අවදියෙන් සිටිමු ඩෙංගු දුරලමු

2017-07-27 09:38:00       658
feature-top
ඩෙංගු මරණ බොහොමයකට හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීමය. කිසි විටෙක රෝහල්ගත නොවී හිතූමතේ බෙහෙත් හෝ විකල්ප ප්‍රතිකාර කරමින් කල් ගත නොකරන්න. උණ සමනය කිරීමට හා ඇඟපත වේදනාව සඳහා පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් වේදනා නාශක භාවිතා නොකරන්න.

මේ දිනවල ඩෙංගු රෝගය රටපුරා වසංගතයක් ලෙස පැතිර යමින් පවතී. එහෙයින් උණක් වැළදුණු විට ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වෙයි. උණ ඇතිවී දින දෙකක් ඇතුළත ඩෙංගු රෝගය සඳහා අදාළ පරීක්ෂණ සිදු කරගෙන රෝගය වැළඳී ඇත්දැයි සැක හැර දැන ගත යුතුය. ඩෙංගු රෝගය සඳහා කළ යුතු වැදගත් ම පරීක්ෂණය වන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවයි (Full blood Count). බෙහෝ දෙනකු සිතන්නේ ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාව වඩා වැදගත් ය කියාය. එහෙත් ඇන්ටිජන් පරීක්ෂණයෙන් ඩෙංගු වෛරසය නොමැති බව හෝ 'Negative' යනුවෙන් ප්‍රතිඵල සටහන් වුවද ඇතැම් විට ඔබට ඩෙංගු රෝගය වැලඳී තිබිය හැකිය.

සම්පූර්ණ රුධිර පරීක්ෂාව ප්‍රධාන වශයෙන් ‍කොටස් තුනකි. එමඟින් රැධිරයෙහි ඇති සුදු රුධිරාණු ප්‍රමාණය, හිමෝග්ලෝබින් අගය හා රුධිර පට්ටිකා අගය යන කරුණු ප්‍රධාන වශයෙන් පරීක්ෂා කෙරේ. ඩෙංගු රෝගයේදී සිදු වන්නේ රෝගීන්ගේ සුදු රුධිරාණු ප්‍රමාණය සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අ‍ඩු වීමයි. උණ වැලඳී දෙවැනි දිනයේ හෝ තුන්වැනි දිනයේ සිට දින හයක් පමණ දක්වා මේ අඩු වීම සිදු වේ. මේ තත්ත්වය නිවැරැදිව දැනගැනීමට සම්පූර්ණ රුධිර පරීක්ෂාව වැදගත් වේ.

ඩෙංගු රෝගියකු රෝහල්ගත කළ යුතුද නැද්ද යන වග වෛද්‍යවරුන් තීරණය කරන්නේ මේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවකින් අනතුරුවය. සාමාන්‍යයෙන් රෝගියකු රෝහල්ගත කිරීම සඳහා ඔහු / ඇය තුළ පට්ටිකා 125,000 සිට 130,000 දක්වා අගයක් තිබිය යුතුයි. සම්පූර්ණ රුධිර පරීක්ෂාව 'Normal' නම් රෝගීන් රෝහල්ගත කරනු නොලැබේ. රුධිර පට්ටිකා සංඛ්‍යාව 100,000ට අඩු වුව හොත් සංකූලතා මතු වීමේ අවදානමක් පවතී. සංකූලතා ඇතිවීම රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. එහෙයින් පට්ටිකා සංඛ්‍යාව 100,000ට අඩු වන සෑම ‍රෝගියෙකුටම සංකූලතා ඇති වේයැයි නිශ්චිතවම කිව නොහැකිය.

‍ඩෙංගු රෝගය වැළඳී දින හයක් පමණ ගත වන විට නැවත රුධිර පට්ටිකා ප්‍රමාණය ඉහළ යාමට පටන් ගනී. ඒ සමඟම රෝගියා ක්‍රමයෙන් සුවය ලබයි. සංකූලතා මතු නොවන රෝගීනට විශේෂිත ප්‍රතිකාරයක් නොමැතිවම රෝගය සුව වේ. ඩෙංගු රෝගයේ සාමාන්‍ය ලක්ෂණ වන්නේ අධික හිසරදය, ඇඟපත වේදනාව, වමනය හා ඇතැම්විට පාචනය හා තෙහෙට්ටුවය. ඇතැම්විට උණ දින දෙකක් හෝ තුනකින් බැස යන්නට ඉඩ තිබේ. එහෙත් ඔබට නොදැනීම වෛරසය සිරුරු ගතවී තිබෙන්නට ඉඩ තිබේ. එහෙයින් උණ ගැනී දෙවැනි දිනයේ සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සිදු කරගැනීම වැදගත් වේ. උණ බැස ගියද ඉහත රෝග ලක්ෂණ තව පවතී නම් නැවත සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කරගැනීම වැදගත්ය.

ඩෙංගු 1, 2, 3, 4

ඩෙංගු වෛරසයේ ප්‍රභේද හතරකි. ඩෙංගු වෛරසය ව්‍යාප්ත කරන මදුරු වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩිස් අල්බොපික්ටස් මදුරුවෝය. ඩෙංගු 1, 2, 3, 4 වශයෙන් වෛරස ප්‍රභේද හතරකින් යුතුය. මෙවර වැඩිපුර පැතිර යන ඩෙංගු වෛරසය මින් පෙර මෙරට රෝගීන්ට වැලඳුණු වෛරසය නොවන හෙයින් මිනිස් සිරුරෙහි එම වෛසරයට එරෙහි ප්‍රතිශක්තිය අඩුය. මෙවර රෝගය තදින් පැතිරීමට හා සංකූලතා වැඩි වීමට හේතුව ජනතාව තුළ ඊට එරෙහිව ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් නොමැති වීමයි. මේ ආකාරයෙන් ඩෙංගු වෛරස ප්‍රභේද හතර හතර වතාවකදී වැල‍ඳෙන්නටත් ඉඩ තිබේ. එක් වරක් රෝගය වැලඳුණු කෙනකුට යළිත් රෝගය වැලඳුණු විට රෝග ලක්ෂණ වඩාත් දැඩි වීමට හෝ සංකූලතා වැඩි වීමට ඉඩ තිබේ. එහෙයින් වැදගත් වන්නේ රෝගය වළක්වාගැනීමයි. ඒ සඳහා කළ යුතු එකම පිළියම මදුරු දෂ්ටනයෙන් බේරී සිටීමයි.

ඩෙංගු රක්තපාතය

ඩෙංගු රෝගයේදී පරිස්සම් විය යුත්තේ ඩෙංගු රක්තපාත තත්ත්වයට පත් නොවීමටය. රක්තපාත තත්ත්වයේදී සිදු වන්නේ රුධිර නාල තුළ ඇති ප්ලාස්මා තරළය රුධිර කේෂ නාලිකාවලින් පිටතට කාන්දු වීමය. මෙලෙස පිටතට ගලායන රුධිරය උදර කුහරය හා අනෙකුත් කුහර තුළටද එකතු විය හැකිය.

උණ හැදී දින 2 - 7 අතර කාලය තුළ රක්තපාත තත්ත්වයට පත් වීමට ඉඩ තිබේ. ප්ලාස්මා තරලය සාමාන්‍යයෙන් පැය 48ක පමණ කාලයක් තුළ ගලා යා හැකිය. එම තත්ත්වය දිගටම පැවතුණ හොත් ඩෙංගු කම්පන තත්ත්වයක් ඇති විය හැකිය. රුධිර නාල තුළින් ප්ලාස්මා තරලය ගලායෑම හේතුවෙන් රුධිර සංසරණයට අවශ්‍ය තරම් ප්ලාස්මාව නොමැති වීමෙන් මොළයට සහ අක්මාව වැනි අවයවවලට හානි සිදු විය හැකිය.

ඩෙංගු රක්තපාත අවදානම් තත්ත්වයේ රෝග ලක්ෂණ:

උදරයේ වේදනාව, අධික වමනය, ක්ලාන්තය හා කරකැවිල්ල, තද පිපාසය, විදුරුමස්වලින් හා නාසයෙන් රුධිරය වහනය වීම, දුඹුරු පැහැ වමනය සහ කළු පැහැ මලපහවීම, ඔසප් චක්‍රයේදී අධික ලෙස රුධිරය පිටවීම, නිසි කලට පෙර ඔසප් ඇතිවීම.

ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් වහා රෝහල්ගත විය යුතුය. ඉහත ලක්ෂණ මතු වන තුරු නිවෙසේ රැඳී සිටිමින් බෙහෙත් නොකළ යුතුය. මේ ලක්ෂණවලට වහා ප්‍රතිකාර නොකළ හොත් ඩෙංගු කම්පන තත්ත්වයට පත් වී රෝගියා මිය යෑමට ද ඉඩ ති‍බේ.

අවදානම් පිරිස්

ගැබිනි මවුවරුන්, ළදරුවන්, මහලු අය, ස්ථුලතාව හෝ දියවැඩියාවෙන් පෙළෙන්නන් හා නිධන්ගත රෝග සහිත අය වැඩි අවදානම් කණ්ඩායමට අයත් වේ.

කළ යුතු නොකළ යුතු දෑ

ඩෙංගු සංකූලතා අවම කරගැනීමට උණ හැදුණු විට නිසි පරිදි විවේක ගත යුතුය. කැඳ, සුප්, තැඹිලි, පලතුරු යුෂ සහ ජීවනී වැනි පානවර්ග වැඩිපුර ගත යුතුය. ඔබ රෝහල්ගතව සිටී නම් ඔබ විසින් ගත යුතු දියර ප්‍රමාණය වෛද්‍ය උපදෙස් මත පාලනය කරනු ඇත.

මූත්‍ර පිට වීම පිළිබඳ අවධානයෙන් පසු වීම වැදගත්ය.

රතු හෝ දුඹුරු පැහැති පාන වර්ග නොසුදුසුය.

උණ සමනය කිරීමට හා ඇඟපත වේදනාව සඳහා පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක භාවිතා නොකළ යුතුය.

සම්පූර්ණ සුවය ලැබීමෙන් පසුව ඔබට සුපුරුදු පරිදි දෛනික කටයුතුවල යෙදිය හැකිය. නැවත රෝගය වැලඳීමෙන් වළකින ලෙස පරිස්සම් වීම වැදගත් වේ.

පැඟිරි තෙල් හා වෙනත් මදුරු විකර්ෂක ආලේපන ගැල්වීම ආරක්ෂාකාරී වේ.

කුඩා ළමයින් මෙන්ම වැඩිහිටියන්ද හොඳින් ඇඟ වැසෙන සේ ඇඳුම් ඇඳීම සුදුසුය.

දිවා කාලයේදී වුව නිදන විට මදුරු දැලක් භාවිතා කිරීමද කාලෝචිතය.

ඔබට තද උණ සමඟ ඇඟපත වේදනාවක් ඇති වුව හොත් පැරසිට‍මෝල් හැර වෙනත් කිසිදු වේදනා නාශකයක් භාවිතා නොකරන්න.

රජයේ පිළිගත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් හා ප්‍රතිකාර ලබාගන්න.

උණ ගැනී පැය 24 කට පසු ඩෙංගු ඇන්ටිජන් NS1, පරීක්ෂණය කරන්න. දෙවැනි දිනයේත් උණ ඇත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් Full blood Count හා Dengue Antibody පරීක්ෂණයක් සිදු කරගන්න.

වෛද්‍ය උපදෙස් මත රෝහල්ගත වන්න.

කිසි විටෙක රෝහල්ගත නොවී හිතූමතේ බෙහෙත් හෝ විකල්ප ප්‍රතිකාර කරමින් කල් ගත නොකරන්න.

ඩෙංගු මරණ බොහොමයකට හේතුව ප්‍රමාද වී රෝහල්ගත වීමය.

මදුරුවන් බෝවිය හැකි සියලුම තැන් විනාශ කරන්න.

ශීතකරණයේ පිටුපස ඇති ජලය එකතුවන කුටිය, කූඹිගුල්, මල් බඳුන්, ටින් පියන්, බෝතල් මූඩි, සතුන්ට කෑම දෙන බඳුන්, භාවිතා නොකරන වැසිකිළි බඳුන්, වැහි පීලි හා ගෙවත්තේ ඇති ජලය රැ‍ඳෙන සියලු බඳුන් අබලි ද්‍රව්‍ය හා පොලිතීන් වැනි දෑ ජලය නොරැ‍ඳෙන පරිදි පිරිසුදු කරන්න.

ඇඳුම්, රාක්ක මල් වැල් වැනි මදුරුවන් වැසිය හැකි තැන් ඉවත් කරන්න.

කොන්ක්‍රීට් ස්ලැබ් හෝ භාවිතයක් නැති හිස් ඉඩම් පිරිසුදු කරගන්න.

සතියේ තෝරාගත් දිනක පැය කිහිපයක් නිවෙස හා ගෙවත්ත පිරිසුදු කරන්න.

රෝගීන් අවට ඇත්නම් ඔබ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හෝ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කර ධූමායනය වැනි පූර්ව ආරක්ෂිත පියවර අනුගමනය කරන්න.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ
කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
කේ.වී.සී. ජානක  



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »