කඩුගන්නාවේ සිංහ කටත් නායයැමේ අවදානමක...

2017-07-13 11:06:00       590
feature-top
"සුද්දා ගල විද්දෙ නැත්තන් ඔය නුවර ඉන්න අය කොළඹ එනවා බොරු" කියලා අදටත් ඔලොක්‌කුවට හරි මිනිස්‌සු කතා කියන්නේ, 1820 දී කැප්ටන් ඩෝසන් ඉංජිනේරුවරයා කඩුගන්නාවේ ගල විදලා මහා මාර්ගයක්‌ තැනුවාය කියන ඉතිහාස කතාව රසවත් ලෙස අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියෑවිලා තියෙන නිසායි. ඒ විතරක්‌ නෙවෙයි කොළඹ මිනිස්‌සු අදටත් නුවර එන්නේ ගල් ගොඩාක්‌ තැනින් තැන විඳලා බිම් ගෙවල් හදලා රේල් පාරේ කෝච්චි එන නිසා කියලා කට්‌ටියටම අමතක වෙලා තියෙන හැඩයි. නුවර කොළඹ කෝච්චි පාර ගැන මතකය අලුත් කර ගන්නත් එක්‌ක මේ දිනවල කන්ද උඩරට පැත්තේ තියෙන ලොකුම කතාබහ තමයි කඩුගන්නාවේ ගල පෙරළිලා පහළට එයිදෝ කියන කාරණාව.

මේක තරමක්‌ ඕපදූප ගණයේ කතාබහක්‌ වුණත්, යටිනුවර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා මේ සම්බන්ධයෙන් ගොඩනැඟිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබුණා. ඒ අනුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, නාය යැම් සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ ආර්.එම්.එස්‌. බණ්‌ඩාර මහතා මෙම ස්‌ථානයට ගොස්‌ මේ සම්බන්ධයෙන් පර්යේෂණයක්‌ සිදු කළේ ඉකුත් විසි තුන්වැනිදායි.

ඒ කතාව තව දුරටත් අලුත් වෙන්නත් තව හේතුවක්‌ වුණේ, මේ ගල් කුල පහළට ඇදගෙන වැටේවිද කියන කාරණාව සම්බන්ධයෙන් න්‍යායික සහ ස්‌ථානයීය පරීක්‌ෂණ පවත්වන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, භු ගර්භ අධ්‍යානංශයත් ඉදිරියට ඇවිත් ඉන්න නිසයි.

සිංහ කට කියන්නේ මානව නිර්මිත අපූරු දසුනක්‌ වුවත් බැලූ බැල්මට නම් හිතෙන්නේ මේ නම් සොබාදහමේ විශ්මිත අපූරු නිමැවුමක්‌ ම තමයි කියලයි. මෙතනට යන්න පහසුම මඟ වැටී තියෙන්නේ කඩුගන්නාවේ දුම්රිය ස්‌ථානයේ සිට බලන දෙසට කිලෝමිටර් දෙකක විතර දුරක්‌ ගෙව්වාමයි. රේල් පාරේ ගමන් කිරීම තහනම් නිසා මේ ගල් කුල ළඟට යන්න කැලෑ පාරක්‌ තියෙනවා. ජනවහරේ ඉණිමග රවුම කියලා නමක්‌ පටබැඳිලා තියෙන්නේ රවුම්පාරකින් ඉණිමඟක්‌ නගිනවා වගේ එක දිගට ගල මත නගින්න පුළුවන් නිසා. ඉණිමග රවුමෙන් උඩ තියෙන ගල් කුල එදා බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරුන්ටත් තරමක කුහුලක්‌ ඇති කළ තැනක්‌. මොකද පතුල බිමට සවිවෙලා තියෙන්නේ පහළට පෙරලේවිදෝ කියන සැකය ඇතිවෙන විදිහට වගෙයි පෙනෙන්නේ. එදාත් අදත් කවුරුත් තරමක්‌ අවධානයෙන් ඉන්න මේ ගල් කුළ පහළට තෙරපීමක්‌ ඇතිකරලා කියන සාධක කිහිපයක්‌ම මෑත කාලයේ දක්‌නා ලද බැවින්ම කට්‌ටිය තරමක කලබලයෙන් ඉන්න බව අද දක්‌නට ලැබෙනවා.

මේ කියන ගල් කුල මහ මඟ යන ඕනෑම කෙනකුට අනුමානයෙන් දකින්නත් පුළුවන්. ගල විදපු තැන පාරේ ඉදන් රේල් පාර තියෙන කන්ද උඩට ඇස්‌ දෙක යොමු කරලා, හිතට අරන් බැලුවාම මේ කියන ගල් කුළු දකින්නත් පිළිවන්.

ගල පහළට පෙරළුනොත් ඇතිවන්නේ මොන වගේ වින්නැහියක්‌ ද කියලා අමුතුවෙන් සිහි කළ යුතු නැති නිසාම මේ වෙද්දි අසල්වැසියො ඒ පැත්තේ පදිංචිවෙලා ඉන්න හැමෝම දැන් ඉන්නේ තරමක චකිතයකින්. මේ චකිතය හිත්වල හටගන්න මුල්ම හේතුව වුණේ ගල් කුල පාමුල රඳවා තිබුණු වීදුරු බෝතල් දෙකක්‌ දින තුනක්‌ හතරක්‌ වගේ කාලයක්‌ ඇතුළත බිඳිලා කුඩුවෙලා යැම කියලා ඒ පැත්තේ ඉන්න පේදිරිස්‌ අප්පෝ අප සමඟ කිව්වා. මේ වීදුරු බෝතල් ගල යට තියලා තියෙන්නේ රේල් පාර හදපු ඒකාලේ ඉංගිරිසි උදවියලු. බෝතල් බිඳුණොත් මේ ගල පහළට තෙරපෙනවා කියලා ඒකාලේ ඉඳලා කතාවක්‌ තියෙනවලු. දැන් මේ බෝතල් බිඳිලා නිසා කලබල වෙන එකේ අරුමෙකුත් නැහැ.

බෝතල් විතරක්‌ නෙවෙයි මේ ගල පහළට ඒවිදෝ කියන සැකයට අතීතයේ විසුවෝ, යකඩ කූරු සවිකර තිබෙන බවත් දක්‌නට ලැබෙනවා. ඒ විතරක්‌ නෙවී, මේ ගල් කුල තරමක තල්ලුවීමක්‌ ඇති වන බවට අනුමානයෙන්, දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරුවරු රේල් පීලි දෙකක්‌ ගලට හේත්තුවෙන්න වගේ සවිකරලා තිබුණා. ඒකෙන් බලාපොරොත්තු වුණේ රේල් පීලිවලින් ගල ඒම වලක්‌වන එක නෙවී. ගල පහළට එන ලකුණු පහළ වුණොත්, රේල් පීල්ල ඒ බව අනතුරු අඟවාවි කියලායි. ඒ අරමුණත් මේ වෙද්දි සාක්‌ෂාත් වෙලා. ඔය කියන ගලට තෙරපලා හිටවපු රේල් පීලි දෙකෙන් එකක්‌ මැදින් කැඩෙන්න ඔන්න මෙන්න වගේ.

මේවායින් අඟවන්නේ ගල පහළට එනවා කියලා ද මන්දා මහත්තයෝ.... කියමින් මේ තැන් පෙන්වන්න ඒ පැත්තේ උදවිය බොහොම වෙහෙස ගත්තේ, දැන් නම් තුත්තිරි ගහක හරි එල්ලිලා ජීවිත රැකගන්න එපායැ කියලා හිතෙන නිසා වෙන්න ඇති. කලින්ම අනතුරක සේයාවක්‌ අඳුන ගත්තොත්, කුමක්‌ හෝ පිළියමක්‌ යොදලා අනතුරට ලක්‌වන්නට ඉඩ ඇති ජීවිත රැකගන්න එක තමයි ලොකුම වගකීම. ඒ වෙනුවෙන් අත්වැල් බැඳගන්න කට්‌ටිය ලැහැස්‌තියි කියලා හිතුණේ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මහත්තුරු මේ තැන බලලා කියපු දේවල් නිසයි.

මේ ගලේ උඩ කොටසේ වතුර ගලා ගෙන යන්න කාණුවක්‌ හදලා තියෙනවා. ගලේ පැල්ම අතරින් වතුර කාන්දු වෙලා හානියක්‌ වේවි කියලා තමයි ඉංජිනේරුවරු එහෙම කරන්න ඇත්තේ. මේ දැන් තියෙන තත්ත්වය කඩිනමින් අනතුරක සේයාවක්‌ පෙන්වන්නේ නැති වුණත් අවධානයෙන් ඉන්න එක හොඳයි. මොකද අද බොහොමයක්‌ ස්‌වාභාවික විපත් සිද්ධ වෙන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම්වල අතුරු පල නිසයි. අපි වරින් වර මේ ගැන පරීක්‌ෂා කර බලමු . පුංචි හෝ වෙනසක්‌ දැනෙනවා නම් වහාම රැයක්‌ දවාලක්‌ ගැන නොතකා අපට කතා කරන්න. ඔවුහු එසේ කියමින් ගම්වැසියෝ අස්‌වැසුවා.

ඒ කාලේ කන්ද උඩරට වවපු කෝපි, තේ, ගම්මිරිස්‌, කුරුඳු, සාදික්‌කා කියන සාරවත් බෝගවල අස්‌වැන්න අශ්වයා පිටේ ගෝනි ගණන් අරන් යන්න දුෂ්කර නිසා බ්‍රිතාන්‍ය ජාතික හෙන්රි වෝඩ් ආණ්‌ඩුකාරවරයා 1858 අගෝස්‌තු 3 දා පළවැනි පස්‌ පිඩ කපලා දුම්රිය මාර්ග තනන්න කටයුතු ආරම්භ කළා. මහනුවරට දුම්රිය මාර්ගයක්‌ තනන්න ගල්කුළු කිහිපයක්‌ම පළුදු කරලා බිම් ගෙවල් තනන්න බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෝ එදා මහා වෙහෙසක්‌ අරන් තියෙනවා. මෙහෙම හදපු රේල් පාරට අගතියක්‌ නොවෙන්නත් මිනිස්‌ ජීවිත ආරක්‌ෂා වෙන්නත් කටයුතු කිරීම තමයි දැන් කළ යුතු වන්නේ.

ගහක්‌ ගලක්‌ හෙලවෙනවා කියන්නේත් සුළුපටු කඡ්ජක්‌ නෙවි. ගස්‌ ගල් නුහුලන අපරාධ නොකරන්න මිනිස්‌සු වන අපි හිතට ගත්තොත් ගස්‌ ගල් සෙලවී නොතියේවි.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »