ඇඟ පත පණ නැතිව ගිය
අවුරුදු දෙකේ සිඟිත්තිය පින්බිමේදී සුවය ලබයි

2017-06-27 10:00:00       584
feature-top
කැස්‌සෙන් පටන් ගත් රෝගය දරුවාගේ ඇඟම අප්‍රාණික කරයි..
මාස ගාණක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ගත්තා ඒත් හොඳ වුණේ නෑ...
අපේ හාමුදුරුවෝ කතා කරපු පළමු වචන ටිකෙන්ම මගේ හිතේ පීඩනය නැතිව ගියා ...

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකුගඩු වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත්පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දහතුන්වැනි කොටසය.

අප ජීවත් වෙමින් සිටින්නේ දස මස කුසේ දරාගෙන මෙලොවට බිහි කරන කිරි කැටි දරුවන් කුණු බක්‌කිවල දමා යන මවුවරු සිටින සමාජයකය. දරුවන් තුරුලු කරගෙන ගඟේ, මුහුදේ පනිsන දෙමවුපියන් සිටින රටකය. තම ලෙයින් වැදූ බිළිඳුන් මුදලට විකුණන තිරිසනුන් අතරය. පිළියම් කළ නොහැකි තරමට සමාජය ජරාජීර්ණ වී හමාරය. එවැනි විෂ ඝෝර සමාජයක වුවද බෝසත් ගුණැති දෙමවුපියෝ සිටිති. දැන් අප අසල සිටින නිලූෂිකා සහ ප්‍රසන්න ද එවැනි උතුම් මවුපිය යුවළකි. ඔවුන් දෙපළගේ කුළුඳුල් සිඟිත්තිය බරපතළ රෝගයකින් පීඩා විඳිමින් සිටියදී සුවපත් කරගැනීමට නොගත් උත්සාහයක්‌ නැත. රැයක්‌ දවාලක්‌ නොමැතිව රෝහල්වල වැටී සිටීයහ. යන්ත්‍ර මන්ත්‍ර, පුද පූජා පැවැත්වූහ. තම සිඟිත්තිය සුවපත් කරගැනීම හැර ඔවුන්ට වෙනත් බලාපොරොත්තුවක්‌ නොවිණි.

'අපේ දරුවට මොකද වෙලා තියෙන්නෙ...' වෛද්‍යවරු ඉදිරියේ නිලූෂිකා දණින් වැටිණි. එහෙත් ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුන්නද්දූලි කරමින් වෛද්‍යවරු පවසා සිටියේ සිඟිත්තිය පසුවන්නේ විශාල ජීවිත අවදානමක බවය.

'නෑ... මගේ දරුවට එහෙම වෙන්නෙ නෑ... මට දරුව සනීප කරගන්න ඕනා...' නිලූෂිකා රෝහල් වාට්‌ටු දෙවනත් වෙන්නට විලාප දුන්නාය. ඒ විලාපයට ප්‍රසන්නගේ ඇස්‌වලට කඳුළු නොපිරුණාම නෙමෙයි. එහෙත් ඔහු නිලූෂිකාව සනසමින් පුංචි ඕෂදීව සුවපත් කරගැනීම වෙර වීර්ය ගත්තේය.

එන්. එච්. නිලූෂිකාට වයස අවුරුදු 36 කි. ඇයගේ සැමියා ඩබ්ලිව්. ජී. ප්‍රසන්නය. අසනීප තත්ත්වයෙන් පසු වන්නේ ඔවුන්ගේ එකම දරුවා ඕෂදී සහංසාය. ඇයට වයස අවුරුදු 02 යි, මාස 4 කි. තුරුලු කරගෙන සිටි පුංචි ඕෂදීගේ හිස පිරිමැදි නිලූෂිකා දිගු හුස්‌මක්‌ පිට කර නැවත කතාව මුල සිට අග දක්‌වා පිළිවෙළකට ගොනු කරන්නට වූවාය.

''අපේ ගම වීරකැටිය. මහත්තයා රස්‌සාවට කරන්නෙ වඩු වැඩ. මට ස්‌ථිර රැකියාවක්‌ නෑ. දුප්පත්කම උපතින් උරුම වුණත් මමයි, ප්‍රසන්නයි හරිම සතුටින් ජීවත් වුණා. දරුවකුට ආශාවෙන් ඉන්නකොට තමයි මේ වස්‌තුව අපිට ලැබුණේ...'' නිලූෂිකා කියන දේවල් ඕෂදීට නොතේරේ. එහෙත් ඇය දත් විළිස්‌සමින් මවගේ දෑත මත නලියන්නීය.

''දුව ඉපදුණ දවසේ ඉඳලා වෙනසක්‌ තිබුණේ නෑ. නියම කාලයේදී පෙරළුණා, බඩගෑවා, ඇවිදින්න පටන් ගත්තා. බ තෝරන්න පටන් ගත්තා. දුව වැටි, වැටි ඇවිදිනවා දැකලා අපි පුදුම විදිහට සතුටු වුණා. කැඩිච්ච වචනයෙන් අම්මා කියලා කතා කරනකොට සියලු ප්‍රශ්න අමතක වුණා. එහෙම ඉන්නකොට තමයි දුවට එකපාරටම වියළි කැස්‌සක්‌ ආවේ. එතකොට දුවට වයස අවුරුද්දයි මාස 4 යි...''

''අපි දුවව පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්වලා ප්‍රතිකාර ගත්තා. සුළු වශයෙන් කැස්‌ස අඩු වුණත් සම්පූර්ණ සුවයක්‌ ලැබුණේ නෑ. දුවගේ බරත් අඩු වුණා. කැස්‌ස හොඳ වෙන්නෙ නැති වුණහම අපිටම බය හිතුණා. නැවත පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකුට පෙන්නලා විශේෂ පරීක්‍ෂණයක්‌ කරලා බැලුවා.

'දරුවගේ බර ටිකක්‌ අඩුයි. නිවැරැදිව වෛද්‍ය සායනවලට ඇවිත් දරුව පෙන්වන්න...' කියලා ඒ වෛද්‍යවරයා කැස්‌සට බෙහෙත් දුන්නා. අපි ගෙදර ඇවිත් එදා රෑම බෙහෙත් දෙන්න පටන් ගත්තා. රෑ දුව නිදාගෙන ඉන්නකොට ගැස්‌සිලා විසි වෙන්න පටන් ගත්තා. අපිට කෑගැස්‌සුණා. අහල, පහළ අයත් ආවා. ඒ වේලාවේම මහත්තයා ත්‍රීවීල් එකක්‌ කතා කරගෙන දුවව ඉස්‌පිරිතාලේට ගෙනිච්චා. ඉස්‌පිරිතාලේට එනකොට දුව දරදඬු වෙලා. සිහිකල්පනාව නෑ. ඒත් ඒ වේලාවේ ඉස්‌පිරිතාලේ හිටපු දොස්‌තර නෝනා දරුවගේ ලෙඩේ වැඩි ගානකට ගන්නෙ නැතුව ටිකට්‌ එක ලියන ගමන් තව ඩොක්‌ටර් කෙනෙකුට කතා කළා. පස්‌සේ දරුවගේ අසනීප තත්ත්වය අඩු වෙන්නෙම නැති තැන ඇඹිලිපිටිය රෝහලට මාරු කර යෑව්වා. ඒ ඉස්‌පිරිතාලේදී ස්‌කෑන් එකක්‌ කරලා බලලා වෛද්‍යවරු කිව්වා නෝර්මල් කියලා. ඒත් දුවගේ අසනීප තත්ත්වය කිසිම අඩුවක්‌ නෑ. පස්‌සෙ ඇඹිලිපිටිය රෝහලෙන් කොළඹ ළමා රෝහලට මාරු කර යෑව්වා. ඒ ඉස්‌පිරිතාලයට ගෙනිච්ච ගමන් දැඩිසත්කාර ඒකකයට දැම්මා. දවස්‌ විස්‌සකට වැඩි කාලයක්‌ දුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තා. ඒත් අසනීප තත්ත්වය අඩු වන පාටක්‌ පෙනුණේa නෑ...''

'ඩොක්‌ටර් දරුවට මොකද වෙලා තියෙන්නේ...' කියලා මම වෛද්‍යවරුන්ගෙන් අහනකොට ඒ අය කිව්වේ අපි උත්සාහ කරලා බලමු. දරුව ලොකු අවදානමක ඉන්නෙ කියලා. මාස හයක්‌ විතර එක දිගට ප්‍රතිකාර ගත්තා. ඒ වෙනකොට පොඩි සුවයක්‌ ලැබුණා. දරුවා හිටි හැටියට මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන වෛද්‍යවරුත් සතුටු වුණා. එතකොට දුවට කෑම වතුර දුන්නෙ බට මගින්. තව දවස්‌ කිහිපයකින් බට ගැලෙව්වා. දරුවගේ අතපය සොලවන්න, ඔළුව උස්‌සන්න බැරිව ගියා. මේ තත්ත්වයෙන් දරුවා සනීප කරන්න බෑ. දරුවට තියෙන්නෙ ජාන ප්‍රශ්නයක්‌ කියලා ඉස්‌පිරිතාලෙන් ටිකට්‌ කැපුවා. දරුවා මේ විදිහට ගෙදර ගෙනිහින් මොනව කරන්නද... නිදිමත හැදුණම, රිදීමක්‌ ඇති වුණාම සෑම දරුවෙක්‌ම අඬනවා. ඒත් අපේ දුවට ඒ කිසිවක්‌ දැනුණේ නෑ. දුවව කොහොමහරි සනීප කරගෙනම තමයි ගෙදර යන්නෙ කියලා මමයි, ප්‍රසන්නයි කතා කරගෙන ව්‍යායාම කරන තැන්වලට දරුවා අරගෙන ගියා. එහෙම තැනකට ගිය වේලාවක මේ පන්සලෙන් සනීප වෙච්ච පිළිකා රෝගියෙක්‌ අපිට මේ පන්සලට යන්න කියලා විස්‌තර කිව්වා. ඊට පහුවෙනිදාම අපි දුවත් අරගෙන මේ පන්සලට ආවා. ඒ ආපු වේලාවේ පන්සල් වත්තේ තියෙන කූඩාරම් දැකලා අපි පුදුම වුණා. පන්සල් වත්තට පය ගැසූ වේලාවේ ඉඳලා එතැන ඉන්න මිනිස්‌සු කිව්වේ මෙතැන තියෙන හාස්‌කම්. මේ කියන විදිහට අපේ දුවවත් සනීප කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා අපිත් සතුටු වුණා...''

ප්‍රතිකාර ගන්න ආපු රෝගීන් දිගු පෝළිමක. අපිත් පෝළිමේ ගිහින් දැහැන්ගත වෙලා හිටිය නායක ස්‌වාමීන් වහන්සේට බුලත් කොළ නවය තියලා සිමෙන්ති පොළවේ වාඩි වෙලා දරුවා උකුළෙන් තියාගත්තා. වෛද්‍යවරු අවුරුද්දකට වැඩි කාලයක්‌ පරීක්‍ෂණ කරලා කියපු රොAග ලක්‍ෂණ අපේ හාමුදුරුවො ස්‌කෑන් කළා වගේ විනාඩි ගාණකින් කිව්වා. ඒක නම් පුදුම ශක්‌තියක්‌. අපිට කතා කරන්න වචන නෑ. හාමුදුරුවො දිහා බලාගෙන හිටිය විතරයි. මැරි, මැරි ඉපදුණු මගේ චිත්ත පීඩාව අතුරුදන් වුණා. හිතට මහා අමුතු ශක්‌තියක්‌ ලැබුණා...'' සිද්ධිය විස්‌තර කිරීමට නිලූෂිකාට විසුමක්‌ නැති ගානය. ඇයට වචන ද පැටලෙන්නීය. පුංචි ඕෂදී ඇයගේ දෑතේ නළියති. එය දකින නිලූෂිකාගේ මුව මඬල සතුටින් ඉපිළෙයි.

''නායක ස්‌වාමීන් වහන්සේ පිරිත් පැන් ටිකක්‌ දරුවට දීලා නතර වෙන්න කියලා අපිට කිව්වා. එදාම අපි කූඩාරමක්‌ හදාගෙන නතර වුණා. අදට අපි මාස නවයක්‌ මේ කූඩාරමේ නතර වෙලා දුවට බෙහෙත් කරනවා. පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න දැන් දුව ඔළුව කෙළින් කරලා ඉන්නවා. අත පය හොඳට සොලවනවා. රිදුනම අඬනවා. කනවා බොනවා. සියලු ක්‍රියාකාරකම් කරනවා. දැන් අපිට ලොකු විශ්වාසයක්‌ තියෙනවා මේ පින්බිමේදී දුවට පූර්ණ සුවයක්‌ ලැබෙයි කියලා. එහෙම අධිෂ්ඨානශීලීව ඉන්නකොට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය නිතැතින්ම ලැබෙනවා. මගේ දරුවගේ ජීවිතය නැවත ලබාදුන් සත්පත්තිනි මෑණියන්ටත්, නායක ස්‌වාමීන් වහන්සේටත් බුදු බව අත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නායක හාමුදුරුවන්ට අපි සදා ණයගැතියි...'' නිලූෂිකා කතාව පැහැදිලිව විස්‌තර කළාය.

රෝස මලක්‌ මෙන් ඕෂදී සිනාසෙමින් අප දෙසට දෑත් දිගු කරන්නීය. ජීවිත අවදානමක පසු වී දැන් මවගේ දෑත්හි නළියමින් සිsටින පුංචි සිඟිත්තිය අසලිsන් ඈත්වීමට ද හිත් නොදේ. වාහල්කඩ පින්බිමේදී පින් ඇති මිනිසුන්ට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේ. කෙටි කාලයකින් ලෙඩ දුක්‌ ද සුවපත් වේ.

මරණාසන්නව රෝහල් ඇඳක වැටී සිට පසුව වාහල්කඩ ඉසිවර අරණින් සුවපත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කතාව ඉදිරි සතියකදී ගෙනඒමේ බලාපොරොත්තුවෙන් අපි අදට නතර වන්නෙමු.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසීමේදී පැහැදිලි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරිම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු.

අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩට. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »