අක්‌මා සැත්කමට පෙර දරුවා මිය යයි සැත්කමට එකතුකළ මුදලින් තවත් දරුවන් දෙදෙනකුට ජීවිතය දෙයි...

2017-08-28 12:57:00       30
feature-top
තම දරුවාගේ ජීවිතය බේරාගැනීම සඳහා සැත්කමකට ලක්‌ කළ යුතු බවට වෛද්‍යවරුන් පැවසූ විට ඕනෑම දෙමවුපියකු දැඩි අසරණ තත්ත්යවට පත්වෙති. ඒ විතරක්‌ නොව මෙකී සැත්කම කිරීම සඳහා ඉන්දියාව වැනි රටක පිහිටි රෝහලකට ගෙන යායුතු බව කී විට දෙමවුපියන් පත්වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය. මක්‌නිසාද යත් ඒ වෙනුවෙන් වැය වන මුදල සොයා ගැනීම සඳහා දැඩි අරගලයක්‌ කිරීමට මවුපියන් ඇතුළු පවුලේ ඥාතීන්ට සිදු වන බැවිනි.

එවැනි දරුවන් වෙනුවෙන් මුදල් එකතු කිරීම අප සමාජය තුළ සුලභව දැකිය හැකිය. මුදල් එකතු කිරීමේදී නොයෙකුත් වංචාවන් සිදුවූ අවස්‌ථාවන් ද අසන්නට ලැබේ. අපේ රටේ ජනතාව පරිත්‍යාගවලට ලැදිකමක්‌ දක්‌වන ජනතාවකි. මේ නිසා පුංචි දරු පැටියකුගේ ජීවිතය බේරාගැනීම සඳහා ආධාරයක්‌ උපකාරයක්‌ ඉල්ලූවිට අපේ රටේ ඇත්තන් ඉතා නිර්ලෝභී ලෙස ඒ සඳහා ඉදිරිපත් වෙති. අප මේ කියන්නට යන්නේ එවැනි සත්කාර්යයක්‌ කළ යුවළක්‌ ගැනය. මෙය ඉතා දුර්ලභ සිද්ධියකි. අක්‌මා රෝගයෙන් පෙළුණු තම පුතුට අක්‌මාවක්‌ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා එකතු කළ මුදල් තවත් එවැනිම දරුවන් දෙදෙනකුට පරිත්‍යාග කිරීමේ කතාන්දරයයි. අක්‌මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය කිරීමට දින නමයක්‌ තිබියදී එම දරුවා මෙලොව හැරගියේ මේ ලිපියේ කතානායකයන් දෙදෙනාගේ බලාපොරොත්තු සුන්කරමිනි.

මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ සංවේදී කතාන්දරයයි.

අසංක ගමගේ, දිනේෂා රංගනී යුවළගේ එකම දරුවා සඳනෙත් ලාලිතය.. මේ පුංචි කොලුපැටියාගේ වයස මාස එකොළහකි. මොවුන් ගාල්ල වක්‌වැල්ල අපේ ගම, සුප්‍රීම් ටෙරස්‌ හි පදිංචිව සිටියහ. දිනේෂා රංගනී දකුණු පළාත් පරිවාස කොමසාරිස්‌ කාර්යාලයේ සේවය කරන්නීය. මෙම යුවළට කුළුඳුල් දරුවා වශයෙන් පුතකු ලැබීම ගැන ඔවුන් දැඩි සතුටට පත්ව සිටියහ. එහෙත් අසංක හා දිනේෂා යුවළට එම සතුට වැඩි කාලයක්‌ භුක්‌තිවිඳීමට හැකි වූයේ නැත. මක්‌නිසාදයත් ඒ වන විට මේ පුංචි පුතු අක්‌මා රෝගයකට ලක්‌ව සිටි බැවිනි.

තම පුංචි පුතුට වැළඳී ඇති මෙම රෝගී තත්ත්වය නිසා අසංක හා දිනේෂා යුවළ පසුවූයේ දැඩි කනගාටුවෙනි. දරුවා සුවපත් කිරීම සඳහා අක්‌මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක්‌ සිදුකළ යුතු බවට වෛද්‍යවරු මෙම යුවළට දැනුම් දුන්හ. අක්‌මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක්‌ කිරීම සඳහා විශාල මුදලක්‌ වැය වෙති.


අක්‌මා බද්ධ කිරීමේ ශල්‍ය කර්මය කිරීමට රුපියල් ලක්‌ෂ 85 ක්‌ විතර වැය වෙනවා. එම අක්‌මා බද්ධ ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායි රෝහලේ තමයි කරන්න වෙන්නේ වෛද්‍යවරු අසංක හා දිනේෂා යුවළට කීහ. අනේ අපේ පුංචි කොලු පැටියා ජීවත් කිරීම සඳහා ලක්‌ෂ 85 ක මුදලක්‌ හොයා ගන්නේ කොහොමද? මේ ගැන දිනේෂා හා අංසක යුවළ දස අතේ කල්පනා කළහ. ලක්‌ෂ 85 ක මුදලක්‌ සොයා ගැනීම ඔවුන්ට සිහිනයක්‌ව පැවතුණි. කොටින්ම කිවහොත් සඳනෙත් පුතුගේ රෝගී තත්ත්වය මෙම යුවළට මානසිකව වද දෙන ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබුණි.

එහෙත් මෙම යුවළ රුපියල් ලක්‌ෂ 85 ක මුදලක්‌ සෙවීමේ උත්සාහය අත්හැරියේ නැත. මෙම යුවළ තම ඥාති හිතවතුන්ගේ උදව් උපකාර ඇතිව මුදල් එකතු කරමින් නගරයෙන් නගරයට ගමින් ගමට ගියහ. මෙම යුවළගේ එකම බලාපොරොත්තුව වූයේ තම පුංචි පුතුගේ ජීවිතය බේරාගැනීමය. පුංචි පුතු වෙනුවෙන් මෙම යුවළ සියල්ල කැපකොට තිබුණි. මේ කාලයේ දී මෙම යුවළ හරිහැටි කුසට අහරක්‌ ගත්තේ නැත. දිවා

රැ නොබලා පුතු බේරා ගැනීම සඳහා මුදල් එකතු කිරීමේ මෙහෙයුමක්‌ දියත් කොට තිබුණි. පුංචි පුතු දකින වාරයක්‌ වාරයක්‌ පාසා මෙම යුවළගේ දෑස්‌වලින් කඳුළු කැට රූරා වැටෙන්නට විය. අනේ අසංක අපේ පුංචි පුතු බේරාගන්න පුළුවන් වේවිද. දිනේෂා නිරන්තරයෙන්ම අසංකගෙන් ඇසුවාය. ඔයා බයවෙන්න එපා අපේ පුංචි පුතා කොහොම හරි බේරාගමු අසංක කීවේය. ඒ වන විටත් සඳනෙත් පුතු ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටියේය.. මාධ්‍ය ආයතන මගින් සඳනෙත් පුතු බේරා ගැනීමේ මෙහෙයුමට උපරිම දායකත්වයක්‌ ලබා දී තිබුණි. ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුදලින් සැලකිය යුතු මුදලක්‌ ඒවන විට පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර ඇතිව එක්‌ රැස්‌කොටගෙන තිබුණි.

පුංචි සඳනෙත් පුතු සඳහා අක්‌මා සැත්කමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරිණි. අසංක හා දිනේෂා යුවළ පසු වූයේ බලාපොරොත්තු සහගතවය. සඳනෙත් පුතුගේ සැත්කම සඳහා වෛද්‍යවරුන් විසින් දිනයක්‌ ද ලබා දී තිබුණි. එහෙත් කිසිවකු බලාපොරොත්තු නොවූ අයුරින් සඳනෙත් පුතු මෙලෙව හැරයන්නේ සැත්කම කිරීමට දින නවයකට පමණ ඉහතදීය. මේ පුංචි පුතුගේ සමුගැනීම අසංක හා දිනේෂා යුවළට මෙන්ම ඔවුන්ගේ ඥාති හිතමිතුරන්ට ද දරා ගැනීමට නොහැකි වූහ. දිනේෂා පුතුගේ වියෝව දරාගැනීමට නොහැකිව හඬාවැටුණාය.

පුතා බේරාගන්න කරන්න පුළුවන් හැම දෙයක්‌ම අපි කළා. නමුත් දෛවය අපට හරස්‌වුණා. සඳනෙත් පුතා මෙම සසරේදී කවදාවත් මෙවැනි අකල් මරණයකට ලක්‌වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු අසංක දිනේෂා අස්‌වසාලමින් කීවේය. සඳනෙත් පුතුගේ ශල්‍යකර්ම සඳහා එකතුවූ මුදල් අක්‌මා සැත්කමක්‌ කළ යුතුව සිටි තවත් දරු දෙදෙනකු වෙත පරිත්‍යාග කිරීමටද මෙම යුවළ තීන්දු කොට තිබුණි.

සඳනෙත් පුතු අක්‌මා රෝගයෙන් රාගම රෝහලේ ප්‍රත§කාර ලබමින් සිටිය දී අක්‌මා රෝගයෙන් පෙළෙමින් සිටි තවත් දරුවන් දෙදෙනකු දැන හඳුනා ගැනීමට මෙම යුවළට හැකිවූහ. එම දරු දෙදෙනාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අක්‌මා බද්ධ කිරීමේ සැත්කමක්‌ කළ යුතුව තිබිණි. මින් එක්‌ දරුවකු පුංචි දියණියකි. ඒ රාගම මඟුල්පොකුණේ පදිංචි සංජීවනී විරාජි හෙට්‌ටිආරච්චි සහ ආසි§රි බණ්‌ඩාර යන යුවළගේ පුංචි දියණියයි. ඇය සකිත්මාය. සකිත්මාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අක්‌මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය කිරීම සඳහා ඒ වන විටත් මෙම යුවළ මුදල් එකතු කරමින් සිටියහ.

අක්‌මා රෝගයට ගොදුරුවූ අනික්‌ දියණිය වන්නේ. මොනරාගල කුඹුක්‌කන පදිංචි එච්. එම්. ඩිලානි සෙත්මිණි නමැති නව හැවිරිදි දැරියකි. එම දැරියගේ දෙමවුපියන් ද තම පුංචි දියණිය බේරා ගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටියහ.

අසංක හා දිනේෂා යුවළ විසින් තම පුංචි පුතුගේ ශල්‍යකර්මය සඳහා එකතු කරනු ලැබූ මුදලින් ලක්‌ෂ 20ක මුදලක්‌ සකිත්මා දැරියගේ දෙමවුපියන් වෙත ලබා දෙනු ලැබීය. ඩිලානි දියණියගේ සැත්කම වෙනුවෙන් රුපියල් ලක්‌ෂ 15 ක මුදලක්‌ පරිත්‍යාග කරනු ලැබීය.

මගේ තුන්වැනි දරුවා සකිත්මා. ඇය අක්‌මා රෝගයෙන් පෙළෙන දරුවෙක්‌. සඳනෙත් පුතු වෙනුවෙන් එකතු කළ මුදල් තමයි අපට ලබා දුන්නේ සඳනෙත් පුතා නිරෝගී දරුවකු ලෙස නැවත ඉපදෙන්න මේ වගේ අකල් මරණවලට ගොදුරු නොවන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේකට දායක වුණ හැමෝටම ගොඩක්‌ පින් සකිත්මාගේ මව සංජීවනී කීවාය.

සැබැවින්ම වත්මන් සමාජය තුළ මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අසංක හා දිනේෂා යුවළ විසින් සිදුකොට ඇත්තේ ඉතා ආශ්චර්යවත් කටයුත්තකි. ඒ විතරක්‌ නොව මහඟු පිංකමකි.

මගේ එකම බලාපොරොත්තුව මගේ පුතාට කවරදාවත් මෙවැනි අකල් මරණවලට මුහුණ පෑමට සිදු නොවේ යෑයි ප්‍රාර්ථනා කිරීම බව දිනේෂා කීවාය. ඇගේ දෑස්‌වලින් කඳුළු කැට රුරා වැටෙන්නට වූවාය.

කෙසේ වෙතත් සඳනෙත් වෙනුවෙන් ඔහුගේ දෙමාපියන් විසින් එකතු කළ මුදල් තවත් එවැනිම දරුවන් දෙදෙනකු වෙනුවෙන් කැප කර තමන්ගේ කුළුඳුල් සිඟිත්තා වියෝවීමේ දුක මඳක්‌ හෝ නිවා ගැනීමට කටයුතු කළ අසංක දිනේෂා යුවළ වත්මන් සමාජයට ද පෙන්වා දී ඇත්තේ ආදර්ශවත් ක්‍රියාවකි.. මෙවැනි සැත්කම් වෙනුවෙන් මුදල් එකතු කිරීම වත්මන් සමාජය තුළ සුලභව දැකිය හැකි කටයුත්තකි. මෙවැනි මුදල් එකතු කිරීමේ දී නොයකුත් වංචනික සිද්ධීන් ද අසන්නට ලැබේ. මෙම යුවළටත් තම පුතු වෙනුවෙන් එකතු කළ මුදල් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමට තිබුණි. එහෙත් මෙම යුවළ විසින් කළ මෙම සත්ක්‍රියාව නිරතුරුව ඇගයීමට ලක්‌ කළ යුතුව තිබේ.

මේ සත්කාර්යයෙන් සකිත්මාගේ හා ඩිලානි සෙත්මිණි යන පුංචි දැරියන්ගේ ජීවිත බේරා ගැනීමට ලැබේවා· යි අපි ප්‍රාර්ථනා කරමු.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »