තිබෙන ටිකත් නැති කළ ගංවතුරට හසුවූ "තේ"

2017-06-29 11:47:00       661
feature-top
ගංවතුරෙන් පස්‌සේ තේ දලු විනාශ වෙලා
අපනයනය කරන්න සූදානම් කර තිබූ
තේ තොගත් ගංවතුරට හසුවෙලා
වැඩිම පාඩුව කුඩා තේ වතු හිමියන්ට

අපේ රටේ තේ කර්මාන්තයෙන් වැඩිම පංගුව හිමිවන්නේ කුඩා තේ වතු හිමියන්ටය. කොටින්ම කිවහොත් කුඩා තේ වතු හිමියන් වූ කලි තේ කර්මාන්තයේ ප්‍රධාන පුරුක වශයෙන් හැඳින්වුවද වරදක්‌ නැත. ඒ විතරක්‌ නොව කුඩා තේ වතු හිමියන් අපේ රටේ ආර්ථිකයට දක්‌වන දායකත්වය ද සුළුපටු නොවේ. 2016 වර්ෂයේ නිකුත් කොට ඇති මහ බැංකු වාර්තාවට අනුව අපේ රටේ සමස්‌ත තේ නිෂ්පාදනයෙන් සියයට 74.5ක ඉහළ දායකත්වයක්‌ ලබා දෙමින් කුඩා තේ වතු අංශය තේ කර්මාන්තයේ ප්‍රධාන කොටස්‌කරුවා බවට පත්ව තිබේ.

ආර්ථික සංගණනයේදී අක්‌කර 20ට අඩු, පර්චස්‌ 40ට වැඩි තේ වගාවන් කුඩා තේ වතු ලෙස හඳුනාගෙන ඇත. 2014 වර්ෂයේ පැවැති ආර්ථික සංගණනය අනුව මෙරට කුඩා තේ වතු හිමියන් විසින් වගාකොට ඇති තේ බිම් ප්‍රමාණය හෙක්‌ටයාර් 121,764කි. කුඩා තේ වතු හිමියන් ලක්‌ෂ පහකට වඩා වැඩි සංඛ්‍යාවක්‌ තේ කර්මාන්තයේ නිරතව සිටිති. රත්නපුර, ගාල්ල, කළුතර, මාතර යන දිස්‌ත්‍රික්‌කවල මින් වැඩිම පිරිසක්‌ කුඩා තේ වතු අංශයේ නිරතව සිටිති.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛනවලට අනුව රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ සිටින කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව 92000කි. මාතර දිස්‌ත්‍රික්‌කයේ එම සංඛ්‍යාව 64759කි. ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ කුඩා තේ වතු හිමියන් 81691 දෙනකු තේ කර්මාන්තයේ නිරතව සිටිති. කළුතර දිස්‌ත්‍රික්‌කයේ සිටින කුඩා තේ වතු හිමියන්ගේ සංඛ්‍යාව 35708කි.

පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් දැඩි බලපෑමක්‌ එල්ල වූයේ ඉහත සඳහන් දිස්‌ත්‍රික්‌කවලටය. ගංවතුර හා නායයැම් නිසා කුඩා තේ වතු අංශයට වූ හානිය සුළුපටු නොවේ. ඒ විතරක්‌ නොව මින් අපේ රටේ තේ ආර්ථිකයට සෘජුව හා වක්‍රව එල්ල කරනු ලබන බලපෑම ද අතිමහත්ය. එහෙත් මෙකී ආපදාවේදී ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර යන දිස්‌ත්‍රික්‌කවල කුඩා තේ වතු හිමියන්ට වූ බලපෑම පිළිබඳ බලධාරීන්ගේ ඒ හැටි අවධානයක්‌ යොමු වී නැත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල, මාතර යන දිස්‌ත්‍රික්‌කවල පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්‌විම්වලදීවත් කුඩා තේ වතු හිමියන් ගැන සාකච්ඡාවට ලක්‌වූයේ නැත. ඒ කොයිහැටි වුවද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට ගංවතුරෙන් හා නායයැම්වලින් හානියට පත් තේ වගාවන් ගැන මේ දිනවල තොරතුරු රැස්‌කරමින් සිටිති.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විඡේරත්න දේවගෙදර මහතා පවසන ආකාරයට දැනට එක්‌රැස්‌කොට ඇති තොරතුරුවලට අනුව කුඩා තේ වතු වගාබිම් අක්‌කර දස දහසක්‌ පමණ විනාශ වී තිබේ. එහෙත් මාතර, නෙළුව, තවලම යන ප්‍රදේශවල තේ වගා හානි පිළිබඳ තොරතුරු ලැබෙන විට හානි වී ඇති තේ වගාබිම් සංඛ්‍යාව අක්‌කර විසිදහස ඉක්‌මවිය හැකි බව ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේය. මෙකී ආපදා තත්ත්වය නිසා කුඩා තේ වතු හිමියන්ගේ නිවාස 5000කට පමණ හානිවී තිබේ.

කොටින්ම කිවහොත් ආපදාවට ලක්‌ වූ ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබේ. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ද ඇහිරී තිබේ. ගංවතුරෙන් යටවීම නිසා ඇතැම් තේ වගාබිම්වල විශාල මඩ තට්‌ටු තැන්පත් වී තිබේ. මෙකී වගාබිම්වල නැවත දලු කැඩීම සදහා මාස කිහිපයක්‌ පමණ ගත වේ. තවත් තේ වතු සම්පුර්ණයෙන්ම පාහේ විනාශ වී තිබේ. එම වගාබිම්වල නැවත තේ වගාව ආරම්භ කළ යුතුය. නැවත පැළ සිටුවා දලු කඩන මට්‌ටමට තේ වගාව පත්කිරීම සඳහා තවත් කාලයක්‌ ගතවේ. මේ අනුව ඉදිරියේදී අපේ රටේ තේ නිෂ්පාදනයට වන බලපෑම අතිවිශාලය. මක්‌නිසාදයත් අපේ රටේ තේ නිෂ්පාදනයෙන් සියයට 75ක පමණ දායකත්වයක්‌ ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන් නිසාය. ආපදාවට ලක්‌ව ඇත්තේද වැඩිම කුඩා තේ වතු හිමියන් පිරිසක්‌ සිටින දිස්‌ත්‍රික්‌කයන්ය.

මෙකී ආපදා තත්ත්වයේ බලපෑම කුඩා තේ වතු අංශයට දැඩි ලෙස බලපාන බැවින් තේ දලු සැපයුම නිසැකවම අඩු වේ. මේ නිසා කුඩා තේ වතු හිමියන්ගේ ආර්ථිකයට වන බලපෑම ද සුළුපටු නොවේ. මහබැංකු වාර්තාවට අනුව 2016 වර්ෂයේදී ද අපේ රටේ තේ නිෂ්පාදනය සැලකිය යුතු ලෙස පහළ ගියේය. 2016 වර්ෂයේදී සමස්‌ත තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 292.6ක්‌ දක්‌වා සියයට 11.0කින් පහත වැටුණේය. 2016 වර්ෂයේදී සමස්‌ත තේ නිෂ්පාදනය සඳහා සියයට 63.0ක දායකත්වයක්‌ ලබා දුන් පහතරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 183.6ක්‌ දක්‌වා සියයට 9.3කින් පහළ වැටුණි.

2016 වර්ෂයේදී තේ නිෂ්පාදනය මෙසේ පහත වැටීම සඳහා බලපෑවේ කාලගුණික රටාවේ ඇති වූ වෙනස්‌කම්ය. 2016 වර්ෂයේ මැද භාගයේ ඇති වූ අධික වර්ෂාපතනය හා තුන්වැනි කාර්තුවේදී ඇති වු දැඩි නියං තත්ත්වය තේ නිෂ්පාදනයට බලපානු ලැබූ සැපයුම් අංශයේ සාධක විය. එම නිසා මෙම වර්ෂයේ අපේ රටේ තේ නිෂ්පාදනයට මෙකී අයහපත් කාලගුණික තත්ත්වය දැඩි බලපෑමක්‌ එල්ල කරන බව ඉතා පැහැදිලිය. ඒ විතරක්‌ නොව තේ කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව යෑපෙන පවුල් ගණන ද අති විශාලය.

අපි පසුගියදා ගංවතුර ආපදාවෙන් කුඩා තේ වතු හිමියන්ට වී ඇති වින්නැහිය පිළිබඳ සොයා බැලුවෙමු. බද්දේගම ගනේගමදී හමු වූ කුඩා තේ වතු හිමියකු වන කේ.ඒ අනුර (54) අපට කීවේ මෙවැනි කථාවකි.

තේ අක්‌කරයක්‌ පමණ වගා කරලා තියෙනවා. දළු කඩන තේ වගාවක්‌ තමයි තිබුණේ. ගංවතුරෙන් පස්‌සේ තේ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා. දලු කඩන්න බැහැ කාලයක්‌ යනකම්. පොඩි පැළ නැවත සිටුවන්න වෙනවා. බද්දේගම ගනේගම ප්‍රදේශයේ තේ වගාවට ගංවතුරෙන් දැඩි බලපෑමක්‌ එල්ලවී තියෙනවා. අපි ජීවත්වුණේ තේ වගාවෙන් ලැබෙන ආදායමෙන්. රජය මැදිහත් වෙලා කුඩා තේ වතු හිමියන්ගේ ජීවන තත්ත්වය යළි නඟාසිටුවීම සදහා යම්කිසි වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතු වෙනවායි අනුර අප සමඟ කීවේය.

ගිං, නිල්වලා, කළු යන ගංගා ආශ්‍රිතව මෙන්ම කඳුකර ප්‍රදේශවල දක්‌නට ලැබුණේ සාරවත් තේ වතුය. ගංවතුරෙන් පසු එම තේ වගාබිම් විනාශ වී ඇති අයුරු දැකගත හැකිය.

මාපලගම මධ්‍යම ප්‍රදේශයේ පදිංචි කුඩා තේ වතු හිමියකු වන පියරත්න බණ්‌ඩාරවික්‍රම අප සමඟ මේසේ කීවේය.

තේ වගාව ගන්න දෙයක්‌ නැහැ. තේ ගස්‌වල මඩ බැඳිලා. නැවත දලු කඩන්න මාස තුනක්‌ විතර යාවි. තේ වගාව තමයි අපේ ප්‍රධාන ජීවන මාර්ගය. මේ සඳහා රජය මගින් යම් සහනාධාරයක්‌ කුඩා තේ වතු හිමියන්ට ලබා දිය යුතුවෙනවා. අප විරෝධතා කරන්න යන්නේ නැහැ. රැකියා ඉල්ලන්නේ නැහැ. අපෙන් රටට බරක්‌ නැහැ. ඒ නිසා කුඩා තේ වතු හිමියන් ගැන රජයේ අවධානය යොමුවිය යුතු වෙනවා.

හිනිදුම එප්පල පදිංචි පද්මා වෙත්තසිංහ දරුවන් හතර දෙනකුගේ මවකි. ඇය සිය දරුපවුල නඩත්තු කරන්නේ තේ වගාවෙන් ලැබෙන ආදායමෙනි.

තේ අක්‌කර දෙකක්‌ තියෙනවා. ගංවතුරට යටවීම නිසා තේ අක්‌කර දෙකම විනාශ වුණා. තේ ගස්‌ මැරිලා. තියෙන තේ ගස්‌වලත් තේ දලු ලියලන්න කාලයක්‌ යනවා. අපේ ආදායම් මාර්ගය නැති වෙලා. තේ වගාව විතරක්‌ නෙවෙයි. අපේ ගෙදර තියෙන බඩු භාණ්‌ඩ ඇතුළු සියලු දේපළ විනාශ වුණා. ඇත්තටම අපි ගොඩක්‌ අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ පද්මා වෙත්තසිංහ මහත්මිය කීවාය.

කුඩා තේ වතු හිමියන්ට පමණක්‌ නොව මෙකී ගංවතුරෙන් තේ කම්හල්වලටද දැඩි හානියක්‌ වි තිබේ. තේ කම්හල් රැසක්‌ ජලයෙන් යට විය. ඇතැම් තේ කම්හල්වල තිබූ දහස්‌ ගණනක්‌ වූ තේ කුඩු තොග හා අමු තේ දලු විශාල ප්‍රමාණයක්‌ හානියට පත්විය. ඒ විතරක්‌ නොව තේ කම්හල්වල මැෂින් හා උපකරණ ජලයෙන් යටවීම නිසා වූ පාඩුව මිලියන ගණනකි. තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති අනිල් අල්විස්‌ මහතා සඳහන් කළ ආකාරයට රත්නපුර, ගාල්ල, මාතර, කළුතර යන දිස්‌ත්‍රික්‌කවල පිහිටි තේ කම්හල් 17 ක්‌ පමණ ගංවතුරට යටවීම නිසා හානි වී තිබේ. තේ කම්හල්වලට වී ඇති අලාභය තවම ගණන් බලා නැති බව ද ඔහු පවසන්නේය.

තේ කම්හල් හිමියකු මෙන්ම වෛද්‍යවරයකු වන පතිරගොඩගම මහතා අපට කීවේ මෙවැනි කථාවකි.

2003 ගංවතුරේදීත් මේ කම්හල යටවුණා. නමුත් එදා මෙදා වගේ ජලයෙන් යටවුණේ නැහැ. මෙවර අඩි 05ක්‌ විතර තේ කම්හල ජලයෙන් යටවී තිබුණා. ඒ අවස්‌ථාවේ අපනයනය කිරීම සඳහා තේ කිලෝ 23000ක්‌ විතර තේ කම්හලේ තිබුණා. ලොකුම ප්‍රශ්නය තමයි එතරම් තේ තොගයක්‌ රක්‌ෂණය කරලා තිබුණේ නැහැ. අවුරුද්දෙන් පස්‌සේ තේ කොළ තොගයක්‌ ගොඩ ගැහිලා තිබුණා. අවුරුද්දෙන් පස්‌සේ ඕනෑම කම්හලක තේ දලු ප්‍රමාණය වැඩි වෙනවා. තේ කුඩු තොගයේ වටිනාකම ලක්‌ෂ 130ක්‌ විතර වෙනවා. ගංවතුරට යටවූ මැෂින් අලුත්වැඩියා කරන්න ඕන. ඒ සඳහා විශාල වියදමක්‌ යනවා.

ගංවතුරක්‌ එන බව අපි කලින් දැනුවත් කළේ නැහැ. සංනිවේදනය වූ ගැටලු නිසා තමයි ඒ තත්ත්වය උදාවුණේ. නමුත් ආපදා කළමනාකරණ ඒකයෙන් ඒක කළේ නැහැ. එහෙම වුණා නම් අපට තේ කම්හලට වූ හානිය අවම කරගන්න තිබුණා. ජ.වි.පෙ සහන සේවා බළකායෙන් ඇවිත් තේ කම්හල පිරිසිදු කරලා දුන්නා යෑයි ද වෛද්‍ය පතිරගොඩගම මහතා කීවේය.

තවලම ප්‍රදේශයේ තේ කම්හල් හිමියකු වන සුසිල් නිශාන්ත හපුතන්ත්‍රි මහතාගේ තේ කම්හලට වී ඇති පාඩුව ද අති මහත්ය.

තේ කම්හලේ කොටසක්‌ ජලයෙන් යටවුණා. මැෂින් ජලයෙන් යටවුණා. තේ කොළ කුඩු කිලෝග්‍රැම් 15000ක්‌ විතර තිබුණා. අමු තේ දලු කිලෝ 6000ක්‌ විතර තිබුණා. ඒ සියල්ල විනාශ වුණා. ගංවතුර නිසා අපේ තේ කම්හලට වූ පාඩුව රුපියල් කෝටියකට වැඩි බව නිශාන්ත කීවේය.

ගාල්ල මාපලගම සිල්වරි තේ කම්හලේ හිමිකරු යසිත් ළහිරු (32) මහතාට අයත් තේ කම්හල ජලරකුසාට බිළි විය.

ගංවතුරට තේ කම්හල යටවුණා. මැෂින් ඇතුළු උපකරණත් යටවුණා. අඩි හතක්‌ විතර තමයි ජලයෙන් යටවුණේ. මට පේන විදියට ලක්‌ෂ 100ක විතර අලාභයක්‌ වෙලා තියෙනවා. නිෂ්ෂාදනය කොට තිබූ තේ කුඩු තොගයක්‌ද යටවුණා. මැෂින් යළි යථා තත්ත්aවයට පත්කරන්නත් විශාල වියදමක්‌ යනවා. ඒ නිසා රජය මැදිහත් වී අපි ගැන සොයා බැලිය යුතු වෙනවා යෑයි ළහිරු කියන්නේය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විඡේරත්න දෙවගෙදර මහතාගෙන්ද මේ ගැන අප විමසීමක්‌ කළෙමු.

අපේ රටේ තේ නිෂ්පාදනයෙන් සියයට 75ක පමණ දායකත්වයක්‌ ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන්. ගාල්ල, මාතර, රත්නපුර යන දිස්‌ත්‍රික්‌කවල තමයි වැඩිම කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාවක්‌ ඉන්නේ. එම දිස්‌ත්‍රික්‌කවලට තමයි ගංවතුරෙන් වැඩිම ආපදාවක්‌ වුණේ. දැනටත් අපි තේ වගා හානි පිළිබඳ තොරතුරු රැස්‌කරමින් සිටිනවා. නිලධාරීන්ට තවමත් ක්‍ෂේත්‍රයට යන්න බැහැ. නෙළුව, තවලම, අකුරුස්‌ස, දෙනියාය වැනි ප්‍රදේශවල තේ වගා බිම් විශාල සංඛ්‍යාවක්‌ හානියට පත්වෙලා තියෙනවා. අඩුම තරමින් තේ වගා බිම් අක්‌කර විසිදහසක්‌ විතර විනාශවෙලා ඇති.

වගා හිමියන්ට සහන ලබාදීම සඳහා කෙටිකාලීන මධ්‍ය කාලීන දිගු කාලීන සැලසුමක්‌ හදනවා. නවින් දිසානායක ඇමැතිවරයා විසින් හානියට පත් කුඩා තේ වතු පිළිබඳ කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කොට කුඩා තේ වතු හිමියන්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවට අපට පොරොන්දුවෙලා තියෙනවා. ඇත්තටම වසර ගණනාවක්‌ තිස්‌සේ කුඩා තේ වතු හිමියන් විසින් හදා ගත්තු තේ ආර්ථිකය තමයි කඩා වැටිලා තියෙන්නේ. මෙය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක්‌ එල්ල කරනවා.විශාල පිරිසක්‌ තේ කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරතව සිටිනවා. විනාශයට පත් තේ වගාබිම්වල දලු කඩන්න කාලයක්‌ යනවා. සම්පූර්ණයෙන් හානියට පත් තේ වගාබිම් සඳහා තේ පැළ පොහොර ලබා දිය යුතු වෙනවා. මේ නිසා තේ දලු සැපයුම අඩුවෙනවා. තේ නිෂ්ෂාදනය අඩුවීමටත් මෙය බලපානවා. මෙම ආපදාව තේ කර්මාන්තයේ හැරවුම් ලCෂ්‍යයක්‌ බවට පත්වී ඇති බව ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීවේය..



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »