සුන්දර කෙස් කලඹ දන් දුන් යුව­තියෝ

2017-08-02 10:38:00       660
feature-top
කෙනෙකු රෝගී වූ විට දැනෙන අසරණබව කියාගන්නට මුවගේ වදන් නැති තරම් ය. එලෙස අසරණ වූ අවස්ථාවක කවුරුන් හෝ පිහිටට එන්නේ නම් හෙතෙම මිහිබට දෙවිකෙනකු හා සමවනු ඇත. වකුගඩු රෝගියෙකුට වකුගඩුවක් දී පිහිට වන්නට යමෙකුට සිතෙන්නේත්, මොළය මියගොස් මරණය සමඟ සටන් කරන සිය නෑයාගේ අවසන් හුස්ම පොද වාතලයට යන්නට මත්තෙන් වෙනත් රෝගියකුට ඒ ඥාතියාගේ අවයව දන්දීමට සිතෙන්නේත් මෙලොව කීයෙන් කීදෙනකුටද? ජීවත්ව සිටින කාලයේ උප පාරමී ධර්මය පුරමින් බිඳවැටුණු ජීවිතවලට ශක්තියක් වෙමින් ඔවුන්ට නැඟිටින්නට වෙර ලබා දුන් මේ කතා පුවත පසුගියදා අපට ඇසුණේ කොළඹ තදාසන්න නගර සීමාවෙනි‍.

'පිළිකා සරණ භාරයත්', රූපලාවණ්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දුගේ රූපලාවණ‍යාගාරයත් , ස්වභාවික ආකාරයෙන් කොණ්ඩා කළඹ සැකසීමේ දැනට ලංකාවේ සිටින එකම ශිල්පියා වන ලලිත් ධර්මවර්ධන යන සැවොම එකට එකතු වූයේ මේ හා සමාන වූ පුණ්‍යමය කටයුත්තකට දායක වන්නටය. ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරත වන පිළිකා රෝගීන්ගේ මානසිකත්වය වෙනස් කරමින් කළ මේ සත්කාර්යය ඔවුන්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් හා අලුත් ආලෝකයක් එක් කරන්නට සමත් විය.

කාන්තාවන්ට රූපලාවණ්‍ය නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සුන්දර කෙස් කළඹක් යනු තරුණියකට ආභරණයක් වැනිය. ලස්සන හිසකෙස් කළඹක් සකසා ගන්නටත්, එම වරල මල් ගවසා අලංකාර කර ගන්නටත් ඇය සිතන්නේ ඇගේ සුන්දරත්වය තව තවත් ඔප නංවා ගැනීමටය. අද සමාජයේ තරුණියන් රූපලාවණ්‍යය කෙරෙහි දක්වන්නේ දැඩි උනන්දුවකි. එනිසාම රූපලාවණ්‍යාගාර වෙත ඇදෙන තරුණියන් සංඛ්‍යාව අද බොහෝය. රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයට ද වෙනදා ඔවුන් පැමිණියේ සුන්දර වරලස තවත් අලංකාර කර ගන්නට විනා දාන පාරමිතාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් පසුගියදා රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරවලින් මීට වඩා හාත්පසින්ම වෙනස් වූ සමාජ මෙහෙවරක් දියත් වූයේ සුන්දරත්වය ද තාවකාලික බව පසක් කරමිනි.

එදා රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයට පැමිණි සුන්දර කාන්තාවන් කැමැත්තෙන්ම සිය දිගු වරලස දෙවරක් නොසිතාම කපන්නට අවසර දුන්නේ පිළිකාවෙන් පෙළෙන දහසක් වූ කාන්තාවන් වෙනුවෙනි. පීඩාකාරි පිළිකාවේ අතුරු විපාකයෙන් ලෙස ඔවුනට අහිමි වූ කෙස් කළඹක් ලබා දීමේ උතුම් චේතනාවෙනි. මෙතැනදී කෙස් කළඹ පරිත්‍යාග කළේ කෙස් කලඹ අඟල් අටකට වඩා වැඩි තරුණියන් වීමද විශේෂත්වයකි. තමන් ආශාවෙන් වවාගත් කෙස් කලඹ කිසිදු වග විභාගයකින් තොරව දන්දී ඔවුන් මේ උප පාරමිතාවට මුල පිරුවේ සිය ජීවිතයේ තමන්ට කළ හැකිවූ උපරිම පරිත්‍යාගයක් ලෙසිනි.

මේ පරිත්‍යාගය මෙතැනින් අවසාන නොවේ. එසේ වන්නේ පිළිකා රෝගියෙකුට අවශ්‍ය කෙස් කලඹක් සෑදීමට එක් කෙස් කළඹක් පමණක් ප්‍රමාණවත් නොවන නිසා ය. මේ වන විට ස්වාභාවික කෙස් කළඹක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වේ. එසේම මෙවැනි එක් කළඹක් සෑදීමට නම් නිරෝගී පරිත්‍යාගශීලින්ගේ කෙස් කළඹ 8 ත් 15 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වේ‍. වෙළෙඳ පොළේ මිලිග්‍රෑම් 500 ක ප්‍රමාණයක කෙස් රුපියල් 70000 ක පමණ වටිනාකමකින් යුතුවෙයි. එහෙයින් පිළිකාවෙන් අසරණ වූ රෝගියෙකුගේ කෙස් කලඹක් ලබා ගැනීම සිහිනය යථාර්ථයක්ම වන්නේ ඔවුන්ට කවුරුන් හෝ පිහිටක් වෙතොත් පමණි.

"මගේ ගෙවල් රත්මලානේ. මට එක දුවෙක් ඉන්නවා. මට ලස්සන කොණ්ඩයක් තිබුණා. ඒත් ඒ කොණ්ඩයට වඩා මගේ ආසාවක් තිබුණා මේ කෙස් ටික පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දෙන්න. මගේ අම්මා මිය ගිහින් අවුරුද්දයි. මම හිතුවා අම්මා වෙනුවෙන් මේ දේ කරනවා කියලා. කොණ්ඩයක් දන් දෙන්න නම් එය අඟල් 8 ක් වත් දිගින් තියෙන්න ඕන. ඒත් මං මගේ අඟල් 10 ක් දිග කොණ්ඩය දන් දුන්නා. අපිට අපේ කොණ්ඩය නැවත වවා ගන්න පුළුවන්. එත් පිළිකා රෝගීන්ගේ කොණ්ඩ එහෙම වැවෙන්නේ නැහැ. මං දැන් මගේ ජිවිතේ ලොකුම පරිත්‍යාගයක් කළා කියලා මගේ හිතට දැනෙනවා" යැයි සිය දිගු කෙස් කළඹ දන් දුන් රත්මලානේ දිල්රුක්ෂි පෙරේරා මහත්මිය පවසන්නීය.

මේ වන විට රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයෙන් දහසකට වැඩි තරුණ තරුණියෝ හා කාන්තාවෝ හිසකෙස් දන්දිමේ පුණ්‍ය කර්මයට දායක වි ඇත්තාහ. එතැනින්ද බොහෝ දෙනෙකු තරුණ තරුණියන් වීම විශේෂත්වයකි. පාසල් යන වයසේ දරුවන් පමණක් නොව සරසවි සිසු සිසුවියන්ද ඉතා කැමැත්තෙන්ම මේ සද් කාර්යය‍ට දායක වීම පුදුම සහගත ය.

"මම කැලණිය සරසවියේ කළමනාකරණ විද්‍යා උපාධිය හදාරනවා. මගේ ළඟම නැන්දා කෙනෙක් ළඟඳි පිළිකාවක් හැදිලා මැරුණා. ඒ සිද්ධිය මගේ සිත ගොඩාක් කම්පාවට පත්කළා. මේ නිසා මම තීරණය කළා ඒ වගේ අසරණ ලෙඩෙකුට පිහිට වන්නේ කොහොමද කියලා. මම මගේ ලස්සන කොණ්ඩය දෙන්න තීරණය කළාම මගේ අම්මාගේත් තාත්තාගේත් ආශිර්වාදය ලැබුණා. ඒ ගොල්ලෝ දැන ගත්තා මගේ හදවතින්ම මම මේ තීරණය ගත්බව. මට දුකක් දැනුණේ නැහැ. මම දන්නවා මගේ කොණ්ඩය මට ආයිත් වවා ගන්න පුළුවන් කියලා. ඒත් පිළිකා රෝගයෙන් පීඩා විඳින කෙනෙකුට ඒ අවස්ථාව නැහැ. මේක අපිට ජිවිතයේ හොඳ අවස්ථාවක්. ආත්ම විශ්වාසය ගොඩනඟාගෙන මේ කාර්යයට එක්වන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා." නුගේගොඩ පදිංචි නෙත්මි ද සිල්වා පැවසුවාය.

නෙත්මි මෙන්ම පාසලට ආයුබෝවන් කියා සරසවි අපේක්ෂාවෙන් පසුවන ඇයගේ නැඟණිය වන සෙනෙලි ද සිල්වා ද ඇය සමඟ සිය කෙස් කළඹ පරිත්‍යාග කළාය.

පිළිකා සරණ භාරය මෙන්ම රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයේ අධිපති රමණි ප්‍රනාන්දු මහත්මිය මේ වෙහෙසෙන්නේ අපේම හිස කෙස්වලින් අසරණ වු රෝගියෙකුට පිහිටක් වන්නටය.

"මේ වන විට දහසකට වඩා හිසකෙස් දන් දී තියෙනවා. මේ කෙස්වලින් අපේම රටේ රෝගියෙකුට කෙස් කළඹක් දීමයි අපේ අරමුණ‍. මේ වන විට අපට පාලනය කර ගන්න අපහසු තරමට විශාල පිරිසක් එනවා සිය හිසකෙස් දන් දෙන්නට. ඒ ගැන අපිට හරිම සතුටුයි. හිසකෙස් දීම හරීම ක්‍රමානුකූලව කළ යුතු වැඩක්. අපි ඒ අයගෙන් කොණ්ඩය කපාගත් පසු නැවතත් ඒ අයගේ කොණ්ඩය යම් පමණකට සකස් කළ යුතු වෙනවා. මේ නිසා පරිත්‍යාග කරන්නට ප්‍රථම ඒ සඳහා වෙලාවක් වෙන්කර ගත යුතුයි. අපේ රූපලාවණ්‍යාගාරවලින් ඒ අවස්ථාව ගන්න පුළුවන්. මේ සඳහා කිසිම වයස් සීමාවක් නැහැ. නිරෝගි කෙස් කළඹක්වීම තමයි අවශ්‍ය" රමණි ප්‍රනාන්දු මහත්මිය පවසන්නීය.

වෛද්‍ය විද්‍යාව මෙතරම් දියුණු යුගයකදීත් ජීවිතයක් අතරමඟක නවතා ලන්නට පිළිකාවට හැකිනම් ඒ කෙටි කාලය තුළදි ඒ ජීවිතයට සරණක් වන්නට අපට හැක්කේ ය. ඒ හිසකෙස් දන්දීම ද ශරීර අවයවයක් දන්දීම හා සමාන වූ උප පාරමිතා ධර්මයක් වන නිසා ය.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »