මහකනදරාවේ සැඟවුණු කටුවල්ලා රට ගිලගන්නට සැරසෙයි

2017-11-13 10:44:00       212
feature-top
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම වාරි කර්මාන්ත වැවක් වන මහකනදරාවැවේ සීඝ්‍රයෙන් පැතිරයන  ආගන්තුක ශාකයක් වහාම මැඩපැවැත්වීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නායාස් මැරැයිනා (NAYAS MARAINA) යන උද්භිද නාමයෙන් හැඳින්වෙන මෙම ශාඛය කරදිය  හා ලවණ සහිත ප්‍රදේශවලට අවේනික ශාඛයක් බවත් එය රට මැද පිහිටි මිරිදිය සහිත ප්‍රදේශයකින් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බවත් පේරාදෙණිය උද්භිත උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් උද්භිද විද්‍යාඥ හා  ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසයි.

මීට මාස කිහිපයකට පෙර මේ පිළිබඳව වාරිමාර්ග නිලධාරීන්ට තොරතුරු වාර්තාවී තිබූ අතර මේ සම්බන්ධයෙන් නිරන්තරව වීමසීමෙන් සිටීම නිසා මහකනදරා වැවේ ගොවිජනතාවගෙන් ලැබුණු තොරතුරු අනුව හදිසියේ සිදුකළ පරීක්ෂණයක දී වැව් ජලයේ ගැඹුරු ස්ථානවල මෙම ආගන්තුක ශාඛය පැතිරී ඇති බව නිරීක්ෂණය විය. දිය නෑමට පැමිණි පිරිස් පවසා සිටියේ මෙම ශාඛය සිරුරක ස්පර්ශය වීමත් සමග කැසීමක් ඇතිවන බවත් එය කටු සහිත ශාකයක් බවත්ය.

මේ පිළිබඳ වාර්තාවීමත් සමග නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එස්.මෝහන්රාජ් මහතා සිය ප්‍රථම රාජකාරිය ලෙස වාරිමාර්ග නිලධාරීන් සමග ඉකුත් සෙනසුරාදා (11) මහකනදරා වැව නිරීක්ෂණයකට ලක්කිරීමෙන් පසු සඳුදා(13) සිට ආරක්ෂක අංශවල සහ ගොවි සංවිධාන නියෝජිතයින්ගේ සහාය ලබාගෙන මෙම ශාඛය වහාම ඉවත්කිරීමට කටයුතු කරන බව කීවේය. මාස් කන්නයට අවශ්‍ය ජලය නිකුත් කිරිමට තවත් දින 15ක පමණ කාලයක් ඇති බැවින් ජලය මුදා හැරීමත් සමග කුඹුරු වෙත මෙම ආගන්තුක ශාකය එක්විම වැළැක්වීම සදහා ඊට ප්‍රථම සොරොව් තුළ පෙරහන් සවිකිරිමටත් කටයුතු කරන බවත් මෙම කටයුතු ආරම්භකිරිමට  අවශ්‍ය පසුබිම සකසන ලෙසත් ඒ මහතා වාරිමාර්ග ඉංජිනේරුවන්ට උපදෙස් දුන්නේය.

මේවන විට මෙම ආගන්තුක ශාකය වැවේ ස්ථාන කිහිපයක දක්නට ඇති අතර මඩ සහිත ස්ථානවල ශීඝ්‍රයෙන්  පැතිරී ඇති අතර වහාම  මර්දනය නොකළහොත් මහකනදරාඔය ඔස්සේ කුඹුරුවලට මෙන්ම මල්වතුඔයට එක්විමෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධවැව දක්වා පැතිරීමේ අවදානමක් ඇතිබවත් වාරි ඉංජිනේරුවෝ පවසති.

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි ආගන්තුක ශාඛයක් මහකනදරා වැවෙන් හමුවූ බව පවසන ඔවුහු මෙම ශාකය වැවට පැමිණි ආකාරය පිළිබඳ වෙනමම පරීක්ෂණයක් ආරම්භකර ඇති බව ද ඔවුහු කීහ. 


උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »