඩ අභය භූමිය කසළ කන්දක් කරගෙන ඇති බව පෙනුණා. පොලිතින්, ප්ලාස්ටික් එහි පිරිලා.

පාරිසරික වැදගත්කම

මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ වනාන්තරය මැවී ඇත්තේ වර්ෂ 700කට පසුව පැතිර තිබූ රාජධානිය නටබුන්වීමෙන් පසුව වීමයි. එදා රාජකීයයන් ගමන් කළ, විහාරාරාම පැතිර තිබූ බිම පසුව මහා වනාන්තරයක් වුණා. ඒත් දැන් මිනිසුන්ම ඒ වනාන්තරය විනාශ කරන්නත් පටන් අරන්.

කලුවර, පලු සහ වීර ගස් පසුකරමින් ඉදිරියට යන අපට වියළි කලාපීය වනයක සුන්දරත්වය විඳගත හැකියි. එය අර්ධ සදාහරිත මෝසම් වනාන්තරයකි. මෙම වනාන්තරයේ ගණ 50කට සහ කුල 25කට අයත් ශාක විශේෂ 65ක් හමුවෙනවා. මේ ශාක මීටර 8-15ත් උසට වැවී තිබෙනවා. අපට මග පෙන්වමින් පැමිණි ස්මිත්සෝනියන් ආයතනයේ පොළොන්නරුව පර්යේෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක සුනිල් ගුණතිලක පැවසුවේ මෙම වනාන්තරය අධ්‍යාපනික උපකරණයක් වශයෙන් ද පාවිච්චි කළ හැකි බවයි. “අභය භූමියට අත්ව තිබෙන ඉරණම දකින විට විදේශිකයන් සමග යන අපටම ලැජ්ජයි.” ඔහු පැවසුවා.

පක්ෂි විශේෂ 150ක් පමණ ද ක්ෂීරපායී විශේෂ 30කටද මේ බිම නිවහන සපයනවා. තිත්මුවා මෙහි බහුලම සත්වයායි. වල්ඌරා, කලු වඳුරා, රිළවා, උණහපුලුවා, හාවා, මීමින්නා ඇතුලු සතුන් මෙහි පැතිරි සිටිනවා. අලිරංචුද මේ අභයභූමියට සංක්‍රමණය වෙනවා. මේ අතරින් රිළවා සහ කලු වඳුරා ආවේණික සතුන් වෙනවා.

නාගයා, තිත්පොළගා, පිඹුරා ඇතුලු සර්ප විශේෂ 25ක් මෙහි වනවදුලු අතර සැරිසරන බව සොයාගෙන තිබෙනවා.

මෙම පෙදෙසේ සාමාන්‍ය උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 26- 30ත් අතර පවතිනවා. වාර්ෂික වර්ෂාපතනය මි. මී 1671ක්.

මෙහි අධික මුව ගහණය දකින අපට සිහිපත් වන්නේ ඉසිපතනයේ මිගදායයි. මෙහි මුවන් 40-50ක් පමණ සිටිනවා. දිවා කාලයේ පවා නටබුන් භූමියට එපිටින් නිහඩ වනාන්තරයේ දී ඔබට සමහරවිට මුවන් දැකගැනීමට ලැබෙනවා. විශාල රිළා රංචු ද මෙහිදී අපට දැකගත හැකියි. මේ රිළවුන් යොදාගෙන වෝල්ට්ඩිස්නි හොලිවුඩ් චිත්‍රපට සමාගම පොළොන්නරුවේදී රූපගත කළ මන්කි කිංඩම් චිත්‍රපටය ජාත්‍යන්තරව අතිශය ජනප්‍රිය වුණා.

හානිකර කටයුතු
පොරෝ කෑදැත්තා, රාජාලියා, සර්ප උකුස්සා, වලි කුකුළා වැනි පක්ෂීන් මෙහි සුලබයි. ගස් මත සිට ගොදුරුවලට ඉව අල්ලන සර්ප උකුස්සන් ඔබට දැකගැනීමට ලැබේවි. ඒත් මේ අහිංසකයන්ටත් අවදානමින් තමයි, ජීවිත බේරාගැනීමට සිදුව ඇත්තේ.

මෙහිදී මුවන් මරා දඩමස්වලට විකිණීමේ ජාවාරමක්ද ක්‍රියාත්මක වන බව අපට ඇසීමට ලැබුණා. මෙලෙස මුවන් ඝාතනයට මදු ගැසීම යොදාගන්නවා. මදු ගැසීමට ගරාජ්වලින් ඉවත්කරන ත්‍රවිල් ක්ලච් කේබල් සහ බ්‍රේක් කේබල් යොදාගන්නවා.

එලෙස තැබූ මදු වනජීවී නිලධාරින්ගේ මෙහෙයුම්වලදී බහුලව හමුවී තිබෙනවා. පොළොන්නරුවෙට එන සංචාරකයන්ගේ දඩමස් ආසාව ඉෂ්ට කිරීමට සමහර පුද්ගලයන් පේවී සිටින බව පැවසෙනවා. ඔවුන් නීතියට වැලිගසා ජාවාරමේ නිරත වෙනවා. කසළවල තිබෙන පොලිතින් ආහාරයට ගැනීමත් මුවන්ගේ පැවැත්මට තර්ජනයක් වෙලා.

නිදැල්ලේ හැසිරෙන බල්ලන්ද අභය භූමියට හානිකරයි. එය වනජීවින්ගේ පැවැත්මට බාධා ගෙන එනවා. මුව පැටවුන් අල්ලා ගැනීමට බල්ලන් පෙළඹීම තවත් අනතුරක්. දින කිහිපයකට වරක් මුව පොව්වෙක් බල්ලනට බිලි වෙන බව පැවසෙනවා. එමෙන්ම අවට ජනතාවගේ ගවයන්ද මෙහි නිදැල්ලේ හැසිරෙන අන්දම අපට පෙනුණා.

එලෙස ගෘහස්ත සතුන් අභය භූමිය ආක්‍රමණය කිරීම ලොකු ගැටලුවක් බවයි වනසත්වවේදීන් කියන්නේ.

විකිණීම සඳහා දර කැඩීමට අවට ජනයා මෙම වනයට ඇතුලු වෙනවා. ඔවුන් ඒ සඳහා පරාක්‍රම සමුද්‍ර වාරි ඇළ හරහා අඩි පරවල් හදාගෙන තිබෙනවා. සමහරු මත්පැන් පානයටත්, ගංජා ඉරීමටත් මේ වනපෙතට අභය ඇතලුවීම පුරුද්දක් කරගෙන. පොළොන්නරුව වනජීවී කාර්යාලය පිහිටා ඇත්තේ අභය භූමිය පෙනෙන දුරින්. පොළොන්නරුව අභය භූමිය යයි සඳහන් නාම පුවරු පවා මෑතකදී සවිකර නැහැ. පැරණි නාම පුවරු දැන් මැකී ගිහින්.

මෙතරම් වැදගත් වනාන්තරයකට අත්ව තිබෙන කනගාටුදායක ඉරණම අපටත් ප්‍රශ්නයක්. මේ ගැන බලධාරින් අවදිවිය යුතු කාලය ඇවිත්. ඒ වගේම වන්දනාකරුවන්ද මේ බිමේ පරිසරය අපවිත්‍ර නොකර පවත්වා ගැනීමට දායකත්වය දැක්විය යුතුයි. එපමණක් නොවෙයි. නැවත් වතාවක් පොළොන්නරුවට යන ඔබ මේ සුන්දර වනාන්තරය දෙස විමසිල්ලෙන් බැලීමටත් අමතක නොකරන්න.


(under the courtesy of roar.media web)

More News »