ලක්ෂ 20ක වැටුප දමා ලංකාවට ඇවිත්
හදවත් බද්ධ කරන දොස්‌තර...
හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම

2017-07-31 10:03:00       589
feature-top
මේ හැම ඉල්ලීමක්‌ ම පැත්තක දාලා මම ශ්‍රී ලංකාවට ඇවිත් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මගේ මව් රටේදීම කරන්න සැලසුම් සකස්‌ කරන්න පටන් ගත්තා.

මේ වගෙ ශල්‍යකර්මයක්‌ ඇමෙරිකාවේදී සිදු කළොත්
අවම වශයෙන් රුපියල් කෝටි 20 කට වඩා යනවා

1967 වර්ෂයේ දෙසැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටි රෝහලකදී වෛද්‍ය විද්‍යාව උඩුයටිකුරු කළ සිදුවීමක්‌ සිදුවිය. දකුණු අප්‍රිකානු ජාතික විශේෂඥ වෛද්‍ය ක්‍රිස්‌ටියන් බර්නාඩ් සිදු කළ හදවත් බද්ධ කිරීමේ විශ්මිත ශල්‍යකර්මය සමස්‌ත වෛද්‍ය ක්‍ෂේත්‍රය එතෙක්‌ මෙතෙක්‌ ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය බවට පත් කළේය.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය ඉතාම බැරෑරුම් සහගත සියුම් එකක්‌ වූ නිසාත්, එවැනි අභියෝගාත්මක ශල්‍යකර්මය කිරීමට සමත් වෛද්‍යවරුන් හිඟවීම නිසාත් ඒ වෙනුවෙන් අති විශාල මුදලක්‌ වැය වන නිසාත් මෙම ශල්‍යකර්මය ලොව පුරා ව්‍යාප්ත වුණේ ඉබිගමනිනි.

වෛද්‍ය ක්‍ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමට සමත් වූ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටවල සිදු කිරීම සිහිනයක්‌ විය. එහෙත් ඒ අභියෝගය ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌ විසින් ජයගත්තේ මුළු රටේම පමණක්‌ නොව ලෝකයේම අවධානය යොමුකර ගනිමින් ය.

ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන් මේ ජයග්‍රහණය ලබා ගන්නේ පළමුවැනි හදවත් සැත්කම සිදුකර හරියටම පනස්‌ වසරක්‌ ගෙවී ගිය පසුවය.

ඉතාම සීමිත පහසුකම් යටතේ සිදු කළ මේ අභියෝගාත්මක ශල්‍යකර්මය මේ වනවිට අතිශය සාර්ථක එකක්‌ බවට පත් වී හමාරය. මේ විශ්මිත ශල්‍යකර්මය සිදු කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතාය. වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා තුළ තිබූ කැපවීම අධිෂ්ඨානය නිසාම වසර දෙකක්‌ වැනි කාල සීමාවක්‌ තුළදී ශ්‍රී ලාංකේය වෛද්‍ය ක්‍ෂේත්‍රය ලැබූ සුවිශේෂීම ජයග්‍රහණය ලබා ගන්නට හැකි වූ බව නොරහසකි.

මුදල් ඉපයීමේ පරමාර්ථයක්‌ හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක්‌ ලබා ගැනීමේ පරමාර්ථයක්‌ නොමැතිව හුදෙක්‌ රටේ හදවත් රෝගවලින් පෙළෙන අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ එකම පරමාර්ථයෙන් සිදුකළ මෙම සැත්කම ඉතිහාසයේ රන් අකුරින් ලියෑවී හමාරය.

ශ්‍රී ලාංකේය වෛද්‍ය ඉතිහාසය රන් අකුරින් සටහන් කළ මේ ජයග්‍රහණයේ නියමුවා ලෙස සිටි හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රම මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් සිය අත්දැකීම් මෙසේ විස්‌තර කළේය.

ò වකුගඩු බද්ධ කිරීම්, බයිපාස්‌ සැත්කම්, අක්‍ෂි බද්ධ කිරීම් ශ්‍රී ලංකාවේ බොහොම සුලභව සිදුවන ශල්‍යකර්ම. එහෙත් හදවතක්‌ බද්ධ කිරීම ඉතාම සුවිශේෂී කටයුත්තක්‌. එවැනි අභියෝගාත්මක ශල්‍යකර්මයක්‌ සඳහා ඔබ යොමු වුණේ කෙසේද?


හෘද රෝග විශේෂඥ වෛද්‍ය උපාධිය ලබා ගත්තාට පස්‌සේ මගේ ලොකු ආශාවක්‌ තිබුණා හෘදය බද්ධ කිරීමේ ශල්‍යකර්ම පැත්තට යොමු වෙන්න. ලෝකයේ දියුණු රටවල පමණක්‌ සිදුකරන මේ ශල්‍යකර්මය පිළිබඳ හැදැරීමක්‌ කරන්න මට අවශ්‍ය වුණා.

ඒ වගේම හෘදය සහ පෙනහළු බද්ධ කිරීමේ ශල්‍ය ඒකකයක්‌ අපේ රටේ නැහැ. මේ රටේ දුප්පත අහිංසක ජනතාව වෙනුවෙන් හෘදය බද්ධ කිරීමේ ඒකකයක්‌ කොහොම හරි බිහිකරන්න මගේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා.

මම මේ ගැන හොයන්න උනන්දු වුණා. හෘදය සහ පෙනහළු බද්ධ කිරීම සාර්ථකවම සිදු කළේ එංගලන්තයේ. මෙවැනි ශල්‍යකර්ම කරන මධ්‍යස්‌ථාන පහක්‌ එංගලන්තයේ තියෙනවා.

හෘදය සහ පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ඉතාම සාර්ථකව සිද්ධ කළේ එංගලන්තයේ නිව්කාසල් හි පිහිටි ෆ්‍රීමන් රෝහලෙයි. අන්තිමේදී මම තීරණය කළා මේ ෆ්‍රීරමන් රෝහලට සම්බන්ධ වෙලා හෘදය බද්ධ කිරීම පිළිබඳව හැදැරීමක්‌ කරන්න. ෆ්‍රීමන් රෝහලට වෛද්‍යවරයකු ලෙස සම්බන්ධ වීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙවෙයි.

මේ රෝහලට වෛද්‍යවරුන් බඳවා ගන්නෙ සම්මුඛ පරීක්‍ෂණයක්‌ තියලා. ඒත් මේ රෝහලේ බලධාරීන් ඊට බඳවා ගනිද්දී ප්‍රමුඛත්වය දෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට. දෙවැනි අවස්‌ථාව දෙන්නේ යුරෝපා සංගමයේ රටවල වෛද්‍යවරුන්ට. තුන්වැනි අවස්‌ථාව තමයි ඒ අය ආසියාතික රටවලට දෙන්නේ.

මම ෆ්‍රීමන් රෝහලේ සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වුණේ 2012 වර්ෂයේදී. රෝහලේ බලධාරීන් මගේ සුදුසුකම් පරීක්‍ෂා කළා. මගෙන් ඇහුව ඇයි ඔබ මේ රෝහලට ඇතුළු වෙන්න තීරණය කළේ කියලා. මම කිව්වා හෘදය සහ පෙනහළු බද්ධ කිරීම පිළිබඳව වැඩිදුර හැදැරීමක්‌ කරලා මගේ මව් රටෙත් මේ වගේ ඒකකයක්‌ ආරම්භ කරන්න මගේ බලාපොරොත්තුවක්‌ තියෙනවා කියලා.

ෆ්‍රීමන් රෝහලේ බලධාරීන් ඒකට බොහොම කැමැති වුණා. මේ අය තීරණය කළා මාව බඳවා ගන්න. ඒ විතරක්‌ නෙවෙයි ශ්‍රී ලංකාවේ හෘදය සහ පෙනහළු බද්ධ කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරන්න උදව් කරන්නත් ඒ අය පොරොන්දු වුණා.

ඒ අනුව මම 2013 වර්ෂයේ එංගලන්තයේ නිව්කාසල් හි පිහිටි ෆ්‍රීමන් රෝහලේ හෘදය සහ පෙනහළු බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍ය කණ්‌ඩායමට එකතු වුණා.

මේ රෝහලේදී අපි කළේ හෘදය සහ පෙනහළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පමණයි. ෆ්‍රීමන් රෝහලේ වෛද්‍යවරුන් එක්‌ක වැඩ කරලා හෘදය බද්ධ කිරීම පිළිබඳව විශාල දැනුමක්‌ ලබා ගන්න මට හැකි වුණා. මේ රෝහලේදී මම එක දවසක්‌ හෘදය බද්ධ කිරීමේ ශල්‍යකර්මවලට සහභාගි වෙන්න ඕනෙ. අනික්‌ දවසේ එංගලන්තයේ වෙනත් පළාත්වල රෝහල්වලින් හෘදයවස්‌තු රැගෙන ඒමේ කාර්ය කරන්න ඕනේ.

මේ කාර්යය සඳහා මට ජෙට්‌ එකක්‌ පවා ලබා දී තිබුණා. මොළය මියගිය පුද්ගලයන්ගෙන් ලබා ගන්නා හදවත් සහ පෙනහළු පැය තුනක්‌ වගේ කෙටි කාලයක්‌ තුළදී හදවත් රෝගියාට බද්ධ කරන්න ඕනේ. මේක ඉතාම භාරදූර කාර්යයක්‌. ඒනිසා තත්පරයක කාලයක්‌ බොහොම වටිනවා.

ඒ නිසයි ෆ්‍රීමන් රෝහල හදවත් සහ පෙනහළු ගෙන ඒමේ කාර්ය සඳහා ජෙට්‌ යානා යොදා ගන්නෙ. කොටින්ම මේ ජෙට්‌ යානය අහසේ ඉහළට පවා යන්නෙ නැහැ. අහසෙ පහළින් පියාසර කරන්නේ. එහෙම කරන්නෙ ජෙට්‌ එක ඉහළට යන කාලය පවා ඉතිරි කරගන්න. හෘදය වස්‌තු රැගෙන එන දවසට නිව්කාසල් හි ෆ්‍රීමන් රෝහල අවට මාර්ගය පවා පොලිසියෙන් වහල දානවා. මොකද රථවාහන තදබදයක්‌ නැතිව හෘදය වස්‌තු ඉතාම කෙටි කාලයකින් රෝහල වෙත ගෙන එන්න අවශ්‍ය පහසුකම් සලසා දෙනවා.

* එංගලන්තයේ මිනිස්‌සු හදවත් පරිත්‍යාග කිරීම් කරනවද?

එංගලන්තයේ ජනතාව බොහොම බුද්ධිමත්. ඒ අය දන්නවා කිසියම් රෝගියකුගේ මොළය මිය ගියාම එයාව ජීවත් කරන්න බැහැ කියලා. ඊ.සී.ජී. වැඩ කළාට ඒ අය දන්නවා රෝගියා දවස්‌ තුන හතරකට වඩා ජීවත් වෙන්නෙ නැහැ කියලා.

ඒ නිසා ඒ රෝගියාගේ පවුලේ අය කියනවා එයාගෙ හදවත, පෙනහළු, වකුගඩු වගේම බද්ධ කරන්න පුළුවන් හැම දෙයක්‌ම අයින් කර ගන්න කියලා. ඒ වගේම එංගලන්තෙ හදවත් බද්ධ කරන රෝහල් පහේ හදවත් අවශ්‍ය කරන රෝගීන් ලියාපදිංචි වෙලා ඉන්නේ. මොළය මිය ගිය රෝගියෙක්‌ ආවහම මේ ලියාපදිංචි ලැයිස්‌තුවේ රෝගීන්ගෙන් කෙනෙක්‌ තෝරා ගෙන එයාට හදවත බද්ධ කිරීම කරනවා.

ò හදවත් සහ පෙනහළු බද්ධ කිරීම ලෝකයේ රටවල් පුරා ව්‍යාප්තවීම සිද්ධ වෙන්නේ බොහොම හෙමින් ඇයි එහෙම වෙන්නේ?

මුල්ම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිද්ධ වෙන්නේ 1967 වර්ෂයේ දකුණු අප්‍රිකාවේදී. ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ක්‍රිස්‌ටියන් බර්නාඩ් නමැති විශේෂඥ වෛද්‍යවරයා තමයි මේ ශල්‍යකර්මය කළේ.

ක්‍රිස්‌ටියන් බර්නාඩ් ඇමරිකාවෙ අධ්‍යාපනය ලැබුවට එයාට එහිදී මේ ශල්‍යකර්මය කරන්න ලැබුණෙ නැහැ. මොකද ඒ කාලේ ඇමරිකන් නීතිය අනුව හදවත් ඉවත් කර වෙනත් අයට බද්ධ කරන්න හැකියාවක්‌ තිබුණේ නැහැ.

ඒ නිසා ක්‍රිස්‌ටියන් බර්නාඩ් ඇමරිකාවෙ අධ්‍යාපනය ලබලා එයාගෙ මව් රට වූ දකුණු අප්‍රිකාවට ගිහින් මේ ශල්‍යකර්මය සාර්ථකව කළා. පළමු වැනි හදවත් සැත්කම කරලා වසර 50 ක්‌ ගත වුණත් මේක ලෝකෙ ව්‍යාප්ත වෙලා තියෙන්නේ ඉතාම සීමිත රටවල් ගණනකට. මේ වෙනකොට හදවත් බද්ධ කිරීම් අපේක්‍ෂාවෙන් ලෝකය පුරා රෝගීන් ලක්‍ෂ 5 ක්‌ සිටිනවා. ඒත් හදවත් බද්ධ කිරීමේ සැත්කම් වසරකට සිද්ධ වෙන්නෙ පන්දහසකට අඩු ප්‍රමාණයක්‌.

හදවත් බද්ධ කිරීමේ සැත්කම් ව්‍යාප්ත නොවෙන්න එක හේතුවක්‌ තමයි එය ඉතාම සංකීර්ණ බැරෑරුම් ශල්‍යකර්මයක්‌ වීම. ඉතාම සුළු අත්වැරදීමකින් පවා රෝගියාගේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. ඒ වගේම හදවත් පරිත්‍යාග කරන්නන් මෙන්ම හදවත් ලබාගන්නා රෝගීන් අතර විශාල ගැලපීමක්‌ තියෙන්න ඕනෙ.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක්‌ සඳහා අති විශාල මුදලක්‌ වැය වෙනවා. මේ වගෙ ශල්‍යකර්මයක්‌ ඇමෙරිකාවේදී සිදු කළොත් අවම වශයෙන් රුපියල් කෝටි 20 කට ආසන්න මුදලක්‌ ඊට වැය වෙනවා.

ඒ වගේම මුදල් තිබ්බ පලියට ශල්‍යකර්මය වෙනත් දියුණු රටකට ගිහින් කරන්න බැහැ. මොකද හදවත් බද්ධ කිරීම් කරන්නේ තමුන්ගේ මවුරටේ පුරවැසියන්ට පමණයි. මේ නිසාමයි මට අවශ්‍ය වුණේ අපේ මව් රටේ අහිංසක දුප්පත් හදවත් රෝගීන් වෙනුවෙන් මේ වගේ දෙයක්‌ කරන්න.

පළමුවැනි හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කරලා වසර 50 ක්‌ ගත වෙනතුරුත් එය ශ්‍රී ලංකාවට ආවෙ නැත්තෙ ඒ පිළිබඳ විශේෂඥ දැනුම, උනන්දුව කැපවීම තියෙන අය අපේ රටේ නොසිටි නිසයි.

වසර 2 1/2 ක්‌ තිස්‌සේ මම ෆ්‍රීමන් රෝහලේ හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කළා. ඒ කාල සීමාව තුළම මම හිතුවේ මේ වැඩේ මම කොහොමද ශ්‍රී ලංකාවට ගිsහින් කරන්නෙ කියලා.

මොකද මම ඒ වෙනකොට දැනගෙන හිටියා ශ්‍රී ලංකාවෙ හදවත් බද්ධ කිරීමේ අවශ්‍යතාව තියෙන දුප්පත් අහිංසක මිනිස්‌සු සෑහෙන පිරිසක්‌ ඉන්න බව. ඒ අයට මේ වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැහැ. ඒ අය මරණ සහතිකය අතේ තියාගෙන ඉන්න මිනිස්‌සු. ඒ අයගෙ ජීවිත බේරගන්න මට පුළුවන් තරම් ඉක්‌මනට මගේ මව් රටේ හදවත් බද්ධ කිරීමේ ඒකකයක්‌ ස්‌ථාපනය කරන්න ඕනේ කියලා මම හිතුවා. මේ ගැන මට ෆ්‍රීමන් රෝහලේ වෛද්‍යවරුන් සමඟ නිතරම කතා කළා. නොදියුණු රටවල මේ ඔපරේෂන් එක කරන්නෙ නැහැ. මොකද ඒක ලොකු වියදමක්‌ යන අමාරු වැඩක්‌ නිසා. ඒත් ඒ අය බොහොම කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා මට උදව් කරන්න.

හෘදය බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරන්න ඒ සම්බන්ධ සෑම දැනුමක්‌ම ලබා ගන්න ඕනෙ. නිර්වින්දන වෛද්‍යවරයාගේ කාර්ය භාරයේ ඉඳලා හදවත් බද්ධ කරන වෛද්‍යවරයා දක්‌වා ම තියෙන හැම කාර්යයක්‌ම මම හොඳින් ඉගෙන ගත්තා.

මොකද මම දැනගෙන හිටියා මේ සැත්කම් කරන්න ඒ ගැන පුහුණුවක්‌ ලබා ගන්න ලංකාවෙන් වෛද්‍යවරු ගෙන්න ගන්න අමාරු බව. ඒ වෙනුවෙන් ලොකු මුදලක්‌ රජයට දරන්න වෙනවා. ඒ නිසා මම තීරණය කළා හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයට අවශ්‍ය කරන සියලුම කාර්යයන් හොඳින් හදාරන්න. හදවත් බද්ධ ශල්‍යකර්මය කරන්න පෙර සහ ශල්‍යකර්මය කළාට පස්‌සෙ රෝගියා ප්‍රකෘති තත්ත්වයට ගේන්න ලොකු වැඩ කොටසක්‌ කරන්න ඕනෙ. සුළු අත්වැරැද්දක්‌ පවා සිදු වුණොත් රෝගියා මියයන්න පුළුවන්. ඒ නිසා මේ හැමදෙයක්‌ ම බොහොම ක්‍රමවත්ව හදාරන්න ඕනෙ.

හදවත් බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවෙ නැහැ. හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය බොහොම සියුම්ව කළ යුතු ඉතාම සංකීර්ණ ශල්‍යකර්මයක්‌. ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසකගේ දායකත්වය ලබා ගන්න ඕනෙ.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට මේ ගැන දැනුමක්‌ ලබා දෙන්න ඕනෙ නිසා මම මේ ශල්‍යකර්මයට අදාළ හැම දෙයක්‌ම හොඳින් හැදෑරුවා. 2014 වර්ෂයේදී මම ආපහු මව්රටට ආවා.

ෆ්‍රීමන් රෝහලේ බලධාරීන් මම ආපසු ශ්‍රී ලංකාවට යනවට කැමැති වුණේ නැහැ. ඒ අය මට රුපියල් විසි ලක්‍ෂයකට වැඩි වැටුපක්‌ ගෙවන්න කැමති වුණා. ඒත් මගේ හිතේ වැඩ කළේ වෙන දෙයක්‌. මට ඕන වුණේ මේ අභියෝගාත්මක ශල්‍යකර්මය අපේ රටේ කරන්න. මුදලක්‌ වියදම් කරගන්න බැරිව අසරණ වෙලා ඉන්න හදවත් රෝගීන් බේරා ගන්න.

මම ආපහු ශ්‍රී ලංකාවට එනව කිව්වාම මගේ අම්මා මට හොඳටම දොස්‌ කිව්වා. එංගලන්තෙ වගේ ලොකු රටක ලොකු පඩියක්‌ දාලා ආපහු එන එක තේරුමක්‌ නැහැ කියලා එයා කිව්වා. අම්මා කිව්වා ඔයා ලංකාවට ඇවිත් මෙහෙ ගන්න සොච්චම් පඩියත් මිනිස්‌සුන්ට වියදම් කරයි කියලා.

මේ හැම ඉල්ලීමක්‌ ම පැත්තක දාලා මම ශ්‍රී ලංකාවට ඇවිත් හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මගේ මව් රටේදීම කරන්න සැලසුම් සකස්‌ කරන්න පටන් ගත්තා. ඒත් මේ ශල්‍යකර්මයට අවශ්‍ය කරන කිසිම පහසුකමක්‌ අපට තිබුණේ නැහැ.

ශල්‍යකර්මය කරන්න අවශ්‍ය කරන වෛද්‍ය උපකරණ, හදවත් බද්ධ කිරීම පිළිබඳව හැදැරූ වෛද්‍යවරුන් කණ්‌ඩායමක්‌, ශල්‍යකර්මය කරන්න පහසුකම් ඇති රෝහලක්‌ අවශ්‍ය වුණා. ඒත් ඒ කිසිම දෙයක්‌ තිබුණේ නැහැ.

හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කරන්න අවශ්‍ය කරන සියලුම දැනුම, තාක්‍ෂණය ඒ වෙනකොට මගේ ළඟ තිබුණා. ඒවගේම ෆ්‍රීමන් රෝහලේ වෛද්‍ය කණ්‌ඩායම මා එක්‌ක හිටියා. ඒ අය සැත්කම්වලට අවශ්‍ය කරන සියලු උදව් උපකාර කරන්න ලෑස්‌ති වෙලා හිටියෙ.

ඒ වගෙම ලොකුම අභියෝගයක්‌ වුණේ මේ ශල්‍යකර්මය කරන්න රෝගීන් සොයා ගන්න එක. මොකද හදවත් බද්ධ කිරීම් අවශ්‍ය කරන රෝගීන් හිටියා. ඒ අය කැමැති වෙන්නෙ නැහැ පුහුණු වෙන්න වෛද්‍යවරුන්ට තමන්ගෙ ඔපරේෂන් එක කරන්න දෙන්න.

ඒ රෝගියත් බලන්නෙ පුළුවන් තරම් කල් ජීවත් වෙන්න. ඒ නිසා ශල්‍යකර්මය සාර්ථකව කරන බවට රෝගියා තුළ විශ්වාසයක්‌ ගොඩනැඟීමේ කාර්යය කළ යුතු වුණා.

ඒ නිසා මම තීරණය කළා මේ ශල්‍යකර්මය ජාත්‍යන්තර සහාය ඇතිව කරන බවට රෝගීන් දැනුවත් කරන්න.

ඒ වගේම මේ වගෙ ඔපරේෂන් එකක්‌ කරද්දී ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය එක්‌ක එකතු වෙන්න ඕනෙ. ඒ අය දැනුවත් කරන්න ඕනෙ මේ වගේ ඔපරේෂන් එකක්‌ අපි කරනවා කියලා.

දවසක්‌ මම මේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ට දේශනයක්‌ තිබ්බා. එංගලන්තයේදී මම හදවත් බද්ධ කිරීම පිළිබඳව ලබාගත් දැනුම ඒ අනුසාරයෙන් අපේ රටේ මේ සැත්කම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ මේ අය දැනුවත් කළා. මම ඒ අයගේ උදව් ඉල්ලුවා මේ ඔපරේෂන් එක ලංකාවෙ කරන්න. ඒ වගේම අපේ ඉන්න ජ්‍යෙෂ්ඨම ශල්‍ය වෛද්‍යවරුන් එක්‌ක මම මේ ගැන සාකච්ඡා කළා. මම කිව්වා මැරෙන්න ඉන්න මේ ලෙඩ්ඩුන්ට හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය කළාම ඒ අයට තව අවුරුදු 25 - 30 ක්‌ හොඳින් ජීවත් වෙන්න පුළුවන් කියලා. අන්තිමේදී මේ වෛද්‍යවරු හැම කෙනෙක්‌ම කැමැති වුණා මට උදව් කරන්න. ඒ වගේම මේ වෛද්‍යවරුන් මගෙන් ඉල්ලීමක්‌ කළා හදවත් බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ දැනුම තියන විදේශ විශේෂඥයෙක්‌ ශ්‍රී ලංකාවට ගෙන්නලා නැහැ. එහෙම කෙනෙක්‌ අපේ රටට ගෙන්වන්න කියලා මේ වෛද්‍යවරු මගෙන් ඉල්ලා සිටියා.

එංගලන්තයේ ෆ්‍රීමන් රෝහලේ අධ්‍යක්‍ෂ හදවත්, උරස්‌, ශල්‍ය හදවත් පෙනහළු අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ස්‌ටීව් සී. ක්‌ලාක්‌ මහතා මගේ හොඳ මිත්‍රයෙක්‌. එයා කැමැති වෙලා හිටියා ශ්‍රී ලංකාවේ මේ සැත්කම කරන්න උදව් වෙන්න. මම එයාට මේ ගැන දැනුම් දුන්නා. මගේ රටට ඇවිත් අපේ වෛද්‍යවරුන් හමු වී දැනුවත් කිරීම් කරන්න කියලා. ස්‌ටීව් ක්‌ලාක්‌ ඒකට කැමැති වුණා.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »