පිළිම නෙළන්නට මැහුමට ගෙතුමට දස්කම් දක්වන මිල්ලතේ හේමලතා

2017-07-11 11:37:00       583
feature-top
කිරිඳිවැල නගරය කේන්ද්‍ර කොට ගෙන මෙවරද පොසොන් කලාපය බිහිවිය. රටපුරා කූඩු තරඟ සඳහා නිර්මාණ ඉදිරිපත් කරන නිර්මාණකරුවන්ගේ දැකුම්කළු නිර්මාණ එහිදී ප්‍රදර්ශනය විය. ශ්‍රී ලංකා යුධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මේ අතර විය. ඔවුන් ද ඉතා දැකුම්කළු කූඩු ඉදිකරමින් තරඟය සඳහා අවතීර්ණය වෙමින් පොසොන් කලාපය නරඹන ජනී ජනයාගේ නෙත් සිත් ඇද ගැනීමට කටයුතු යොදා තිබිණ. මේ අතර ගැමි කුසලතා දැක්වූ දක්ෂයින්ගේ නිර්මාණ ද ප්‍රධාන නගරයේ නොවූවත් පොසොන් කලාපය ආවරණය වන ඔවු නොවුන්ගේ නිවෙස් ආසන්නයේ දර්ශණීය ලෙස එළි දක්වා තිබිණ. ප්‍රදේශය පුරා පොසොන් සිරි නැරඹූ ජනී ජනයා අතර මෙම ස්ථාන ගැන ද කනින් කනට පැතිරිණි. පොසොන් කලාපයේ සිරි නැරඹූ ඔවුන් මේ ආසන්නයේ වූ කිරිඳිවැල මිල්ලතේ හංදියට පැමිණියේ ඉමහත් සතුටිනි.

කළු පැහැති ඉටි රෙදි වලින් වටවූ පොසොන් කුටියක් එහි දිස් විය. පොසොන් පෝය ගැන අලුත් යමක් කියා දෙමින් එහි දක්නට ලැබුණේ කැරකෙන කූඩුවක්, විවිධ ආලෝකයෙන් බැබලෙන වෙනත් කලා කෘතියක් නොව මිහිඳු මහ රහතන්වහන්සේ ලක්දිවට බුදු දහම රැගෙන ආ අවස්ථාව පොත පතේ කියවා අවබෝධ කරගත් ආකාරය ඉතාම අලංකාර සිත් ඇදගන්නා ලෙසට මැටියෙන් නිර්මාණ කර වර්ණ ගන්වා තිබූ අයුරුය. එය මිහිඳු මාහිමියන් වැඩම කළ අයුරු එදා රජ දවස සිදුවූ ලෙසින්ම මනාව පිළිබිඹු කළ කලාකාරිය චිත්‍ර කලාවට, මූර්ති කලාවට උපන් හපන්කම් ඇති කිරිඳිවැල මිල්ලතේ අංක 100 නිවෙසේ හේමලතා මංචනායක මිය ය.

හය දෙනෙකුගෙන් යුත් පවුලේ පළමුවැන්නා වූ ඇය ගම්/කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ කලා අංශයෙන් අ.පො.ස.(උ/පෙ) දක්වා අධ්‍යාපනය ලබා ඇති අතර චිත්‍ර කලාවට දස්කම් දක්වා ඇත. ඇය ඇගේ නිර්මාණ හැකියාව එළිදැක්වීම ආරම්භ කර ඇත්තේ 13 වන වියේ දී ය. අද වන විට හැට වන වියේ පසුවන අතර ඇගේ දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටී.

වෙසක් උත්සවය, පොසොන් උත්සවය වෙනුවෙන් ඇය බෞද්ධ ජාතක කතාවලින් එක් කතාවක් නිර්මාණ කරයි. බොහෝ විට මැටි උපයෝගී කරගෙන සාදනු ලබන මෙම නිර්මාණ සඳහා කිසිවෙකුගේ සහාය නොලබයි. ඇගේ සැමියා ඥාණසේන දක්ෂ කලාකරුවෙකි. ඔහුද මූර්ති ශිල්පියෙකි. ඔහුගේ වටිනා චිත්‍ර මූර්ති නිවෙසේ ගොඩ ගසා ඇත්තේ තම හැකියාව තුළින් නිසි ඵල නෙලා ගැනීමට නොහැකි නිසාවෙනි.

1981.12.10 දින ඥාණසේන මහතා සමග විවාහ වූ හේමලතා මිය තම විවාහයට අත්සන් තැබූ එවකට හිටපු අැමැති සරත්චන්ද්‍ර රාජකරුණා මහතාට කළ ත්‍යාගය වූයේද ඔවුන්ගේ දැකුම්කළු නිර්මාණකි. 1976 වසරේදී ජාතික තරුණ සේවා සභාව මගින් පවත්වන ලද සමස්ත ලංකා පෝස්ටර් තරඟයෙන් ද, 2010 ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පෙ අත්තනගල්ල පොසොන් කලාපයේදී නිර්මාණ තරඟයෙන් ද, 2012 සියනෑ පොසොන් උදාන තරඟයෙන් ද, 2017 කිරිඳිවැල පොසොන් උදාන තරඟයේ නිර්මාණ තරඟයෙන් ද ඇය ජයග්‍රහණ හිමිකරගෙන ඇත. මීට අමතරව සමස්ථ ලංකා තරඟ ගණනාවකින් ජය ලබා ඇතත් ඇයගේ එම සහතික විනාශ වී ගොස් ඇති බව කියා සිටියේ කණගාටුවෙනි.

පද්‍ය නිර්මාණයට කුසලතාවයක් දක්වන ඇය ඒ සම්බන්ධයෙන් දක්ෂතා දක්වා ඇත. කලා නිමාණ වලට අමතරව ඇය මේසන් වැඩ සඳහා ද දක්වනුයේ විශේෂ හැකියාවකි.

මනාලියන් හැඩගැන්වීම ඇය සතු තවත් හැකියාවකි. තිරරෙදි මැසීම, ඇඳුම් මැසීම ඇයගේ ජීවනෝපායි.

1970 දශකයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවත්වනු ලැබූ ලුහු කර්මාන්ත පුහුණූ මධ්‍යස්ථානයේදී මැටි කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබා ඇති බව ඇය කියයි.




Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »