පොඩි ගමක නිමවන ලොව ලොකුම පිළිමය

2017-08-18 10:40:00       28
feature-top
බුදු පිළිම නෙළීම බුද්ධ කාලයෙන් පසුව සිදුවූවක් යැයි ප‍්‍රකට මතයක් සෙදාස් බවත් බුදු පිළිම නෙළීම ඇරඹුණේ බුදුන් වහන්සේ ජීවමාන සමයේදීම බවත් හේමපාල මුනිදාසයන් වරෙක පෙන්වාදී තිබුණි. සිරිලක ප‍්‍රතිමා කලාව ඇරඹෙන්නේ දේවානම්පිය තිස්ස සමයේදීයැයි වංසකතා පවසයි. තිස්ස රජු ‘ඌරු සිලා පඨිමා’ නමින් බුදු පිළිමයක් කරවා එය ථූපාරාමයේ තැන්පත් කළ බව මහාවංසයේ සඳහනි.

දෙවැනි බුදු පිළිමය නිර්මාණය වන්නේ රුවන්මැලිසෑ ගර්භයේ තැන්පත් කරනු පිණිසය. එසේ වැඩුණු සිරිලක බුදු පිළිම කලාව අද වන විට රටේ හැම විහාරයක් බොදු නිවෙසක් ගානේම බුදු පිළිමයක් වැඩ සිටින තරමට දියුණු වී ඇති නමුදු ඇතැම් තැනෙක නිම කෙරෙන පිළිමවල ස්වභාවය මෙන්ම ඒවා අතන මෙතන කිසිදු ගෞරවයකින් තොරව තබා ඇති ආකාරය ගැනද ඇත්තේ කණස්සල්ලකි.
අප මේ කියන්නට යන්නේ සිරිලක බුදු පිළිම ඉතිහාසයේ අලූත් පරිච්ෙඡ්දයක ආරම්භය සනිටුහන් කෙරෙන කතාවක් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ කතාව අපේ මිනිසුන්ගේ අධිෂ්ඨාන ශක්තිය, ධෛර්යය, උත්සාහවන්තභාවය, පුණ්‍යාභිලාශී පරිත්‍යාගශීලිත්වය, දැනුම, ගවේශණශීලිත්වය, කලා කුෂලතාව, නූතනත්වය හා සම්මිශ‍්‍රණයෙන් නව දැනුම හා ශිල්පක‍්‍රම හඳුන්වාදීම ආදි කරුණු රාශියක් මේ කතාව තුළින් අනාවරණය කරගත හැකිය.

ආලංකුලමේ පේමසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි උඩුබද්දාව නැවකඩ ශෛලගිරි විහාරස්ථානයේ ඉදිකෙරිමින් පවතින සෙල්මුවා සිටිපිළිමය අප මේ කියන කතාවට වස්තු විෂය වෙයි. පේමසිරි හිමියෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විනයධර තපෝධර බහුශෘත ප`ඩිරුවනකි. විශ්වවිද්‍යාල ආචාර්ය පදවි, පරිවෙනාධිපති පදවි අතැර ශාසනික ආධ්‍යාත්මික කාර්යයන්ට ජීවිතය කැප කළ දුලබ යතිවරයෙකි. මේ පිළිමයේ විශේෂත්වයත් එය නිර්මාණය කිරීමේ පසුබිම් කතාවත් අපි පේමසිරි හිමියන්ගෙන්ම අසා දැනගනිමු.

‘‘මේ විහාරස්ථානය මම කලින් පරිවේනාධිපතිව සිටි කනදුල්ල ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයට අයිති එකක්. ඒ නිසා මම ඒ කාලේ නිතරම මෙතෙන්ට ආවා. ඒ මීට අවුරුදු දහයකට විතර ඉස්සර. ඒ ආව අවස්ථාවල මේ විහාරස්ථානයේ තියෙන කළුගල් පර්වතය දකින හැම වෙලාවකම මට හිතුණා මේක නම් සුදුසු බුදු පිළිමයක් නෙළන්නමයි කියල. මම මගේ හිතවත් ස්වාමින් වහන්සේලා කිහිප නමක් එක්කත් ගිහි හිතවතුන් කිහිප දෙනෙක් එක්කත් මේ ගැන කතාබහත් කළා. හැමෝම සහයෝගයෙන් කළා. පස්සෙ මම මේ විහාරස්ථානය භාරගත්තට පස්සේ මගේ අදහස දායක සභාවට ඉදිරිපත් කළා. දායකයො හැමෝම වගේ මේ පින්කම කරන්න කැමැත්ත පළ කළා. ඒ වගේම මම මේ ගැන මගෙ හිතවතුන් එක්කත් කතා කළා. ඒ හැම දෙනාමත් සහයෝගය පළ කළා. ඉතිං අපි 2010 අවුරුද්දේ පිළිමය නෙළීමේ කටයුත්ත ආරම්භ කළා.’’

නිමල් පියසිරි පේමසිරි හිමියන්ගේ සමීප හිතවතෙකි. උන්වහන්සේගේ සියලූ කටයුතුවලදීම අතහිත දෙන්නට නොපැකිළව ඉදිරිපත්වන සමාජ සේවකයෙකි. මේ ඔහු කියන කතාවයි.‘‘පේමසිරි හාමුදුරුවෝ මේ යෝජනාව කළාම අපිටත් ලොකු උනන්දුවක් ඇතිවුණා. අපි මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ හිටපු භූවිද්‍යාඥ පරාක‍්‍රම මාපා මහතා එක්කරගෙන ඇවිත් ගල පෙන්නලා මේ කටයුත්තට සුදුසුදැයි බැලූවා. ඔහු ගල පරීක්ෂා කර සුදුසු බව පැවසුවා. මේ අතරතුර මේ ගලේ පිළිමයක් නෙළුවොත් ලෝකයේ පිහිටි ගලක නෙළපු උසම හිටිපිළිමය මේක වෙන්න පුළුවන් කියන තොරතුරත් අපට දැනගන්නට ලැබුණා. දැන් බාමියන් පිළිම නැති නිසා උසම පිළිමෙ අවුකන පිළිමයයි. අවුකන පිළිමය අඩි 47යි උස. මේ පිළිමය නෙළුවොත් අඩි 67ක් උස් වේවි කියලා අපට දැනගන්නට ලැබුණා. මේ කාරණෙත් පිළිමය නෙළන්න උත්තේජකයක් වුණා.’’

ශෛලගිරි විහාරය කුඩා ගම්මානයක දායකයන් සීයක් හමාරකගේ සිව්පසයෙන් යැපෙන දුප්පත් විහාරයකැයි කීම ගර්හාවක් නොව ඒ අධිෂ්ඨානශීලීන්ට කෙරෙන ගෞරවයකි. එබඳු විහාරස්ථානයක ලොව උසම සිටි පිළිමය නෙළීම සුළුපටු කාර්යයක් නොවේ. අති දැවැන්ත මුදලක් වියදම් කරන්නට සිදුවන බව ඇස්පනාපිට පෙනෙද්දී මෙවැනි කාර්යයකට අතගැසීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ දුරාවාරයේය. අපි මේ ගැන පේමසිරි හිමියන්ගෙන් විමසීමු.

‘‘අපි හොයලා බැලූවාම කෝටි දෙකක් විතර මුදලක් වැයවේවි කියල දැනගන්න ලැබුණ. ඇත්තටම මට කිසි සැකයක් චකිතයක් ඇතිවුණේ නෑ මේ මුදල හොයාගන්න බැරිවේවි කියල. දායක සභාවෙන් හා මගේ හිතවතුන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාර නිසා මට ලොකු විශ්වාසයක් ඇති වුණා අපිට මේ කාර්යය සාර්ථක කරගන්න පුළුවන් වේවි කියල. ඒ නිසා මම අධිෂ්ඨාන කරගත්තා කොහොම හරි මේ පිළිම වහන්සේ නෙළනවාමයි කියල.’’

පිළිමය නිමැවීමටම ආරම්භ කරන ලද සෙල්පිළිම නිර්මාණ සංසදයේ භාණ්ඩාගාරික විහාරස්ථ දායක සභාවේ හිටපු ලේකම් ඩබ්ලිව්. එස්. මුතුකුමාරණ පැවසුවේ මෙවැනි කතාවකි.

‘‘ඇත්තටම හාමුදුරුවෝ මේ යෝජනාව කළාම මම නං පුදුම වුණා. මේ වගේ දුප්පත් පන්සලකට කෝටි දෙකක් කියන්නේ හිතාගන්නවත් බැරි මුදලක්නෙ. හැබැයි වැඬේ ආරම්භ වුණාට පස්සේ අපට අවශ්‍ය මුදල් ආධාර වශයෙන් ලැබුණා. මේ වන විට කෝටි දෙකක් විතර වැයවෙලා. පිළිමයේ වැඩට තවත් ලක්ෂ 60-70ක් විතර අවශ්‍යයි. මල් ආසන වගේ අනිකුත් දේවලට ඇර. දායක සභාවේ බොහෝ දෙනෙක් ශ‍්‍රමයෙනුත් දායක වුණා. ඒ වගේම ප‍්‍රජා සේවා නිලධාරීන්ගේ දායකත්වය මිල කළොත් කෝටි 2ක් විතර වෙනවා. උසාවියේ වෙන්දේසි කළ මැටි ටෙන්ඩර් දාලා අරගෙන අපි ගඩොල් ලක්ෂ 2ක් විතර කපාගත්තා. කැඩන කළුගල් කුට්ටි කුඩාවට කඩලා අත්තිවාරම් දාන්න තියාගෙන ඉන්නවා.’’

මුතුකුමාරණ කෙටියෙන් කියන මේ කතාවෙන් අපට ගත හැකි ආදර්ශ බොහෝය. පැරැුණියන් හිත ඇත්නම් පත කුඩාදැයි කීමේ මෙවැනි උත්සාහවන්ත කටයුතු ඉලක්ක කරමිනි.

පිළිම කර්මාන්තයේ ඉදිකිරීම්වලට දායක වන්නේ ශ‍්‍රී ලාංකේය නිර්මාණකරුවකු වීම නිසා මේ කතාවේ වටිනාකම තවත් වැඩි වෙයි. පසුගිය කාලයේ රම්බොඩගල්ල විහාරස්ථානයේ ලොව විශාලතම සමාධි පිළිමය ඉදිකෙරුණේ ඉන්දීය ශිල්පීන් අතිනි.

සෝලියස් මැන්දිස් කලාකරුවාගේ තෙලිතුඩින් හැඩවැඩවුණු කැලණි විහාරයේ පිළිම වහන්සේගේ පසුබිම් සිතුවම ඇඳීමට ඉන්දීය සිත්තරකු කැඳවීම අපේ සිත්තරාගේ කලා ජීවිතයට තිත තැබුවේය. ලෝකයම පුදුමයට පත් කරන්නට සමත් මහා කලා නිර්මාණ කළ ජාතියක අද පරපුරු විදේශීය කලාකරුවන්ගේ පිහිට පැතීම සංවේගයට කරුණකි.

එවන් පසුබිමක පිහිටි ගලක නෙළු ලොව ලොකුම පිළිමය නෙළීමට අපේ ශිල්පීන් තෝරාගැනීම මෙන්ම ඔවුන්ගේ ඉදිරිපත්වීමද බෙහෙවින් අගය කළ යුතුය. ඒ කාර්යයට අතගැසූ ස්ටාර් ග‍්‍රැනයිට් ආයතනාධිපති හපුආරච්චිගේ ලීලානන්ද වික‍්‍රමසිංහගේ පවසන කතාව අපේ සම්ප‍්‍රදායික කලාව හා තාක්ෂණය හා නූතන තාක්ෂණය සමග මුසුකොට නව සම්ප‍්‍රදායයක් ගොඩනැගීම පිළිබඳ කදිම ආදර්ශයකි.

‘‘මම ලංකාවේ පුරාණ කලාව ගැන වගේම ඉන්දියාව, ඊජිප්තුව, ඉතාලිය, රුසියාව වගේ රටවලට ගිහිල්ලා ඒ රටවල ප‍්‍රතිමා කලාව ගැනත් හැදෑරුවා. අපේ පුරාණ ශෛල කලා තාක්ෂණය ගැන බොහෝ ජනප‍්‍රවාද තිබුණත් ඒ තාක්ෂණය ගැන සඳහන් මූලාශ‍්‍රවල හිගයක් තියෙනවා. ඒ වගේම ඉංජිනේරු ශිල්පය, පාෂාණ වර්ග, නූතන මෙවලම් හා ඒවා භාවිතයේදී සැලකිලිමත් විය යුතු සියුම් කරුණු වගේ බොහෝ දේවල් අධ්‍යයනය කළා. මේ අධ්‍යයනයන් නිසා මට පුළුවන් වුණා සම්ප‍්‍රදායත් රැුකගෙන නූතන තාක්ෂණය ඇසුරින් අලූත් ක‍්‍රමවේදයක් නිර්මාණය කරගන්න වඩාත් කාර්යක්ෂමව පිළිම නෙළීමට. අවුකන පිළිමය නිර්මාණයට අවුරුදු 22ක් ගත වුණු බව සඳහන් වෙනවා. අපි මීට පෙර පිළිමයක් නෙළුවා වතුරුවිල ආරණ්‍යයේ. ඒක අඩි 42ක් උසයි. අපිට පුළුවන් වුණා අපේ ක‍්‍රමය පාවිච්චි කරලා අවුරුදු පහකින් එහි වැඩ නිම කරන්න. අඩි 67ක් උස මේ පිළිමයේ කටයුතු අපට අවුරුදු අපිට අවුරුදු හයකින් අවසන් කරන්න පුළුවනි. අනික අපි ඩයිනමයිට් වගේ පුපුරුණ ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නෑ. රම්බොඩගල්ලේ පිළිමය හදපු ඉන්දිය ශිල්පියෝ ඩයිනමයිට් යොදලයි ගලේ කොටස් ඉවත් කළේ. ඩයිනමයිට් දැම්මාම ගල්වල ඇහැට නොපෙනෙන ඉරිතැලීම් ඇතිවෙනවා. ඒ ඉරිතැලීම් නිසා පසු කාලෙක පිළිමයට හානි වෙන්න පුළුවනි. අපි මේ කලාවේ විශාල වෙනසක් කළා කියන සතුට අපිට තියෙනවා.’’

ඒ සතුට අපටද තිබේ. අතීත ප‍්‍රතිමා කලා ශිල්පයේ මහිමය නූතන දැනුම හා තාක්ෂණය සමග මුසුකොට එයින් රටට මෙහෙයක් ඉටු කරන, විෂයය පිළිබඳ නොකඩවා අධ්‍යයන පර්යේෂණයන්හි නිතර වන වික‍්‍රමසිංහ වැන්නවුන් රටට ආඩම්බරයකි.

හුදෙකලා ගල් පර්වතයක් වසර ගණනාවක් මුළුල්ලේ සිත නිවා සනහන බුදු පිළිමයක් බවට පරිවර්තනය වෙමින් තිබෙයි. මේ වන විට පිළිමය සම්පූර්ණයෙන්ම මතුකරගෙන ඇති අතර ඉතිරිව ඇත්තේ සියුම් කැටයමින් හැඩකිරීම පමණි. බුදු පිළිමයේ සැබෑ ස්වරූපය මතු වන්නේ එවිටය. ලබන වසරේ සැප්තැම්බරය වන විට පිළිම කර්මාන්තය අරඹා වසර 8ක් සම්පූර්ණ වෙයි. ඒ වන විට සියලූ කටයුතු නිමවා වන්දනාව පිණිෂ පිළිමය නිරාවරණය කිරීම මේ පුණ්‍යකර්මයට දායක වූ සියලූ දෙනාගේ ඒකායන බලාපොරොත්තුවයි. ඒ බලාපොරොත්තුව එසේම ඉටුවේවායි අපිදු ප‍්‍රාර්ථනා කරමු.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »