රිටිගල රක්‍ෂිතයත් අනතුරේ
මුදල් පසුපස හඹාගිය මිනිසාට සොබාදහම කියා දුන් පාඩම

2017-08-09 10:24:00       665
feature-top
මිනිසා විසින්ම පරිසරය විනාශ කිරීම නිසා අද රජරට වැසියන් ස්‌වභාවධර්මයෙන් පීඩා විඳිති. එදා රජරට තිබුණ පරිසරය අද දකින්නට නැහැ. රූස්‌ස ගහකොළ මරාදමා ඇත. පරිසරය විනාශ කර මුදල් ඉපයීම නිසාම අද යල මහ වෙනස්‌වී අතරමැදි සුළු වැසි ලැබෙන්නේ ගොවිතැනට ප්‍රමාණවත් නැති තරමිනි. පරිසරය විනාශ කිරීම නිසාම ස්‌වභාවධර්මය වෙනස්‌ වී ඇත. මිනිසාට ඉරහඳ වෙනස්‌ කරන්න බැරි නිසා එය වේලාවට පායා සවසට බැස යති..."

පරිසරයට මිනිසා ආදරය නොකිරීම නිසා එදා තිබුණ රජරට ගැමි පරිසරය අද දකින්නට නැත. සෑම ගමක වෙළක වැවක තිබුණ දැවැන්ත මී ගස්‌, කුඹුක්‌ ගස්‌, සියඹලා ගස්‌, වල් අඹ ගස්‌ ඇතුළු කැලේ තිබුණ වටිනා පලු, වීර, බුරුත, කළුවර, කොහොඹ, කීරිය ඇතුළු මහ රූස්‌ස ගස්‌ අතුරුදන් කර ඇත. වෙල් යායවල්වලට සෙවණ දුන් පොහොර දුන් ඉතා පැරැණි මී ගස්‌ කපා ලොරි පිටින් මුදල් ඉපයීමට කොළඹ පැටෙව්වේය. ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන රජයේ කාර්යාලයෙන් කඩිනමින් තැරැව්කරුවන්ට ලැබුණේ මුදල් කොළ මතය. වෙල් යායවල තිබුණ මීගස්‌, කුඹුක්‌ ගස්‌ කපා දැමීමේ රඟ අද වෙල් පිටිවලින් දිස්‌වන්නේ දැඩි අව්වෙන් වියළී ගිය කාන්තාර වාගේය. වෙල් පිටිවල තිබුණ දැවැන්ත කුඹුක්‌ ගස්‌වල ඉරාපු ලෑලි කොළඹ ඇතුළු පිට පළාත්වල මහ මන්දිරවල බිත්ති සරසා සිසිල පතුරුවා ගනිති.

රජයේ අණසක ලැබී කැපූ දැවැන්ත කැලෑවල තේක්‌ක වගා කළේය. ඒ තේක්‌ක වතුවල අයිතියද ලොකු ලොකු මහත්තුරුන්ටය. පදිංචි ඉඩමට බලපත්‍ර නොලැබෙන රටක මහ කැලෑවල වැව්ව තේක්‌ක ඉඩම් සඳහා බලපත්‍ර ලැබෙන්නේ දේව අනුහසකින් දැයි සිතීම වටී.

රජරට වනාන්තර විනාශ කරමින් බඩඉරිඟු වැවීමටද බහුජාතික යෑයි කියන සමාගම් රජරට කඳවුරු බැඳගෙන දේශපාලකතුමන්ලා සමඟ අත්වැල් බැඳගෙන බඩඉරිඟු ඇට ගොවියාට පාට බලා නොමිලේ ලබාදුන්නේ කැලේ කපා වගාකර මුදල් සොයා ගැනීමටය. ගොවියාද මුදල් ගැනම සිතා පරිසරය කපා කොටා පුළුස්‌සා බඩඉරිඟු වැව්වාය. අතමිට සරු ගොවියෝ වැඩිපුර මුදල් ඉපයීමට වඩ වඩාත් කැලේ විනාශ කිරීමට යන්ත්‍ර සූත්‍ර යොදා ගත්තේය. බැකෝ යන්ත්‍රවලින් හේන් යායවල් ඩෝසර් කළෝය. ගහක මුලක්‌ වගා බිමක නොතිබෙන්නට හේන් යායවල් මිදුල් බවට පත්කළේය. වැව් තාවුල් විනාශ කළේය. පරිසරයට අනුගතව සිටි සතා සීපාවා මරා දැමුවේය. සර්පයන් මරා දැමුවේය. ඉන්නට කැලයක්‌ නැතිව වල් අලි ගම් වැදුණේය. මොණරු ගමට ආවේය. රිළව් වඳුරුන් ගමට ආවේය. ගස්‌වැල් තුරුලතා විනාශ වීම නිසා මීමැස්‌සන් අතුරුදන් විය.

පරිසරය තරගයකට මෙන් විනාශ කළ ගොවියාම අලි එනවා, රිළව් වැඩියි, මොණරු වැඩියි කියා පාරට බැස උද්ඝෝෂණය කළේය. එයට උත්තර නැතිව පාලකයන්ද බලා සිටියේය. ස්‌වභාවධර්මයාද බලා සිටියේය. කලක්‌ ගස්‌ වැල් අදහපු රජරට පැරැණි ගොවියා වෙනුවට ඒවා විනාශ කළ රුපියල් ශත ගොවීන්ට දැන් ස්‌වභාවධර්මයා පාඩමක්‌ උගන්වා ඇත. ඒ කන්න කිහිපයකට වර්ෂාව නොලැබීම නිසාය.

වැවක සිරියාව වැව් තාවුල්ල වුණත් රජරට වැව්වල අද තාවුල්ල දකින්නට නැත. තම තමන්ගේ ශක්‌ති ප්‍රමාණය අනුව වැව් තාවුල්ල අයිති කරගෙනය. එහි කුඩා වාණිජ භෝග වගා කිරීමට අමතරව ගෙස්‌ට්‌ හවුස්‌ හදාගෙනය.

සතා සිවුපාවට තිබුණ තාවුල්ල, වැවේ ආරක්‌ෂාවට තිබුණ තාවුල්ල, ජල පෝෂක තාවුල්ල අද වැව් ඉස්‌මත්තේ නැත. මේ නිසාම පරිසරය සෝදා පාළු වී වැව් ගොඩවී තිබේ. වැසි කාලයට රජරට වැව් ඉක්‌මනට පිරී වාන් දමන අතර වැව යටතේ එදා දෙකන්නය වගා කළ කුඹුරු යායවල් අද වන විට පුරන්වී ඇත. රජරට වැව් හාරන්න හොඳම කාලය මේ නියං සමය වුවත් පාලකයන්ට වැව් හාරන්න වගේ වගක්‌ නැත.

සංවර්ධනය උදෙසා පස්‌ කඳු කැපීම, බොරළු කැපීම, විශාල ගල්බෝර දමා ගල් කඳු වැටි කැඩීම, වටිනා කලාත්මක ගල් කුට්‌ටි පිටින් පිටරට පැටවීම, ගංගා ඇළ දොළවල පරිසරය විනාශ කරමින් වැලි ගොඩදැමීම නිසාද රජරට පරිසරය විනාශ වීමෙන් එහි ඵල විපාක දැන් අප නොඅඩුව භුක්‌ති විඳිමින් සිටී.

පරිසරය ආරක්‌ෂා කිරීමට තිබෙන ආයතනද අද නිහඬය. ජනගහනය වැඩිවීම නිසාද වටිනා පරිසර පද්ධති විනාශ කර ජනපද පිහිටුවීමද පරිසර විනාශයට හේතුවක්‌ වී ඇත. මුදල් ඉපයීම සඳහාම සංචාරකයන් පිනවීම සඳහා ස්‌වභාවික පරිසර පද්ධති වැනසීමද දැන් දැන් වැඩිවී ඇත. ලාභය මතම කෙටි කාලීන භෝග වගා කළත්, එම භූමිවල දීර්ඝකාලීන වටිනා ගස්‌වැල් තුරුලතා අද වගා කිරීමක්‌ නැත. වසර සිය ගණන් පැරැණි ගස්‌ සුළු මොහොතකින් බිම දැමීමට සිත් පිත් නැති යන්ත්‍ර සූත්‍රද යොදා ගන්නේ සිත් පිත් ඇති මිනිසාමය. මේ නිසා පරිසරය විරසක වෙලා. උරණ වෙලා, වැස්‌ස වළාහක දෙයියෝ කෝප වෙලා.

ගස්‌වැල්වල මල් වර්ග නැතිව පරාගනය නැතිවෙලා. මීමැස්‌සෝ, සමනල්ලු, කුඩා කෘමීන් පළිබෝධ නාශක නිසා විනාශවෙලා. රජරට වැව්වල හිටිය ඉපැරැණි මත්ස්‍යයෝ වඳවෙලා. තිත්තියා, ආ¹, තෙප්පිලියා, කාවයියා, මඩාරා, වලයා, හුංගා අද වැව්වල දකින්නට නැත.

වැව් පිටිවල හිටිය නරි රංචු පිටින් අතුරුදන්වෙලා. හාවා, මීමින්නා, ගල්ඉබ්බා, කිරි ඉබ්බා, ඌරා, ගෝනා, මුවා, වැලිමුවා, කබැල්ලෑවා පරිසරයට සුන්දරත්වයක්‌ දුන් සත්තු මස්‌වැද්දොa මරාගෙනම කා ඉවර කර ඇත.

සෑම ගමකම සිටිය මීගව, එළගව රංචු සහ ගව ගාල් අද රජරට දකින්නට නැත. අපේ රටේම සිටින පිරිසක්‌ ගව රංචු පිටින් ගිල දමා හමාරය.

එදා හෙළ රජදරුවන් පරිසරය පමණක්‌ නොව සතා සිවුපාවාද ආරක්‌ෂා කළේය. සුද්දොa ඇවිත් හිටිය කාලෙවත් රජරට පරිසරය මෙහෙම විනාශ කළේ නැත. යන එන තැන මාර ගසක්‌ හරි හැදුවේය. නමුත් වත්මනේ කලින් කලට කරලියට එන දේශපාලකතුමන්ලාත් ඡන්දදායකයෝත් අතර බැඳීම ශක්‌තිමත් කර ගැනීම සඳහා පරිසරය බෙදා හදාගෙන තරගයට විනාශ කිරීමේ පල විපාක අද වන විට රජරට සියලුම වැසියන් භුක්‌ති විඳිමින් සිටී...·

රජරටට වඩාත්ම වැදගත්වූ පරිසර පද්ධතියක්‌ වූ රිටිගල දැඩි ස්‌වභාවික රක්‍ෂිතයට දැන් තර්ජනයක්‌ව පවතී. ඒ රිටිගල බටහිර බෑවුමේ රක්‍ෂිත කලාපය තුළ මුස්‌ලිම් ජනාවාසයක්‌ ඉදිකර විවිධ ගොඩනැඟිලි ඉදිකිරීම නිසාවෙනි. සාමාන්‍ය පරිසරයක්‌ නොව දැඩි රක්‍ෂිතයක්‌ වුවත් දේශපාලන වුවමනාකම් මත ඕනෑම පුද්ගලයකුට එහි විසීමට අවසර දීම මොනයම් අපරාධයක්‌ද යනු සිතා බැලීම වටී...·

රජරට හේන් පිටිවල එදා තිබුණ අන්දර, කටුපිල, කූරටියා, දෙබර, එරමිනියා අද නැත. තෝර, කතුරු තෝර, පිලගස්‌, නෙරංචි අද නැතත් ඒ වෙනුවට රජරට පුරාවට ඇත්තේ ඉලුක්‌ යායවල්ය.

මේ පිළිබඳව විවාදයක්‌ අවශ්‍ය නැත. නොපමාව සියලුම දෙනා එකතුවී රජරැටියා විසින්ම විනාශ කළ ස්‌වභාවික පරිසරය නැවත පණ ගැන්වීම සඳහා ගස්‌වැල්, තුරුලතා රෝපණය කළ යුතුය. නැතිනම් අනාගත පරම්පරාව අපට ශාප කරනු ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »