හොඳ හිත ගියා උඩු හුළඟේ ගසාගෙන
දෙදෙනෙක් මළා පොළොවේ ඇන කොටාගෙන
දෙදෙනෙකුට මරු කැඳවූ මිනුවන්ගොඩ සරුංගලය

2017-09-04 10:33:00       36
feature-top
දශක හතකට පමණ ඉහතදී එනම් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් මෙරට පාලනය කරන සමයේ තවත් එක්‌ මිනීමැරුමක්‌ සිදුවිය. ඒ සරුංගලයක්‌ මුල්කර ගනිමින්ය. කන්ද උඩරට ප්‍රදේශයේ එක්‌තරා ස්‌ථානයක කොලු ගැටව් පිරිසක්‌ සරුංගල් යවමින් සිටියහ. හදිසියේම එක්‌ සරුංගලයක නූල කැඩී ගියේය.

නූල කැඩුණු සරුංගලය ඇදී ගියේ එකල එම පළාතේ විසූ එඩ්වඩ් නමැති සුදු මහතාගේ බංගලාව වෙතයි. සරුංගලය පසුපස දිවගිය කොලු ගැටව් පිරිස එම සුදු මහතාගේ බංගලාව අසල නතර වූහ. සරුංගලය බංගලාවේ පිටුපසට වන්න තිබූ අශ්ව ඉස්‌තාලය අසල බිම වැටී තිබුණි.

එඩ්වඩ් නමැති සුදු ජාතිකයා එම පළාත තුළ ප්‍රසිද්ධව සිටියේ ඉතා නපුරු පුද්ගලයකු ලෙසයි. එම නිසා කොලු ගැටව් බංගලාව පිහිටි භූමියට ඇතුළු වීමට බිය වූහ. එහෙත් එතැන සිටි සිරිපාලට වුවමනා වූයේ කෙලෙස හෝ සරුංගලය නැවත ලබා ගැනීමටයි.

සිරිපාල අන් තරුණයන් වගේ නොව දඩබ්බර ගති ඇති අයෙකි. කුඩා කල සිටම අයුක්‌තිය, අසාධාරණය ඔහුට පෙන්වන්න බැරිය. එම නිසා සුදු ජාතිකයන්ව ඔහුට වහ කදුරු මෙන් විය. අන් අයගේ කීම නොඅසා කෙලෙස හෝ සුදු මහතාගේ වත්තට ඇතුළු වී සරුංගලය ගැනීමට ඔහු ගියේය.

පියසේන එම බංගලාව මුරකළ තවත් එක්‌ කලු සුද්දෙකි. එඩ්වඩ් නමැති සුදු මහතාගේ අහංකාරකම සහ නපුරුකම ඊටත් වඩා වැඩියෙන් පියසේන තුළ පිහිටා තිබුණි. එම නිසා ඔහු එම ගම් ප්‍රදේශයේ හැසිරුණේ චණ්‌ඩියෙකු ලෙසයි. වටපිට බලා සිරිපාල හොර රහසේම සුදු මහතාගේ කඩුල්ල පැන අශ්ව ඉස්‌තාලය පිහිටි ප්‍රදේශයට ගමන් කළේය. ඔහුට යැමට හැකි වූයේ මඳ දුරකි. කොහේදෝ සිටි පියසේන සිරිපාලගේ බෙල්ලෙන් අල්ලා ගත්තේ "තෝ හොරකමේ යනවා නේද" කියා අසමින්ය. ඒ සමඟම පියසේන පහරවල් කිහිපයක්‌ද ඔහුට එල්ල කළේය.

සිරිපාල වත්තට පැමිණි කාරණාව පැවසුවත් පියසේන එය පිළිගත්තේ නැත. ඔහු "හිටපන් අපේ සුදු මහත්තයා එනකන්... අද උඹට හොඳ වැඩක්‌ කරනවා" කියා පැවසුවේය. ඒ වන විට සිරිපාලගේ ඉවසීමේ සීමාවද පැන තිබුණි. ඔහු අත ගසා දමා පැන යැමට සැරසුණේය. එහෙත් පියසේන ගෙන් එයට ඉඩක්‌ නොලැබුණි.

පියසේන තවත් පහරවල් කිහිපයක්‌ එල්ල කරමින් ඔහුව බංගලාව දෙසට ඇදගෙන යැමට සැරසුණේය. එයින් සිරිපාලගේ කේන්තිය තව තවත් වැඩිවිය. ඔහු එක්‌වරම අසල තිබූ පොල්ලක්‌ රැගෙන වැරෙන් පහරවල් කිහිපයක්‌ පියසේනගේ ඔළුවට එල්ල කළේය. පියසේන ප්‍රදේශයම දෙවනත් වන සේ කෑගසමින් ලේ විලක්‌ මැද කපා හෙලූ කෙසෙල් කඳක්‌ මෙන් ඇද වැටුණි. මෙම සිදුවීම සිදු වූයේ දහවල් කාලයේ දී නිසා බංගලාවේ සිටියේ එඩ්වඩ්ගේ බිරිඳ කුඩා ළමුන් තිදෙනා සහ මෙහෙකාරියන් දෙදෙනකු පමණි. ඔවුන් කෑගැසීම ඇසුණු ප්‍රදේශයට එන විටත් සිරිපාල පැනගොස්‌ තිබුණි. පියසේන ලේ විලක්‌ මැද මරු විකල්ලෙන් දඟලමින් සිටියේය. පසුව ඔහුට ප්‍රතිකාර කළද ජීවිතය බේරා ගැනීමට නොහැකි විය.

මෙම සිදුවීම නුවර පළාතේ ලැව් ගින්නක්‌ සේ පැතිර ගියේය. දින කිහිපයක්‌ සැඟවී සිටි සිරිපාල අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව නඩු පැවරුවේය. අවසානයේ ඔහුට මරණ දණ්‌ඩනය නියම විය. සරුංගලයක්‌ නිසා අප දන්නා පරිදි ඉතිහාසයේ පළමුවරට මිනීමැරුමක්‌ සිදු වූයේ එලෙසින්ය.

එය එසේ වැළලී යද්දී පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයෙත් සරුංගලයක්‌ නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතන දෙකක්‌ පිළිබඳව අපට අසන්නට ලැබුණි. එම කතාව සැකෙවින් මෙසේය. දැනට සති කිහිපයකට පමණ පෙර එක්‌තරා මාධ්‍ය ආයතනයක්‌ මගින් සරුංගල් තරගයක්‌ ගාලු මුවදොර පිටියේ සංවිධානය කළේය. එයට පෙර ඒ සඳහා විශාල ප්‍රචාරයක්‌ද ලබා දුන්නේය. එම නිසා එදින සරුංගල් තරගයට සහභාගි වීම සඳහා අති විශාල ජනකායක්‌ ගාලු මුවදොර පිටියට රැස්‌වූහ. ඒ සමඟම රට පුරා මිනිසුන් අතර සරුංගල් උන්මාදයක්‌ ඇති විය. එම උන්මාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස රට පුරා ජනතාව සරුංගල් යෑවීමට පටන් ගත්හ. සමහරු හුදෙක්‌ විනෝදය පිණිසම වූ අතර තවත් සමහරෙක්‌ තරග සහ මුදල් ඔට්‌ටුවලටද සරුංගල් ඉහළ අහසේ යෑවූහ.

එම උන්මාදයෙන් පෙළුණ මිනුවන්ගොඩ ගමන්දොර ප්‍රදේශයේ තරුණයෝ පිරිසක්‌ පසුගිය විසිපස්‌ වැනිදා සරුංගල් යෑවූහ. ඒ අතර කලක සිට විරසකයකින් සිටි පවුල් දෙකක තරුණයෝ තිදෙනෙක්‌ද සිටියහ. ඒ ලාල් සහ ලක්‍ෂ්මන් නමැති පවුල් දෙකේ සාමාජිකයන්ය.

ලාල් සිල්වා අවුරුදු පනස්‌ වියෑති දියණියන් තිදෙනකු සහ පුතෙකු සිටින සිව්දරු පියෙකි. ඔහු

රැකියාව වශයෙන් කළේ කරවල වෙළෙඳමයි. ඔහුගේ නිවසට මීටර් දෙසීයක පමණ දුරින් ජීවත් වන්නේ ලක්‍ෂ්මන් නොහොත් රාළහාමියි. හතළිස්‌ පස්‌ හැවිරිදි ඔහුට පුතුන් දෙදෙනකු සිටී. රාළහාමි රැකියාව වශයෙන් සිදු කළේ සල්ලි පොලියට දීමයි.

මෙම පවුල් දෙකේ සාමාජිකයෝ අතර කලක සිට දැඩි විරසකයක්‌ ඇතිවී තිබිණි. එම නිසා මොවුqහු සුළු දෙයකටත් රණ්‌ඩුවීමට පුරුදු වී සිටියහ. එය එම ප්‍රදේශයේ සැවොම දනිති.

අපරාධය සිදුවූ ස්‌ථානය පරික්ෂා කරන මහේස්‌ත්‍රාත්වරයා
පසුගිය විසිපස්‌ වැනිදා සරුංගල් යවන ස්‌ථානයේ ලාල්ගේ පුතා වන දසුන්, රාළහාමිගේ පුතුන් වන රොෂාන් සහ සුරේෂ්ද සිටියහ. එම පවුල් දෙකේ වැඩිහිටියන් අතර ඇති ආරවුල් නිසා එම තරුණයෝද සිටියේ එකිනෙකා නුරුස්‌සන ගතියෙනි.

අනෙක්‌ තරුණයෝ විනෝද වෙමින් සරුංගල් යවන අතර රාළහාමිගේ පුතෙකු ලාල්ගේ පුතා වන දසුන් දෙස බලා විහිළුවක්‌ කර විරිත්තුවේය. දසුන් එයින් ඉමහත් කෝපයට පත්විය. නිරපරාදේ සිටි තමන්ට එලෙස කළ රාළහාමිගේ පුතා ගැන නිවසට ගොස්‌ තම පියාට පැවසුවේය.

ලාල් රාත්‍රිය පුරාම තම පුතාට කළ විහිළුව සහ විරිත්තීම ගැන කල්පනා කළේය. සමාජයට එය සුළු දෙයක්‌ වුවත් ලාල්ට එසේ වූයේ නැත. ඒ කලක සිට එම පවුල් දෙක අතර තිබුණු බද්ධ වෛරය නිසාය. ඔහු පසුදිනම රාළහාමිගේ නිවසට ගොස්‌ එය පිළිබඳ විමසා බැලීමට තීරණය කළේය.

පසුදින එනම් විසිහය වැනිදා සුපුරුදු වේලාවටත් කලින් ලාල් අවදි වූවේය. උදෑසන හතයි තිහට පමණ වැඩිමහල් දියණියන් දෙදෙනාව ගමන්දොර හන්දියට ගෙනත් ඇරලූ ඔහු යළි නිවෙස බලා පැමිණියේය. උදෑසන කෑම වේල භුක්‌ති විඳී ඔහු, කරවල පෙට්‌ටියත් යතුරුපැදියේ තබාගෙන වෙළෙඳමේ යැමට නිවසින් පිටත් විය.

වෙළෙඳමේ යැමට පෙර රාළහාමි සමඟ බේරාගත යුතු ගනුදෙනුවක්‌ ඇති බව දැන සිටියේ ලාල් පමණි. එය තම නිවැසියන්ට ඔහු පැවසුවේ නැත. රාළහාමිගේ නිවස තුළට ගොස්‌ ලාල් පසුදින සිදුවීම ගැන විමසුවේය. එවිට වේලාව උදෑසන අටට ආසන්න වී තිබුණි.

ගතවූයේ සුළු මොහොතකි. ලාල් සහ රාළහාමි අතර උණුසුම් වචන හුවමාරුවක්‌ ඇතිවිය. එය එන්න එන්නම දරුණු විය. ලාල්ගේ බාල දියණිය එම මොහොතේ සිටියේ ළිඳ ළඟය. ඇයට තම පියා කෑගසන හඬ හොඳකාරවම ඇසුණි. ඇය වහාම තම නිවස දෙසට දිව ගියාය. ඒ සමඟම ලාල් මහ හඬින් තම පුතාගේ නම කියා කෑගැසුවේය.

ලාල්ගේ බිරිඳ සහ දරු දෙදෙනා එක පිම්මේ රාළහාමිලාගේ නිවස දෙසට දිව ගියේය. ඒ වන විටත් ලාල් සහ රාළහාමිලාගේ නිවසේ අය පරුෂ වචනවලින් පවා බැණ ගත්හ. එක්‌වරම ලාල් තම නිවැසියන් පැමිණෙනු දුටුවේය. ඒ සමඟම ලාල් ඔවුන් දෙසට පැමිණියේය.

ලාල්ට යැමට හැකිවූයේ පියවර කිහිපයක්‌ පමණි. නිවස ඇතුළට ගොස්‌ රාළහාමි අන්නාසි කපන කැත්තක්‌ ගෙන එයින් ලාල්ගේ බෙල්ල ප්‍රදේශයට පහරක්‌ එල්ල කළේය. ඒ සමඟම ලාල් ඇදගෙන වැටුණි. ඒ සමඟම රාළහාමිගේ මස්‌සිනා වන ජස්‌ටින්ද බිම වැටී සිටි ලාල්ට පොලු පහරක්‌ එල්ල කළේය. ලාල්ගේ බිරිඳ සහ දරුවෝ ප්‍රදේශය දෙවනත් වන සේ "මෙන්න මිනී මරනවෝ... මිනී මරනවෝ..." කියා මර ළතෝනි දුන්හ.

තත්ත්වය එන්න එන්නම දරුණු වන බව ලාල්ගේ පුතා වන දසුන්ට දැණුනි. ඔහු ආපසු නිවස බලා දිවගොස්‌ යකඩ පොල්ලක්‌ රැගෙන ආවේ තම පියා බේරා ගැනීමටයි. එහෙත් ඔහුට තම ආදරණීය පියා බේරා ගැනීමට නොහැකි විය. රාළහාමිගේ පුතුන්ද පිහි පහරවල් කිහිපයක්‌ බිම වැටී සිටි ලාල්ට එල්ල කළේය. ඒ වන විටත් පහළොස්‌ දෙනකුට අධික පිරිසක්‌ ලාල්ව වටකර ගෙන පහර දුන්හ.

රාළහාමි යකඩ පොල්ලක්‌ රැගෙන එන දසුන්ව දුර තියා දුටුවේය. ඔහුවද ඉවරයක්‌ කළ යුතු යෑයි රාළහාමි සිතුවේය. සිත්පිත් නැති තිරිසනෙකු මෙන් ඔහු දසුන්ගේ බෙල්ලට කැති ප්‍රහාරයක්‌ එල්ල කළේය. ඒ සමඟම වටේ සිටි ඔහුගේ පුතුන් ඇතුළු පිරිස ඉතාමත් දරුණු ලෙස ඔහුවද කපා කොටා දැමූහ.

කිසිවක්‌ කරගත නොහැකිව අන්ත අසරණ වූ ලාල්ගේ බිරිඳ ප්‍රදේශවාසීන්ගේ උදව් ඉල්ලා තම ආදරණීය ස්‌වාමිපුරුෂයා සහ පුතාව රෝහල් ගත කළේය. එලෙස රැගෙන යන විටත් ඔවුන් දෙදෙනා අවසන් හුස්‌ම පොද ද වාතලයට මුසුකර හමාරය. පසුව මිනුවන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජීවක රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කළේය. ඒ අනුව මෙම ලිපිය ලියන මොහොත වන විට ප්‍රධාන සැකකරුවන් වන ලක්‍ෂ්මන් නොහොත් රාළහාමි, ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන රොෂාන්, සුරේෂ් සහ මස්‌සිනා වන ජස්‌ටින්ව අත්අඩංගුවට ගෙන තිබුණහ. කෙරීගෙන යන පරීක්‍ෂණ මත තවත් මෙයට සම්බන්ධ පිරිමි සහ ගැහැනු සැකකරුවන් කිහිප දෙනකුද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

සරුංගල් යෑවීමේදී ඇතිවූ එම සුළු සිද්ධිය අවසානයේදී කෙළවර වූයේ ජීවිත දෙකක්‌ බිලි ගැනීමෙන් සහ අසරණ පවුලක්‌ අනාථ වීමෙන්ය. මෙම සරුංගල් උන්මාදය නිසා තවත් අනතුරු කිහිපයක්‌ ඉදිරියේ දී ඇතිවිය හැකිය. ඒ මෙම කරුණු නිසාය. මෙම දිනවල අධිවේගී මාර්ග දෙපස බොහෝ තරුණයෝ සරුංගල් යවති. එය ඉතාම අනතුරුදායක ක්‍රියාවකි. ඒ ප්‍රධාන කරුණු දෙකක්‌ මතයි. හදිසියේවත් එම සරුංගලයක්‌ අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් සීයක පමණ අධික වේගයෙන් ගමන් කරන වාහනයක්‌ මතට පතිත වුවහොත් සිදුවන දෙය අති භයානකය. සමහර විට ජීවිත කිහිපයක්‌ පවා අහිsමි වීමට පුළුවනි.

අනෙක්‌ කරුණ වනුයේ අධිවේගී මාර්ගය දෙපස යවන සරුංගල් දෙස රියදුරන්ගේ දෑස්‌ යොමු වීමයි. එය සමහර විට නිතැතින්ම සිදු වේ. එවිට රියදුරාගේ මනස එක තැනක නොමැති නිසා මාරක අනතුරු පවා සිදුවීමට පුළුවන.

තවද ගුවන්තොටුපළ, දුම්රිය මාර්ග අසල, අධිබල විදුලි රැහැන් ආශ්‍රිතව සහ කඳු මුදුන් වැනි ස්‌ථාන අසල සරුංගල් යෑවීමද අනතුරුදායක වේ. එම නිසා සරුංගල් යවන පුද්ගලයෝ සහ අදාළ බලධාරීන්ද මේ ගැන දැනුවත් විය යුතුය. එසේ නොවුණහොත් මෙම සරුංගල් උන්මාදය මත තවත් මිනිස්‌ ජීවිත කිහිපයක්‌ අහිමි වීමට පුළුවන.

සරුංගල් ගැන කිව යුතු තවත් ඉතාම දුක්‌බර කතාවක්‌ තිබේ. එකල සරුංගල් සාදා ගත්තේ අප විසින්මය. එහෙත් මෑතක සිට විදේශ වලින් සරුංගල් ගෙන්වා මෙරට විකුණයි. එම නිසා දැන් මෙරට වෙළෙඳපොළේ ඇත්තේ එලෙස ගෙන්වන සරුංගල් පමණකි. මෙරට මහජනතාවද දැන් පුරුදු වී ඇත්තේ එවැනි සරුංගල් ඉහළ අහසේ යෑවීමටයි. මෙය මහත් ෙ€දවාචකයකි. එම නිසා අදාළ බලධාරීන් ඒ ගැන සොයා බලා නිසි පියවරක්‌ නොගන්නේ නම් මෙරටින් විදේශීය රටවල්වලට යන මුදල්ද ඉතිරි කර ගත හැකිය.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »