වස විස නැති රන් අස්වැන්නක් රටට දෙන්න දහදිය හලන පියා සහ පුතා

2017-06-28 11:38:00       587
feature-top
රටේ අනාගත පරපුරට වස විස නැති පාරම්පරික සහල් මෙන්ම එළවළු අස්වැන්නක් ලබා දෙන්නට පිය, පුතු පවුලක් කරන සටනක් අපට දකින්නට ලැබුණේ පනාගොඩ යුද හමුදා කඳවුරේ වෙල්යායේදීය.

තම දරුවන් තිදෙනා වෙනුවෙන් වස විස නැති පාරම්පරික වී ගොවිතැනට පිවිසුණු එම්. ඩී. පියසේන ගොවි මහතා මේ වන විට දරුවන් සමග මහ ‍පොළවත් සමග හැප්පෙන්නේ රටේම දරුවන්ට වස විස නැති ආහාර වේලක් ලබා දෙන්නටය.

හෝමාගම පනාගොඩ කපුරුගොඩ පාරේ පදිංචි පියසේන මහතා ගමේ කවුරුත් දන්නේ නිමල් නමින්ය. ඔහු දැන් ගමටත් වැඩිය කොළඹ හතේ ප්‍රසිද්ධ වී ඇත්තේ වස විස නැති දේශීය සහල් හා එළවළු ගොවියකු ලෙසය. කොළඹ සම්බෝධි විහාරයේ පැවැත්වෙන වස විස නැති ‍පොළට පැමිණෙන කාගේත් නම දිනාගත් ඔහු සොයාගෙන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු විවිධ තරාතිරම්වල අය පනාගොඩ නිවසට පැමිණෙන්නේ වස විස නැති දේශීය සහල් හා දරුවන් ඇතුළු සියලුම දෙනා වෙනුවෙන් සැකසුනු කැඳ පැකට් මිලදී ගන්නටය.

දේශීය වී වගාව නගා සිටුවීමේ අරමුණින් දේශීය ගොවීන් දෙසීය දෙනකු පමණ එක්කරගෙන ඇරඹූ පාරම්පරික බිජ හා ගොවි උරුමයන් සුරැකීමේ ව්‍යාපාරය ආරම්භ වන්නේද එම්. ඩී. පියසේන මහතාගේ නිවස කේන්ද්‍ර කරගෙනය.

ස්වභාවධර්මයත් සමග ඉර, හඳ මුල්කරගෙන වගාවන් කරගෙන යන පියසේන මහතා සොයාගෙන මේ වන විට නන් දෙසින් පැමිණෙන්නේ ඔහුගේ වස විස නොමැති සහල් ගැන ඇති විශ්වාසය මත බව ඔහුගේ තොරතුරු සොයා බැලීමේදී අපටද පසක් විය.

ඇත්තටම මම ගොවිතැන රැකියාවක් කරගත්තේ නැහැ. රැකියාව කරන ගමන් ගොවිතැන කරගෙන කෑවා. මම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බරවාහන යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස මහවැලි ව්‍යාපෘතිවල කොළඹ ඩ්‍රයි ඩොක් ජපන් ව්‍යාපෘතිය ඇතුළු තැන්වල සේවය කළා. ඉන්පසුව දෝහා කටාර්, මාලදිවයින්වල සේවය කරලා ලංකාවේ මිතුරකුගේ ආයතනයක මිකැනිකල් ෆෝමන් ලෙස කටයුතු කරද්දී අම්මාට අංශභාගය හැදුණා. අපි එතකොට වැඩකළේ ත්‍රිකුණාම‍ලේ පී්‍රමා එකේ ‍ප්‍රොජෙක්ට් එකක. ගෙදර ඇවිත් ගල්කොරියක් කරන ගමන් මගේ ගේ ළඟ කුඹුරු අක්කරයක් වගා කළා.

2003 දී හෝමාගම ගොවිජන සේවා එකේ පාන්දර 5.00 ඉඳන් රසායනික ‍පොහොර ගන්න ගොවියෝ එක්ක ‍පෝලිමේ හිටියා. ‍පෝලිමේ සියයක් විතර උන්නා එතැනදී හෝමාගම ප්‍රගති මාවතේ කාබනික වගාවෙන් දේශීය වී වගාකරන ගුරුසිංහ කියලා මහත්තයෙක් ගැන දැනගෙන ‍පෝලිම අතැරලා එතැනට ගියා. යද්දී ඒ මහත්තයා ගාල්ලේ හිටියේ. එතැනින් නම්බර් එක අරන් ගුරුසිංහ මහත්තයාට කතා කරලා මමත් දේශීය ගොවිතැනට එක්වෙන්න කැමතියි කියලා බිත්තර වී ඉල්ලුවා. ඒ මහත්තයා එක්ක දිගින් දිගටම කෝල් අරන් වී වගාවට උදව් ගන්න උපදෙස් ගත්තා. නමුත් මට බිත්තර වී ගන්න ඒ මහත්තයා කොළඹ එන්න ප්‍රමාද වුණා. බැරිම තැන මම ආයෙත් කතා කරලා මහත්තයා මම මෙච්චර කතා කළේ පාරම්පරික වී ගන්න ඕන නිසා.

අනෙක් කුඹුරුවල අය හෙට වී ඉහිනවා. මම ‍පොහොර ගත්තෙත් නැහැ. වී ගත්තෙත් නැහැ කියද්දී පසුදින උදේ 6.30ට කුඹුරටම වීත් අරන් එන බවට ගුරසිංහ මහත්තයා ‍පොරොන්දු වුණ.

මහ කන්නයට පාරම්පරික වී දෙන්නට පියසේනට වූ ‍පොරොන්දුව ඉටුකරමින් උදෑසනම රත් සුවඳැල්, බිත්තර වී කිලෝ විස්සක් සමග ගුරුසිංහ මහතා පැමිණි ගමන පියසේනගේ ගමන් මගේ වෙනසක් ඇති කරන්නට සමත් වූයේය.  එදා ඒ වී ටික දුන්නේ නැතිනම් මම තාමත් වස විස ගහන වී ගොවිතැන් කරන ගොවියෙක්. මගේ දරුවන් තුන්දෙනා නිරෝගීව හදා ගන්නවා කියලා හිතුව නිසා මම වසවිස නැති පාරම්පරික වී ගොවිතැන් කරන්න පෙලඹුණා. පළවැනි අස්වැන්නෙන් හෝමාගම ගොවිජන සේවා එකේ තිබුණු  මියගිය ගොවියන් සිහිකිරීමේ පින්කමට ආපු හැමෝටම කන්න දුන්නා. බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා පවා එදා රසකරකර මගේ පළමු අස්වැන්න අගය කළා.

එතැනින් ඇරඹි පියසේනගේ කාබනික ගොවිතැන මේ වන විට පාරම්පරික දේශීය වී වර්ග විසිදෙකක් වගාකරන ගොවියකු දක්වා ඉදිරියට එන්නට හැකිව තිබෙන්නේය. අපේ පාරම්පරික වගාවේ ඇති දේශීය වී වර්ග 1728න් වී වර්ග විසි දෙකක් රටෙන් කොටසකට හෝ බෙදා දෙන්නට අද පියසේනට හැකියාව ලැබි ඇත්තේය.

තමාගේ අක්කරයක කුඹුරෙන් ඇරඹි ගොවිතැන තවත් අඳේට ගත් යාබද කුඹුරු අක්කර පහකුත් සමග ඉදිරියට ගෙන ආවද පියසේනට හිතට සතුටක් නොවූයේ තමා කාබනික ‍පොහොර යෙදුවද අවට කුඹුරුවල ගොවීන් රසායනික ‍පොහොර යොදා ආර්ථික වාසි පසුපස යාම නිසාය. ඒවාට යොදන වස විස යම් ප්‍රමාණයක් හෝ තම කුඹුරට එන බවට ඔහුට විශ්වාසයක් තිබුණේය.

මේ අතරේ හෝමාගම කෘෂිකර්ම උපදේශකයා හමුදාවේ නිලධාරියකු සමග පැමිණ පියසේන මහතාව හමුවන්නේ හැකිනම් පනාගොඩ කඳවුරේ හබරකඩ නගරය අසල ඇති කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් කුඹුරු යායේ කාබනික වගාවක් අරඹන ලෙසය.

අවට වෙනත් කුඹුරු යායවල්වලින් වෙන්ව ඇති හමුදාවේ කුඹුරු අක්කර හත බදු අරගෙන සියයට සියයක් කාබනික වගාවක් සහිත ආදර්ශ ගොවිපළක් ලෙස පවත්වාගෙන යාමට මග පෑදෙන්නේ මේ අනුවය. වසරකට අක්කරයකට රුපියල් දසදහස බැගින් බද්දට ගත්තේ මේ අනුවය. කුඹුරුවල වගා කළ හමුදා සෙබළුන් දෙදෙනකු මී උණ වැලඳීම නිසා මියයාමත් සමග වසර හයක්ම පුරන් වී තිබුණු කුඹුරු යායට පියසේන තම පුතුන් සමග අතගසන්නේ මීට කන්න තුනකට පෙරාතුවය.

මමයි, පුතායි කුඹුරට බැස්සේ බෙහෙත් පෙත්තක්වත් බිල ‍නෙවෙයි. මොකද මී උණ හැදෙන්නේ ග්ලයිෆෝසේට් රසායනිකය මී මූත්‍රා සමග කලවම් වී තුවාලයකට ඇතුල්වුණාමයි. අවුරුදු හයකින් රසායනික බෙහෙත් ගහලා නැති නිස අපි බය නැතිව කුඹුරට බැහැලා වගාව පටන් ගත්තා.

මොකද මට මතකයි අපේ පැත්තේ මහ කන්නයට හොඳට පායද්දී උදලු ගෙනිහිල්ලා කුඹුරුවල නියරවල් බිඳලා මීයන්ගේ ගුල්වල එකතු කරපු වී ලාහ එකහමාර ගමේ වැඩිහිටියෝ එකතු කරගෙන ගිහින් කනවානේ. වී මීයෝ කටින් ගෙනියන්නේ. එහෙනම් ඒවා කාපු අය ඔක්කොම මැරෙන්න ඕනනේ.

අපි හමුදාවේ කුඹුරේ මේ වගාකරන්නේ තුන්වැනි කන්නයයි. මේ පාර කැලෑවට ගිය අක්කර එකහමාරක් අස්වද්දන්න මට රුපියල් එක්ලක්ෂ දහනව දහසක් ගිහිල්ලා තිබුණා. ට්‍රැක්ටරේ පස් පාරක් දැම්මා. තණකොළ කප්පලා ගිනි තිබ්බා. මේක රසායනික බෙහෙත් ගැහුවා නම් රුපියල් පන්දාහකින් විතර ඉවර කන්න තිබුණා.

මට ඕන වුණෙ මෙතැනින් අපේ අනාගත පරම්පරාවට වස විස නැති හාල් වගේම එළවළු ලබා දෙන්නයි. මෙතැනින් උදේ සවස යන එන අයට අපි කරන දේ පේනවා. රසායනික බෙහෙත් ගහලා දෙමුහුන් වී වගා කරලා ගන්න පලදාවෙන් භාගයක්වත් කාබනික වගාවෙන් ගන්න බැරි වුණත් අපට ඕනෑ වුණෙ අනාගත පරපුර රැකගන්නයි. අපි ගෙරිකටු ‍පොහොර, දියර ‍පොහොර (ගව මූත්‍රා, මිශ්‍රවූ) ශාකසාර යොදාගෙන තමයි ‍පොහොර යොදන්නේ.

කොහොඹ ඇට, ලාඩප්පා කොළ ඇතුළු කෘමි උවදුරට ලක් නොවන කොළ වර්ග හත අටක් කොටා පල්වන්නට දමා පත්‍රවලට යොදන්නෙත් කෘමින් පලවා හරින්නටය. එමෙන්ම කුඹුර ඉස්මත්තේ ලඳු කැලෑවක් පවත්වාගෙන යන්නේ වගාවට අහිතකර කෘමින් පස්වර්ගයකට වඩා වගාවට හිතකර කෘමින් පහළොවක් පමණ එහි සිටින නිසායි. ස්වභාවික ගොවිතැන මගින් කෘමි උවදුරු පාලනය කිරීමට මොවුන් මූලිකත්වය දෙන්නේය.
කාබනික වගාවට මගපෙන්වාදුන් ගුරුසිංහ මහතා
කාබනික වගාවට මගපෙන්වාදුන් ගුරුසිංහ මහතා

පියසේනගේ වගාවට අත්හදා බලන්නට සකස් කළ විශේෂ දියර ‍පොහොර වර්ගය කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම සතියේ ගොවීන්ට හඳුන්වාදීමට ද නියමිතය.

පනාගොඩ කඳවුරේ කුඹුරු යාය මත මසුරං, බට‍පොලැල්, රත්සුවඳැල්, රන්රුවන්, ගොඩහීනැටි, සුවඳැල්, ඇතුළු වී වර්ග හතක් පියසේන මහතා වගාකර ඇත. පියසේන මහතා දැන් හමුදා නිලධාරීන් සමග සාකච්ඡා කරන්නට යන්නේ කඳවුරට මායින්ව ඇති මෙම කුඹුරුයාය ඉදිරිපිට තමාගේ සහල් අලෙවිහලක් පටන් ගැනීමට හා පාරිභෝගිකයාට අවශ්‍ය නම් කුඹුරටම ගොස් තමන්ට අවශ්‍ය එළවළු නෙළා ගැනීමට අවකාශ සැලසීමටය. රටට ආදර්ශවත් මෙවන් ගොවීන් රටත් ජනතාවත් වසවිසෙන් බේරාගෙන නිරෝගි සම්පන්න පරපුරක් තනන්නට දරන මේ වෑයමට සියලු දෙනා සහාය දිය යුතුය. මේ අනාගත පරපුර වෙනුවෙන්ය.

මඩ සෝදා ගත් කල ගොවියා රජකමටක් සුදුසුය යන්න පැරැන්නන් කීවේ අවාට ගියා නම් නොවන බව පැහැදිලි වන්නේය. පියසේනගේ වෑයම රජකම් කරන්නට නොව රටට නිරෝගී පරපුරක් බිහිකර මතු භවයටත් ඒ පින රැස්කර ගන්නටය.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »