වහන්න ගිය වලස්බැද්ද පාසල තක්සලාවක් කළ ලොකු ඉස්කෝල මහත්තයා

2017-07-05 10:09:00       662
feature-top
අපේ රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇත්තේ මහා තරගයකි. මේ තරගය මව්පියන්ගේ තරගයකි. එය ආරම්භ වන්නේ බොහෝ විට දරුවකු කුස තුළ පිළිසිඳ ගැනීමටත් පෙර සිටය. දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර ගැනීමට මේ අම්මලා තාත්තලා නොකරන දෙයක් නැත. නොදෙන දෙයක් නැත. ඒ අම්මලා තාත්තලාගේ හැටිය.
ඔවුන් දරුවන්ට ආදරය කරන්නේ අසීමිතවය. මේ කැපවීම් එහි ප්‍රතිඵලයන්ය.

‘ජනප්‍රිය පාසල්’ එහෙම පාසල් සංස්කෘතියක් බිහි වූයේ ඇයි? බිහි කළේ කවුද?
ගමේ පාස‍ලේ ගමේකම අත්විඳිමින් පරිසරයෙන් උගත් දේ සමාජ යහපතට යොමු කිරීම පදනම් කරගත් අපූරු අධ්‍යාපන ක්‍රමයක් අත්විඳි අපි අපේ දරුවන් නොදැනුවත්වම ගෙනගොස් ඇත්තේ මහා යාන්ත්‍රික ලෝකයකටය.

ගමේ දරුවා ගමේ පාසල වෙනුවට නගරයේ ජනප්‍රිය පාසල් සොයා යද්දී, ගමේ පාස‍ලේ ඉතිරි වුණේ නගරයේ පාසලට යාමට හැකියාවක් නැති ගමේ උන්ය. මේ දරුවන් ඉගෙන ගත්තත් එකයි, නොගත්තත් එකයි යන මතයේ සිටින දරුවන් ද විය හැකිය. එහෙයින් ඉගෙන ගන්නට කැමැත්තක් නැති දරුවෝ සහ උගන්වන්නට හැඟීමක් නැති ගුරුවරු ගමේ පාසලෙන් බිහිවන්නට වූහ. ප්‍රතිඵලය වූයේ ගමේ පාසල අභාවයට යාමය. වැසී යාමය.

තම කැපවීමට පලක් නොලැබෙන කල කාර්යක්ෂමතා කඩඉම් විභාගයකටවත් ලියා ගන්නවා යන හැඟීමෙන් කටයුතු කරන ගුරු පරපුරක් ද මේ අතර බිහිවන්නට විය.
ගමේ දුෂ්කර පාසලට වී කුඹුරු වැඩ කරන, හේන් කරන ඉස්කෝලෙ මහත්වරු තැනින් තැන බිහිවන්නට වූයේ මේ නිසාය.

මෙවැනි සංස්කෘතියක් හැදීගෙන එද්දී එයට අභියෝග කර එම තත්ත්වයන් උඩු යටිකුරු කළ සැබෑ ගුරු මව් පියවරුන් ද අපට ඉඳහිට මුණගැසේ. ඉකුත් වසරක දී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සියයට සියය ප්‍රතිඵලය පෙන්වූ කැකිරාව මැදගම කනිටු විදුහල අලි කලබල  මැද ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයේ සියයට සියය ප්‍රතිශතය පෙන්වූ අඹන්‍පොළ එරියාව කනිටු විදුහල අපට එසේ හමු වූ පාසල් අතර වේ.
ඉකුත් 28 වැනි බදාදා මම එවන් අපූරු පාසලක්, ලොකු ඉස්කෝලෙ මහත්තයෙක්, එයටම ගැළපෙන අපූරු ගුරු මණ්ඩලයක් හමුවට ගියේ මට ලැබුණු තොරතුරකට අනුව එම තොරතුර ඔස්සේය.

කුරුණෑගලින් පාන්දර 4.00ට පිටත් වූ මම නුවර ගම්‍පොළ නුවරඑළිය හරහා අදාළ පාසල සොයා යමින් සිටියෙමි. ඒ අතර හරියට තැන සැකහැර දැනගැනීම සඳහා එම පාස‍ලේ වත්මන් විදුහල්පති බි.ආර්. ප්‍රදීප් ඇන්ටන් මහතා ඇමතීමි. මගේ ගමනාන්තය වූයේ ඇල්ලයි.

“අද මොකක් හරි උද්ඝෝෂණයක් බණ්ඩාරවෙල නගරයේ තියෙන බවක් සහ සියලුම ප්‍රධාන මාර්ග අවහිර කරන බවක් දැනගන්නට ලැබුණා. ඇල්ල යන්න එපා වැලිමඩ බහින්න. බැහැලා බදුල්ල බස් එකක නැගලා හාලිඇළට එන්න. හාලිඇළ ඉඳලා බණ්ඩාරවෙල බස් එකේ හතේ කණුව උඩුවර බැහැලා මට කෝල් එකක් දෙන්න.”
විදුහල්පතිතුමාගේ දැනුම්දීම පරිදි මම ගමන පිටත්වීමි. මේ යන්නේ හරි අපූරු ලොකු ඉස්කෝල මහත්තයෙක් ගොඩනැගූ හරි අපූරු පාසලක් බලන්නටය. ඒ පාසල බ/වලස්බැද්ද මහ විදුහලයි. මේ ඒ විදුහල ගැන කතාවයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි වලස්බැද්ද මහ විදුහල වසා දැමීමට නිර්දේශිතව තිබූ පාසලකි. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් 10ක් වලස්බැද්ද කන්ද නැගගෙන මේ පාසලට යා යුතු විය. එහෙයින් මේ පාසලට සේවය සඳහා පැමිණෙන්නට ගුරුවරු දැක්වූයේ දැඩි අකැමැත්තකි. එන ගුරුවරු ද එහි සිටියේ ටික කලකි. කෙසේ හෝ ස්ථාන මාරුවක් හදාගෙන යාමට ඔවුහු උත්සුක වූහ.

දැනට ඇති ඉතිහාසයට අනුව මෙම පාසල ආරම්භ කර ඇත්තේ 1951 වසරේදීය. වසර 66ක ඉතිහාසයකට හිමිකම් කියන වලස්බැද්ද මහ විදුහල මීට කලකට පෙර සිසු සිසුවියන් හාරසියයකට අධික පිරිසක් සිප් සතර හැදෑරූ සාර්ථක පාසලකි.

ක්‍රමයෙන් ගම අතහැර නගරයට තම දරුවන් යවන සංකල්පයෙන් බැට කෑ මේ පාසල 1994 වන විට සිසුන් 20ක් දක්වා පහළ බැස තිබුණි.

බණ්ඩාරවෙල මැදිමහ විදුහ‍ලේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ආර්.එම්. දයානන්ද රත්නායක මහතා වලස්බැද්ද මහ විදුහ‍ලේ විදුහල්පතිවරයා ලෙස පත්ව එන්නේ එම පාසල මෙසේ සිසුන් 20ක් බවට පත්ව තිබූ වකවානුවකය. එතැන් සිට පාසල ගොඩනැගූ මේ අපූරු ලොකු ඉස්කෝලෙ මහත්තයා තමන්, තම ගුරු මඬුල්ල හා එක්ව ගොඩනැගූ ලංකාවේ හොඳම ප්‍රාථමික විද්‍යාලය (2005) ඌව පළාතේ හොඳම පාසල ඵලදායිතා සම්මානය (2007), ලංකාවේ සාර්ථකම පාසල (2008) ආදී සම්මාන රැසක් පාසලට හිමිකර දී ඌවේ හොඳම කාබනික වගාබිම බවට මෙම පාසල පත්කර තම අත තිබූ ‘බැට්න්’ එක වෙනත් විදුහල්පතිවරයකුට පවරා පාසලෙන් සමුගෙනය.

මෙහෙම මහා පෙරළියක් කළ අපූරු විදුහල්පතිවරයකු අවුරුදු 55න් විශ්‍රාම යයි. ඒ අවැසි නම් තවත් වසර 5ක් සේවය කිරීමට තිබියදීය. ඒ ගැන අසද්දී ලැබෙන පිළිතුරු ජු නැත. එහෙත් දැඩිබව මුසු වූ මුදු බවකින් ලැබෙන පිළිතුරේ යම් කලකිරීමක් ද ගැබ්ව ඇති බව දැනේ.

කෙසේ වුවද අභියෝගයන් හමුවේ තව තවත් දිරිමත්ව නැගී සිටින අභියෝග ආශීර්වාද කරගත් මේ අපූරු ලොකු ඉස්කෝලෙ මහත්තයා තමන් සතු දැනුම රටටම බෙදා දෙමින් සිටී.

ඒ මීපේ පිහිටි ජාතික අධ්‍යාපන ආයතනයේ පුහුණු අංශයේ සම්පත් දායකයකු ලෙස තම දැනුම හා හැකියාවන් සමස්ත ගුරු පරපුර වෙත බෙදා දෙමිනි.

මේ ගුරු පියා එදා ඇරඹි මෙහෙයුම දිගින් දිගට පවත්වාගෙන යාමට වර්තමාන විදුහල්පති බි.ආර්. ප්‍රදීප් ඇන්ටන් මහතා ඇතුළු ගුරු මව්පියවරු කටයුතු කරමින් තිබිම ද පැසසුම් කටයුතුය.

අපි මේ අපූරු ලොකු ඉස්කෝලෙ මහත්වරු දෙදෙනාගේම කතාබහට කන් දුන්නෙමු.
මේ දයානන්ද රත්නායක හිටපු ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ අදහස් දැක්වීමයි.
“මා බණ්ඩාරවෙල මැදිමහ විදුහ‍ලේ නියෝජ්‍ය විදුහල්පති හැටියට කටයුතු කරලා එතැනින් පේරන්දෝරුව විදුහ‍ලේ විදුහල්පතිවරයා හැටියට කටයුතු කළා. 1994 දී තමයි වලස්බැද්ද විදුහ‍ලේ විදුහල්පතිවරයා හැටියට පත්ව එන්නේ.

මං ආවේ වැහෙන්න ඔන්න මෙන්න කියලා තිබුණ පාසලකට. පාසල් භූමිය පවා එක එක්කෙනා අල්ලගෙන තිබුණේ. මහා අභියෝගවලට මුහුණ දෙමින් පළමුවෙන්ම කළේ පාසල් භූමිය නිරවුල් කරගන්න එක. බොහෝ තර්ජන ගර්ජනවලට මුහුණ දෙමින් තමයි මා ඒ කටයුතු කරගත්තේ.

පාස‍ලේ පානීය ජල ගැටලුව දැඩිව තිබුණා. අපේ අතීත තාක්ෂණයෙන් පහළ තැනක ඉඳලා ඉහළ තැනකට ජලය ගෙනයන ක්‍රම තිබුණා. මා අපේ පාසලට ජලය ලබාගන්න භාවිත කළේ ඒ තාක්ෂණය. සීගිරි ගල මුදුනට ජලය ගෙනිච්ච ක්‍රමය තමයි ඒ සඳහා මා උපයෝගී කරගත්තේ.

ළිඳේ පත්ලට උමගක් කපලා අඟල් හයක බටයක් එතැනට සම්බන්ධ කරලා එතැන් සිට ක්‍රමයෙන් කුඩාවෙන බට පද්ධතියකින් තමයි මේ ජල සම්පාදන ක්‍රමය හදාගත්තේ. මේවා කරනකොට ‘ඕවා කරන්න පුළුවන් වැඩද?’ කියන ණ ආකල්පය තමයි බොහෝ අයගෙන් ආවේ. පළමුව පාසල තුළ භෞතික සම්පත් ගොඩනැගුවොත් ඊළඟට සිසුන්ට නිසි අධ්‍යාපනයක් දුන්නොත් ළමයි 20 දෙනකුට පහළ බැහැලා තිබුණ ළමයි ප්‍රමාණය වැඩිකර ගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබුණා.

පාස‍ලේ විදුලි අවශ්‍යතාව සපුරා ගත්තේ සූර්යකෝෂ ක්‍රමය මගින්. නමුත් වැසි සහිත දේශගුණික තත්ත්වවල දී ඉන් හරියට විදුලිය උත්පාදනය වුණේ නැහැ.

මේකට විකල්පයක් ලෙස මා ජංගම විදුලි උත්පාදන යන්ත්‍රයක් නිර්මාණය කළා. මින් ඕනෑම විදුලි අවශ්‍යතාවක් ඉටුකර ගන්න පුළුවන්. මෙය නිර්මාණය කරන්න මට
වැයවුණේ රුපියල් 3500ක වගේ මුදලක්.

මේ විදුලි උත්පාදන ක්‍රමය උපයෝගී කරගෙන මා වායු සමනය කළ කාමරයක් පවා නිර්මාණය කළා. ඒ සඳහා මා යොදාගත්තේ පරණ සාරි 150ක් විතර.

මේවා මෙහෙම කරගෙන යද්දී ඔන්න දෙමාපියන් ටික ටික එකතු වෙන්න ගත්තා. පාස‍ලේ ළමුන් වැඩි වෙන්න ගත්තා. පාසලට අවට පාසල්වලින් ලැබුණ කුඩම්මාගේ සැලකිලි ටික ටික අඩු වුණා. අපේ පාසලට ළමයි එන්න පෙලඹුණා.

ඒ දවස්වල 10 ශ්‍රේණියෙන් පසු සා.පෙළ විභාගය සඳහා වෙන පාසල්වලට ඇතුළු වෙන්න යන දරුවන් විවිධ කෙනෙහිලිකම්වලට ලක් වුණා.

පස්සේ මම අධ්‍යාපන බලධාරීන්ගේ අනුමැතිය ඇතිව අ.‍පො.ස. (සා.පෙළ) පන්ති පටන් ගත්තා. මේ වෙද්දී හිටියේ ගුරුවරු අට දෙනයි. ඒ ගුරුවරු උපරිමයෙන් කැපවෙමින් මට සහාය දුන්නා.

පස්සේ උසස් පෙළ පන්තිත් ආරම්භ කළා. 2013 වසරේ උසස් පෙළට ලියපු ළමුන් සියලු දෙනා සමත් වුණා.

විෂය පැත්තෙන් වාගේම විෂය බාහිරවත් මේ දරුවන් ඉදිරියටම ගියා. සමස්ත ලංකා මට්ටමේ ක්‍රීඩා, කථික, සාහිත්‍ය වාගේ තරගවලින් ජයග්‍රහණය ලබලා අපේ පාසලටත්, ඌව පළාතටත් ගෞරවයක් අරන් දෙන්න ඒ දරුවන්ට පුළුවන් වුණා.

මා පාසලට ව්‍යාපෘති 90ක් හඳුන්වා දුන්නා. බැටරියක බලයෙන් හෝ වයින් කිරීමකින් තොරව ක්‍රියාත්මක වන ඔරලෝසුවක් මා නිර්මාණය කරලා පාස‍ලේ භාවිත කළා. මේ වාගේ දේවල් කරන අතර ඌව හොඳම වගාබිම මා මේ පාසල තුළ ස්ථාපනය කළා. කෙසෙල් ඇතුළු විවිධ පලතුරු වර්ග වගා කරලා ඒ අස්වනුවලින් දරුවන්ට වසවිස නැති පලතුරුවල රස විඳින්න අවස්ථාව සලසා දුන්නා.

අපි හොඳ ගොටුකොළ වගාවක් කළා. ඉන් නෙළාගන්නා ගොටුකොළවලින් පාස‍ලේ දූ පුතුන්ට සතියකට වතාවක් කොළකැඳ පානය කිරීමේ අවස්ථාව සකස් කළා.

ටියුෂන් පන්තිවලට නොගිය අපේ දරුවන් ඉහළ සාමාර්ථ ලැබුවා. සා.පෙළ, උසස් පෙළ මහ ඉහළින් සමත් වූ දරුවන් අතර කීප දෙනකු දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. අපේ පාසල් බිමේ කොම්‍පෝස්ට් වළවල් 35ක් තිබුණා. ඒවායින් වගාවට අවශ්‍ය කාබනික ‍පොහොර ලැබුණා. ගුරු මඬුල්‍ලේ මගපෙන්වීම මත මේ සේරම දේවල් කළේ අපේ පාස‍ලේ ආදරණීය දුවලා පුතාලා. දරුවන් තුළ ස්වයං විනයක් ගොඩනැගෙන්න හිමිදිරි පාන්දර 6.30ට කරගෙන ආව භාවනා වැඩසටහන ලොකු පිටිවහලක් වුණා.

නෑ බෑ කියන වචන දෙක අපි සේරම එකතුවෙලා පැත්තකින් තිබ්බා. ‘සම්පත් නැතිකම ලොකුම සම්පතයි’ කියන ආදර්ශ පාඨය තමයි අපි අනුගමනය කළේ.
සම්පත් නැතිනම් සම්පත් සොයන්න ඕනෑ. පාරිසරික පැත්තෙන් සිදුවන මහා විනාශය අවම කරන්න නම් ඒ සඳහා වැඩසටහන් දියත් කළ යුතු හොඳම තැන පාසල.

අපි බාලාංශ පන්තිවල දරුවන්ගේ අධ්‍යාපනික ක්‍රියාකාරකම්වල දී වාර්නිෂ් පේපර් වෙනුවට අයන් කරගත්ත කෙසෙල් කොළ භාවිත කළේ. ‍පොලිතීන් අපි සම්පූර්ණයෙන් බැහැර කළා. ඒ වෙනුවට ‍පොත්වල පිටකවර රෙදිවලින් දැමීම වාගේ දේවල් සිදු කළා. ‍පොලිතීන් භාවිතය පිටුදකිමු, ඩෙංගු පිටුදකිමු කිව්වට වැඩක් නැහැ. ඒවාට විකල්පයි අවශ්‍ය.

දැන් අපි නැති සම්පත් ඇති කරන හැටි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. වලස්බැද්ද පාස‍ලේ පුළුවන් නම් ඇයි අපට බැරි? කියන ධනාත්මක චින්තනය අපි සමස්ත පාසල් පද්ධතියටම අරන් යන්න ඕනෑ. එවිට ගහකොළ, සතා සිව්පාවා, පරිසරය හැදුනට ඒවාට ආදරය කරන ගුණගරුක විනීත විනයගරුක ශිෂ්‍ය පරම්පරාවක් හෙට ලෝකය වෙනුවෙන් අපට දායාද කරන්න පුළුවන්.”

අපි පාස‍ලේ වත්මන් විදුහල්පති බි.ආර්. ප්‍රදීප් ඇන්ටන් මහතා දයානන්ද රත්නායක මහතා නිමා කළ තැන සිට දිරියෙන් ඉදිරියට පාසල රැගෙන යන්නට වෙහෙසෙන, කැපවෙන ආදරණීය නායකයකු බව අප පසක් කරගත්තේ ඒ මහතා සමග කුළුපගව අදහස් හුවමාරු කරගත් හෝරාවක් තරම් වූ කෙටි කාලයකදීය.

දයානන්ද රත්නායක විදුහල්පතිතුමා වලස්බැද්ද පාසලට ලොකු අනන්‍යතාවක් හැදුවා. එතුමා ගොඩනැගූ අඩිතාලම මත එතුමා මහා මන්දිරයක් හැදුවා. ඒ මන්දිරය විධිමත්ව ලස්සනට පිළිවෙළට පවත්වාගෙන යාමයි අපට කරන්න තියෙන්නේ. මහා කටුක අත්දැකීම් මතින් ගොඩනගපු මේ පාසල ඉදිරියට ගෙන යන්න, දියුණු කරන්න අපි අනුගමනය කරන්නේ, අනුකරණය කරන්නේ එතුමාගේ දැක්ම, එතුමාගේ දර්ශනයමයි.

දැන් පාස‍ලේ සිසුන් 140ක් ඉන්නවා. උසස් පෙළ කලා අංශය තෙක් පන්ති පැවැත්වෙනවා. සිංහල, දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, ගෘහ ආර්ථික විද්‍යාව, ආර්ථික විද්‍යාව, නැටුම්, ජන සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන් හැදෑරීමේ අවස්ථාව අපේ පාස‍ලේ උසස් පෙළ හදාරන දරුවන්ට තියෙනවා. ඒ වාගේම බොහෝ පාසල්වල තියෙන ගුරු හිඟය අපේ පාස‍ලේ නැහැ. මේ සියලු විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරු අපට ඉන්නවා. ඒ අවස්ථාව අපේ පාසලට හිමිකර දුන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට අපි අපේ ස්තුතිය පුද කරනවා.

එදා රට පුරා බොහෝ අයගේ අවධානයට ලක්ව තිබූ මේ පාසල දයානන්ද රත්නායක ගුරු පියාණන්ගෙන් පසු ඉදිරියට ගෙනයන වත්මන් විදුහල්පතිතුමා, ඇදුරු මඬුල්ල, සිසු දරු දැරියන් හා දෙමාපියන්ට අපේ ප්‍රණාමය පුද කළ යුතු වන්නේ ඔවුන් එකමුතුව මේ පෙන්වා දෙන්නේ අපට අවශ්‍ය රටට අවශ්‍ය අපේකම හා ගමේකම මුසු සැබෑ පාසල නිසාය.

වත්මන් විදුහල්පති ප්‍රදීප් ඇන්ටන් මහතා කළ එක් වැදගත් කෘතවේදී ප්‍රකාශයකින් මම මේ ලිපිය නිමා කරමි.

“මේ පාසල බ/වලස්බැද්ද ආර්.එම්.ඩී. රත්නායක මහා විද්‍යාලය ලෙසින් නම්කිරීම තමයි දයානන්ද රත්නායක හිටපු විදුහල්පතිතුමා වෙනුවෙන් කළ යුතු, කළ හැකි ලොකුම උපහාරය. ඒ සඳහා පාසල ඉතා ඉහළ තැනකට ගෙන යාමේ මෙහෙයුමයි මා, ගුරු මණ්ඩලය, දෙමාපියන් සහ දරුවන් එකමුතුව කරගෙන යන්නේ. ඒ සඳහා අපට ධෛර්යය, ශක්තිය දෙන්න. එයයි මගේ ඉල්ලීම.”

පෙර සිටි නායකයන් කළ කී දෑ බැහැර කරන, ඒවාට ගරහන මිනිසුන් අතර මෙම විදුහ‍ලේ වත්මන් විදුහල්පතිවරයා ද පූර්වාදර්ශ පිරි තරුණ විදුහල්පතිවරයකු ලෙස අප දකින්නේ ඒ නිසාය.

වලස්බැද්ද මහ විදුහලට එන්නට, තොරතුරු ගවේෂණයට උපකාර කිරීමට කැමැති අයගේ දැනගැනීම සඳහා හිටපු විදුහල්පතිතුමාගේ සහ වත්මන් විදුහල්පතිතුමාගේ දුරකථන අංක ද මෙහි සටහන් කරමි.

හිටපු විදුහල්පති ආර්.එම්.ඩී. රත්නායක මහතා 0713507748, 0572228600, වත්මන් විදුහල්පති ප්‍රදීප් ඇන්ටන් මහතා 0712876634



Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »