පොලිතීන් තහනමත් එක්ක පන් මල්ලට හොඳ කලක් එයි?

2017-09-18 11:20:00       26
feature-top
පන් වියමනෙන් ජීවිතයේ හෙටක් සොයන ජීවිතවල කදුළු කථාව...

* අපට වෙළෙ‍ඳ පොළක් හදා දෙන්න
* රට පැදුරු කීයයි කීවත් අරන් යන අය අෙප්ම මහන්සියට ෙහට්ටු කරනවා...

මෙරට සාම්ප්‍රදායික ගැමි ජන සමාජය හා අනිවාර්ය අංගයක් ලෙස බැඳී පැවැති පාරම්පරික පන් පැදුරු කර්මාන්තය ක්‍රමානුකුලව බිඳවැටීමකට ලක්වෙමින් පවතින බව කර්මාන්තයේ නියුතුවුවෝ පවසති. නිෂ්පාදන අතරමැදි මැදිහත්වීමකින් තොරව පාරිභෝගිකයාට සෘජුව අලෙවි කිරීමේ යම් වැඩපිළිවෙළකින් තම ජීවිත වඩාත් සුරක්ෂිත වනු ඇතැයි යන්න මේ ගැමියන්ගේ විශ්වාසයයි. විවිධ දුෂ්කරතා මැද ජීවිතයේ සැදෑ සමයේ පන් පැදුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය වියා ජීවිතය ගැට ගසන්නට වෙහෙසෙන මැදවච්චිය, දාච්චිදමන පුරාණ ගමේ වැඩි දෙනකු අතට කීයක් හෝ හොයා ගන්නේ පන් කර්මාන්තයෙනි.

දාච්චිදමන ගමේ පී.ජී. මැගිලින් නෝනා හැත්තෑ හැවිරිදිය.

“ අපි කාගෙන්වත් අමුතුවෙන් කියලා මේ කර්මාන්තේ ඉගෙන ගත්තේ නෑ. ඒ කාලේ අම්මලා වියන දිහා බලාගෙන ඉගෙන ගත්තා. අපි ළමිස්සියෝ කාලේ

පැදුරක් වියාගන්ඩ බෑ කියන එක ගෑනු කෙනෙකුට ලොකු අඩුවක්. ඉතිං කොහොම හරි බලාගෙන ඉගෙන ගන්නවා. ඒ කාලේ රටින් ගෙනාපු පැදුරු, වට්ටි, පෙට්ටි අපේ ගම්වල තිබුණේ නෑ. දැන් හැමදේම කඩේ ගන්ඩ තියෙනවා. ඒ හින්දම දැන් ඉන්න ළමයින්ට මේවා ඉගෙන ගන්ඩ උවමනාවක් නෑ. මේවා ඉගෙන ගන්න එක නිකංම මග ඇරෙනවා.”

ඔවූහු කුඹුරු යාබදව හෝ වැව් තාවලු අශ්‍රිතව වැවෙන පන් වියමනට භාවිත කරති. ගල්ලැහැ, තුන්හිරියා, හම්බු හෙවත් පොතු කොළ, වැටකෙයියා ආදී පන් වර්ග මෙන්ම ඉදිකොළ, පොල් කොළ හා තල් කොළ ආදිය ද වියළා පදම් කොට පැදුරු හා ඒ ආශ්‍රිත විවිධ නිෂ්පාදන සඳහා යොදා ගනිති. නෙළන ලද අමු පන් මනාව වියැළීමට දින පහක් පමණ ගත වේ. කුප්පි ලාම්පු එළියෙන් රෑ මැදියම තෙක් පැදුරු වියන කාලයේ පටන් මේ දක්වා පන් ගොලු අතර ජීවිතය ගෙවන දාච්චිදමන ගමේ ජී. ශාමා මහත්මිය සෑම සිකුරාදා දිනකම තමන් වියූ පන් නිෂ්පාදන මැදවච්චිය පොළට ගෙන යන්නීය. ඈ ජීවිතය ගැට ගසා ගන්නේ පන් පැදුරු, වට්ටි හා පෙට්ටි ආදිය විකුණා ලැබෙන සොච්චමෙනි.

“මගේ එකම පුතා වකුගඩු අමාරුව හැදිලා නැතිවුණා. මහත්තයාත් අසනීප ගානේ ඉන්නේ දැන්. ජීවත් වෙන්න තියෙන එකම මාර්ගේ මේක. තාමත් පන් පැදුරු වට්ටිවලට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් අපිට උදවුවක් කරන්න කවුරවත් නෑ. ස්වයං රැකියාවලට උදවු කරනවා. ඒත් ගම්වල ඉඳගෙන මේ විදිහේ කර්මාන්ත කරන අපි ගැන බලන්න කවුරුවත් නෑ. අපි දුක් මහන්සි වෙලා වියන කරන දේවල් තියාගෙන විකුණන්න තැනක් ලැබෙනවා නම් ඒක වටිනවා.”

පැදුරු කර්මාන්තය සදහා භාවිත වන අලංකාර වු පාරම්පරික නිර්මාණ රටා අතර වංකගිරිය, පියුම් මල, තාරකා මල ආදිය දැකිය හැකිය. වියන පැදුරෙහි විසිතුරු බව වැඩිකිරීම සදහා පෙත්ත, දෙපොට ලණුව සහ මල්ගස් යන රටාද නෙළුම්, නා මල්, අටපෙතියා මල් ආදියෙහි හැඩ තල ද ඔවුහූ භාවිත කරති. ඉර, හඳ, තාරකා මෙන්ම ගෝනුන්, මුවන්, ඇතුන්, අසුන් වැනි සතුන් ද රටා පැදුරු විවීමේ දී මෝස්තර ලෙස විවිධාකාරයෙන් උපයෝගි කොට ගනිති. ගල්තරු රටාව, හී රටාව, හරස් රටාව, හංස පුට්ටුව ආදිය පැදුරු සඳහා ගැමි ලියන් භාවිත කොට ඇති තවත් රටා කිහිපයකි.

අඩි හයක් දිගැති, අඩි හතරක් පළලැති පැදුරක් රුපියල් එක්දහස් දෙසීයක් පමණ වන බවත්, අඩි පහක් දිගැති, දෙකහමාරක් පළලැති පැදුරක් රුපියල් හයසීයක් පමණ වන බවත් මේ කාන්තාවෝ පවසති. විශාල ප්‍රමාණයේ විට්ටියක මිල රුපියල් දෙසීය පනහකි. මල්ලක් ද එම ගණන්මය.

වයි. සෝමාවතී මහත්මියගේ පදිංචිය ද දාච්චිදමනය. පන් කපා, වේළා, පදම් කොට, වර්ණ ගන්වා දින ගණනක් තිස්සේ දෑඟිලි වෙහෙසවමින් ඇය පැදුරු වියන්නේ වසර ගණනක සිටය.

“ගෙදර වැඩක් පොළක් කරන ගමන් තමයි මේ කර්මාන්තෙත් කරන්නේ. මට ලොකු වට්ටියක් පැය හතරකින් විතර වියන්න පුළුවන්. අඩි හයේ හතරේ පැදුරක් වියන්ඩ දවස් හතරක් විතර යනවා. පහේ දෙක හමාරේ පැදුරකට දවස් තුනක් විතර යනවා. සමහර දවස්වලට රෑ දොළහ එක විතර වෙනකල් නිදි මරාගෙන වියනවා. පායන කාලෙට පන් කපලා, වේළලා, පදන් කරලා, සායම් දාලා තියාගන්නවා. එතකොට වැස්ස කියලා වැඩ නැතිවෙන්නේ නෑ. මොනතරම් මහන්සි වුණත් අපිට මේකෙන් මහලොකු දෙයක් හම්බ වෙන්නේ නෑ. එදිනෙදා ජීවත් වෙන්න වියදම හොයාගන්න තමයි මේ වෑයම. රටින් ගේන පැදුරු කීයයි කිව්වත් අරගෙන යන සමහර අය අපි ළඟට ඇවිත් මේ පන් බඩුවලට හරියට හෙට්ටු කරනවා.”

අතීතයේ පන් කර්මාන්තයේ නොයෙදෙන ළඳුන් වෙසෙන ගමක් සොයාගැනීම ඉතා අසීරු කරුණක් විය. වර්තමානයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. එවක පන් කර්මාන්තයේ යෙදීමට හැකිවීම ගැමි ලියට මහත් ආඩම්බරයට කරුණකි. පැදුරු, වට්ටි, පෙට්ටි, මලු ආදිය ලාංකික ගැමි සමාජයේ එවක පැවැති සරල දිවි පෙවෙතට මනා රුකුලක් විය. නමුත් ආනයනික නිෂ්පාදන සපිරි වත්මන් අරුමෝසම් සමාජ පරිසරය තුළ ඒ සියල්ල විනාශ වී ගොසිනි. එදා ගමේ පන් පැදුරට පන් මල්ලට තිබූ තැන සිලි මල්ලට ප්ලාස්ටික් පැදුරට හා පොලිතීන් කවරයට ගියේ පරිසරයටත් හානියක් කරමිනි. එහි ඵල විපාක වැඩි කලක් නොයාම දක්නට ලැබුණේ මහා විනාශයක් ද සමඟිනි. මෙයට පිළියමක් ලෙසින් පොලිතීන් තහනමක් පැනවුණත් එහි පූර්ණ ක්‍රියාත්මක වීමත් තවමත් දක්නට නොලැබෙන්නේ ලබන ජනවාරියේ සිට නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වීමට කල් තබමිනි. මෙනිසා අපේ රටේ පැරැණි පන් කර්මාන්තයට යළිත් හොඳ කලක් ලැබේ යැයි පන් කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙක් බලාපොරොත්තු පළ කරති. ජීවිතය පවත්වාගෙන යෑමට වෙනත් මඟක් නොමැති හෙයින්ම පාරම්පරික පන් කර්මාන්තයට පෙම්බැඳි දාච්චිචමන ගමේ මේ වියපත්, ධෛර්යසම්පන්න කාන්තාවන්ද දෑස් දල්වා බලා සිටිනුයේ ඔවුන්ගේ දහදියට මනා වටිනාකමක් ලැබෙනතුරුය.

More News »