බවුසර න්‍යායෙන් වනජීවීන් රැක ගත හැකිද?

2017-09-01 11:44:00       31
feature-top
ලංකාවට මෙන්ම කවර රටකට වුවද වාර්ෂිකව නියං කාල පැමිණීම ස්වභාවික න්‍යාය ධර්මයකි. එය වසර සිය ගාණක් පුරා නොකඩවා පැවත එන්නකි. එහෙත් මෑත දශකයක දෙකක පමණ සිට නියං සහ වර්ෂා රටාවල පැහැදිලි වෙනසක් පෙනෙන්නට තිබේ. ලෝකයේ සිදුවෙන ගෝලීය කාබන් විමෝචනය හා වන හායනය හේතුවෙන් විවිධ දේශගුණික හා පාරිසරික වෙනස්කම් වන බව සොයාගෙන ඇත. ලොව පුරා උෂ්ණත්වය ඉහළ යාම, අම්ල වැසි ඇති වීම වැනි විපර්යාස වාර්තා වී තිබේ.

උෂ්ණත්වය ඉහළ යෑම් හේතුවෙන් අයිස් කඳු දියවීම මේ වන විටත් ඇරඹී ඇත. එමගින් සාගර ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මාලදිවයින, බාලි වැනි දූපත් වැනි කුඩා දූපත් ජලයෙන් යට වීමේ අවදානමක් තිබෙන බව  විද්‍යාඥයන් පෙන්වා දුන්නේ මින් දශක කිහිපයකට පෙරය.  අප කළ නිරීක්ෂණ අනුව ලංකාවේ ප්‍රදේශ රැසක වනාන්තර මිය යෑම් දක්නට ලැබුණි. ඒ ප්‍රදේශ අතර විල්පත්තුවට දකුණින් පිහිටි වන පද්ධති, සිරිපා අඩවියේ ඉහළ කොටසේ තීරුවක් හා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 01 හි කටගමුවට ආසන්න වන තීරුවක ප්‍රධාන වශයෙන් මෙම වන මියයෑම් දැක ගත හැකිය.

මෙවැනි වෙනස්වීම්වලට අමතරව වැසි රටා මාරුවීම් ද ඒ ඔස්සේ නියං රටාව අඩුවැඩි වීම් ද දැක ගන්නට තිබේ.  නියං ද මේ විශේෂ දේශගුණික හා පාරිසරික වෙනස්වීම් යටතේ සේම ස්වභාවික හේතු මත ද ඇති වේ. මුලින් සඳහන් කළ පරිදි වාර්ෂිකව අප මුහුණ දෙන සාමාන්‍ය නියං තත්ත්වය ස්වාභාවික ප්‍රපංචයකි. එය සෑම වසරකටම අඩු වැඩි වශයෙන් ‍පොදු වූවකි. වසර තුනෙන් තුනට පමණ එහි තරමක රුදු බවක් පෙනෙන්නට ඇත. ඇතැම් විට වසර ගණනාවකට සැරයක් නිර්දය ලෙස ජලය හිඟවන නියං තත්ත්වයක් ද රට තුළ ඇති වේ.

අප මේ මොහොතේ නියං ගැන කතා කරන්නේ කවර හේතුවක් නිසාද යන්න ඇතමෙකුට ගැටලුවක් විය හැක. ඒ කොළඹ හා තදාසන්න ප්‍රදේශ කීපයකටත්, මධ්‍යම කඳුකරයේ ඇතැම් ස්ථානවලටත් මේ දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බැවිනි. එසේ වුවද රටේ විශාල වපසරියක නියඟයක් දක්නට ඇත.

එම නියඟයෙන් පීඩාවට පත් වී සිටින ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නියඟය පවතින ප්‍රදේශවල සංචාරයක නිරත විය. පාර්ලිමේන්තුව තුළ ද නියඟයෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් විවිධ අදහස්, විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පසුගිය සතියේ ඉදිරිපත් කළහ. එම අදහස් මගින් ඉදිරිපත් වූ ඇතැම් යෝජනා ක්‍රියාත්මක කිරීමට ද මේ වන විටත් පූර්ව සැලසුම් සකස් වෙමින් තිබේ.

නියඟය හේතුවෙන් වන සත්තු ද විශාල පීඩනයකට පත්වෙති. එහෙත් එම සතුන් පිළිබඳ සැබෑ සාධනීය කතිකාවක් රට තුළ නිර්මාණය වී තිබේද යන්න විමසා බැලිය යුත්තකි. බොහෝ දෙනා සිතා සිටින්නේ වනාන්තරවල වෙසෙන වන සතුන්ට ජල හිඟයක් පැමිණි විගස ජලය හා ආහාර කෘත්‍රිමව ලබා දිය යුතු බවය. විශේෂයෙන් යාල, විල්පත්තු වැනි වන උද්‍යානවලට නියං කාලවල ජලය බවුසර් මගින් බාහිරින් ලබා දීම කලක සිට දැක ගත හැකි තත්ත්වයකි. ස්වාභාවිකව ඇතිවන නියං තත්ත්වවලදී ස්වාභාවික වන පෙත් ක්‍රියා කරන්නේ වෙනමම න්‍යායකට අනුකූලවය.

ඇතැම් නියඟ මගින් වන සතුන්ගේ ප්‍රභාමත් ශක්තිමත් ජාන අනාගත පරපුරට සුරක්ෂිත කිරීම සිදුවන බව දන්නේ අතළොස්සකි. උග්‍ර නියඟ හමුවේ ජීවත් වීමේ ශක්තිය හිමිවන්නේ ශක්තිමත් සතුන්ට පමණි. එවැනි ස්වාභාවික පෙරණ ඔස්සේ ශක්තිමත් ජාන හෙබි සතුන් පමණක් සුරක්ෂණය කරන්නේ අනාගත සත්ත්ව ප්‍රජාවේම අභිවෘද්ධිය උදෙසා බව විද්වතුන්ගේ මතය වී තිබේ. එමගින් ශක්තිමත් සත්ත්ව ප්‍රජාවක් පමණක් වන පද්ධතිය තුළ ඉතිරි වේ. ඒ හේතුවෙන් වනාන්තරවල වෙසෙන සතුන්ට උග්‍ර නියං තත්ත්වවලදී පවා පිටතින් ආහාර හා ජලය ලබා දීම සිදු විය යුත්තේ ඒ සම්බන්ධයෙන් පර්යේෂණ නිරත වූ හෝ එවැනි දෑ පිළිබඳ විසල් අත්දැකීමක් සහිත මණ්ඩලයක අනුමැතියට යටත්වය. මොනම තත්ත්වයක් යටතේ හෝ එවැනි වන උද්‍යාන හා වනාන්තරවලට ආහාර ලබා දීම සිදු නොකළ යුත්තකි.

එහෙත් ලංකාවේ මෑත කාලීනව මේ සම්ප්‍රදායේ වර්ධනය වීමක් පෙනේනනට ඇත. එමගින් වන්නේ නියං වැනි ස්වාභාවික බාධක ඔස්සේ විනාශ වී යන දුර්වල වන සතුන්ගේ ජාන සුරක්ෂිත වීම පමණි. ඒ හරහා සමස්ත වන ප්‍රජාවම අනතුරකට ලක්වන බව කිව යුතුය. විශේෂයෙන්ම දුර්වල සතුන් හා වයෝවෘද්ධ සත්තු මෙවැනි ස්වාභාවික බාධක මැද සිය ජීවිත අත්හරිති. එය ස්වාභාවික න්‍යාය ධර්මයකි. එය වෙනස් කිරීමේ අයිතිය එම චක්‍රයේම එක් සතකු වූ මිනිසාට හිමිව නැති බව තේරුම් ගත යුතුය.

අනෙක් අතට වනාන්තර යනු මිනිසා විසින් පාලනය නොකරන ස්වාභාවික පරිසර පද්ධතියකි. එයට ආරක්ෂාව දීම හා එහි භාරකාත්වය මිනිසා විසින් දැරූවද  එහි අභ්‍යන්තර චක්‍ර වෙනස් කිරීම මිනිසාගේ කාර්යභාරයක් නොවේ. මේ තත්ත්වය කෘත්‍රිම සත්ත්ව උද්‍යානයක හෝ ගුහාශ්‍රිත සතුන් ඇති කරන මධ්‍යස්ථානයකට අදාළ නොවේ. එහි භාරකාරත්වය ආරක්ෂාව හා අයිතිය මිනිසා සතුව පවතී. එවැනි ස්වාභාවික නොවන ස්ථානයක දී නම් රෝගවලට ප්‍රතිකාර කිරීම ආහාර, ජලය ලබා දීම මිනිසාගේ කාර්යාවලියේ කොටසකි. එහෙත් එවැනි තත්ත්වයක් කිසිසේත්ම වන උද්‍යාන හෝ ස්වාභාවික වන පද්ධති තුළ නොමැති බව තේරුම්ගත යුතුය.  එය එක් පැත්තකි. එහෙත් නියඟ ඇති වීමත් සමග වන උද්‍යාන හා වනාන්තර ආශ්‍රිතව දිවි ගෙවන පාපතර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වෙනස් වන බව දන්නෝ දනිති.

වතුර ඉතිරිව තිබෙන කුඩා වළවල් රැකීම, ඒවා ආශ්‍රිත කොටු අතු හා මදු සවි කිරීම, ඇතැම් විට එවැනි තැන්වලට රසායන ද්‍රව්‍ය දැමීම මෙම කාලවල සුලබව සිදු වේ. එහෙත් එවැනි තත්ත්ව මැඬපැවැත්වීම සඳහා ඒකාබද්ධ ක්‍රියාවලියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොමැති වීම කනගාටුවට කරුණකි. මේ දෙපාර්තමේන්තු දෙකේම සිටින කාර්යක්ෂම අවංක, නිලධාරින් කීප දෙනකු මෙම කාල රාමු තුළ කටයුතු කරන බව පෙනෙන්නට තිබුණත් පවතින ව්‍යසනයට සාපේක්ෂව එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කිව යුතුය.

‍පොලිසිය, හමුදාව, සිවිල් ආරක්ෂක බලඇණිය, විශේෂ කාර්ය බළකාය, වන සංරක්ෂණ නිළධාරින් හා වන ජීවී නිලධාරින් එක්ව මේ සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතුව තිබේ. ඒ සඳහා පරිසර අමාත්‍යවරයා සේම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද වන ජීවී අමාත්‍යවරයා වශයෙන් ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද, නීතිය හා සාමය සුරැකීමේ අමාත්‍යවරයා වශයෙන් සාගල රත්නායක මහතා ද එක් මේසයකට පැමිණ සාකච්ඡා කළ යුතු බව අපගේ අදහසයි. එවැනි කථිකාවකින් අනතුරුව මේ පිළිබඳ පළපුරුදු පුද්ගලයින්ගේ අදහස් ද සහිත වසරින් වසර වෙනස් නොවන වන සතුන් සුරැකීමේ ජාතික සැලැස්මක් වහාම සකස් කළ යුතුය. එසේ නොකොට හුදෙකලා මට්ටමින් මෙවැනි ගැටලුවලට පිළිතුරු සෙවීම යනු අඳුරේ අතපත ගෑමක් පමණි.

ලංකාවේ අසිරිමත් උරුමයක් වන කොටින්ගේ හෙට දවස අඳුරු වීමේ තත්ත්වයක් මේ මදු භාවිතය මගින් ඇති වී තිබේ. ලංකාවේ වෙසෙන කොටියා අපට ආවේණික උප විශේෂයකි. වියළි කලාපීය යාල විල්පත්තු වැනි වන උද්‍යානවල සුලබව මේ කොටි දැක ගත හැකි වුවද, කඳුකර කොටි වාර්තා වන්නේ ඉතාම කලාතුරකිනි. එම ගහනය මේ වන විටත් දැඩි වඳවී යාමේ තර්ජනයකට මුහුණ දී තිබෙන බව මේ ලියුම්කරු කළ නිරීක්ෂණවලදී සනාථ වී තිබේ. මීට සති දෙකකට පමණ පෙර ලූල්කඳුර වතු යාය ආශ්‍රිතවද කඳුකර කොටියකුගේ අභිරහස් ලෙස මියගිය සිරුරක් හමු විය. පසුගිය කාලය තුළ මදුවලට හසු වී මියගිය කොටි සංඛ්‍යාව සුළුපටු නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිය හරිහැටි ක්‍රියාත්මක වූවා දැයි විමසිය යුතුය.

මතෛක් නිසිලෙස හඳුනා නොගත් කළු කොටි තිදෙනකු ද පසුගිය කාලය තුළ මදුවලට හසුව ජීවිතවලින් වන්දි ගෙවූ බව කිව යුතුය. එක් දවසකට මදුවලට බිලිව මියෑදෙන වන සත්ත්ව ප්‍රමාණය සියයකට වැඩි බව ස්ථිර කරුණකි. එහෙත් තවමත් මේ පිළිබඳ නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වීම කනගාටුවකි.

මෙවැනි බරපතළ නියඟවල දී කළ යුත්තේ ඒ ඒ වන උයන් තුළට වතුර බව්සර ගෙන යාම නොව මෙවැනි දඩයම් ක්‍රියාවලට වැට බැඳීමය. එය පරිසර අමාත්‍යාංශයේත්, වනජීවී සංරක්ෂණ අමාත්‍යාංශයේත් සේම නීතිය හා සාමය සුරකින අමාත්‍යාංශයේත් වගකීමකි. එහෙයින් වහාම මේ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා හා සාගල රත්නායක යන මහත්වරුන්ගේ අවධානය වහාම යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු. එහෙත් ඉන් ඔබ්බට ගොස් මෙය රැක ගැනීම අප කාගේත් වගකීමකි.



Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »