මරණාසන්නව පාරේ වැටී සිටි බලුපැටියෙකුට ජීවිතය දුන් මානුෂීය මෙහෙයුම

2017-09-06 03:29:00       28
feature-top
හැම පුංචි ජීවිතයකටම මිල කළ නොහැකි වටිනාකමක් ඇත. එමෙන්ම හැම ජීවිතයකම ඉරණමත් අපට වෙනස් කරන්නට පුළුවන. ඉතා ඉක්මනින් එලොව යන්නට සිටි පුංචි ‘ජෙරී’ ගේ ඉරණම වෙනස් වූයේ ඒ ලෙසිනි.

ගෙවුණු ජුනි 29 වැනිදා සමීර සුරේෂ් සිය ත‍්‍රිරෝද රියෙන් මහනුවර රෝහල බලා යමින් සිටියේ ඔහුගේ පියා අසනීපව රෝහල් ගතකර සිටි නිසාය.  අතරමග පාර අයිනේ වේදනාවෙන් අඬන බලූ පැටවකු දුටු සමීර ත‍්‍රිරෝද රිය නවතා මොහොතකට ඒ දෙස බැලූවේය. දුටු දෙයින් සමීරගේ හද කම්පා වුණේය. රිය අනතුරකට ලක්ව කට තුවාල වී හක්ක පැන යටි හක්ක එල්ලා වැටෙමින් සිටි බලූ පැටවාගේ දෙඇසේ පිරී තිබූ කඳුළු සමීරගේ හදවතත් අඬවන්නට සමත්වුණේ ඔහු ද සතුන්ට බොහෝ ආදරය කරන පිහිටවන කෙනෙක් නිසාම නොව සතා දෑසින් කී අසරණ කතාව දැනුණු නිසාය. මාස එකහමාරක් පමණ වයසැති බලූ පැටවා දෝතට ගත් සමීර සිදුව ඇති දේ වටපිටාවෙන් දැනගන්නට විපරම් කළේය.

”දැන් දවස් දෙකක් විතර ඔය සතා ඔතන කෑගගහ ඉන්නෙ.”
ඒ ආසන්නයේ වූ කඩයකින් ලැබුණේ එවැනි පිළිතුරකි. තුවාලයේ වේදනාවත් සමග දින දෙකක් සතාට කෑමක් බීමක් ද නැති බව සමීරට එවර මතක් විය. ඔහු බලූ පැටවා ඒ ආසන්නයේ සිටින පශු ශල්‍ය  වෛද්‍යවරයා වෙත ගෙන ගියේය. මිලක් නොගෙනම  වෛද්‍යවරයා ඒ මොහොතේ සතාගේ හක්කට තාවකාලික සැත්කමක් කළේය. ඒ අනුව කැඞී එල්ලා වැටුණු හක්ක මැසූ වෛද්‍යවරයා සේලයින්  බෝතලයක් කපා සැකසූ මුඛ වාඩමක් ද දැමුවේ කටට දැමූ මැහුම් බලූ පැටවා කඩා ගනු ඇතැයි කියාය. බඩගින්නේ වතුර හි`ගව සිටි බලූ පැටවාට සේලයින් දුන්නෙන් මලානික ගතිය ද මඳක් පහව ගියේය.

”මේක තාවකාලිකව කළේ. මෙයාට ප‍්‍රතිකාර කරන්න නුවර පශු වෛද්‍ය රෝහලට ගෙනියන්න.”

සමීර මැදිවුයේ බරපතළ ප‍්‍රශ්නයකටයි. ඔහු වෘත්තියෙන් ත‍්‍රිරෝද රථ රියැදුරෙකි. වෘත්තියත්, රෝහලේ සිටින පියාගේ තත්ත්වයත් සමග බලූ පැටවාට සම්පූර්ණ ලෙසම කැපවන්නට අපහසුය. ඒත් බලූපැටවා අත්හරින්නත් දුකය. ඔහු සතාව ගෙදර ගෙන ගියේ කෙසේ හෝ බලූපැටවා සුවපත් කරන අධිෂ්ඨානයෙනි. ඒ අතරේ ඔහුට මතක් වූයේ සතුන් වෙනුවෙන් අපමණක් කැපවෙන බව් බව් සංවිධානයේ ගිහාන් දිනුෂ්කයි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන ගිහාන් සතුන්ට උදව් කිරීමට පෙලඹෙන්නේ අවිහිංසාවාදී සංගමයට එක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මුහුණු පොත හරහා සතුන්ට උදව්කිරීම තුළින්ම හඳුනාගත් ගිහාන්ට බලූ පැටියා ගැන සියලූ විස්තරය කී සමීර සතා සුවකරන්නට ඔහුගෙන් උදව් ඉල්ලූවේය. ඒ අතරතුරේ සමීර බලූ පැටියාගේ පින්තූරද ගිහාන්ට එව්වේය. ඒ පින්තූර සමග ගිහාන් මුහුණු පොතට පෝස්ටුවක් දැම්මේ බලූ පැටවා කොළඹට ගෙන්වා ගැනීමට උදව් ඉල්ලමිනි.

”ඒ පෝස්ට් එකට ගොඩක් ප‍්‍රතිචාර තිබුණා. ඒත් හරියටම කෙනෙක් හම්බවුණේ නෑ පැටියා කොළඹටම ගෙන්න ගන්න. මම ජර්මන් ටෙක් එකේ ඉගෙනගන්න නිසා කටුබැද්දෙ නැවතිලා ඉන්නේ. ජූලි 02 වැනි ඉරිදා අයියයි මමයි නුවර ගියා බලූපැටියා ගේන්න. නුවරිනුත් කිලෝමීටර් විස්සක් වගේ දුර. අපි යනකොට සමීර බලූපැටියා වෙට් ළඟට අරන් ගිහින්. එතෙන්ට ගිහින් අපි එයාව බාර ගත්තා. අපි බලූපැටියට නමක් දැම්මා, ජෙරී කියලා.

එතනින් ජෙරී අරන් ගියේ පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලට. එදා ඉරිදා දවසක්. සැත්කම් කරන ලොකු දොස්තර මහත්තයා එදා නිවාඩු කියලා සඳුදට අරන් එන්න කිව්වා. සඳුදා වෙනකල් ජෙරීව තියාගෙන ඉන්න බෑ. සේලයින්වලින් ජීවත් වුණේ. අනික එයාට තාවකාලිකව දාලා තිබුණු මැහුම් යටින් ගැලවිලා තිබ්බේ. මං කුරුණෑගල පශු වෛද්‍ය රෝහලකට ජෙරී අරන් ආවා..”

ගිහාන්ට කුරුණෑගල හුරුය. ඔහු උපන්නේත් ඔහුගේ ගෙදර තිබුණේත් කුරුණෑගලය. ඉගෙන ගත්තේ මලියදේව විද්‍යාලයෙනි. ඒ නිසා දන්නා හඳුනන අයත් වැඩිය.
”ජෙරීට කොහොම හරි සැත්කමක් කරන්නයි  ඕන වුණේ. ඒත් කුරුණෑගල පශු වෛද්‍ය රෝහලෙන් කිව්වේ වෙන කෙනෙක් මහපු එකක් බාරගන්න බෑ. මොකක් හරි වරදක් වුණොත් දොස් අහන්න වෙයි කියලා. මමයි ජෙරියි තවත් අසරණ වුණා. අපි ආයෙත් නුවර තව පශු වෛද්‍යවරයෙක් ළඟට ආවා. ඒ ඇවිත් ජෙරීට සේලයින් දුන්නා. එතකොට හොඳටම හවස්වෙලා.”

ගිහාන්ගේ අම්මා එ් දිනවල අසනීප වී සිටින ආච්චි බලාගන්නට පොළොන්නරුවේ ගොසිනි. යුද හමුදා බුද්ධි බළකායේ සැරයන්වරයකුව සිටි ඔහුගේ පියා අලිමංකඩ සටනේදී දිවි පුදන විට ගිහාන් දෙහැවිරිදි ළදරුවෙකි. ඔහුගේ අයියාද සිටියේ කොළඹය. ඒ නිසා කුරුණෑගල ගෙදර ගියාට කිසිවෙක් නැත. ඔවුන් ගෙදර හැ¥ සත්තු බලාගත්තේද අසල්වාසීන් සහ ඉබ්බාගමුවේ පුංචි අම්මාය. ගිහාන්  ඉබ්බාගමුවෙ පුංචි අම්මලාගේ ගෙදර යන්නට සිතුවේය. ඒ යන්නට පෙර සත්ත්ව සුබසාධන ක‍්‍රියාකාරිනියක වන අලකොළදෙණියේ අමන්දි ළඟ ඔහු ජෙරීව තාවකාලිකව තබා ගියේය.  ජෙරී බලාගැනීමත් අමුතුම ඉවසීමකින් කළයුතු වුණේය. කටේ ආබාධය නිසා බලූ පැටියා සිටියේ නිරන්තරවම කෑගසමිනි.

”පහුවදා උදේ අමන්දි අක්කා ජෙරී පශු වෛද්‍යවරයා ළඟට ගෙනිහින් තිබුණා සේලයින් දෙන්න, ඒ වෙලේ මට කතා කරලා කිව්වා ජෙරීට අමාරුයි ගොඩක් දුර්වලයි කියල. මම ඉක්මනටම ආවා.  ජෙරීගෙ හක්කෙ යටින් මහපු මෑහුම් කැඩිලා යටි හක්ක වෙන්වෙලා බිමට වැටිලා තිබුණා. පශු වෛද්‍යවරයා කිව්වා ඒ යට කොටස මැරිලා, ආයෙ මහන්න බෑ, එයාටත් තේරෙන්නෙ නෑ මොනවද කරන්නෙ කියලා.

කොළඹ හරි ලොකු තැනකට හරි ගෙනියන්න කිව්වා.  ජෙරී කොළඹ අරන් එනවා කියලා තීරණය කළාට කිසිම ප‍්‍රවාහන පහසුකමක් නෑ. මගෙ ගමේ ඉසුරු සම්පත් යාළුවා ත‍්‍රීවිල් එක දුන්නා තෙල් ගහගෙන රියදුරෙක් භොයාගෙන යන්න කියලා. සංජීව රුවන් කියන තව යාළුවෙක් එක්ක ඒ ත‍්‍රීවිල් එකේ අපි කොළඹ ආවා. ඒ එනගමන් ෆේස් බුක් එකට මම ජෙරී කොළඹ ගේන බවත්, කොළඹින් රෝහලකට යන්න උදව් අවශ්‍යයි කියලත් පෝස්ට් එකක් දැම්මා. නිට්ටඹුවෙන් ත‍්‍රීවිල් එක කැඩුණා. හදාගෙන එන්න වෙලාව මදි. කොළඹ ගේන්න පහසු වෙන්න අපට පශු වෛද්‍යවරයා ජෙරීව සිහිනැතිකරලා දුන්නත් ඒ වෙනකොට සිහියත් ඇවිත් තිබුණෙ. මම බජට් ත‍්‍රී විල් එකක් කතාකරගෙන කොළඹ ආවා. ”

ඒ එන අතරතුර ගිහාන් විසින් සත්ව සුබසාධන ක‍්‍රියාකාරීන් වන විබෝධා අඹේගොඩට සහ නදීකා ධර්මරත්නට කතාකොට ජෙරී ගැන කීවේය. ඒ අනුව කොළඹ පෞද්ගලික පශු වෛද්‍ය රෝහලක් සහ වෛද්‍යවරියක් ගැන විබෝධා කී අතර  ගාල්ලේ ඇනිමල් ිදි හි සිටින විදෙස් පශු වෛද්‍යවරුන් ගැන නදීකා ඔහුව දැනුවත් කළාය. ඒත් ඒ මොහොතේ ගිහාන්ට උවමනා වූයේ දුර යනවාට වඩා ඉක්මනින් කොළඹ රෝහලකට ජෙරීව ඇතුළත් කරන්නටයි. ගිහාන් මුහුණු පොතට එක් කළ පෝස්ටුවට ද ඒ වනවිට ප‍්‍රතිචාර ලැබෙමින් තිබුණි. බොහෝ දෙනෙක් උදව් කරන්නට පොරොන්දු වී තිබුණි. ඒ අතරින් ඉෂාරා යක්දෙහිආරච්චි
ඇගේ සැමියාව ඔවුන්ගේ උදව්වට වාහනයෙන් එවා තිබුණි.

”අපි විබෝධා අක්කා කියපු රෝහලට  ගියා. අදාළ වෛද්‍යවරියත් හිටියා. ඒත් පිළිගැනීමේ කවුන්ටරෙන් කිව්වේ ජෙරී  නවත්තන්න ඉඩක් නෑ කියලා. වෛද්‍යවරිය ජෙරී බලලා කිව්වේ අනිවාර්යයෙන්ම සැත්කම කරන්න  ඕන. කොහෙන්හරි සතාව නවත්තගන්න කියලා. රුපියල් තිස්දාහක ඇඞ්වාන්ස් එකක් ඒ වෙලේ බඳින්න කිව්වා. ඒ වෙනකොට මම රෝහල්ගත කරපු සත්තු හත්,අට දෙනෙක් ගන්න ෆේස් බුක් එක හරහා සත්තුන්ට ආදරේ කරන අපේ රටේ අය පරිත්‍යාග කරපු රුපියල් හැටදාහක් විතර මගෙ අතේ තිබුණා. මම ඒ සල්ලිවලින් රුපියල් 30 000ක රෝහල් ගාස්තු අත්තිකාරමක් බැන්දා.  ජෙරී ඇඞ්මිට් කරලා බෝඩිමට ඇවිත් මං තව පෝස්ට් එකක් ෆේස් බුක් එකට දැම්මා රෝහල්වල සිටින සත්තු ගන්නත් ජෙරීගේ ඉදිරි වියදම්වලට උදව් කරන්න කියලත්. කොහොමහරි ජෙරීව බේරමු කියලා ගොඩක් දෙනෙක් ප‍්‍රතිචාර දක්වලා  තිබුණා.”

ගිහාන් මොරටුව ජර්මන් කාර්මික ආයතනයේ  කාර්මික පාඨමාලාවක් හදාරන සිසුවකු නිසා පසුදා සිට ජෙරී බලන්නට කෙනෙක් සෙව්වේය. ඒ අනුව සත්ත්ව අයිතීන් සුරැුකීමේ බළකායේ සභාපති අමිල විජේරත්න එදා ? ජෙරී බලන්නට ගියේය. ජෙරීට සැත්කම කර තිබුණි. පසුදා ජෙරී බලන්ට ගියේ ආබාධිත, අසරණ සතුන් කීපදෙනෙකුට රැුකවරණය දෙන සත්ත්ව සුබ සාධන ක‍්‍රියාකාරිනියක වන නිලූකා වන්නිආරච්චියි. ඒත් ඊට පසු සිට ජෙරී ගැන හොයා බලන්නට කෙනෙකු සොයාගන්නට බැරි වුණේය. සැත්කමට පසුව රෝහලෙන් ඉවත්කරගන්නා ජෙරීව කැපවීමකින් බලාගතයුතු කෙනෙකු උවමනාවුණේය. උදව් ඉල්ලූවද කිසිවෙකුත් ඉදිරිපත් වූයේ නැත. ජෙරීගේ සම්පූර්ණ රෝහල් ගාස්තුව  රුපියල් හතළිස් පන්දාහක් විය. ඒ ජෙරී වෙනුවෙන් වැය වුණ මග වියදම් සහ අනෙකුත් වියදම්ය.

”නිලූකා අක්කාම ජෙරී ගෙදර ගෙනියන්න බාරගත්තා. සේලයින් දෙන ගමන් ඇය සිරින්ජරෙන් කට ඇතුළට කිරි පොවලා ජෙරී බලාගත්තා. අනෙක් ආබාධිත සතුන් සහ දරුවන්  ද බලාගන්නා අතරේ නිලූකා සහ ඇගේ සැමියා අනුරාධ නියෝ කොතරම් කැපවීමකින් ඒ කාර්යය කළත් ජෙරී මැහුම් කඩාගෙන තිබුණා. ඒ නිසා ආයෙත් ජෙරීව සැත්කම කළ පශු වෛද්‍ය රෝහලට අරන් ගියා. සැත්කම කළ වෛද්‍යවරියම ජෙරීව රෝහලට. ඇතුළු  කරගත්තා, ඒ කටේ කැඩුණු  මැහුම් දමා තුවාල වේලෙන තුරු කෑම දෙන්නට උගුරෙන් බටයක් දමා සකසා දෙන්නම් කියලා.

පහුවදා ඒ වෛද්‍යවරිය කතා කරලා ජෙරීට කරන සැත්කම ගැන ආයෙත් කතා කළා. ජෙරීගෙ යට හක්ක තිබුණෙ නැති නිසා දත් නෑ. ඒ විතරක් නෙවේ යටි තල්ල ප‍්‍රදේශය විවෘතයි. ජීවිත කාලෙම දියර ආහාරවලින් විතරයි යැපෙන්න පුළුවන් කිව්වෙ. ඒක ලොකු වෙද්දි ජීවිතේට ප‍්‍රශ්නයක් වෙලා සතා දුක් විඳියිද දන්නෙ නෑ කිව්වා. ඒ වගේ පැහැදිලි කිරීම් කරලා ඇහුවේ දැන් කරන්න පුළුවන් සදාකාලික නින්දට පත් කරන එක. ඒකට කැමතිද ඇහුවා. මම මේතරම්  මහන්සි වුණේ  මෙච්චර වියදම් කළේ මේ පුංචි ජීවිතේට පණ දෙන්න මිසක් ඒ පණ ටික නැතිකරන්න නෙවෙයි. මට එහෙම හිතන්නවත් බෑ.සැත්කම කරන්න බැරිනම් බලූපැටියා ආපහු දෙන්න කියලා ඉල්ලූවා. ඒ වතාවෙ කිව්වා සැත්කම කරලා දෙන්නම්,මැහුම් වේලෙනකල් බෙල්ලෙන් කෑම දෙන්න බටයක් දාල දෙන්නම් කියලා.”

පුංචි සිවුපා ජීවිතයකට පණ දෙන්නට ගිහාන් වෙහෙස වෙද්දී ඒ වෙහෙසට ඔහුගේ මුහුණු පොත හරහා උදව් කළ ශ‍්‍රී  ලාංකිකයෝ බොහෝ වූහ. සමහරු වචනවලින්ද, සමහරු පුංචි පුංචි මුදල් ආධාරද කළහ, ඒ  මුදල් ආධාර නම් හැම විටෙකම වියදම් කොට ලබාදුන් පුද්ගල නාමය සහ ගණන සමග ඔහුගේ මුහුණු පොතේ සැමට බලාගැන්මට පළකළේය. ඒ විනිවිදභාවය මුල පටන්ම ගිහාන් අනුගමනය කළේ එවිට ඔහුගේ දෑත් මෙන්ම හිතද  පිරිසිදු නිසාත්,අනෙක් අයගේද සිතුවිලි පිරිසිදු කරනු සඳහාය.

”ජෙරීට සැත්කම කරලා කෑම බීම දෙන්න බෙල්ලෙන් බටයක් දාලා දුන්නා. ඒ වතාවෙ සැත්කමට රුපියල් 20000 ක් වැය වුණා. නිලූකා අක්කා ජෙරී එයාගෙ ගෙදර අරන් ගියා. එයා සතියක් විතර මැහුම් හොඳ වෙනකල් ලොකු කැපකිරීමකින් ජෙරී බලාගත්තා. මැහුම් වේලූණාට පස්සේ බෙල්ලෙ බටේ අයින් කරලා සාමාන්‍ය විදිහට කෑම කවන්න රෝහලෙන් හදලා දුන්නා. ඒ වතාවෙ සැත්කමට රුපියල් විසි දහසක් (20 000* වැය වුණා.

දැන් මාස එකහමාරක් විතර ජෙරී ඉන්නෙ නිලූකා අක්කලාගේ ගෙදර. ෆෙස් බුක් එකෙන් කට්ටිය ජෙරීව බලාගන්න ඉල්ලූවා. නිලූකා අක්කා ජෙරීව කාටවත් දෙන්න බෑ කිව්වා. එයා ඔය විදිහටම ගත්ත අසරණ ආබාධිත සත්තු හත්අට දෙනෙක්ම හදනවා. දැන් ජෙරී ඒ අය එක්ක සතුටෙන් ඉන්නවා. දැන් කටේ තුවාල හොඳයි. යටි හක්කත් තල්ලත් නැති නිසා හැම වෙලේම දිව  එළියට වැටිලා  තියෙන්නේ. ඒත් දියර කෑම එක්ක ජෙරී බතුත් ටික ටික කනවා. බත් දුන්නම  නිලූකා අක්කා අතින් බත් ටික උගුරට තල්ලූ කර කර ජෙරීට  කන්න උදව් කරනවා. දැන් කිසි ලෙඩක් නැති ජෙරී නිලූකා අක්කගේ අනිත් සත්තු එක්ක එකතු වෙලා නටලා, සෙල්ලම් කරලා කාලා බීලා, ආදරේ ලබලා ජීවිතේ විඳිනවා. ජෙරී මාව අඳුරනවා. මාව දැක්කම ඇඟට පැනලා එයාගෙ ආදරේ පෙන්නනවා.”

සතෙකු වුණත් ජෙරී ගිහාන්ට ඒ පෙන්වන්නේ නැතිවෙන්නට ගිය ජීවිතය බේරා සුරක්ෂිතව  ආදරණීය ජීවිතයක් උරුමකර දුන්නාට කෘතඥතාවය වන්නට ඇත. ගිහාන් සතුන් වෙනුවෙන් මේ කැප කිරීම කරන්නේ ඉගෙනගන්නා ගමන් ඔහුගේ වටිනා කාලය කැප කරමිනි. බස්වල, ත‍්‍රීවීලර්වල මෙන්ම විටෙක පයින් ද මග ගෙවා ගොස් මහමග අසරණව සිටින සතුනට පිහිටවෙන ගිහාන් අතින් මේ වනවිට ආබාධිතව අසරණව සිටි සතුන් හාරසිය  පනහක් පමණ සුවය ලබා සහ  රැුකවරණයට පත්ව ඇත.

”මං දන්න කාලෙ ඉඳලා නිර්මාංශයි. ඒ නිසා අවිහිංසාවාදී සංගමයට බැඳෙනවා නිහාල් විජේරත්න මහතාගේ දේශනයක් අහලා. ඒ දේශනවල තියෙන්නේ සත්තුන්ට ආදරය කරන හැටි. ඊටත් පස්සෙ තන්දුල නිශාන්ත මහත්තයා මාව අවිහිංසාවාදි සංගමයෙ කුරුණෑගල සංවිධායක හැටියට පත් කරනවා. ඒ දේවල් කරද්දි තමයි ෆේස් බුක් එකේ දකින්නේ අසරණ සත්තුන්ට පිහිටවෙන සංවිධාන. ඒවට සම්බන්ධ වෙලා මමත් මට පුළුවන් විදිහට ඒවා හරහා සත්තුන්ට පිහිට වුණා.

අනෙකුත් ගෲප් ඇසුරේ උදව් කරන ගමන්  මගේ පෞද්ගලික ෆේන් බුක් ගිණුම හරහාත් ගොඩක් සත්තුන්ට උදව් කරලා රැුකවරණය දුන්නා. වෙන ගෲප් ඇසුරෙ ඉන්නකොට සතෙකුට උදව් කරන්න එයාලගෙන් අහලා උත්තර එනකල් ඉන්න  ඕන. ඒක උදව්වට පමාවක් ඒ නිසයි මම හිතුවෙ මටම සංවිධානයක් හදාගන්න. ඒ අනුව දැනට මාස හතරකට පහකට කලින් තමයි බව් බව් සංවිධානය පිහිටුවා ගන්නේ. මට සතෙකුට උදව් ඉල්ලූවාම ඉක්මනටම ක‍්‍රියාත්මක වෙන්න පුළුවන්. ජෙරී වෙනුවෙන් මේ විදිහට මට මගේ තීරණවලට වැඩ කරන්න පුළුවන් වුණේ මගේම සංවිධානක් තිබ්බ හින්දයි.

මේ   පුංචි බලූ පැටියා වෙනුවෙන් වියදම් කළ මුදල හරියටම ගණන් බලා නැතත් ගණන් ඉලක්කම් සටහන් වී ඇති වියදම් රුපියල් අසූදහසක් පමණය. ඒ මුදල ඊට වඩා වැඩි වූවොත් මිස අඩු නැතැයි සිතෙන්නේ මුදල් ගැන නොසිතා ඒ පුංචි ජීවිතය රැුක ගන්නට ගිහාන් මෙන්ම ඔහුට මුලින්ම ජෙරී හමුවූ සමීරගේ සිට නිලූකා දක්වා කළ කැප කිරීම දුටුවිටයි.  කෙසේ වුවත් ජෙරී දැන් සතුටිනි. හැම ජීවිතයකම ඉරණම වෙනස් කළ හැකි බව කියන්නේ ඒ නිසාය. හැම ජීවිතයකටම වටිනාකමක් ඇති බව මේ කතාවෙන් හැම හදවතකටම දැනෙනවානම් මහමඟ සිටින මෙවන් ජීවිත ආලෝකමත් වෙනවා ඇත.



More News »