ළමා අයිතිවාසිකම්වලින්
අබ ඇටයක්‌ නැති වීදි දරුවෝ

2017-07-21 11:38:00       607
feature-top
වැඩියෙන්ම අපයෝජනයට ලක්‌වන්නේ යාචක දරුවන්ය
පුනරුත්ථාපන ආයතන සහ බන්ධනාගාරවල වෙනසක්‌ නැත
යාචක දරුවෝ පුනරුත්ථාපනයේදී බොහෝ අපගාමී චර්යාවන් උගනිති.

77 විවෘත ආර්ථිකයෙන් පසු තිරිංග නැතිව කඩාවැටෙන ලක්‌ සමාජයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර එක්‌ එක්‌ පිළිකා ඔඩු දුවා ඇතැයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ. අපේ රටේ යාචකයන් පිළිබඳ ප්‍රශ්නය සුව කිරීමට අපහසු එබඳු එක්‌ පිළිකාවකි.

මේ වනවිට ලංකාවේ අන් කවරදාකටවත් වඩා සංවිධානාත්මකව හා සංකීර්ණ ලෙස යාචක වෘත්තීය ව්‍යාප්ත වී ඇත.

ලංකාවේ මිනිසුන් අතර අනුකම්පාව පිළිබඳ හැඟීම් ඇති නිසා ලංකාවේ ලාභ උපයන ජාවාරම් අතර ඉහළ තැනක යාචක ව්‍යාපාරය ඇත. පසුගිය සතියේ දිනක (25 දා) කතරගම දේවාලය අසළ සිටි යාචක ළමයින් 26 දෙනෙක්‌ හා ඔවුන් සමඟ සිටි වැඩිහිටියන් 24 දෙනෙක්‌ ද ඌව පළාත් පරිවාස හා ළමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී වයස 02-16 අතර ළමුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. දින 3 ක්‌ එක දිගට නිවාඩු තිබූ හෙයින් කතරගමට පැමිණෙන විශාල ජනකායෙන් සිඟමන් යෑදීමට ඔවුන් මෙසේ පැමිණ ඇත.

කතරගම ප්‍රදේශය ගැන සැලකිලිමත් වීමේදී එම ප්‍රදේශයේ ජනතාව දරිද්‍රතාවයෙන්, නූගත්කමින් හා විරැකියාවෙන් පීඩා විඳින බව පැහැදිලිය. එමෙන්ම එම ජනතාවගෙන් බොහෝ දෙනා කොටු වී සිටින්නේ පරපුටු මානසිකත්වයකිනි. එවන් වාතාවරණයක්‌ යටතේ එම ජනතාව යාචකයන් වීම නොවැළැක්‌විය හැකිය. කලකට පෙරදී සිදු වූ යම් සිදුවීමක්‌ මෙහිලා සටහන් කිsමට මම කැමැත්තෙමි. ඇද වැටී දැඩිව තුවාල ලැබූ වයස අවුරුදු දහයක පිරිමි දරුවකු දිනක රෝහල් ගතකර ඇත. ඒත් එදිනම සවස පැමිණ දරුවා ගෙදර ගෙන යැමට අවශ්‍ය බව පවසා රෝහල් කාර්ය මණ්‌ඩලයට දැඩිව බලපෑම්කර ඇත. දරුවා දැඩි කම්පනයෙන් හා තුවාල ලබා සිටි නිසා රෝහල් කාර්ය මණ්‌ඩලය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත. දරුවා ගෙදර ගෙන යැමට අවශ්‍ය ඇයි දැයි විමසූ විට ඔහුගේ පිළිතුර වී ඇත්තේ ඉදිරි දින තුනම නිවාඩු දින නිසා එම දිනයන්හිදී කතරගමට එන විශාල පිරිසකට දරුවා පෙන්වා සිඟමන් යෑදීමට අවශ්‍ය බවයි. කතරගම බහුතර ජනතාවගේ මානසිකත්වය මෙයයි. මෙය කතරගමට පමණක්‌ නොව මහනුවර සිට කැලණි දක්‌වාත් කොළඹ සිට යාපනය දක්‌වාත් සිටින සියලු යාචකයන්ගේ මානසිකත්වයයි. එතැන ඇත්තේ මහ දවල් මහ මග ලක්‍ෂ සංඛ්‍යාත දෙනෙක්‌ ඉදිරිපිට අපේම රටේ දරුවන් කොටසකගේ ළමා අයිතීන් අමු අමුවේ විනාශ වන ෙ€දවාචකයයි.

වයස අවුරුදු 18 ට අඩු සෑම අයෙක්‌ම ළමයෙක්‌ ලෙස ශ්‍රී ලංකා ව්‍යවස්‌ථාව පිළිගනියි. එමෙන්ම ළමා ශ්‍රමිකයන් යොදා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම අධ්‍යාපනය මූලික ළමා අයිතියක්‌ වන අතර වයස අවුරුදු 5 -17 ත් අතර ළමුන් අනිවාර්ය පාසල් අධ්‍යාපනය ලැබීමද රටේ පවතින නීතියකි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කිරීමේදී රටේ සාක්‍ෂරතාවය ගැන අපට හදවතින්ම සතුටු විය හැක්‌කේ එය 92.64% ක ඉහළ මට්‌ටමක පවතින නිසාම නොව ස්‌ත්‍රී පුරුෂ සාක්‍ෂරතාවේ පරතරය ඉතා අවම අගයක්‌ ගන්නා නිසාය. ලංකාවේ ස්‌ත්‍රීන්ගේ සාක්‍ෂරතාව මට්‌ටම 91.71% වන අතර පුරුෂයන්ගේ සාක්‍ෂරතාවය 93.63 කි. එය අසල්වැසි ඉන්දියාව සමඟ සැසඳීමේදී ඉහළ අගයකි. නමුත් ඒ ලංකාවේ සිටින ළමුන් ගෙන් 9.9 හෙවත් 452,661 පාසල් නොයන බවත් එයින් 1.12 ක්‌ හෙවත් 51,249 කිසිදා පාසල් නොගොස්‌ ඇති බවත් අප අමතක නොකළ යුතුය. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයත් එක්‌ව කළ සමීක්‍ෂණයකදී මේ බව හෙළි වී ඇත. ලංකාවේ සිටින යාචක දරුවන්ගෙන් වැඩි දෙනා කිසිදිනක පාසල් නොගිය අය බවට සැකයක්‌ නැත. එකී නූගත්කමම ඔවුන් වැටී ඇති නරා වළෙන් ගොඩ ඒමට හරස්‌ කැපෙන බව කීමට අටුවා ටීකා ද අවශ්‍ය නොවේ. අධ්‍යාපනය මූලික ළමා අයිතියක්‌ බවට ශ්‍රී ලංකා ව්‍යවස්‌ථාවෙන්ම පිළිගෙන ඇත. යාචක ළමුන්ට හා උප්පැන්න සහතික නැති ළමුන්ට එම අයිතිය නැති යෑයි කියා වගන්තියක්‌ ව්‍යවස්‌ථාවේ නැත. ඒ නිසා ඒ ගැන ජනතාව දැනුවත් කිරීමත්, එම නීති චක්‍ර ලේඛන යාවත්කාලීන කිරීම සංශෝධනය කිරීම ගැන පාර්ලිමේන්තුවටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වුවහොත් ලංකාවේ යාචක ප්‍රශ්න විස¹ ගැනීමට එය උදව්වක්‌ වන බවද නිසැකය.

ලංකාවේ සිටින සියලුම දරුවන් අතුරින් වඩාත් අපචාරවලට හා අපයෝජනයට ගොදුරුවන්නේ යාචක ළමුන් ය. ගැහැනු පිරිමි සියලුම ළමුන් සියලුදෙනාම ලිංගික පරිණතියට ඒමටත් පෙර දූෂණය වන බව ප්‍රසිද්ධ රහසකි. එලෙසින්ම ඔවුන් විඳින ශාරීරික හා මානසික පීඩා නිමක්‌ නැත. වීදිවල සිටින වයස අවුරුදු දෙකට අඩු ළමුන් දෙස විමසිල්ලෙන් බැලූ විට ඔවුන්ට යම් මත්ද්‍රව්‍ය ලබාදී ඇති බවද පැහැදිලිව පෙනෙයි. සමහර ළමුන්ගේ අත් පා අඹරා ඇති බවත්, තවත් අයගේ කඩා හෝ කපා ඇති බවත්, සමහරක්‌ විට දැස්‌ අන්ධ කර තිබීම ද දැකිය හැකිය. නිසි පෝෂණය නොමැති බව, අමානුෂික පහරදීම් ආදී එකී මෙකී නොකී බොහෝමයක්‌ දේ නිසා ඔවුන්ට මුලික ළමා අයිතිවාසිකම්වලින් අබ ඇටයක දෙයක්‌ ලැබෙන්නේ නැත. යාචක ළමුන් සියලුදෙනාම පාහේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. එමෙන්ම මේ වනවිට මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහැරීමේ කාර්යයට ද ඔවුන් අත තබා ඇත. ඔවුන් පොකට්‌ ගසන්නට, මාල කඩන්නට, සොරකම් කරන්නට පුරුදු කරන්නේ බහ තෝරන වියේ සිටය. පුහුණුවේ තරම කෙතරම් ද යත් අවුරුදු හය හත වනවිට ඔවුන් කප් ගැසූ සොරුන් වේ.

යාචක වෘත්තියත්, ලිංගික ශ්‍රමික වෘත්තියත්, පාතාලයත්a අද වනවිට ගසට පොත්තත් පොත්තට ගසත් සේ එකිනෙක හා සම්බන්ධය. යාචක ළමුන්ට මේ තුනම ගැන අත්දැකීම් ඇත. බොහෝ දෙනා නොදකින එක්‌ පැතිකඩක්‌ නම් මේ ළමුන් අනාගතයේ යම් දිනක පුහුණු වූ අපරාධකාරයන් ලෙස සමාජගත වීමයි. බන්ධනාගාර බස්‌ රථය තුළම මරා දැමූ සමයා හා සමයන්ව මැරූ බංටි වැනි චරිත දෙස බැලීමේදී පෙනී යන කරුණක්‌ නම් ඔවුන්ගේ ළමා විය සාමාන්‍ය ළමයින් ලෙස ගෙවී ඇති බවත් බන්ධනාගාරගත වූ පසු අනෙක්‌ අපරාධකරුවන්ගේ ආශ්‍රය නිසා ඔවුන් පාතාල ලෝකයට පය තබා ඇති බවත් ය. එසේ තිබියදී සමයලාගේ, බංටිලාගේ කෙරුවාව එතරම් දරුණු නම් උපන්දා සිට වැරදි සාමාජානුයෝජනයක්‌ ලබන යාචක දරුවන් අනාගතයේ කෙතරම් භයානක ගෝඩ් ෆාදර්ලා වනු ඇත්ද?

ලංකාවේ යාචක දරුවන් පුනරුත්ථාපනය කර නැවත යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමට පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන ඇත. අවාසනාවට මෙන් අපරාධකරුවන්ගේ විශ්වවිද්‍යාලය බන්ධනාගාරය වන්නා සේ ළමා අපරාධකරුවන්ගේ යාචක ළමයින්ගේ විශ්වවිද්‍යාල මෙකී පුනරුත්ථාපන මධ්‍යස්‌ථාන වී ඇත. ඔවුන් පෙර ඉගෙන නොසිටි සියලු අපගාමී චර්යා මේ තුළින් උගනියි. එමෙන්ම පුනරුත්ථාපනවල සිටි දරුවන් ඉන් පැනගොස්‌ හෝ ඉන් නිදහස්‌ වූ පසු හෝ යළිත් යෙදෙන්නේ යාචක වෘත්තියේමය. එයින් පැවසෙන්නේ පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි ලෙස සිදුවී නැති බවය. පුනරුත්ථාපනය වන කිහිපදෙනක්‌ යහපත් පුරවැසියන් ලෙස සමාජගත වන බව සත්‍යයකි. එහෙත් එම පිරිස මහ මුහුදෙන් ගත් දිය දොaතක්‌ වැනිය.

බල්ලෝ මරා හෝ සල්ලි සොයන ජන සමාජයක උපන්දා සිට ඇඟ නොසොල්වා මුදල් හම්බ කළ ළමුන් යහමගට ගැනීම අපහසුය. එමෙන්ම ඔවුන්ගේ නූගත්කම එම ක්‍රියාවලිය තව තවත් අපහසු කරයි. මෙහිලා අපි අමතක නොකළ යුතු වැදගත් දෙයක්‌ ඇත. මේ මහමග විනාශ වන්නේ අපේ රටේ ශ්‍රම බළකායෙන් කොටසක්‌ බවයි. රටක සංවර්ධනය උදෙසා උගත් නිරෝගී ශ්‍රම බළකායක්‌ අවශ්‍යය. ඒත් යාචකයන් යනු කිසිදා නිෂ්පාදන ක්‍රියාවලියකට සහභාගි නොවන යෑපෙන්නන් පිරිසකි. ඔවුන් රටකට අමතර බරකි. එපමණක්‌ නොව ඔවුන් නිසා රටේ වන අපරාධ සංඛ්‍යාව ඉහළ යන අතර ඔවුන් සමාජ පැවැත්මටත්, සමාජ ආරක්‍ෂාවටත් ජාතික ආර්ථිකයේ පැවැත්මටත් තර්ජනයකි. ඒ නිසා ලංකාවේ ලාබ උපයන කළු ව්‍යාපාරයක්‌ වන යාචක ව්‍යාපාරයේ තටු සිඳීමට දැන් කාලය පැමිණ ඇත. එහිදී යාචක දරුවන් ගැන විශේෂ අවධානයක්‌ යොමු කළ යුතු බවට තර්ක නැත. හොඳම දේ ළමයින්ට යෑයි ලෙනින් කිව්වේ රටක ජීවනාලිය ඔවුන් නිසාය. මේ රටේ යාචක දරුවන් ඉල්ලා සිටින්නේ හොඳම දේ නොව අඩුවෙන්ම නරක දේය. උදේට හැම්බර්ගර් කන දරුවා පමණක්‌ නොව බඩගින්නට කුණු බක්‌කි අවුස්‌සන දරුවා මේ රටේ දරුවෙකි. ඔවුන්ගේ අනාගතය ගැන ද යමක්‌ කිරීම මේ රට කරන ඇත්තන්ට භාරය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »