113ක්‌ මරා දැමූ අඳුරු රාත්‍රියේ විකසිත වූ දිරියවන්තිය...

2017-08-08 10:02:00       587
feature-top
දශක තුනකට නොඅඩු කාලයක්‌ අප රටේ පැවැති කුරිරු යුද්ධයේ අමිහිරි මතකයන් පොළොන්නරුවේ ඈත ගම්බිම්වලද එමටය. අපමණ ජනජීවිත යුද්ධය හේතුවෙන් කඩාවැටී තවමත් එපරිද්දෙන්ම බැව් මහවැලි නිම්නයේ වැලිකන්දට ගිය ගමනේදී පසුගියදා දැස්‌ අබිමුව දිස්‌විය.

යුද්ධයෙන් පීඩා නොවිඳි පවුලක්‌ සෙවීම නොමළ ගෙයකින් අබැටක්‌ සෙවීම වැනි කාරණයක්‌ බව කිවයුතු නොවේ. විශේෂත්වය වනුයේ යුද්ධය නිමාවී වසර ගණනාවක්‌ ගතවීත් එම ගම්වල ජනයාගේ ජීවිත නැවත ගෙඩනඟා ගන්නට නිසි වැඩපිළිවෙලක්‌ තවමත් සකස්‌ වී නොමැති බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ. එහෙයින් දිළිඳු බවේ පතුල පිරිමදින ජනයාගෙන් කිසිදු අඩුවක්‌ එහි දක්‌නට නොමැත. එම සුවහසක්‌ ජනී ජනයා අතර කුමක්‌ හෝ ජීවන මාර්ගයක්‌ තෝරාගෙන අනුන්ට අත නොපා ජීවත්වන දුලබ චරිත ද අපට හමුවිය.

වැලිකන්ද, කරපළ ගම්මානයේ වෙසෙන සය දරු මවක වන කන්දයියා පාක්‌කියම් මහත්මිය කරවල වේලා, විකුණා දිවි රැක ගන්නා එවන් අපේ කාලයේ වීරවරියකි.

ජීවිතය කඳුලට බාර නොකොට දිගු කලක පටන් ඇය මෙම ජීවන අරගලයේ නිරතව සිටින බවද අපට දැනගන්නට ලැබුණි.

ඇය මෙම ජීවන වෘත්තියට ජීවිතය බාර කොට වසර 25 ක්‌ පමණ වන බව අප සමඟ කීවාය. තමන් මෙම රැකියාව තෝරා ගත්තේ තිස්‌ වසරකට වැඩි කාලයක්‌ තම ජීවිත දුකට පත්කළ කුරිරු යුද්ධයට ශාප වන්නට තමන් වැන්දඹුවක්‌ බවට පත්වීමෙන් පසුව බව ඇය කීවේ වියෑකී ගිය කඳුළු අලුත් කරමිනි.

යළිත් මේ රටේ කිසිදාකත් යුද්ධයක්‌ ඇති නොවිය යුතු යෑයි පාක්‌කියම් අම්මා අවධාරණය කරන්නීය. ඒ අන් කිසිවක්‌ නිසා නොව යුද්ධයේ බියකරු බව සැහැසි බව මතු පරපුරට උරුමවිය යුත්තක්‌ නොවන නිසාවෙනි.

එය දැසින් දකින්නට, අත්විඳින්නට නොව ඔවුනට අසන්නටවත් නොලැබේවා· යෑයි තමන් ප්‍රාර්ථනය කරන බව ද ඇය අප සමඟ කීවාය.

"මම යුද්ධය නිසා ගොඩක්‌ දුක්‌ විඳපු, බැටකාපු ගෑනියෙක්‌. මගේ පුරුෂයා මට අකාලයේ නැති වුණා. එතකොට මගේ බාල පුතා අතදරුවෙක්‌. දරුවෝ හය දෙනෙක්‌ එක්‌කල මම මේ ලෝකේ තනි වුණා. දරුවෝ ජීවත් කරවන්න කිසිම මාර්ගයක්‌ තිබුණේ නෑ. ඊට පස්‌සේ තමයි මේ කරවල වේලන රස්‌සාව මම තෝර ගත්තේ. දැන් මගේ දරුවෝ ඔක්‌කොම ලොකුමහත් වෙලා.

ගෑනු ළමයි විවාහ වෙලා. මගේ බාල පුතා දැන් ගුරුවරයෙක්‌. වැලිකන්දේ ඉස්‌කෝලෙක දරුවන්ට ඉංග්‍රීසි උගන්වනවා. මට හරිම සතුටුයි. ලොකු ආඩම්බරයක්‌ හිතට දැනෙනවා. මම තවදුරටත් මගේ පුරුදු රස්‌සාව කරගෙන යනවා. දැන් මම මේක කරන්නේ මට ජීවත් වෙන්න. අනුන්ට අත නොපා ජීවත් වෙන්න. අනෙක්‌ අයට උදව්වක්‌ උපකාරයක්‌ කරන්න යෑයිද පාක්‌කියම් අම්මා වැඩිදුරටත් කීවාය.

අප රටේ කුරිරු යුද්ධය පැවැති සමයේ මහජනයා මර බියෙන් වෙළාගත් ගම්මාන අතුරින් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පිහිටි කරපොල ගම්මානයද ප්‍රමුඛය. එකල මායිම් ගම්මාන, තර්ජිත ගම්මාන යනාදී වශයෙන් යුදබිය බහුලව පැවැති ගම්මාන ලේඛනයේ තම ගමද ඉදිරියෙන්ම වූ හෙයින් කරපොල ගමේ ජනයා නිරතුරුවම ගත කළේ මර බියෙනි. දහවල් කාලයේ ගොවිතැන් කටයුතු කුලී වැඩ මාළු ඇල්ලීම වැනි හුරු පුරුදු රැකියාවක නිරතව සිට පැමිණ වැඩි දෙනා රාත්‍රිය ගත කළේ බොහෝ විට තම අඹු දරුවන්ද සමඟ කැලෑවලය.

එහෙත් 1992 වසරේ අප්‍රේල් මාසයේ එක්‌ අඳුරු මූසල රාත්‍රියක කරපොල ගම්මානයට කඩා වැදුණු ආයුධ සන්නද්ධ කල්ලියක ගොදුරු බවට පත්වූ ජීවිත ගණන 113 කි. තියුණු ආයුධවලින් කපාකොටා වෙඩි තබා අමු අමුවේ මරා දැමුණු නිරායුධ අහිංසක ජීවිත අතර කිරි දරුවන්, ගැබිනි මව්වරුන්, කාන්තාවන් සහ වැඩිහිටියන්ද වූහ. කන්දයියා පාක්‌කියම්, සය දරු මවගේ සැමියා වන 43 හැවිරිදි පොන්නන් පාලන්ද එම මරා දැමුණු අහිංසක වැසියන් අතර වූහ. එම සමූහ ඝාතනය සිදුවුණු මොහොතේ ජීවිත ආරක්‍ෂාව පතා ගම්මුන් හිස්‌ලූලූ අත දිව ගිය බව කියති.

එසේ දිවයන පිරිස්‌ අතරේ වූ පොන්නන් පාලන්ගේ අවුරුදු 1 1/2 ක්‌ වයසැති කුඩා පුතුද සිටි බවත් සතුරු වෙඩි පහරින් මැරී වැටුණු පියාගේ සිරුරට යටවී නිරුපද්‍රිතව හුන් දරුවා පසුව සොයා ගැනීමට හැකිවූ බවද පාක්‌කියම් කීවාය. අපට මෙම කරුණු කිසිදු අපහසුවකින් තොරව කියාගෙන හෝ ලියාගෙන යන්නට හැකි වුවද මොවුන් මෙම බියකරු අත්දැකීම් ලබන විට කෙබඳු මානසික මට්‌ටමක සිටින්නට ඇත්දැයි සිතාගත හැකිය.

පාක්‌කියම්ගේ විඩාබර මුහුණ දෙස බලන විට ඇයගේ සිත විසිපස්‌ වසරකට පමණ පෙර අතීතයට දිව යන්නට ඇතැයි අපට සිතේ. එහෙත් ඇගේ මුහුණින් පිළිබිඹු වන්නේ පරාජිත බවක්‌ නොව එක්‌තරා අන්දමක ජයග්‍රාහී බවකි. සැබැවින්ම යුද්ධයෙන් බැට කෑ අප රටේ සුවහසක්‌ ජීවිත අතර අධිෂ්ඨානශීලීව වීරියෙන් යුතුව යළි ජීවිතයට මුහුණ දුන් දිරිය කතක්‌ ලෙස වැලිකන්ද කරපොල ගම්මානයේ කන්දයියා පාක්‌කියම් අපගේ බුහුමනට පාත්‍ර විය යුතුය යන්න අවිවාදිතය. ඇය කුරිරු යුද්ධය දැසින් දුටු එහි අප්‍රමාණ කටුක අත්දැකීම් විඳි කාන්තාවකි. එම යුද්ධයේ අනිටු ප්‍රති විපාකයක්‌ ලෙස වැනසුණු ජීවිත අතර තම අත්වැල බිඳී යැමද පිරිමැසිය නොහැකි පාඩුවක්‌ බව අමුතුවෙන් කිව යුතු නැත. එම ෙ€දවාචකයෙන් පසුව කිසිවකුගේත් හව්හරණක්‌ නොමැතිව තම දැතේ වීරියෙන් නැගී සිටීම සැබැවින්ම පරමාදර්ශී ක්‍රියාවකි.

මගේ මනුස්‌සයා පාලන් මැරුණට පස්‌සේ දරුවෝ ජීවත් කරවන්න මට ලොකු සටනක්‌ දෙන්න වුණා. එයා ඉන්නකොට කුඹුරු ගොවිතැන් කළා. බාබර් රස්‌සාවත් කළා. ඒ නිසා ලොකු අමාරුකම් අපිට තිබුණේ නෑ. එදිනෙදා ජීවත් වෙන්න අවශ්‍ය මිල මුදල් ලැබුණා. නමුත් ඒ වෙනකොට අපිට ඉන්න හරිහැටි ගෙයක්‌වත් තිබුණේ නෑ. මට කිසිම කෙනෙක්‌ උදව්වට ආවේ නෑ. මම අධිෂ්ඨාන කර ගත්තා කොහොම හරි දරුවෝ ජීවත් කරවනවා මොන දේ කරලා හරි කියලා. එහෙම හිතලා තමයි කරවල වේලීම පටන් ගත්තේ. ඊට කලින් මම මේ රස්‌සාව කරලා තිබුණේ නෑ. වැවේ මාළු අල්ලන අයගෙන් මාළු සල්ලිවලට අරගෙන තමයි එදා ඉඳලම කළේ. දරුවන්ට ඉගැන්නුවේ. එදිනෙදා වියදම් සොයා ගත්තේ දරුවෝ දීග දුන්නේ මේ ගේ හදා ගත්තේ හැම දෙයක්‌ම මම කළේ කරවල වේලලා සල්ලි හම්බ කරගෙන. ඉතින් මම මේ රස්‌සාව එදත් අදත් කරගෙන යන්නේ හරිම සතුටින්. මට දැන් ජීවිතේ ලොකු බරක්‌ නෑ. නමුත් මගේ අත්දෙක තවම හොඳට හයිය තියෙනවා. ඒ නිසා මේක දිගටම කරගෙන යනවා යෑයිද ඇය කීවාය.

පාක්‌කියම් යන්නෙහි සිංහල තේරුම භාග්‍යවන්තිය යන්නයි. එහෙත් තම දෙමාපියන් තමන්ට එම නම යොදා ඇත්තේ එහි තේරුම හරි හැටි දැනගෙන දැයි නොදන්නා බව පාක්‌කියම් අප සමඟ කීවාය.

එහෙම වුණත් මට නම් දැන් මගේ නමේ තේරුම මොකක්‌ද කියලා දන්නවා. හොඳම උදාහරණය තමයි අපේ මේ ගමේ 113 දෙනෙක්‌ අමු අමුවේ කපලා කොටලා වෙඩි තියලා මරලා දාපු වෙලාවේ මට තවදුරටත් මේ ලෝකේ ජීවත් වෙන්න අවස්‌ථාව ලැබුණේ මම භාග්‍යවන්තිය නිසා වෙන්න ඇති කියලා මම හිතනවා යෑයිද පාක්‌කියම් මහත්මිය පැවසුවාය.

අපගේ කතා නායිකාව භාග්‍යවන්තිය බොහෝ දුක්‌මුසු කටුක කඩඉම් පසුකරගෙන විත් තම ජීවිතය ජයගෙන තිබේ. ඇගේ ඒකායන ප්‍රාර්ථනය වනුයේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලු ජන වර්ග එකට සමඟි සම්පන්නව ජීවත්වන දේශයකි. තම දැස්‌ අභිමුව නොව මතු කවරදාකවත් යළිත් මේ රටේ යුද්ධයක්‌ ඇති නොවේවා· යි යන්නද ඇය ප්‍රාර්ථනා කරන්නීය.

භාග්‍යවන්තියගේ පැතුම් සඵල වන්නට අපිදු එක පහනක්‌ හෝ දල්වමු.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »