නෑසිය යුතු කතාවක්‌ රුවන්වැල්ලෙන් ඇසෙයි
ඒ කාම ගින්න නෑකම් ද දවා අළු කළේය

2017-09-11 11:38:00       51
feature-top
තම ජීවිතය දෙවැනිකොට ආදරය කරන බිරිඳ ඇයගේ මවගේ ඥති සහෝදරයකු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන යන්නේ නම් එය කොතරම් ජුගුප්සාජනක සිද්ධියක්‌ වේද? සාරධර්ම පිරිහෙමින් පවතින වර්තමාන සමාජයේ දිනපතාම පාහේ මෙවැනි කතා අසන්නට දකින්නට ලැබේ. මෙයද එවැන්නකි.

රසික, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පාසල් අධ්‍යාපනය හමාර කළ ඔහු මෙරට පිළිගත් පෞද්ගලික සන්නිවේදන ආයතනයක රැකියාවක නිරත විය. තරමක කටකාරයකු සහ උත්සාහවන්තයකු වූ ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ හිත හොඳ පුද්ගලයකු ලෙසින්ය.

අමාලි ද රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණියකි. හරි හමන් පාසල් අධ්‍යාපනයක්‌ නොලද ඇය දඟකාර යුවතියක වූවාය. පවුලේ වැඩිමලා වූ ඇයට සහෝදරයකු සහ සහෝදරියක සිටියහ. පිරිමින්ගේ ආකර්ෂණය දිනාගත හැකි රූ සපුවක්‌ උපතින්ම ඇය රැගෙනවිත් තිබුණාය.

පාසල් කාලයේ සිට ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්‌ පවත්වාගෙන ගියාය. එහෙත් ඒ සියල්ල දීර්ඝකාලීන ඒවා නොවීය. මුළු හදවතින්ම එක්‌ අයකුට ආදරය කිරීමට ඇයට නොහැකි විය. ඒ ඇයගේ ස්‌වභාවයයි.

නොහිතූ මොහොතක ජීවිතයේ පළමුවරට රසිකට අමාලි මුණ ගැසෙන්නේ රුවන්වැල්ල නගරයේදීය. එම හමුවීමෙන් මාස කිහිපයකට පසු ඔවුහු කාටත් හොරෙන් පෙම්වතුන් බවට පත්වූහ. එතැන් සිට රසිකගේ මුළු ජීවිතයම වූයේ ඇයයි. ඔහු මුළු හදවතින්ම අමාලිට ආදරය කළේය. එහෙත් මුළු හදවතින්ම ඇය රසිකට ආදරය නොකළාය. ඇයගේ හදවත තුළ තවත් කිහිප දෙනකුටම ඉඩ තිබුණි.

තත්ත්වය එලෙස වුවත් ඔවුහු වසර ගණනක්‌ අඛණ්‌ඩව ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගියහ. අවසානයේ දෙපාර්ශ්වයේ ආශිර්වාද මැද දැනට වසර හයකට පමණ ඉහතදී රසික සහ අමාලි විවාහ වූහ. එවිට ඇයගේ වයස අවුරුදු දහඅටකි. රසිකට වුවමනා වූයේ සාර්ථක පවුල් ජීවිතයක්‌ ගත කිරීමටයි.

විවාහ වී මාස හයක්‌ ගතවීමට මත්තෙන් දෙදෙනා අතර රණ්‌ඩු සරුවල් ඇතිවිය. එයට ප්‍රධානම හේතුව වූයේ අමාලිගේ සමහර ගති පැවතුම්ය. බොළඳ සිතක්‌ තිබූ ඇයට විවාහයේ වටිනාකම සහ වගකීම ගැන අල්ප මාත්‍රයක දැනුමක්‌ නොතිබුණි. මොන වරද කළත් තම බිරිඳ ගැන සැකයක්‌ නොසිතූ රසික ඇයට වෙනදා මෙන්ම ආදරය කළේය.

අමාලිගේ මව නන්දාවතීය. ඇය චරිතවත් කාන්තාවක්‌ නොවූවාය. පවුලේ සමහර ඥතීන් මෙන්ම ප්‍රදේශවාසීහුද ඒ බව හොඳින් දැන සිටියහ. නන්දාවතීගේ ස්‌වාමිපුරුෂයා පියසේනයි. ඔහු ඉතා අහිංසක පුද්ගලයෙකි. තම බිරිඳගේ වැරැදි ක්‍රියා කලාපයන් නවතා ගැනීමට නොහැකි තැන ඔහු ගම අතහැර දමා ගියේය. නන්දාවතීගේ නරක ගතිගුණ සියල්ල එලෙසින්ම අමාලිටද පිහිටා තිබුණි.

කලක්‌ යුද හමුදාවේ සේවය කළ චන්දන දැන් එයින් ඉවත් වී සිටින්නකි. එක්‌දරු පියකු වන මොහු මත්පැන්වලට සහ ගැහැනුන්ට වැඩි කැමැත්තක්‌ දැක්‌වූ අයෙකි. කොටින්ම කියතහොත් ඔහු සල්ලාලයෙකි. තරුණියන් සමඟ අනියම් සම්බන්ධතා පවත්වාගෙන අවස්‌ථා කිහිපයකදී ජීවිතය වරදවා ගත් පුද්ගලයෙකි.

චන්දන නන්දාවතීගේ සමීපතම ඥති සහෝදරයෙකි. එම නිසා කලක සිට එම පවුල් දෙක අතර සමීප සම්බන්ධතාවක්‌ ගොඩනැඟී තිබුණි. චන්දන නිතරම පාහේ තම ඥති සොහොයුරිය වන නන්දාවතීගේ නිවසට පැමිණියේය. ඒ හොර අරමුණක්‌ යටි සිතේ තබාගෙනය.

කාමයට ලොල් වී සිටි චන්දනට වුවමනා වූයේ තම ඥති සොහොයුරිය වන නන්දාවතී සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමටයි. නන්දාවතීත් චන්දනට දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය. එහෙත් කාරණා කිහිපයක්‌ මත ඒ බව ඇය පෙන්වූයේ නැත.

එකම රැහේ උන් එකට හමුවෙනවා සේ කල් නොගොස්‌ම චන්දන සහ නන්දාවතී අතර අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනැඟුණි. ලද සෑම මොහොතකම ඔවුහු රිසි සේ කම්සැප වින්දාහ. කාටත් හොරා ගොඩනැඟුණු එම අනියම් සම්බන්ධතාවය වැඩිකල් නොගොස්‌ බොහෝ දෙනා දැන ගත්හ. එහෙත් චන්දන එතැනින් නැවතුණේ නැත. ඔහුට වුවමනා වූයේ තම සහෝදර ඥති සොහොයුරියගේ දියණිය වන අමාලි සමඟද අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමටයි. එම නිසා ඔහු අමාලි කෙරෙහි වැඩි උනන්දුවක්‌ දැක්‌වීය. නිවසට පැමිණෙන සෑම මොහොතකම අමාලිට මොනවා හෝ දෙයක්‌ ගෙන ඒමට ඔහු අමතක නොකළේය.

අමාලිද මව මෙන්ම කාමුක ගැහැනියක වූවාය. තම ස්‌වාමිපුරුෂයාගෙන් ලද තෘප්තිය ඇයට මදි විය. එම නිසා ඇය තම මාමා වන චන්දන වෙත ක්‍රම ක්‍රමයෙන් ළං වූවාය. ගැහැනුන් රවටා ගැනීමට චන්දන තරම් හපනෙකු රුවන්වැල්ල ප්‍රදේශයේම නොසිටියේය. එම නිසා වැඩි කලක්‌ යන්නට මත්තෙන් තම ඥති දියණිය සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට එම මාමාට හැකි විය.

පණ මෙන් ආදරය කරන තම ස්‌වාමිපුරුෂයාට පිටුපාමින් අමාලි තම මාමා සමඟ ලද සෑම මෙහොතකම ලිංගිකව හැසිරුණාය. මැදි වයස පසු කරමින් සිටි චන්දනට අමාලිව පෙණුනේ සුරදූතියක්‌ ලෙසින්ය. එම නිසා ඔහු ඇය වෙනුවෙන් අතපය දිග හැර මුදල් වියදම් කළේ තම එකම පුතු සහ බිරිඳ ගැනවත් නොසිතාය.

කලක්‌ ගතවෙද්දී ඇයට මාමාගෙන් තොර ලොවක්‌ නොමැති විය. එම නිසා ඇයට තම ස්‌වාමි පුරුෂයා එන්න එන්නම එපා විය. තම බිරිඳගේ වෙනස්‌වීම රසිකට මහත් ප්‍රහේළිකාවක්‌ විය. ඔහු සිතුවේ තමා අතින් නොදැනුවත්ව හෝ බිරිඳට වරදක්‌ වී ඇති බවයි. එම නිසා වෙනදාටත් වඩා ඔහු තම බිරිඳ ගැන සැලකිලිමත් විය.

මාස කිහිපයක සිට චන්දන වෙනස්‌ වී ඇති බව නන්දාවතීට ඉවෙන් මෙන් දැනුණාය. ඇය ඒ බව හොර රහසේ සොයා බැලුවාය. එවිට ඇයට දැන ගන්න ලැබුණේ චන්දන තම දියණිය සමඟද අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගෙන ඇති බවයි. ඇයගේ සිතට ලොකු වේදනාවක්‌ දැණුනි. ඒ තම දුව ගැන නොව චන්දන ගැනයි. ඇය සිතුවේ දුව නිසා චන්දනව තමාට අහිමි වෙයි කියාය. එම නිසා කෙසේ හෝ මෙම සම්බන්ධතාව නතර කර දැමීමට ඇය උත්සාහ කළාය.

මොන දේ කළත් ඇයට තම දුව සහ ඥති සොහොයුරා අතර ඇති අනියම් සම්බන්ධතාව නතර කර ගැනීමට නොහැකි වූවාය. අවසානයේ ඇය තම දියණියගෙන් ඒ ගැන විමසුවාය. එවිට නොබියව ඇය තම මවට පැවසුවේ ස්‌වාමිපුරුෂයාගෙන් තෘප්තිමත් නොවන නිසා මාමා සමඟ එලෙස සම්බන්ධතාවක්‌ පවත්වන බවයි.

මාමාගේ සහ දියණියගේ එම අනියම් සම්බන්ධතාව නවත්වා දැමීමට නොහැකි බව ඇයට අවබෝධ විය. එම නිසා කාම ගින්නෙන් වෙළුණු ඇය තම බෑණා සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ කළාය.

දිනක්‌ තම බෑණා විවේකීව නිවසේ රැඳී සිටි මොහොතක දානමය පිංකමකට තමා රැගෙන යන ලෙස ඇය පැවසුවාය. බිරිඳගේ මවගේ එම වචනය අහක දැමීමට නොහැකි නිසා ඔහු තම යතුරුපැදියෙන් ඇය සමඟ එම ගමන යැමට පිටත් විය. නිවස පසුකර කිලෝමීටර් තුනක්‌ පමණ ගිය කල ඇය රසිකට යතුරුපැදිය නවතන ලෙස පැවසුවාය. ඒ අනුව ඔහු යතුරුපැදිය නැවැත්තුවේය.

"පුතේ මම ආවේ දානෙ ගෙදරක යන්න නොවේ ඔයත් එක්‌ක වැදගත් දෙයක්‌ කතා කරන්න. ඒක නිසා අපි කොහේ හරි නිස්‌කලංක තැනකට ගිහින් කතා කරමු" ඇය පැවසුවේය.

"ඉතින් මෙතැන කතා කරන්න බැරිද?" ඔහු පැවසුවේය.

"බැහැ බැහැ. අපි හෝටලයකට යමු. වෙන කොහේවත් කතා කරන්න බැහැ" ඇය යළි පැවසුවාය.

ඒ අනුව ඔවුන් දෙදෙනා එම ප්‍රදේශයේ ලැගුම්හලකට ගියහ. නන්දාවතී බෑණාට කාමරයක්‌ වෙන්කර ගන්නා ලෙස පැවසුවාය. ඔහු ඒ අනුව ක්‍රියා කළේය. ඉදිරියට සිදු වන්නේ කුමක්‌ද කියා සිතා ගැනීමට නොහැකිව රසික අන්දමන්ද වී සිටියේය.

දෙදෙනාම කාමරය තුළට ගොස්‌ දොර වසා ගත්හ. ඉන්පසු නැන්දම්මා රසික ළඟට ගොස්‌ "අපේ දුව ඔයාගෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔයාට ලෙඩක්‌ තියෙනවාද" කියා විමසුවාය. "මොන විකාරද ඔය දොඩවන්නේ... ඔයාට පිස්‌සුද?" ඔහුට කීමට හැකිවූයේ එපමණයි. නන්දාවතී තම බෑණාව වැරෙන් වැළඳ ගත්තාය. ඉන්පසු එම බිත්ති හතර තුළ සිදුවූ දෙය කිසිවෙකුටත් පැවසිය නොහැකිය.

එම සිදුවීමෙන් පසු රසික සිටියේ දෙලොවක්‌ අතරය. ඔහුට ජීවිතය පවා එපාවී තිබුණි. ඒ සමඟම තම බිරිඳ මාමා සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වන බවට ඔහුට ආරංචි විය. එක හෙළා එය පිළිගැනීමට තරම් ඔහුගේ සිත දරුණු නොවීය. එහෙත් එන්න එන්නම තම බිරිඳ ගැන ඔහුගේ කන වැටුණේ ඉතා නරක ආරංචි පමණකි.

අවසානයේ ඔහු තම බිරිඳ ගැන සොයා බැලුවේය. ඇය යන එන ගමන් පිළිබඳ සොයා බැලීමට පෞද්ගලික ඔත්තුකරුවකුද යෙදෙව්වේය. සතියක්‌ ගතවීමට මත්තෙන් ඔහු අමාලි ගැන සියලු තොරතුරු සොයා ගත්තේය. ඒ අනුව ඇය මාමා සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වන බව රසික තහවුරු කර ගත්තේය.

රසික එය අතටම අල්ලා ගැනීමට උපක්‍රමයක්‌ යෙදුවේය. ඔහු දිනක්‌ රැකියාවට යන ලෙසින් නිවසින් පිටත්ව ගොස්‌ මඟ නැවතී ඇය ගැන විමසිල්ලෙන් සිටියේය. ඒ සඳහා යහළුවකුගේ සහාය ද ලබා ගත්තේය. එදිනද සුපුරුදු පරිදි චන්දන නිවසට පැමිණ අමාලි සමඟ අනියම් පෙම් සැප විඳීමට ගියේය. අවසානයේ ඔවුන් හඹාගිය රසික සියලු තොරතුරු අනාවරණය කර ගත්තේය.

තම බිරිඳ වෙනත් පුරුෂයකු සමඟ ලිංගිකව එක්‌වී සිටිනු අයුරු දැකීම ස්‌වාමිපුරුෂයකුගේ සිතට කොතරම් වේදනාවක්‌ සහ ආවේගයක්‌ ගෙන දෙන්නක්‌ද? එහෙත් රසික ඒ සියල්ල ඉවසාගෙන සිටියේය. වෙන අයෙකු නම් ඒකාන්තයෙන්ම දෙදෙනාටම පහරදී මරා දමනු ඇත. ඔහු සන්සුන් වී දුරදිග කල්පනා කර රුවන්වැල්ල පොලිසියට ගොස්‌ ඒ පිළිබඳ පැමිණිලි කළේය.

පොලිසියේදී පවා කාම ගින්නෙන් පෙළුණු එම තරුණිය ප්‍රකාශ කර තිබුණේ තම සැමියාගෙන් තෘප්තිමත් නොවුණු නිසා එලෙස ඥති මාමා සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත් බවයි. අවසානයේ කිව හැක්‌කේ ලෝවැඩ සඟරාවේ එන මෙම කවි පේළියයි.

කරන කලට පව් මිහිරිය මී සේ
විඳින කලට දුක්‌ දැඩිවේ ගිනි සේ

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »