මදු රැහැ­නක හොඬ පට­ලවා ගත් අලි අම්මා

2017-07-24 10:24:00       660
feature-top
ඇය සිය පැටවාද සමඟින් වනය පුරා හක්කලන් කළේ දිය බිඳක් සොයාය. එහෙත් පිපාසාව නිවා ගැනීමට මහ වනයෙන් මදක් ඔබ්බට පියමං කරද්දී මෙවන් වින්නැහියකට මුහුණ පෑමට සිදු වෙතැයි ඇය ‍මො‍හොතකටවත් නොසිතන්නට ඇත. අහර සහ දිය සොයා යන ගමනේදී ඇයත් නොදැනම හොඬ දැමූ තැනකදී මේ ඇතින්නගේ හොඬ වටා පැටළුණේ මිනිසුන් විසින් අටවා තිබූ යකඩ මද්දකි. ඉතින් කුමක් කරම්ද? එතැන් පටන් දෙදිනක් තිස්සේ කිසිදු අහරක් හෝ දිය බිඳක් හෝ කුසට දමා ගැනීමට නොහැකිව නොවිඳිනා දුක් වින්දාය. මවු ඇතින්න විඳින මේ කරදරය යම් තරමින් දැනී හෝ කුඩා පැටවාද මවු පසුපස දුව ඇවිද්දේ නිරාහාරවමය.

එසේ වුව මේ වන ඇතින්න වාසනාවන්ත වූවාය. ඒ දඹුල්ල ඉනාමළුව ප්‍ර‍දේශයේ සැරසරද්දී ඇතින්න ගම්වාසීන්ගේ නෙත ගැටීම නිසාය.

ගම්වාසීන් විසින් ‍ඇතින්න පිළිබඳ දඹුල්ල ඉනාමළුව වැව ආසන්නයේ ස්ථාපිත යුධ හමුදා 53 වැනි සේනාංක නිලධාරීන්ට දැනුම් දීමත් සමඟ හමුදා නිලධාරීහු එය සීගිරිය වනජීවි කාර්යාලයට දැනුම් දුන්හ. ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය කේ.ඒ.එස්.එස්. කළිගුආරච්චි මහතා ප්‍රමුඛ වනජීවී සංරක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ළඟා වෙද්දී යුද හමුදා නිලධාරීහූ එම ස්ථානයේ තුවාල වුණු ඇතින්න නිරීක්ෂණය කරමින් සිටියහ. ඒ වෙද්දීත් ඇතින්න දින දෙකක් පමණ ආහාර තබා වතුර වත් නැතිව වැහැරී පැටවාට දෙන්න තරම් ප්‍රමාණවත් කිරිවත් නොමැතිව සිටියාය.

“අප එතැනට යද්දී ඇතින්න සමීපයේ පුංචි අලි පැටවෙකුත් උන්නා. ඇතින්නගේ හොඬ මැද්දට වෙන්න අඟලක විතර ඝනකමැති කේබල් මද්දක් හිරවෙලා තියෙනවා අපි ඇතින්න නිරීක්ෂණය කරද්දී දුටුවා. ඒ හිරවීම හේතුවෙන් දින දෙකක් පුරා ආහාර තබා ජලය වත් පානය කරන්නට බැරිව තමයි මෙයා ඉඳලා තියෙන්නේ. මොකද අලියෙකුගේ ප්‍රධාන වැදගත්ම අවයවය වෙන්නේ සොඬවැලයි. මෙයාලා සියලුම දේවල් කරන්නේ සොඬය ආධාරයෙනුයි. එයට යම් හානියක් සිදු වීම කියන්නේ අලියාගේ ජීවිත පැවැත්මට මහත් වු තර්ජනයක් වීමයි. අපේ වනජිවී පශු වෛද්‍ය තුමන් ප්‍රමුඛ ගිරිතලේ වනජිවී කාර්ය මණ්ඩලය ඇතින්න නිර්වින්දනය කර සොඬේ ඇමිණී තිබුණු කේබලය කපා ඉවත් කර අවශ්‍ය ප්‍රතිකාර සිදු කළා. එතෙක් පුංචි අලි පැටවා රඳවා තබා ගන්න එක තමයි මහත් වු ගැටලුවක් වුණේ. මොකද අම්මට ප්‍රතිකාර කරද්දිත් පුංචි වුණත් මෙයා හරියට කලබල කළා. එයා දන්නේ නෑනේ මේ අම්මාට අපි ප්‍රතිකාර ලබා දෙන බවක්. එයා හිතන්න ඇත්තේ අම්මාට කරදරයක් කියලයි. ඉතින් පුංචි වුණත් තමන්ට පුළුවන් වීරිය අරගෙන අපිට ගහන්නම තමයි උත්සාහ කළේ. අපි ඉක්මණින් අවශ්‍ය ප්‍රතිකාර සහ සේලයින් ලබා දීමෙන් පසු යළිත් සීගිරිය අභය භූමියට පලවා හැරීමට කටයුතු කළා.

පසුව අපි වැව අවට සෝදිසි කිරීමේදී වනසතුන් දඩයම් පිණිස අටවා තිබූ තවත් කේබල් මදු කිහිපයක්ම හමු වුණා. ඒවා අටවා තිබුණේ පිපාසිත සතුන් දිය බීම සඳහා වැවට පැමිණෙන මංනිල හරහායි. ගෝණා, මුවා, හරකා වගේ සතුන්ගේ බෙල්ල ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් තමයි මේවා අටවන්නේ. ඉතින් ඒ මාර්ග හරහා අලියෙකු පැමිණියොත් එයාගේ සොඬය මැද ප්‍රදේශයට මේ මද්ද වැටෙනවා. අලියා ශක්තිමත්. බේරෙන්න හිතාගෙන වෙර අරගෙන මද්ද අදිද්දි කේබල් ගැටය සොඬය මැද තව තවත් සිර වී අවසානයේ කැඩී යනවා. අලියාට හුස්ම ගන්න වෙන්නේත් කටින් තමයි. මම හිතන්නේ මේවා අටවන මිනිසුන් සත්තු දුක් විඳිනවා දැකලා ලබන්නේ නරුම සතුටක් ” ගිරිතලේ වනජීවී රෝහල සහ පශු වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවයේ නියුතු වනසත්ව අඩවි ආරක්ෂක පී.ඒ.එස්.යූ. බණ්ඩාර සිදුවීම විස්තර කළේ එසේය.

කැලේ කොළේ ඇවිද නිදහසේ සුවය බුක්ති විඳි සත්වයකු යම් ආපදා තත්වයකට පත්වීම යනු ඒ සතාගේ දිවි පැවැත්ව අවදානමට ලක්වීමකි. මවු උණුහුම ලබමින් පසු වන අවධියේ පසු වන පුංචි සතකු මෙලෙස ආබාධයට ලක් වූ කල තත්ත්වය තවත් දුක්ඛදායකය. සතුන් සුවපත් කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අම්පාර, අත්තිඩිය, ගිරිතලේ, පණ්ඩුලගම, උඩවලව ඇත් අතුරු සෙවණ, ලුණුගම්වෙහෙර සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හි වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකක 7ක් ස්ථාපිත කර ඇත.

එලෙස ප්‍රතිකාර ලද වන සතුන් යළිත් සොබාවික පරිසරයට නිදහස් කිරීමේදී ඔවුන් වනයේරෝග වාහකයින් නොවිය යුතු ය.

දුර බැහැර වනාන්තර හා ඒවායේ වෙසෙන වනජීවීන් ඇසුරේ බොහෝ කාලයක් රාජකාරී ඉටු කර අත්දැකීම් ඇති වනසත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්. ජී. කිත්සිරිමෙවන් මහතා වර්තමානයේ සේවය කරන්නේ අම්පාර වනජීවී සෞඛ්‍ය කළමනාකරන ඒකකයේය.

“අම්පාර පශු වෛද්‍ය ඒකකයේ රාජකාරී වපසරිය මඩකලපුව, ත්‍රීකුණාමලය, පොතුවිල්, කුමන, මොනරාගල, ඇතිමලේ, නිල්ගල දක්වාම විහිදි යනවා. අපි ඊයේත් උන්නේ විපතට පත් වුණු වනඅලියෙක් බේරා ගන්න උත්සාහ කරමිනුයි. ඒ අලියා වයස අවුරුදු 35 – 40 ත් අතර වයසේ තමයි පසු වෙන්නේ. අපි ගිහින් බලන කොට එයා හිටියේ පැත්ත වැටිලා වැතිර ගෙනයි.

ප්‍රදේශය මාදුරුඔය - වස්ගමුව අතර දිව යන අලි මංකඩ ආසන්නයේ ඒ කියන්නේ රත්කිඳ වනජීවී අඩවි බල ප්‍රදේශයේ උල්හිටිය ඔය ආසන්නයට වන්නටයි. පශු වෛද්‍ය වරුන් අනුමාන කරන්නේ මෙයාගේ වයස හේතුවෙන් ඇති වුණු යම් ආබාධ තත්වයක් නිසා මෙයා වැතිර ගෙන ඉන්නවා කියන කාරණාවයි. නමුත් ශරිරයේ කිහිප පළකම වෙඩි සලකුණුත් තියෙනවා.

මේ අම්පාර වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට රැගෙන එන බොහෝ සතුන් විවිධ වු අතුරු අන්තරාවන්ට මුහුණ දීලා හෙම්බත් වෙලයි එන්නේ. එවැනි සතුන්ට ආදරයෙන්, කරුණාවෙන් ප්‍රතිකාර ලබා දුන්නම උන් ඉක්මනින්ම සුව පත් කර ගන්ට පුළුවන්. මෙතෙන්ට මව් රැකවරණය අහිමි වුණු පුංචි පැටව් අරගෙන එන අවස්ථා එමටයි. විශේෂයෙන්ම අලි පැටවුන්.

මේ මාසේ පස් වැනිදා මාස තුනක් වයස අලි පැටියෙක් පොතුවිල් තංගවේලායුධ පුරම් ග්‍රාමයෙන් අපි අරගෙන ආවා. එයත් අම්මා නැතිව බඩගින්නේ අතරමං වෙලයි උන්නේ. අපි අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දුන්නා. තවත් මාසයක් විතර මෙහෙම රඳවා තියා ගෙන උඩවලව ඇත් අතුරු සෙවණට අරගෙන යන්න තමයි අම්පාර වනජීවී කළමනාකරණ ඒකකය භාර වනජීවී පශූ වෛද්‍ය ඩී.බී.එන්. පුෂ්පකුමාර මහතා තීරණය කළේ.

අම්පාර නගරයේ ඉඳන් ඉගිණියාගල පාරේ කිලෝ මීටර් 03 ක් විතර එනකොට අපේ කාර්යාලය හමු වෙනවා. මෙය පාසල් දරුවන්ට දුර්ලභ වනසතුන් පිළිබඳ අධ්‍යයනය කරන්න කදිම තැනක්. මේ වෙන කොට ඉත්තෑවුන්, වල් ඌරන්, ඇලි රිළවු, දඩු ලේනුන්, ගොදුරු පක්ෂී කුලයට අයත් උකුස්සන්, බකමූණන්, වන අලි පැටවෙක්, සර්පයන් වැනි සතුන් මෙහි නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. ගොදුරු පක්ෂීන් වගේ අය බ්‍රාහ්මණ උකුස්සන්, සර්ප උකුස්සන්, පෙරළි කොණ්ඩ උකුස්සන්, බොර කෙවුල් බකමූණන් වගේ ගොදුරු පක්ෂීන් තමන්ගේ හැසිරීම් රටා හේතුවෙන් බොහෝ විටදි අනතුරුවලට ලක් වෙනවා. මෙයාලා ඈත ගුවනේ පියාසර කරන්නන්. ඇසේ පෙනීම තියුණුයි.

ගොදුරක් දුටු විගසම ඒ ගැනම අවධානයෙන් ඊයක වේගයෙන් එය ඩැහැ ගන්න පැමිණිමේදි විවිධ අතුරු අන්තරාවන්ට ලක් වෙලා අත්තටු බිඳී යනවා. කකුල් බිඳී යනවා. ඉතින් එවැනි අයගේ තුවාල සුව වුණත් නැවත නිදහස් පරිසරයට මුදා හරින්න වෙන්නේ නෑ.

අවශ්‍ය ආහාර පාන ලබා දෙමින් රැක බලා ගන්න වෙනවා. නැතිනම් සොබාවික පරිසරයේ ජිවත් වෙන්න අවශ්‍ය ශරීර ශක්තිය නැති කමින් ඉක්මනින්ම මිය යනවා. මේ සියලු බර පැන දරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. ඇතැම් ත්‍යාග ශීලී පිරිස් ස්වකීය පරිත්‍යාගයන්ද කරනවා.

අපිට ගැටලුවක් වෙලා තිබුණේ තුවාල වුණු තිත් මුවන් සුව පත් වෙන තුරු ප්‍රතිකාර ලබා දෙමින් රදවා තබා ගන්න නිසි ආවරණයක් සහිත ස්ථානයක් නොමැතිකමයි. මොකද තිත් මුවන්ට ප්‍රතිකාර කිරීමෙන් පසුව ඒ ඔසු ප්‍රතික්‍රියා කරන තුරු යම් ස්ථානයක බැඳලා තියන්න වෙනවා. නැතිනම් මේ වනසතුන් බෙහෙතක් කරලා අත හැරපු ගමන් බියට හිස හැරුණු අත දුවනවා ”

පැමිණෙන සියලු අභියෝගයන්හිදී නොසැලි මුහුණ දිය හැකි ශක්තියක් වනජීවී නිලධාරීන් සතුය. එබැවින් වනාන්තර තුළදී මෙන්ම, ඉන් පරිබාහිරවද වනසතුන්ගේ නිහඩ අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමට ඔවුහු පසු බට නොවෙති.

අනුරාධපුර මහදිවුල්කඩවලදී හක්කපටස් සැපීමෙන් තුවාල ලැබූ අලි පැටවා නම තබා ඇත්තේ “පුංචි අනූ“ ලෙසය. ගිරිතලේ පශු වෛද්‍ය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මේ අලි සිඟිත්තියද පත් වුයේ නොසිතූ විපත්තියකටය. වන අලි රංචුවේ සිටි පුංචි අනූද මවගෙන් කිරී උරා බිව්වත් සෙසු ආහාර වර්ගවලටද හුරු වන වයසේ පසු වූවාය.

එබැවින් මව අනුකරණය කරමින් ඉදිරි පාදයේ නියපොතු ආධාරයෙන් ගලවා ගත් තණ පත් ගොමුවක් දුහිවිලි සහ වැලි ගසා බසා දමනු සදහා ඉදිරි පාදයේ බාහුවේ ගසමින් රොඩු බොඩු ඉවත් වු පසුව ආහාරයට ගැනීමට හුරුව සිටියාය.

දිනක් ඇයට තණ පත් අතරේ සැඟවී තිබු යම් ගෝලාකාර යමක් නිරීක්ෂණය විය. ඒ කරා සමීප වු ඇය එයට සොඬ ළං කර බැලුවාය. ඉන් නික්මෙනුයේ මිහිරි සුවඳකි. දෙවරක් නොසිතූ ඇය ආගන්තුක ආහාරය සොඩඟින් ගෙන මුවේ රුවා සපත්ම “ඩෝං .... පටස්” හඬින් පුපුරා ගියේය. අලි රැළ පුවක් කිනිත්තක් ගලේ ගැසුවාක් මෙන් හිස් ලූ ලූ අත දිව ගොස් සැඟවුණි.

පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ප්‍රමුඛ වනජීවී සංරක්ෂණ නිලධාරීහූ මුල් වී මේ අලි පැටවා පණ්ඩුලගමට රැගෙන විත් දින කිහිපයක් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළ අතර වැඩි දුර ප්‍රතිකාර සදහා ගිරිතලේ පශු වෛද්‍ය රෝහල වෙත යොමු කළහ.

“හක්කපටස් පිපිරීමකින් මේ අලි පැටවාගේ යටි හණුව පුපරා දිවටත් හානි වෙලා තිබුණා. වයස අවුරුදු 04 – 05 ත් අතර වයසේ තමයි මෙයා හිටියේ. ආහාර තබා ජලය වත් පානය කරන්නට බැරි හේතුව නිසාවෙන් ශක්තියෙන් වැහැරිලයි උන්නේ. පණ්ඩුලගමට අරගෙන ඇවිත් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබා දීම අපි ආරම්භ කළා.” පණ්ඩුලගම වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කරයි.

පුංචි අනූගේ වර්තමාන තත්වය පිළිබදව නිරන්තර අවධානයෙන් පසු වෙමින් අවශ්‍ය ප්‍රතිකාර කරනුයේ ගිරිතලේ පශු වෛද්‍ය රෝහල භාර වෛද්‍ය ප්‍රමුදිත දේව සුරේන්ද්‍ර මහතාය.

“මේ අලි පැටවාගේ යටි හනුවට තමයි ප්‍රධාන වශයෙන්ම හානී සිදු වෙලා තියෙන්නේ. හක්කපටස්වලට ගොදුරු වන අලි පැටවුන්ගෙන් සියයට 99 ක්ම බේරා ගැනීමට අපහසු තත්වයේ පසු වෙනවා‍. මෙවැනි දුක්බර සිදු වීම් මගේ ක්ෂේත්‍ර අත්දැකීම් අතරේ අපමණයි.”

ඉදින් මිහිමත වෙසෙන සියලු සත්වයින් අතරින් බුද්ධියෙන් උසස් යැයි පවසනා මිනිසුන් වන අප සිදු කරන්නා වු අකටයුතුකම් හේතුවෙන් බුද්ධියෙන් අඩු සේ වර්ග කර ඇති තිරිසනුන් පත්ව ඇති දුක්ඛිත තත්වය යළි යළිත් ඒත්තු ගන්වනුයේ මිනිසුන් ලෙස සිටින ඇතැමුන්

පත්ව සිටින ම්ලේච්ජ තත්ත්වය නොවන්නේද?

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »