හිතුමතේ දුවන රෝද තුනට නීති වලංගු නැද්ද?

2017-06-30 11:18:00       658
feature-top
 බස් ගාස්තු වැඩිවීමක් ලබන මාසෙ 01 වැනිදා ඉඳල සිදු වෙනවා. ඒ බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුවයි. ඒත් ඒ පිහිටෙන් තවත් මඟී ප්‍රවාහන සේවා තම තමන්ගේ මල්ල තර කරගන්නත් සූදානම් වන බවත් අපට වාර්තා වෙනවා. බස් රථ කර්මාන්තය ලාභ ඉපැයීමේ කර්මාන්තයක් වගේම ජාතික සේවාවක් හැටියටත් අපට හඳුන්වා දෙන්න පුළුවන් වෙනවා. බස් රථවලට යම් යම් නීතිරීති පද්ධති තිබෙනවා. අපි කිව්වා වගේ බස් ගාස්තු හිතුමතේ සංශෝධනය කරන්න බස් හිමියන්ට නැත්නම් බස් සේවකයන්ට හැකියාවක් නැහැ. ජාතික ප්‍රතිපත්තියට අනුවයි බස් ගාස්තු සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සිදු කරන්නෙත් ප්‍රවාහන අමාත්‍යාංශය මඟින්. ඒ වුණත් බස් රථ තරමටම අපට සේවාවෙන් ළං නොවුණත් ත්‍රිරෝදරථ කර්මාන්තයෙන්ද අපට සෙතක් සැලසෙනවා. ඒත් කාලයක සිට මේ ත්‍රිරෝදරථ කර්මාන්තය ගැන ජනතාව අතර තියෙන්නේ ඒ තරම්ම හොඳ මතයක් නෙමෙයි. මේකට හේතු ගොඩක් තියෙනවා.

එයින් පළමුවන කරුණ තමයි ගාස්තු ප්‍රශ්නය. ත්‍රිරෝදරථවල ගාස්තු අය කරන ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. එයින් පළමුවැන්න: යන ගමනාන්තය ගැන විමසා පළමුවෙන් ගාස්තුව කතා කරගෙන යන එක. දෙවැන්න: තැන හරියටම අවිනිශ්චිත නම් ගමන ගිහින් ඒකට අදාළ ගාස්තුව ඉල්ලනඑක. තුන්වැන්න: මීටර් සහිත ත්‍රිරෝදරථවල නම් මීටරේ දැක්වෙන ගාස්තුව ගෙවන එක.

මෙ හැම ක්‍රමයක්ම හදාගෙන තියෙන්නෙ ඒවයෙ යන මඟී ජනතාවට සෙතක් වෙන විදිහට නම් නෙමෙයි. ගාස්තුව මුලින් කතා කළත් මොනම විදිහකින් වත් මඟියාට වාසියක් වන විදිහට නම් ගාස්තුවක් කියන්නේ නැහැ. ඒ වගේම තමයි ගමන ගිහින් ගාස්තුව කිව්වත් පුළුවන් තරම් වැඩියෙන් අය කරගන්න තමයි ගාස්තුව එළියට එන්නෙ. මීටර් ඇති ත්‍රිරෝදරථවලත් එහෙමයි. ඒව හදල තියෙන්නෙ හදිස්සියෙ අතර මඟ විනාඩි 10ක 15ක මාර්ග තදබදයකට අහු වුණොත් ඒවටත් ගාස්තු අය වන විදිහට.

මේ ක්‍රමවේද තුනම කිසිම ප්‍රමිතියකට ප්‍රතිපත්තියකට හදපු ඒව නෙමෙයි. මේ ගැන නියාමනය කරන එක පළාත් සභාවට අයිති කාර්යයක්. ඒ වුණත් කවදාවත් පළාත් සභාවලින් මේ කිසිම නියාමනයක් සිද්ධ වෙලා නැහැ. ආරක්ෂක හේතු මත කියල ත්‍රස්තවාදී තර්ජන තිබුණු සමයේ ත්‍රිරෝදරථ ලියාපදිංචිය පොලීසිය මඟින් පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි ත්‍රිරෝදරථ ලියාපදිංචිය අදාළ පළාත් පාලන ආයතනවලත් පටන් ගත්තා. ඒකෙනුත් වාසියක් වුණෙ එයාලට මිස මඟියාට නෙමෙයි. 'අනුමත ත්‍රිරෝදරථ ගාල' කියල බෝඩ් එකක් ගහගන්න අවස්ථාව ලැබුණා.

අඩුම ගානෙ අය කරන්න පුළුවන් උපරිම ගණන කීයද කියලවත් පළාත් සභාවකින් නියම වුණේ නැහැ. අනිත් කරුණ රෑට වගේම වැස්ස දවස්වලටත් ගාස්තුව වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි ටිකක් ලොකු පොදියක් දෙකක් දැක්ක ගමන් ගාස්තුව වැඩි වෙනව. ඇයි ඒක තනියම බස් එකකවත් අරගෙන යන්න බැරි බව දන්න හින්ද. බලාගෙන ගිහාම මේකත් තවත් මාෆියාවක් වෙලා. හූරගෙන කන්නමයි හදන්නෙ.

ඒ අපි කතා කෙළ් මේ ත්‍රිරෝදරථ කතාවෙ එක පැත්තක්. ත්‍රිරෝදරථ කර්මාන්තයේ තවත් අනතුරුදායක පැති ගොඩක් තියෙනවා. එයින් වැදගත් වන තවත් ගැටලුවක් වන්නේ තරුණ පරපුරේ අනාගතය රෝද තුනකට සීමා වීමයි. අද සාමාන්‍ය පෙළ යන්තම් පාස් වෙලා උසස් පෙළ කරන්න බැරි වුණොත් කරන්නේ අම්මල තාත්තලට කෑගහල ත්‍රිරෝදරථයක් අරගෙන හන්දියකට ගිහින් ඉන්න එකයි. එතැනින් පස්සෙ එයාගේ සම්පූර්ණ ජීවිතයම එතැන තමයි. රජය අවුරුදු 10ක් 12ක් අධ්‍යාපනයට වැය කරපු සල්ලි, දෙමවුපියන්ගේ වියපැහැදම්, බලාපොරොත්තු... මේ සේරම වතුරේ. මේක ලොකුම සමාජ ව්‍යසනයක් වෙන්න පටන් ගන්නේ එතැනින් තමයි. මහපාර ගැන කිසිම අත්දැකීමක් අවබෝධයක් බරක් පතළක් නොදැන කරන මේ කාර්යය අවසන් වන්නේ ඉතා භයානක ලෙස වෙන්න පුළුවන්. ඒ වගේම මේ තරුණ දරුවන්ගේ ජීවිතයේ ඉතිරි හරිය ගෙවන්නේ කොහොමද කියලවත් එයාලට තේරෙන්නේ නැහැ. හිතෙන හිතෙන විදිහට ජීවිතය අරගෙන යනවා. විවාහයක් වුණත් ඇතැම් වෙලාවට වැඩි කාලයක් රඳා පවතින්නෙ නැහැ. අත්දැකීම් අඩු බව ජීවිතයේ වගකීම් ගැන බරක් පතළක් නොදැනීම නිසා විවාහ සංස්ථා පවා දෙදරා වන සංඛ්‍යාව වැඩියි. ත්‍රිරෝදරථ කර්මාන්තය නිසා බිහිවෙච්ච එක් උපසංස්කෘතියක් තමයි ඒ.

ඒ වගේම ඒ තරුණයන්ගේ අත්දැකීම් අඩුකම ත්‍රිරෝද රථයේ යන මඟියාට කොයිතරම් අවදානම්ද කියල දන්නවද?

මේ අවුරුද්දෙ මැයි මාසෙ අවසන් වන විට විතරක් ත්‍රිරෝදරථ මාරක අනතුරු 165ක් සිදු වෙලා. එයින් මියගිය ගණන 181ක්; ඒ කියන්නෙ දින 150ට මරණ 181යි. දවස් තුනකට හතර දෙනෙක් මිය යනවා. තව තුවාල ලබපු ගණන වගේම අනතුරු සම්පූර්ණ සංඛ්‍යාව බැලුවොත් 1000ත් ඉක්මනවා. ඒ කියන්නෙ දවසකට ත්‍රිරෝදරථ අනතුරු 30ක් විතර වෙනවා.

ඇයි ඉතින් මාර්ග නීති ගැන ඒ තරම් දැනුමක් නැහැ. මාර්ග නීති රීති ගණන් ගන්නෙ නැහැ. යන්තම් ඉස්සරහ රෝදය දාගන්න ඉඩක් තිබුණා නම් ඒ අස්සෙන් දැම්ම - ගියා.

මේ ත්‍රිරෝදරථය අපේ ලංකාව වගේ රටකට ගැළපෙන වාහනයක් නෙමෙයි කියල ඒ ගැන පර්යේෂණ කරපු මහාචාර්යවරයෙක් පැහැදිලි කළා. ත්‍රිරෝදරථයේ හැඩය අනුව ඒක මහා මාර්ගයේ ගමන් කිරීම පවා අනතුරුදායකයි කියලයි ඒ මහාචාර්යවරයා පෙන්වලා දී තිබුණේ. ඒ විතරක් නෙමෙයි අපේ රටේ ත්‍රිරෝදරථවලට අනුමත වේගය උපරිම වශයෙන් පැයට කිලෝමීටර 40යි. ආරක්ෂිතව යන්න තමයි ඒ අනුමත වේගය දී තිබෙන්නෙ. ඒ වේගය ඉක්මවා යන්න බැහැ. පාරෙ දකුණු පැත්තෙන් ත්‍රිරෝදරථවලට යන්න අවසර නැත්තෙත් ත්‍රිරෝදරථයට වැඩි වේගයකින් යන්න බැරි නිසයි. ඒත් අපෙ රටේ ඉන්න අයගෙ හැටි දන්නවනෙ? ඒ වේගය ඉක්මවා යන්නෙ කිසිම ගානක් නැතිව. දැන් ගැටලුවක් මතු වෙනවා. ත්‍රිරෝදරථයක් වැඩි වේගයකින් ගියොත් නවත්වගන්නෙ කොහාමද කියනඑක ගැන. අනුමත වේගයකින් ගියොත් විතරයි තිරිංග නැත්නම් 'බ්‍රේක්' නිසි ආකාරයකට යොදල නවත්වගන්න පුළුවන් වෙන්නෙ. අධික වේගයෙන් ගිහින් එක්වරම තිරිංග යෙදුවොත් ඉස්සරහ තියෙන්නෙ එක රෝදයක් නිසා පසුපස නැවතීම හා ඉස්සරහ රෝදයේ නැවතීම අතර සමතුලිතතාවක් නැතිව ගිහින් ත්‍රිරෝදරථය පෙරළෙන්න පුළුවන්. මේ නිසා ත්‍රිරෝදරථ හිමියන් කරන්නෙ රථයේ ඉස්සරහ තිරිංග ඉවත් කරනවා. තේරෙන භාෂාවෙන් කියනවා නම් 'ඉස්සරහ බ්‍රේක් කේබල් එක ගලවනවා.' දැන් ත්‍රිරෝදරථයේ ඉදිරිපස තිරිංග නැහැ. පසුපස රෝද දෙකේ විතරයි තිරිංග ක්‍රියාත්මක වෙන්නෙ. මේ විදිහට පැයට කිලෝමීටර් 50ක විතර වේගයෙන් ගිහින් එක්වරම තිරිංග යෙදුවොත් දැන් මොකද වෙන්නෙ? පෙරළෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඇයි ඉස්සරහ තිරිංග පද්ධතියක් නැහැනෙ. තිරිංග මඳිකම නිසා අවශ්‍ය ස්ථානයේදී නවත්වගන්න බැහැ. පදිකයෙක් නම් පදිකයා ගැටෙනවා. ඉස්සරහ වාහනයක් හදිසියේ තිරිංග යෙදුවොත් ත්‍රිරෝදරථය පස්සෙන් ගිහින් ඉඹගන්නවා. මේක තමයි ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නෙ.

මේ අනතුරුදායක තත්ත්වය ගැන පොලීසියෙන් හොයන්න පටන් ගන්නෙත් අනතුරක් වුණාට පස්සෙ. පොලීසියට වුණත් පාරෙ යන හැම ත්‍රිරෝදරථයක්ම නවත්වලා ඉස්සරහ තිරිංග පද්ධතිය ක්‍රියාත්මකද කියල හොයන්න බැහැ.

අපේ රටේ තරුණ පරපුරට කඩිනම් රැකියා අවශ්‍යතාවක් තියෙනවා. රැකියා විරහිත තත්ත්වයක් තියෙනවා. ඒකට පිළියම තාක්ෂණික දැනුමක් ලබාගෙන වෘත්තීය පුහුණුවක් හරහා යන්න පුළුවන් රැකියාවක් සම්බන්ධව අවධානය යොමු කරන එක මිසක් රෝද තුනකට තරුණ ජීවිතය හිර කරනඑක නෙමෙයි.

ඒ අස්සේ කිසිම නියාමනයක් නැතිව ත්‍රිරෝදරථ ගාස්තු වැඩි කරන්නත් යන බවක් ආරංචියි. මේ ගාස්තු වැඩි කරන්නෙ ඒ ඒ අයට ඕන විදිහටයි. කිසිම නියාමනයක් නැහැ. ඒත් මේ අනතුරුදායක තත්ත්වයත් ප්‍රතිපත්තියක් නැතිකමක් දෙකම බලන්න ඉන්න නිලධාරීන් ඉන්නෙ නමට විතරයි. අපේ රටේ හුගක් නිලධාරීන්ගේ හැටි එහෙමනේ.

කොහොමත් අපට ආරංචි වුණු විදිහට වයස අවුරුදු 35ක් වෙනකල් රියැදුරන්ට ත්‍රිරෝද රථවල මඟී ප්‍රවාහනය තහනම් කරන නීතියක් එන බව දැන ගන්න තිබෙනවා. ඒක නම් හොඳ ආරංචියක්.

කොහොම වුණත් රථවාහන පොලිස් නිලධාරීන්ට විතරක් නෙමෙයි සමස්ත පොලීසියටත් ඒ වගේම ප්‍රවාහන විශාරදයන්ටත් විශේෂ කරුණක් මතක් කර දෙන්න වෙනවා.

ඒක තමයි මෝටර් රථ ප්‍රවාහන ආඥා පනතේ පැහැදිලිවම සඳහන් වෙනවා මඟී ප්‍රවාහනය කරන සියලු රියැදුරන් ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි කියා. ලංකාවේ එකම මඟී ප්‍රවාහන රියැදුරකුටවත් මේ මඟී ප්‍රවාහන අවසර පත්‍රය නැහැ. ඒක නිසා වයස අවුරුදු 35ක් වෙනකල් ත්‍රීරෝදරථ මඟී ප්‍රවාහනය බැහැ කියල අමුතු නීතියක් අවශ්‍ය නැහැ. තියෙන නීතියම බලාත්මක කරන්න පුළුවන් නම් මේ ‍ගොඩක් අනතුරු අපට වළක්වාගන්න පුළුවන් වෙයි.

අඩුම වශයෙන් මේ මාරක අනතුරුවත් නවත්වාගන්න අපට පුළුවන් වන බව අපට කියන්න පුළුවන්. එහෙම නැත් නම් ත්‍රිරෝදරථ නිසා සිද්ධ වන මාරක අනතුරු දෙතුන් ගුණයකින් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නැහැ.

යතුරු පැදි වගේම මේ ත්‍රිරෝදරථ අනෙක් වාහනවලට වමෙන් ඉස්සර කිරීම නිසා විශේෂයෙන්ම නවත්වා ඇති බස් රථවලට වමෙන් ඉස්සර කිරීම නිසා සිදු වූ මාරක අනතුරු රැසක්ම වාර්තා වෙනවා.

මේ වාහන ළඟටම එන තුරු ‍නොපෙනෙන නිසා මඟියාට නැත් නම් පදිකයාට මාර්ගයෙන් ඉවත් වෙන්න වෙලාවකුත් නැහැ. සමහර විට අයින් වෙන්න ඉඩකුත් නැහැ‍. ඒ නිසා වමෙන් ඉස්සර කිරීමේ නීතිය අනෙක් වාහනවලට කෙසේ වෙතත් යතුරු පැදිවලට වගේම ත්‍රිරෝදරථවලට නම් අනිවාර්යයෙන්ම ගෙන එන්න ඕන.

ගාස්තු වැඩි කරන්න කලින් ත්‍රිරෝදරථ හිමියන් මෙන්ම සේවකයනුත් ඒ ගැන ටිකක් හිතුවොත් හොඳයි. මොකද, හයර් එකට වඩා ජීවිත වටිනවා.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »