නාවින්න වෙල්යායත් ගොඩ කරයි...

2017-06-26 10:34:00       583
feature-top
නිවාස සංකීර්ණ වතුරට යටවීමේ අනතුරක
අවසර දුන්නේ කවුද - ගම්මු ප්‍රශ්න කරති


පහත්බිම් ගොඩකරමින් සිදුකරනු ලබන ඉදිකිරීම් හේතුවෙන් අප නොසිතන පාරිසරික අර්බුද රැසක්‌ නිර්මාණය වී ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ සුළු වර්ෂාවකදී පවා අවට ප්‍රදේශය ජලයෙන් යටවී ජනජීවිතය අඩාල වීම හා ජනයා අපහසුතාවට පත්වීමත් දේපළ හානියත්ය. පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වයටද එය අඩු වැඩි වශයෙන් බලපානු ලැබීය. මෙසේ පහත්බිම් අනවසරයෙන් හෝ අවසරයකින් (නමුත් නිසි ක්‍රමවේදයකින් තොරව) ගොඩකිරීමේ සිද්ධීන් බොහෝ විට වාර්තා වන්නේ ජනාවාසබදව හෝ නගරබදවය. මේ අතරින් කොළඹ නගරය ඇතුළු ලංකාවේ බොහෝ නාගරික ප්‍රදේශවල මෙසේ පහත්බිම් ගොඩකිරීමෙන් ඇතිවන අතුරු ආබාධ ගැන අපට නිරන්තරයෙන් මාධ්‍ය මඟින් අසන්නට - දකින්නට ලැබේ.

මේ පිටුපස සිටින දේශපාලකයන් සහ ඇතැම් විට නිලධාරීන්ගේ මාෆියාව නිසා සංතෝෂම්වලට යට වී සිදුකරන පහත්බිම් ගොඩකිරීම වර්තමානයේ බරපතළ සමාජ ගැටලුවක්‌ බවට පත්ව තිබේ. එවන් සමාජ අසාධාරණයක්‌ සහ පරිසර විනාශයක්‌ මහරගම - නාවින්න ප්‍රදේශයෙන්ද වාර්තා වේ. අතීතයේදී කෙත්වතුවලින් ගහන ප්‍රදේශයක්‌ බවට පත්ව තිබූ හයිලෙවල් මාර්ගයට හා හොරණ මාර්ගයට අතරමැදිව පිහිටි දෙල්කඳ හන්දියේ සිට (පැපිලියාන සිට) මහරගම දක්‌වා (බොරලැස්‌ගමුව දක්‌වා) ප්‍රදේශය අද ඉතා වේගයෙන් නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ තිබූ පැරණි සහ සාම්ප්‍රදායික කෙත්වතු මේ නිසා සීග්‍රයෙන් අතුරුදන් වෙමින් පවතින අතර, පැරණි කෘෂි ඇළ මාර්ග අවහිර වී ක්‍රමවත් ජලවහන රටාවද දැඩි සේ අක්‍රමවත් වී, සුළු වැස්‌සකට පවා ගංවතුර ඇතිවීමේ අවදානමකට ලක්‌ව පවතී. ඊට හේතුව ජලය ගබඩා කරගන්නට තැනක්‌ නැති වීමත්, ජලය ගලා යන ඇළ මාර්ග අවහිරවීම නිසාය.

මෙවන් තත්ත්වයක්‌ උද්ගතව තිබියදී එම ප්‍රදේශයේ ඇති කෙත්වතු සහිත තවත් පහත්බිම් ප්‍රදේශයක්‌ අක්‍රමවත් අයුරින් හා කෘෂිකාර්මික හා පරිසර නීති උල්ලංඝනය කරමින් ගොඩ කරමින් සිදුකරන සංවර්ධන කටයුත්තක්‌ නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති.

නාවින්න රජමහා විහාර පාරෙන් ඇතුළු වූ පසු හොරණ පාර දෙසට යන විට හමුවන ජනාවාස ප්‍රදේශයේ අතීතයේ තිබූ පාරම්පරික කෙත්වතු බොහොමයක්‌ ගොඩකර ඒ මත නිවාස සංකීර්ණ ගොඩනඟා ඇත. "ෆිල්ඩ්විව් ගාර්ඩ්න්ස්‌" සහ "විනර්ස්‌ ප්ලේස්‌" ඒ අතර, වර්තමානයේ නිවාස සංකීර්ණ බවට පත් වූ ජනාකීර්ණ ප්‍රදේශයන් වේ. මෙම නිවාස සංකීර්ණවලට යාබදව අදටත් දෙකන්නය ඉතා හොඳින් වගා කරන වෙල්යායක්‌ පිහිටා ඇත. කලක්‌ මහරගම නගර සභාව මඟින් කසළ පුරවා හයිලෙවල් මාර්ගය අභියස නාවින්නේ ගොඩ කරන ලද පහත් බිමට තරමක්‌ ආසන්නයෙන් පිහිටා ඇති මෙම වෙල්යායේ ඇතැම් ප්‍රදේශ අදටත් ගොවීන් විසින් වගා කරනු දක්‌නට ලැබේ.


එහෙත් ප්‍රදේශයේ වැසි ජලය රඳවන මෙම පහත්බිම් ප්‍රදේශය එක්‌ එක්‌ අයගේ බල පුළුවන්කාරකම් මත දිනෙන් දින ගොඩ කරමින් පවතී. මෑතක්‌ වනතුරුම නිරුපද්‍රිතව පැවති මෙම වෙල්යාය මැදින් වීරමාවත 2 වැනි පටුමඟ දක්‌වා විහිදේ. වීරමාවත මඟින් නාවින්න රජමහා විහාර පාරටත්, හොරණ මාර්ගයටත් ප්‍රවේශ මාර්ග ඇති අතර, ඉහත කී නිවාස සංකීර්ණ වෙතද ප්‍රවේශ මාර්ග වැටී ඇත.

මෙම වීරමාවතේ අතිශය සංවේදී ප්‍රදේශයක්‌ වන වෙල්යාය මැද කොටස ඉතා මෑතක සිට අනවසර ගොඩ කිරීමකට ලක්‌වන බවත්, වහාම මේ සඳහා මැදිහත් වී (අනවසර) ගොඩකිරීම් වළකා දෙන ලෙසත්, පසුගිය අප්‍රේල් 22 වැනිදා "ෆිල්ඩ්විව් උද්‍යානයේ සුබසාධක සංගමය" මඟින් මහරගම පොලිසියට පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර ඇත. කලක පටන් මෙම වෙල්යායේ ඇළ මාර්ගයට යාබදව සංවේදී ප්‍රදේශයක්‌ කොටු කරගත් පුද්ගලයකු විසින් ඉරිදා දිනයක මෙසේ ටිපර් මඟින් පස්‌ ගෙනැවිත් දමා ගොඩ කරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඉහත කී පොලිස්‌ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මේ අනුව ක්‍රියාත්මක වූ මහරගම පොලිසිය අදාළ ටිපර් රථ සමඟ එහි සේවකයන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහැර ඇත. කෙසේ හෝ එතැන් පටන් මේ දක්‌වා මෙම පහත්බිම (අනවසරයෙන්) ගොඩ කෙරෙන බවත්, මෙසේ පහත්බිම ගොඩ කළහොත් නියත වශයෙන්ම "ෆිල්ඩ්විව් ගාර්ඩ්න්ස්‌", විනර්ස්‌ ප්ලේස්‌ ඇතුළු නාවින්නේ ගම්මාන රැසක්‌ වර්ෂා සමයේදී ගංවතුරට හසුවන බව ෆිල්ඩ්විව් උද්‍යාන සුබසාධක සංගමයේ නිලධාරීහු කියා සිටිති.

මේ නිසා තම නිවාස අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවද, ඇළ මාර්ග අවහිර වීමෙන් දැනටමත් කෘෂිකර්මාන්ත කටයුතුවලට හා එදිනෙදා ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද සංගමය කියා සිටී.

මේ පිළිබඳව දැනටමත් ෆිල්ඩ්විව් සුබසාධක සංගමය මඟින් ගොවිජන සංවර්ධන කොමසාරිස්‌වරයා, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත මෙම අනවසර ගොඩකිරීම් සම්බන්ධයෙන් ලිතව පැමිණිලි කර ඇති නමුත්, මේ දක්‌වා ඊට ප්‍රතිචාර ලැබී නැතැයි සුබසාධක සංගමයේ නිලධාරීහු පවසති.


මෙසේ දිගින් දිගටම නොකඩවා අනවසරයකින් මෙම කුඹුරු ඉඩම් ගොඩ කරනු ලැබුවහොත්, තම නිවාස ගංවතුර තර්ජනයකට ලක්‌වීම වළක්‌වාලනු නොහැකි වනු ඇති බවද පවසන ෆිල්ඩ්විව් සුබසාධක සංගමය කියා සිටින්නේ ඇතැම් ඇළ මාර්ග අවහිරවීම් නිසා සහ තවත් මෙවැනිම ගොඩකිරීම් නිසා දැනටමත් මෙම ප්‍රදේශය සුළු වර්ෂාවකදී වුව මාර්ග අවහිර වී නිවාස දක්‌වා වතුර පිරී යටවන බවත්ය. එවන් තත්ත්වයක්‌ ප්‍රදේශයේa තිබියදී තවදුරටත් මෙසේ වෙල්යාය සහ පහත්බිම් ගොඩ කරන්නේ නම් එය සුවිශාල පාරිසරික හානියක්‌ සහ ජනජීවිතය අඩාල කරන මහා අපරාධයක්‌ සිදුකිරීමක්‌ වනු ඇති බවද ඔවුහු කියා සිටිති.

ඒ නිසා ගොවිජන සංවර්ධන කොමසාරිස්‌වරයා, නාගරික සංවර්ධන අධිකාරිය හෝ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව හෝ මහරගම ප්‍රාදේශීය ලේකම්, මහරගම නගර සභාව මැදිහත් වී මෙම ගොඩ කිරීම් නවතාලීමට කටයුතු කරන ලෙසද නිලධාරීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති. නොඑසේ නම්, දැඩි විරෝධතා ව්‍යාපාරයකට එක්‌වන බවද සුබසාධක සංගමය කියා සිටී.

සැබැවින්ම කෙනෙකු පදිංචිය සඳහා නිවසක්‌ හෝ ඉඩමක්‌ මිලදී ගනු ලබන්නේ අවහිර බාධාවලින් තොරව නිදහසේ ජීවත්වීම සඳහාය. එහෙත් තිරසාර නොවන මෙරටේ සංවර්ධනය ඉබාගාතේ යන බව මොනවට පසක්‌ කරමින් ඉඩ ඇති සෑම තැනකම නිවාස, ගොඩනැඟිලි ඉදිවන බවත්, පාරිසරික වශයෙන් වැදගත් භූමි ප්‍රදේශ ගස්‌, ගල් පුරවා විනාශ කිරීම අද රටේම සංස්‌කෘතියක්‌ බවට පත්ව තිබේ. ලොව බොහෝ රටවල් පහත්බිම් හා වනවදුලු නාගරික පරිසරය ගොඩනඟන ක්‍ෂේම භූමි බවට ප්‍රකාශයට පත් කර පවත්වාගෙන ගියත්, ශ්‍රී ලංකාවේ භූමිය කවුරුනුත් බලන්නේ ඉඩකඩම් පමණක්‌ නොව සෑම සියලු වස්‌තුවක්‌, සම්පතක්‌ම වෙන්දේසියේ දමා මුදල් කර ගැනීමටය. නාවින්නේ වීරමාවත වෙල්යාය ගොඩ කිරීමද වැටෙන්නේ ඒ ගානටය එහෙත් එය එසේ යෑයි කියා නිහඬව බලා සිටින්නට ෆිල්ඩ්විව් ගාර්ඩ්න්ස්‌ සුබසාධක සංගමය සූදානම් නැත. ඔවුන් කියන්නේ වහාම මෙම අනවසර ගොඩකිරීම් නැවැත්විය යුතු බව හා මේ පාරිසරික විනාශයට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවය. මේ හෙළිදරව්වෙන් පසු ඒ පිළිබඳව බලධාරීහු උදෙක්‌ම ක්‍රියා කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »