බයවෙන්න එපා දැන් ලංකාවේ හදවත් බද්ධ කරනවා
මහනුවර මහ රෝහලෙන් තවත් විස්‌කමක්‌

2017-07-03 11:13:00       590
feature-top
මුළු මහත් විශ්වයේ සෑම සතෙකුගේම පණ නල රැඳී ඇත්තේ, හදවත මතය. හදවත පූජා කරනවා යෑයි අපි මේතාක්‌ අසා ඇත්තේ ආදරය පුද දීමය. ආදරය පුද දෙනවාට ද එහා ගිය ජීවිතය පුද දෙමින් හදවත සත්‍ය ලෙසම පුද කොට ජීවිතය රැක ගන්නා සුපින හාස්‌කමක්‌ සැබෑ වීමේ අභිමුවෙහි මේ දැන් අපි සිටින්නෙමු.

යම් හෙයකින් හදවත නතරවන තැන ජීවිතයද නතර වන්නේය. රෝගීව හදවත නතර වන්නට යන බව දැනගත් වහාම නිරෝගී හදවතක්‌ බද්ධ කොට ජීවිතය යළි ලබා දෙන්නට තරම්ම විශ්වකර්ම කටයුත්තක්‌ කරන්නට දැන් මේ සිරිලක වෛද්‍ය කණ්‌ඩායමක්‌ යුහුසුළුව සිටිති. විවිධ අංශයන්හි විවිධ මට්‌ටමින් ඉහළ දැනුමක්‌ ඉහළ ප්‍රායෝගික පුහුණුවක්‌ ඇති විසි දෙනකුගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම අන්තර් ජාතික මට්‌ටමේ පුහුණුවක්‌ ලබා ඇත්තේ මේ සිරිලක සාමාන්‍ය ජනතාවගේ ජීවිත රැක ගැනීමේ ප්‍රයත්නයේ යෙදීමට අවැසි නිසාමය.

හදවතක්‌ සහ පෙනහලු අකර්මණ්‍යව පීඩා විඳින රෝගියෙකුගේ හුස්‌ම පොද වාතලයට යවනවා වෙනුවට නිරෝගී හදවතක්‌ සහ පෙනහලු බද්ධ කරමින් හුස්‌ම පොද රඳවා තබන්නට සමත් මේ පිරිස මේ සා අනභිභවනීය කර්තව්‍යයක නිරත වන්නේ මහනුවර මහ රෝහලේ හෘද රෝග නිවාරණ ඒකකයේදීය. මහනුවර රෝහල ඊට අවැසි උපකරණ, ඖෂධ මානව දැනුම ඇතුළු සියලු පහසුකම් වලින් සමන්විත නිසාය..

මේ වන විට හදවත බද්ධ කළ යුතුය යන රෝගී තත්ත්වයේ පසුවන වැඩිහිටි රෝගීන් දෙදෙනෙක්‌ සහ ළමා රෝගීන් දෙදෙනෙක්‌ බද්ධ කිරීමේ ලැයිස්‌තුවේ ඇත්තේය. ඔවුන් ගෙන් කවරකු සඳහා හෝ අවශ්‍ය වන, ගැලපෙන රුධිර ඝණය සහිත හදවත ලද වහාම වෛද්‍ය කණ්‌ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කරන්නාහ. ( මෙම ලිපිය සිකුරාදා ලියෑවෙන බැවින් , ඉරිදා වන අද දින වන විට එය සිදු කොට තිබෙන්නටද පිළිවන.)

හදවත බද්ධ කිරීමේ සැත්කම සම්බන්ධ න්‍යායික සහ ප්‍රායෝගික දැනුම ලොවට මුදාහලේ 1960 දී ඇමරිකාවේ කැලිෙµdaර්නියා විශ්ව විද්‍යාලයෙනි. විවිධ සිව්පාවුන්ගේ හදවත් ගෙන තවත් සිවුපාවෙකුට බද්ධකරමින් නවීන තාක්‌ෂණ ක්‍රමවේද පිළිබඳ අත්හදා බැලීම්ද එහි සිදු කොට තිබිණි. එහිදී එම අධ්‍යාපනය ලත් ක්‍රිස්‌ටියන් බර්නාඩ් නම් අප්‍රිකානු වෛද්‍ය සිසුවෙක්‌, අධ්‍යාපනය නිමා කොට සිය රටට ගොස්‌ සේවය කරමින් සිටියදී, දැඩි ලෙස හෘදය අකර්මණ්‍යව සිටි රෝගියකු ඔහුගේ වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. දිනක්‌ මෙම වෛද්‍යවරයා නිවසේ රැඳී සිටියදී සිය නිවස ඉදිරිපිට පාර මාරුවෙමින් සිටි පියෙකු සහ දියණියක රිය අනතුරකට ලක්‌ව ඇත. එහිදී දියණිය බරපතළ තුවාල ලබා මොළය මියගිය රෝගියකුව දැඩි සත්කාර ඒකකයේ සිට ඇත. එවිට මෙම වෛද්‍යවරයා පියාගෙන් දියණියගේ හදවත ඉල්ලා පෙර කී රෝගියාට බද්ධ කොට ඇති අතර ඔහු ඉන් නිරෝගි සුව ලබා ඇත. ඒ වසර 1966 දී දකුණු අප්‍රිකාවේදීය.

හදවත බද්ධ කිරීමේ සැත්කම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම වෙර දරන්නේ, වසර 2012 සිටය. එංගලන්තයේ µS්‍රමන් රෝහලේදී හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්ම සිදුකරමින් ප්‍රායෝගික පුහුණුව ලබන්නට අපගේ ශ්‍රීs ලාංකික වෛද්‍ය කණ්‌ඩායම සමත් වූවා පමණක්‌ නොව, එම රෝහලේ යාවත්කාලීන වන දැනුම එහි වෛද්‍යවරුන්ගෙන් අදටත් ලබන්නට තරම් අපේ වෛද්‍ය කණ්‌ඩායම වාසනාව ලබා ඇත්තේය. එනිසාවෙනි එංගලන්තයේ හෘද බද්ධ කිරීමේ රෝහලක්‌ වන µS්‍රමන් රෝහලේ අධ්‍යක්‌ෂ, හෘද උරස්‌ ශල්‍ය සහ හෘද පෙනහලු බද්ධ කිරීමේ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ස්‌ටීව් සී ක්‌ලාක්‌ මහතා සහ ජාත්‍යන්තර හෘද සහ පෙනහලු බද්ධ කිරීමේ සංගමයේ සභාපති ඇන්ඩෲ ඡේ µsෂර් මහතා ඔවුන්ගේ දැනුම නවීන සන්නිවේදන උපක්‍රම භාවිතයෙන් මෙරට වෛද්‍ය කණ්‌ඩායම වෙත මේ මොහොතටත් ලබා දෙනුයේ.

හදවත් බද්ධ කළ යුතු තත්ත්වයේ සිටින රෝගීන්ගේ වෛද්‍ය වාර්තා සියල්ලක්‌ද ඔවුන්ගේ අධීක්‌ෂණයට ලක්‌වනවා පමණක්‌ නොව, ඊට කළ යුතු ප්‍රතිකාර ක්‍රමවේද පරීක්‌ෂණ ආදිය පිළිබඳව ද ඔවුහු වෛද්‍ය කණ්‌ඩායම වෙත උපදෙස්‌ ද ලබා දෙන්නේය. එබැවින් මහනුවර මහ රෝහලේ සිදු කෙරෙන මෙම හදවත් බද්ධ කිරීමේ සැත්කම අන්තර් ජාතික තත්ත්වයේ ශල්‍යකර්මයක්‌ ලෙසද හැඳින්විය හැකිය. ජාත්‍යන්තර උසස්‌ ප්‍රමිතියෙන් යුත් කෝටි ගණනක්‌ මිල වන මෙම සැත්කම මෙලක වෙසෙන සාමාන්‍ය ජනතාවගේ නිරෝගීභාවය උදෙසා රජයේ රෝහල්වලදී පමණක්‌ සිදු කිරීමටත් එය නොමිලයේ ලබා දීමටත් කටයුතු කිරීම ඇගයිය යුත්තේය. මහජන මුදලින් උගැනුම ලැබූ මෙම වෛද්‍යවරුන්ගේ ඒකායන ප්‍රාර්ථනය මහජනතාව වෙත සේවය කිරීම පමණක්‌ බව එම කණ්‌ඩායම අප හා පැවසූහ.

මෙම විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම සිය සාමාන්‍ය දෛනික සේවාවන්හි යෙදෙන්නේ මහනුවර මහ රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක විශේෂිත ළමා රෝහල, වැලිසර, කුරුණෑගල, අනුරාධපුරය, සහ යාපනය යන දිවයින පුරා රෝහල්වලදීය. ඔවුහු හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදු කිරීම සඳහා මහනුවර රෝහලට ඒකරාශි වෙති.

හෘද උරස්‌ ශල්‍ය විශේෂඥ, හෘද උරස්‌ ශල්‍ය නිර්වින්දන විශේෂඥ, හෘද රෝග විශේෂඥ ළමා සහ වැඩිහිටි, උරස්‌ ශල්‍ය විශේෂඥ , වෛරස්‌ ආසාදන විශේෂඥ, සායනික ක්‌ෂුද්‍රජීවී පිළිබද විශේෂඥ, ප්‍රතිශක්‌තිය පිළිබද විශේෂඥ,රුධිර පාරවිලයනය පිළිබද විශේෂඥ , විකිරණ ශිල්පය පිළිබද විශේෂඥ, ව්‍යාධිවේදී විශේෂඥ , ස්‌නායු ශල්‍ය විශේෂඥ, ස්‌නායු නිර්වින්දන විශේෂඥ , හෘද පෙනහලු නිවේෂක නිලධාරීන් යන සෑම අංශයක්‌ම ආවරණය වන පරිද්දෙන් මෙම විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම සමන්විතය.

ඔවුන්ගේ මහා ප්‍රාඥ දැනුම සහ සේවාව ලබා ගැනීම පිණිස, දිවයින පුරා ඕනෑම රෝහලකින් රෝගීන් මහනුවර රෝහල වෙත යොමු කළ හැක්‌කේය.

එසේ යොමු කරන හෘද රෝගීන්ගේ පුප්ඵුශීය ධමනියේ පීඩනය වැඩි වී ඇත්දැයි පරීක්‌ෂා කිරීමට වෛද්‍යවරු කටයුතු කරයි. මන්ද යම් හෙයකින් පුප්ඵුශීය ධමනියේ පීඩනය වැඩි වී තිබුණේ නම්, හෘදය පමණක්‌ බද්ධ කිරීමෙන් ඵලක්‌ නොවන අතර එවිට පෙනහලු ද බද්ධ කළ යුතු වෙයි.

හෘදය ඉතා දැඩි ලෙස අකර්මණ්‍ය වූ රෝගීන් හෝ උපතින් ඇතිවන සංජානීය හෘද රෝග සහිත දරුවන් වෙනත් කිසිදු ශල්‍ය කර්මයකට බඳුන් කළ නොහැකි නම් හෘදයක්‌ බද්ධ කළ යුතු බවට වෛද්‍ය නිර්දේශය ලැබෙනු ඇත. එම වෛද්‍ය නිර්දේශයන් වෙත යොමුකළ යුත්තේ , ... හෘදයේ පේශිවලට හානි වීම නිසා ඇතිවන හෘදය ඉතා දැඩිලෙස අකර්මණ්‍ය වීම.

හෘද සැත්කමකින් පසු හෘදය අකර්මන්‍ය වීම.

හෘදයේ ගැහෙන රිද්මයේ ඇති වන රෝග වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවී හෘදය අකර්මන්‍ය වීම

සංකීර්ණ සංජානීය හෘද රෝග (වෙනත් ශල්‍යකර්මයක්‌ කර ප්‍රතිකාර කල නොහැකි නම්)

ශල්‍ය කර්මයක්‌ මගින් ඉවත් කල නොහැකි හෘදයේ ඇතිවන ගෙඩි නිසා හෘදය අකර්මණ්‍ය වී නම් හෝ රුධිර සංසරණයට බාධා ඇති වී නම්,

ශල්‍යකර්මයකින් සුවකළ නොහැකි හෘද කෝෂිකා වල අසමානතා ඇති වි ඇත්නම් , යන රෝග තත්ත්වයන් සහිත රෝගීන්ය.

ඉහත රෝග හෘද රෝග සහිත වයස අවුරුදු දහහතරට අඩු දරුවන් පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂිත හෘද සායනයටත්, වයස අවුරුදු දහ හතරේ සිට පනහා දක්‌වා රෝගින් මහනුවර මහ රෝහලේ බදාදා උදෑසන පවත්වන හෘද උරස්‌ ශල්‍ය සායනයටත් යොමු කරන ලෙස ද අදාළ වෛද්‍ය කණ්‌ඩායම පවසයි.

එහිදී හදවත බද්ධ කල යුතු බවට තීරණය කරන රෝගියකුට හදවතක්‌ සොයා ගත හැකි වන්නේ , හදිසි අනතුරක්‌ නිසා හෝ වෙනත් රෝගි තත්ත්වයක්‌ නිසා හෝ කිසිදු ප්‍රතිකාරයකින් ජීවිතය නැවත ගොඩනැගිය නොහැකි මොළය මිය ගිය රෝගියකුගේ හානි වී නොමැති හදවතක්‌ ලබා ගැනීමෙනි. දිවයිනේ ඕනැම තැනක සිටින මොළය මියගිය රෝගියෙකු පිළිබඳ තොරතුරු වෙතොත් මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමෙ සම්බන්ධීකරණ නිළධාරියා වෙත දැනුම් දිය හැකිය.

මේ උදෙසා මහනුවර රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ලබා දෙන අනුපමේය මෙහෙයද අගය කළ යුතුමය.

මරණය කියන්නේ අත්විඳින්නාටත් එය දැක දරාගතයුත්තාටත් අතිශය වේදනා බර හැඟීමකි. කෙටියෙන්ම කියතොත් අපේම සහෘදයින් කීදෙනෙක්‌ නම් හෘද රෝගවලට බඳුන්ව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටිනවාද ? ඒ වා දකිමින් සරණක්‌ විය නොහී අපම කොතෙක්‌ නම් තැවෙනවාද ? මෙ එළැඹ ඇත්තේ ඊට සුදුසුම පිළිතුරය.

හදිසි අනතුරකින් හෝ වෙනත් කිසියම් රෝගී තත්ත්වයකින් මොළය මියගිය රෝගීන්ගෙන් මෙතෙක්‌ ශ්‍රී ලංකා වේ දී ලබා ගත්තේ, වකුගඩු දෙක පමණි. එහෙත් දැන් වකුගඩු දෙකත් හෘදය වස්‌තුවත් පෙනහලු දෙකත් අක්‌මාවත් දැන් දන් දිය හැකිය. මිය යන එක්‌ රෝගියෙකුගෙන් ජීවිත පහක්‌ යළි පණ ලබනවා නම් එය කෙතරම් නම් උත්තරීතර පුණ්‍ය කර්මයක්‌ වනු ඇත්ද? සිහි නුවණින් නිරෝගීව සිටින අප දැන් මේ අනූපම සේවයේ නියුතුව සිටින වෛද්‍ය කණ්‌ඩායමට සහාය විය යුතුය. මොළය මිය ගිය අපේම උදවිය සිටිත් නම් ඔවුන්ගේ හදවත සැබෑ ස්‌නේහයෙන් පුද දීමට තරම්ම සහෘද වීමෙනි.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »