නාවික හමුදාවට අලුත් මෙහෙයුමක්‌
අලි මුහුදට බහින්නේ ලුනු කන්නලු!

2017-08-01 10:40:00       659
feature-top
අලි දෙදෙනා ගසාගෙන යන අයුරු
විටෙක මිනිසාගේ නපුරු ක්‍රියාකාරකම් හමුවේද තවත් විටෙක අනතුරු සහ ස්‌වභාවික විපත් හමුවේද අලි ඇතුන් තරම් පීඩා විඳින තවත් සත්ත්ව කොට්‌ඨාසයක්‌ මේ මිහිපිට නොමැති තරම්ය. මෙම හේතුව නිසාම මෙරට අලි ඇත්තු ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයකටද ලක්‌ව සිටිති. එය එසේ වෙද්දී මෑතකාලීනව අලි තවත් අමුතුම තාලයේ ගැටලුවකට මුහුණපා සිටිති.

මිනිසාගේ නපුරු කම්වලට අමතරව අලි ඇතුන් මුහුණ දෙන අනතුරු ලෙස අප වැඩිපුරම අසා ඇත්තේ වගා ළිඳකට වැටීම, මඩ වගුරක එරීම, දුම්රියේ ගැටීම ආදියයි. එහෙත් මෑතකාලීනව අලි මුහුණ දෙන අලුත්ම ගැටලුවක්‌ අපිට අසන්නට ලැබුණි. ඒ අලි මුහුදේ ගසාගෙන යැමයි.

නාවික හමුදා නිලධාරින් විසින් අලි දෙදෙනා බේරාගැනිමට දරණ උත්සහය........
ත්‍රිකුණාමලය කෙවුලියා තුඩුව මුහුදට මායිම්ව ඇති වනාන්තර ප්‍රදේශය තුළ අලි ඇත්තු සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාසය කරති. එම වනාන්තර ප්‍රදේශය තුළ මිනිස්‌ ජනාවාස නොමැති නිසා කරදරයකින් තොරව ඔවුහු ජීවත් වෙති. සමහර අවස්‌ථාවල අලි මුහුදු වෙරළට පැමිණ දඟලති.

බේරාගත් අලි දෙදෙනා වෙරලට පැමිනේන අයුරු
දිනය පසුගිය විසිතුන් වැනිදාය. එදින එම වෙරළ තීරයට අලි දෙදෙනකු පැමිණියහ. මඳ වේලාවක්‌ ඔවුහු වෙරළ තීරයේ දඟලමින් සිටියහ. ඉන්පසු එක්‌ අලියෙක්‌ මුහුද දෙසට ගමන් කළ අතර අනෙක්‌ අලියාද එය අනුගමනය කළේය. වෙරළේ සිට මීටර් හත්සියයක්‌ පමණ මුහුද දෙසට ගමන් කළ එම අලි දෙදෙනා සිත්සේ මුහුදු වතුරේ විනෝද වූහ.

අලි ලුණුවලට දැඩි කෑදරකමක්‌ දක්‌වති. මුහුදු වතුරේ ඇති ලුණු රසයට මෙම අලි දෙදෙනාද දැඩි කැමැත්තක්‌ දක්‌වන්නට ඇත. එම නිසා වටපිටාව ගැන කිසිදු අවබෝධයක්‌ නොමැතිව පැය ගණනක්‌ මොවුහු මුහුදේ දැඟලූහ. ඒ වන විටත් මෙම අලි දෙදෙනා කිලෝමීටර් තුනක්‌ පමණ මුහුද ගොස්‌ තිබුණි.

ගතවූයේ නිමේෂයකි. විශාල සැඩ පහරකට අලි දෙදෙනා හසුවිය. එයින් බේරීමට ඔවුන් නොගත් උත්සාහයක්‌ නොමැත. එහෙත් ඒ කිසිවකින් පළක්‌ වුණේ නැත. අවසානයේ අලි දෙදෙනා ගැඹුරු මුහුදට ගසාගෙන ගියේය. තිරිසන් සතෙකුට පවා මරණ බය හොඳින් දැනේ. මෙම අලි දෙදෙනාටද එම අවස්‌ථාවේදී මරණ බය හොඳින් දැනෙන්නට ඇත.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ නිලධාරීහු පිරිසක්‌ මුර සංචාරයේ යෙදී සිටියහ. ඒ ත්‍රිකුණාමලය රවුන්ඩ් දූපත සහ කෙවුලියා තුඩුව අතර මුහුදු ප්‍රදේශය තුළයි. එක්‌වරම එහි සිටි නිලධාරියකු ඈත මුහුදේ යමක්‌ පාවෙනු දුටුවේය. වහාම ඔවුහු ඒ දෙසට නාවික යාත්‍රාව දියත් කළහ.

මඳ දුරක්‌ යාත්‍රා කරන විට ඔවුනට දැක ගන්නට ලැබුණේ එලෙස පාවෙමින් සිටින්නේ අලි දෙදෙනකු බවයි. ඔවුහු නාවික යාත්‍රාව තවත් එදෙසට ළං කළහ. එවිට ඔවුන්ට දැක ගැනීමට හැකි වූයේ අලි දෙදෙනා මුහුදේ පාවෙමින් ගැඹුරු මුහුද දෙසට යන බවයි.

කෙලෙස හෝ අලි දෙදෙනා බේරාගත යුතු යෑයි එම නිලධාරීහු සිතූහ. පළමුව ඔවුහු මේ සිද්ධිය පිළිබඳ තම නාවික හමුදා කඳවුරට දැන්වූහ. ඉන්පසු ත්‍රිකුණාමලය වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මේ බව දැනුම් දුන්හ. අවසානයේ දෙපිරිසම එකතුවී අලි දෙදෙනා බේරා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළහ.

මෙම මෙහෙයුම සඳහා වේග ප්‍රහාරක යාත්‍රා තුනක්‌, බෝට්‌ටු දෙකක්‌ සහ නාවික හමුදා කිමිදුම් කණ්‌ඩායමක සහාය ලබා ගත්හ. පළමුව වේග ප්‍රහාරක යාත්‍රා පැති තුනකින් අලි දෙදෙනා ගිලී ඇති ස්‌ථානයට ළඟාවූහ. ඒ සමඟම බෝට්‌ටුවල නැගගත් තවත් නාවික කිමිදුම් භටයෝ කිහිප දෙනෙක්‌ එම ස්‌ථානයට පැමිණියහ.

ගැඹුරු මුහුදේ පැය භාගයකට ආසන්න කාලයක්‌ ඔවුහු අලි දෙදෙනා ගළවා ගැනීම සඳහා විවිධ උත්සාහයන් දැරූහ. අවසානයේ නාවික කිමිදුම් භටයකු කඹයක තොණ්‌ඩුවක්‌ එක්‌ අලියකුගේ ඇඟට දැමුවේය.

පසුව ප්‍රහාරක යාත්‍රාවක ආධාරයෙන් එම අලියා ගොඩබිමට ඇදීමට සූදානම් විය. ඒ සමඟම අනෙක්‌ අලියාද එම අලියාගේ ඇඟේ දැවටුණි. පසුව දෙදෙනාම නිරුපද්‍රිතව ගොඩබිම දෙසට රැගෙන ඒමට ඔවුනට හැකිවූහ. පසුව ගොඩබිමට පැමිණි අලි දෙදෙනා කෙවුලියාතුඩුව ප්‍රදේශයට පලාගියහ. යම් හෙයකින් නිරීක්‍ෂණයේ යෙදුණු නාවික හමුදා නිලධාරීන්ගේ ඇස නොගැටුණේ නම් ඒකාන්තයෙන්ම එම වල් අලි දෙදෙනා මුහුදේ ගිලී මිය යන්නට ඉඩ තිබුණි.

එම අලි දෙදෙනා මුහුදේ ගසාගෙන යැමට දින දොළහකට පමණ ඉහතදී තවත් අලියෙකු මුහුදේ ගසාගෙන ගොස්‌ තිබුණි. ඒ කොක්‌කුතුඩුවායි මුහුදු තීරයේ ය. එම අලියාවද නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු නාවික හමුදා නිලධාරීන් පිරිස්‌ දැක තිබුණි. පසුව එම නිලධාරීහු මේ අයුරින්ම කටයුතු කර එම අලියාවද බේරා ගත්හ.

වාර්තාවලට අනුව පළමුවරට මුහුදේ ගසාගෙන ගිය අලියා වන්නේ "බ්‍රිගේඩියර්" ය. එම අලියා පළමුව ජීවත් වූයේ වයඹ පළාත තුළයි. දිනක්‌ හමුදාවේ බ්‍රිගේඩියර් වරයකුගේ නිවසකට පහරදී අලාභ හානි කිරීම නිසා "බ්‍රිගේඩියර්" යන නම ඔහුට වැටුණි. පසුකාලීනව එම අලියාගේ ප්‍රචණ්‌ඩත්වය නිසා සාම්පූර් ප්‍රදේශයට ගෙනත් දැමුවේය.

වසර කිහිපයක්‌ එම ප්‍රදේශයේ ගතකළ "බ්‍රිගේඩියර්" දිනක්‌ මුහුදේ කිලෝමීටර් හයක්‌ පමණ දුරකට ගසාගෙන ගොස්‌ තිබුණි. එදින ද නාවික හමුදා නිලධාරීන් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකතුව බ්‍රිගේඩියර්ව බේරා ගත්හ. අවාසනාවක මහත යනු එම සිදුවීමෙන් වසර කිහිපයකට පසු දිඹුලාගල ප්‍රදේශයේ වගා ළිඳකට වැටී බ්‍රිගේඩියර් මිය ගියේය.

මෙලෙස අලි මුහුදට ගසාගෙන යන්නේ කුමන හේතුවක්‌ මතද යන්න පරිසරවේදීන් කිහිප දෙනකුගෙන් අපි විමසුවෙමු. එහෙත් ඔවුන්ගෙන් පැහැදිලි පිළිතුරක්‌ අපට නොලැබුණි. සමහරෙක්‌ පැවසුවේ ලුණුවලට ආස නිසා අලි මුහුදට යන බවත්, එසේ යන අවස්‌ථාවලදී මුහුදට ගසාගෙන යන බවත්ය. එම පිළිතුරෙත් යම් සත්‍ය තාවයක්‌ තිබෙන්නට පුළුවනි. එහෙත් එයින් අපට සෑහීමකට පත්විය නොහැකිය. ඒ මක්‌නිසාද යත් මුහුද ආශ්‍රිතව වනාන්තරවල අලි ඇත්තු සැලකිය යුතු ප්‍රමාණයක්‌ ජීවත් වෙති. එහෙත් මෙලෙස මුහුදේ ගසාගෙන ගොස්‌ ඇත්තේ සිව් දෙනෙකු පමණි. (වාර්තාවලට අනුව)

ලුණුවලට කැමැති නිසා අලි මුහුදට ගසාගෙන යන්නේ නම් මේ වන විට මීට වඩා වැඩි ප්‍රමාණයක්‌ ගසාගෙන යා යුතුව ඇත. එහෙත් එසේ සිදුවී නොමැත. දැනට ගසාගෙන ගොස්‌ ඇත්තේ සිව් දෙනෙකු (වාර්තාවලට අනුව) පමණි. එයිනුත් තුන් දෙනෙකුම මෙම මාසය තුළදීය. එම නිසා මෙලෙස අලි මුහුදේ ගසාගෙන යැමට තවත් කුමන හෝ හේතුවක්‌ තිබෙන්නට පුළුවන. එම නිසා වගකිව යුතු නිලධාරීහු ඒ පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන්නේ නම් ඉතාම අගනේය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »