කඨින පින්කම් අභිබවා යන ‘කඨින ජාවාරම්’

2017-09-08 10:16:00       31
feature-top
වප් පුරපසොළොස්වක (ඔක්තෝබර් 05) පොහෝ දිනයේ සිට ඉල් පුර පසොළොස්වක (නොවැම්බර් 03) පොහෝ දින දක්වා ශ්‍රී ලංකා වාසීන්ට අතිශය කුසල් සම්භාරයක් රැස් කර ගත හැකි සමයක් එළඹෙනවා.

එය හැඳින්වෙන්නේ කඨින චීවර මාසය ලෙසයි.

ශ්‍රී ලාංකිකයන් කොතෙකුත් ආගමික වත් පිළිවෙත් වල යෙදුණත් භික්ෂු විනය හා සම්බන්ධ ආගමික කටයුත්තකට එක් විය හැක්කේ මෙම කඨින චීවර මාසය ‍තුළ දී පමණයි. එය බෞද්ධ සමාජයේ ගිහි - පැවිදි සුසංයෝගය කදිමට අර්ථවත් කරවන්නක්. නමුත් කඨින චීවර පූජාව සම්බන්ධව බෞද්ධ විනයානුකූල වත් පිළිවෙත් රැසක් තිබෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික වත් පිළිවෙතුත් ඒ අතරට එක්වෙනවා.

ගත වූ කාලය තුළ අපේ රටේ කඨින පිංකම් සංවිධානය වුණේ මේ ධර්මානුකූල සහ සාම්ප්‍රදායික පසුබිම පදනම් කරගෙනයි. නමුත් මෑතක සිට මෙම කඨින පින්කම් උඩු යටිකුරු වීමේ ශෝචනීය තත්ත්වයක් ‍අපට හොඳින් දැක බලා ගන්නට පුළුවන්.

කඨින පින්කම යනු හුදු ආධ්‍යාත්මික ගණයෙහි ලා සැලකිය හැකි පින්කමක්. එහි කිසියම් සංස්කෘතික පදනමක් ද තිබෙනවා. ඒ අතර ඒ සංස්කෘතික පදනම තුළ දැහැමි විනෝදාස්වාදයක් ලබා ගැනීමේ යම් අවකාශයක් ද බෞද්ධයන්ට හිමිවී තිබෙනවා. නමුත් අද වන විට කඨින පින්කමේ ඇති ආධ්‍යාත්මික පක්ෂය ශීඝ්‍රයෙන් ක්‍ෂය වෙමින් පවතින අතර එහි සංස්කෘතික හා විනෝදාත්මක පක්ෂය වේගවත්ව ඉහළ නැගෙමින් තිබෙනවා. මෙහි අලුත්ම ප්‍රවණතාවය නම් එහි සංස්කෘතික පක්ෂයටත් වඩා විනෝදාත්මක පක්ෂය ශීඝ්‍රාකාරයෙන් හිස එසවීමයි. එමෙන්ම එම විනෝදය නිසරු විනෝදයක් බවට පත්වෙන බවකුත් පැහැදිලිවම පෙණෙනවා.

ඒ අනුව කලින් කඨින පින්කම් වශයෙන් සැලකුණු කඨින උත්සව මේ වන විට ‘කඨින සැණකෙළි’ හෙවත් ‘කඨින කානිවල්’ බවට පත්වීමේ පැහැදිලි නැඹුරුවක් තිබෙනවා.

විහාරස්ථානයක් කේන්ද්‍රකරගෙන පවත්වන කඨින පින්කමේ එන කඨින පෙරහැර ප්‍රදේශයේ පවත්නා කලා මංගල්‍යයක් සහ විනෝද සාගරයක් බවට පත්වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. සමහර ප්‍රදේශවල කඨින පෙරහැර සඳහා අලි ඇතුන් පවා සහභාගී කරගනු දක්නට පුළුවන්. සමාන්‍යයෙන් කඨින චීවරය සම්ප්‍රධායානුකූලව විහාරස්ථානය වෙත වැඩම කළ යුත්තේ හිමිදිරි යාමයේ වුවත් දැන් කඨින චීවරය රැගත් පෙරහැර ඊට පෙර දින සවස විහාරයට වැඩම කරන අවස්ථාත් දක්නට පුළුවන්.

එහිදී කඨින පෙරහැර නගරයේ වීදි සංචාරය කරන දිනයේ යම් යම් පිරිස් ‘මැජිකෝ රවුන්ඩ්, කතුරු ඔන්චිල්ලා, මාරක ළිඳ’ ආදි කානිවල් අංග ද එක්කර තිබෙන බව අසන්නට තිබෙනවා.ඒ වගේම 'ඔලු බක්කන්' ආදී විකාර රූපී සන්දර්ශනත් නූතන කඨින පෙරහරවල් තුළ බහුලවම දක්නට ලැබෙනවා.

සාමාන්‍යයෙන් කඨින චීවර පූජාවක දී දායක කාරකාදීන් තම විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේලාගෙන් ඒ සඳහා ධර්ම විනයානුකූල උපදෙස් ලබා ගත යුතුයි. නමුත් අද වන විට මේ ‘කඨින සැණකෙළි’,  ‘කානිවල්’ සම්බන්ධයෙන් ගිහියන් භික්ෂූන්වහන්සේලාට උපදෙස් දෙන අවස්ථාද අප කොතෙකුත් අසා දැක තිබෙනවා.

“හාමුදුරුවනේ අසවල් පන්සලේ කඨින පෙරහැරට අලි තුනක් ගෙනත් තිබුණා; අපි අඩුම ගානේ අලි පහක්වත් ගේන්න ඕනෑ.” වැනි කථා දායකකාරකාදීන් භික්ෂූන්වහන්සේට කියා සිටිනවා.

“කඨින පූජාව සහ අලි ඇතුන් අතර තියෙන සම්බන්ධය කුමක් දැ” යි ඒ දායකකාරකාදීන්ගෙන් අසන්නට වත් සමහර භික්ෂූන්වහන්සේලාට හැකියාවක් නැහැ.  එවිට දාකකාරකාදීන් කියන්නේ ‘හාමුදුරුවෝ පන්සලේ වැඩවලට, දියුණුවට අකුල්හෙලනවා’ කියායි. නමුත් බුදු දහමින්, සම්බුදු සසුනෙන් තොර පන්සල් තිබීමෙන් පලක් නොමැති බව ඔවුන් සිතන්නේ නැහැ.

ස්වාමින් වහන්සේලා සහ දායක කාරකාදීන් අතර මෙවන් මත‍භේද උග්‍ර වූ පසු භික්ෂූන් වහන්සේලාට අභූත චෝදනා එල්ලකොට උන්වහන්සේලා පන්සල් වලින් නෙරපා හැරීමට පවා කුමන්ත්‍රණය කරන පිරිස් ගැනද අප අසා තිබෙනවා.

කඨින පිංකම අභිබවා ගිය නවතම කඨින සැණකෙළි තුළ ප්‍රබල ව්‍යාපාරික සහ ජාවාරම් කාර මුහුණුවරක්ද තිබෙනවා.  විශාල මුදලක් වැය කොට මෙම කඨින පිංකම් සඳහා මල්වෙඩි සංදර්ශන පැවැත් වූ හොර මත් පැන් මත් ද්‍රව්‍ය ආදී නීති විරෝධී ජාවාරම් කරුවන් ගැන අප අසා තිබෙනවා. ඒ මල්වෙඩි සංදර්ශනයේ ආලෝකයෙන් එම පවිටු ජාවාරම්  තුළින් ඔවුන්ගේ ජීවිත වසා තිබෙන අඳුර ඉවත් කළ හැකි යැයි ඔවුන් සිතනවා ඇති.

ඊට අමතරව මෙවන් කඨින පිංකමක් සඳහා රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වැය කරන පිරිස් ගැනද අප අසා දැක තිබෙනවා. ඊට අමතරව මෙවන් සන්දර්ශන සඳහා ගෙයින් ගෙට මුදල් සම්මාදම් කිරීම්ද දක්නට පුළුන්. මෙයින් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව තුළ ඇතිවන හැඟීම වනුයේ ‘කඨිනය වෙනුවෙනුත් පන්සල අපිව සූරාකනවා’ යන හැඟීමයි. නමුත් මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ විහාරාධිපති ස්වාමින්වහන්සේගේ දැනුවත් කම ඇතිව හෝ නැතිව අති විශාල මුදලක් ජාවාරම් කරුවන් අතට පත්වීමයි. මෙය ඇතමුන් කඨින පින්කම මුල්කරගෙන කරනු ලබන ගසා කෑමක්. මෙය සුවිසල් ශාසනික විනාශයකට වගේම ජාතික ඛේදවාචකයකට තුඩු දෙන කරුණක්.

එනිසා මෙවර කඨින පිංකම් සංවිධානයේ දී අනවශ්‍ය විය හියදම්, නාස්තිය දුරුකොට බුදු දහමේ මූලික හරයන්ට එකඟ වන සේ අරපිරිමැසුම් දායක ලෙස මිනිසා ගේ දෙලොව සංවර්ධනයට ඉවහල් වන අයුරින් ආධ්‍යාත්මික පක්ෂයට මුල් තැන දෙන ලෙස මෙම උතුම් පිංකම සංවිධානය කිරීම කෙරෙහි ගිහි පැවිදි දෙපිරිසේම ‍අවධානය යොමු විය යුතු බවයි අපගේ විශ්වාසයයි.

ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි,
විහාරාධිපති, මිරිසවැටිය රජමහා විහාරය,
පූජා නගරය,
අනුරාධපුර.

Wmqgd .ekSu nqoqirK mqj;a m; weiqfrks

More News »