අපි හෙටක් ගැන හිතන්නේ කොහොමද? මේ ගමට වින කටින්නේ පිටින් ගමට එන අය

2017-06-22 10:32:00       586
feature-top
කැඩී බිඳී වළ ගොඩැලි මතින් ගමට යෑමට තිබු මඟට තාර කාපට් යෙදුණේ මීට වසර කිහිපයකට පෙරය. ඊටත් පෙර පාරේ තාර දමා තිබුණේ තැනින් තැනය. දෙපස සුදු ඉරි යොදා වංගු වංගු හෑරෙමින් ගමට යෑමට තිබු කාපට් පාර ඉරිතළා ගොස් දෙකඩ වූයේ ඉකුත් විසිහය වැනිදාය. තැනින් තැන ගිලා බසිමින් පාර කැඩි බිඳී ගිය විට ගැමියෝ අසරණ වූහ. ඒ ගමට එන බස්රථය ද නතර වන බැවිනි.

පාර කැඩී යෑමෙන් පමණක් නොව තමන් පදිංචි වී සිටින නිවෙස් ද කැඩි බිඳී ඉරිතළා යද්දී ගැමියෝ තව තවත් අසරණ වූහ.

පතුරු ගැලවී යන කබරගල කන්ද, නාය ගිය බදුවල කන්ද, නාය යෑමට නියමිත යැයි කියන හාන්දු කන්ද ආදි කඳුවලට මැදි වී දිවි ගෙවන එම ගැමියන් සොයා අපි ඉකුත් දිනෙක හාන්දුකන්ද ගමට ගියෙමු.

කිරිඇල්ල නගරයෙන් හැරී නැදුන් රජමහා විහාරස්ථානය අසලින් දකුණට හැරී අප හාන්දුකන්ද ගමට යන්නට වීමු.

“මීට බොහෝ කාලයකට පෙර මේ ගමට යෑම බොහෝම දුෂ්කරයි. දැන්නම් පාර කාපට් කරලා තියෙන්නෙ. ඒ කාලේ ගල් උඩින් පැනලා ගස්මුල්වල හැප්පි හැප්පි තමයි ගමට ගියේ. ඒ මදිවට මඟ දිගට කුඩැල්ලෝ. ගම දෙපැත්තේ කැලෑව. ඔය ගලන හඬ මඟ දිගට ඇහෙනවා. ඒ කාලේ දුෂ්කරතා තිබුණත් ගම හරිම සුන්දරයි“. අපට මඟ පෙන්වන පියතිස්ස පාදුක්කගේ සොයුරා ගමන අතරතුරදී කියයි.

එක්දහස් නවසීය අනූහතර වර්ෂයේදී ද අපි ද එම ගමට ගියෙමු. ඒ යුගය වන විට ද ගමට යන පාර තාර දමා තිබුණේ නැත. ගල්බොරලු සහිත මාර්ගයේ දෙපස තැනින් තැන විවිධ ප්‍රමාණයේ දිය පහරවල් ගලා හැලෙන්නේය. නමුදු අද ඒ ගමට යන මඟ දිය පහරක් දැකිය හැක්කේ කලාතුරකිනි.

“කොයි පැත්ත ද නාය යන්නෙ”

කොඩිතුවක්කු කන්ද පාසල පසුකර යන විටත් ගමට වූ ආපදාවක සේයාවක්වත් දකින්නට නැති තැන අපි ඇසුවෙමු.

“ගමේ පවුල් තිස්පහකටම අයින් වෙන්න කියලා තියෙන්නෙ. හාහා බලාගෙන ඔය හරියේ පාර දෙකට පැළිලා තියෙන්නෙ.”

තිස්ස අයියා රියදුරු චාමරට පවසයි. වාහනය නතර විණි. පාර දෙකඩ වී ඇත්තේ එතැනිනි. එතැන් සිට අප ගියේ ගලින් ගලට පනිමින් පුංචි අඩි පාරක් දිගේය. බැලූ බැල්මට නම් ඒ නිවෙස හොඳ තත්ත්වයේ තිබේ. නමුදු ඒ නිවෙසේ මිදුලේ විශාල පැල්මකි. එය දුටු විට සිතට නැ‍ඟෙනුයේ බියකි. අපි සෙමෙන් අඩි තියා නිවෙසට ගොඩ වීමු. ගේ පාළුවට ගොස්ය. ඒ නිවෙස ප්‍රියානිගේය.

“ගෙදර තිබුණු බඩු පහළ දන්න කියන අයගෙ ගෙවල්වලට දැම්මා. ගෙයි බිත්ති පුපුරන්න ගත්තේ විසිහය වැනිදා. අපි ගෙදරට වෙලා හිටියා. නමුත් ග්‍රාමසේවක නෝනා ඇවිල්ලා කිව්වා අපිට මෙතැනින් අයින් වෙන්න කියලා. දරුවෝ මල්ලිගෙ ගෙදර. ජීවිත කාලෙම හම්බ කරපු දේවල් ගෙවල්වලට යට කළා. වත්ත පිටියෙන් අපි හොඳ ආදායමක් ලබනවා. මේ තියෙන දූරියන් ගහ පීදුණේ මේ අවුරුද්දේ. හොඳ ආදායමක් ලබන්න පුළුවන්. ඒත් ගෙවල් පුපුරලා පොළොව පැළිලා තියෙන නිසා ගහ ගැලවිලා තියෙන්නෙ. පැහෙන්නත් කලින්ම දූරියන් ගෙඩි කහපාට වෙලා. අපි කොහේ කියලා යන්න ද? රජයෙන් අපි ගැනත් බලනවානම් හොඳයි. නැත්නම් ඉතිං අපට මේ ගෙවල්වලටම යටවෙලා මැරෙන්නයි වෙන්නෙ.” ප්‍රියානි දෑසේ නැඟි කඳුළු පිසිමින් පවසන්නීය.

ඔවුන්ගේ නිවෙස්වලට ඉහළින් ඇත්තේ කබරගලය. කිරිඇල්ල කඩා හැලෙන්නේ කබරගල මතිනි. නමුදු දැන් ඇල්ල සිඳී ඇත්තේය. මහ වැසි සමයට පමණක් ඇල්ල ගලා හැලේ. (එකල අපි කිරිඇල්ල දිය ඇල්ල පටන්ගන්නා තැනටම නැඟ ඇත්තෙමු. කබරගල මුදුෙන් බොහෝ ගහකොළ තිබිණි.)

ප්‍රේමදාස මාමා තම ගමට වී ඇති විපත ගැන කතා කරන්නේ කනගාටුවෙනි.

“මම මේ ගමේ උපන් මිනිහා. අපි ඒ කාලේ කබරගල මුදුනේ හේන් කෙරුවා. බටු මිරිස් එළවළු වැව්වා. ගමේ මිනිස්සු ජීවත් වුණේ කබරගල උඩ හේන් කොටලා. ඒ කාලේ කිරිඇල්ල හරි ලස්සනයි. නමුත් වැහි නැති කාලෙට දියඇල්ල ටික ටික හි‍ඳෙන්න ගත්තා. ගමේ හැමෝම කතා වුණා කබරගල මුදුනේ ගොවිතැන් කරන එක නතර කරමු කියලා. අපිට ඕනැ වුණේ මේ පරිසරය රැකගන්න. ඒත් පහුගිය කාලේ ගමට පිටින් ආව අය ගමේ කාගේ හෝ සහයෝගයෙන් වල්ලපට්ට කපන්න ගත්තා. ඒ මදිවට කබරගල උඩ තිබුණ වල්ලපට්ට ගලවලා ඒ ගස්වල මුලුත් ගලවගෙන ගියා. පොලීසියෙන් ආවට අල්ලගන්න බැරි වුණා. තවත් දෙයක් තියෙනවා, ගමට පහළින් වෙල්වල බැකෝ යන්ත්‍ර දාලා පතල් හාරනවා. ඒකත් මේ කඳු නාය යන්න හේතුවක්. පහළ තියෙනවා කළු ගල් වළක්. එකපාර බෝර හය හත දාලා ගල් කඩනවා. කළුගල් වළ ආසන්නයේ තියෙන ගෙවල් පුපුරලා ඒ සද්දෙට. දෙදරිල්ලට. අපි කාටද මේවා ගැන කියන්නෙ. පහුකාලීනව කබරගල අවට කැලෑව රක්ෂිතයක් ලෙස නම් කළා. ඒත් එහෙම වුණේ වෙන්න තියෙන හැමදේම වුණාට පස්සේ. දැන් ඒ කන්දේ නිදන් තියෙනවා කියලා නිදන් හොරුත් ඇවිල්ලා. ඒ මදිවට කන්ද මුදුනේ ගල්පිල්ල කියලා තැනක් තියෙනවා. එතැනට මේ දවස්වල යන්න අමාරුයි. ඒ තැනත් ලොකු වළක් හාරලා. මිනිස්සු විහින්මයි මේ ගමට විනේ කැටුවේ.”

ප්‍රේමදාස මාමා පැවැසීය.

ගැමියෝ තම ගමට සිදුව ඇති ව්‍යසනය ගැන කම්පා වෙති. ඒ තැවෙන්නන් අතර තම නිවෙස දෙස බලමින් හූල්ලන කඳුළු සලන ජගත් කීර්ති කුමාර ඔහුගේ නිවසට අප කැඳවාගෙන ගියේය. බැලු බැල්මට එය හරි අපූරු නිවෙසකි. නිවෙස පිටුපසින් ඇත්තේ කබරගල කඳුවැටියයි. නිවෙස ඉදිරිපිටින් ඈතින් පෙනෙන්නේ බදුවල කන්දයි. ඔහුගේ සරුසාර ඉඩමේ නැති දෙයක් නැති තරම්ය. නමුදු නිවෙසට ගිය අපට සුසුමක් නැඟුණේ ඉබේටමය. නිවෙසේ හැම තැනින්ම ටයිල් පුපුරා ගොසිනි. බිත්ති පුපුරා ඈත්වී ඇත. එය කොයි මොහොතේ බිමට සමතලා වේදැයි කියන්නට බැරි තරම්ය.

“මට වෙලාවකට මේ ගේ අපිත් එක්කම බිමට සමතලා වුණානම් කියලා හිතෙනවා. මෙතන තිබුණේ අපේ මහ ගේ. ඒක කඩලා තමයි අලුත් ගේ හැදුවේ. අවුරුදු තිස්පහක් තිස්සේ මම ගේ හැදුවා. උදේට රබර් කිරි කපන්න යනවා. දවල්ට මේසන් වැඩවලට යනවා. ඒ ඇවිත් රෑට මේසන් හැන්ද අරගෙන ගේ හදනවා. අපිට ඉඩම් ලැබෙයිද කියන්න කවුද දන්නෙ. මීට අවුරුදු හතරපහකට පෙරත් මේ ගෙවල් කිට්ටුව පවුල් කිහිපයක්ම නායයෑමේ අවදානම තියෙනවා කියලා අයින් කළා. ඔවුන්ට ඉඩම් දීලා තිබුණා.

ගස්වල රඹුටන් පිරිලා. පේර ගස්වලත් ගෙඩි පිරිලා. වෙනදට නම් කුරුල්ලෝ වඳුරෝ මේ කිසිම දෙයක් ඉතුරු කරන්නේ නැහැ. උදේට එන වඳුරෝ රංචු හැන්දෑ වනතුරු ඉන්නවා. මේ සිද්ධිය වුණාට පස්සේ එකම දවසයි වඳුරන් දැක්කේ. විසිපස් වැනිදා රෑ බිත්තියක් පුපුරන සද්දේ ඇහුණා. විසිහය දවල් වෙනකොට මුළු ගේම පුපුරන්න ඉරි තලන්න ගත්තා. පුතා උසස්පෙළ පන්තියේ ඉගෙන ගන්නවා. ඒත් එයා හිතේ අමාරුව හින්දම ඉස්කෝලේ යන්න බැහැ කියනවා. මම කොහොමද දැන් හෙටක් ගැන හිතන්නෙ.”

ජගත් සියලු බලාපොරොත්තු බිඳ වැටීමෙන් කම්පාවට පත්වූ හඬින් පවසන්නේය.

හාන්දුකන්ට කිරිඇල්ලේ සිට උදේ හවස බස්රථයක් ආවේය. ගියේය. ගමට බස් රථය ලබාගත්තේ ගම්මුන්ගේ වසර ගණනක වෙහෙස මහන්සියෙනි. නමුදු දැන් බස්රථය යළිත් ගමට එන්නේ නැත. ඒ ගමට එන පාර අබලන් බැවිනි.

“අපේ මහ ගේ ගාවින් තමයි පාර කැඩිලා ගිහින් තියෙන්නෙ. හිතාගන්න අමාරුයි කොහොමද එහෙම වුණේ කියලා. ගමේ මිනිස්සු එකතු වෙලා තාවකාලිකව පාර හදා ගත්තා. ඊට පහුවදා ගමට බස් එක ආවා. ඒත් පාරේ යන එක භයානකයි කියලා පහුවදා ඉඳලා ආවේ නැහැ. ගංවතුර ඇවිල්ලා කිරිඇල්ලේ නැදුන් රජමහා විහාරයෙත් උඩමළුව ගාවට එනතුරු වතුර පිරුණා. කන්ද නායයෑමේ අවදානම තිබුණ පවුල්වලට නැදුන් රජමහා විහාරයට යන්න බැරිවුණා ගංවතුර නිසා. හිදුරංගල පන්සලට තමයි ගමේ අය ගියේ. තවත් පිරිසක් හාන්දු කන්ද ඉස්කෝලෙට ගියා. කොහොම වුණත් හාන්දු කන්ද ඉස්කෝලේ නාය යෑමේ අවදානම තියෙනවා කියලා ඒ අවතැන් පවුල්වලට අයින් වෙන්න කිව්වා. ගමේ අය කොහේ කියලා යන්න ද? මිනිස්සු ඉස්කෝලෙටම වෙලා හිටියා. ඒ නිසා හාන්දු කන්ද ඉස්කෝලේ අවතැන් කඳවුරක් නෙමෙයි කියලා රජයේ ආධාර ලැබුණේ නැහැ. කොහොම වුණත් පන්සල්වල අවතැන් වුණු අයටයි ඉස්කෝලේ හිටපු පවුල්වලටයි හැමෝටම කන්න බොන්න දුන්නේ උදවු කළේ ගමේ මිනිස්සුයි කිරිඇල්ලේ පොලීසියයි. පොලීසියේ ඕඅයිසී මහත්තයා හැම විටම අපේ ගම ගැන හොයලා බැලුවා. ඔහු සමහර වෙලාවට තමන් නොකා නොබී අනිත් අයගේ කෑම එක ගැන හොයලා බැලුවා. ඒ වගේම රත්නසේකර හා අජිත් යන මේ වසම බාර පොලීසියේ නිලධාරීන් දෙන්නා ඔරුවලින් ඇවිත් මදුරු කොයිල් පෙට්ටියේ සිට හැම අවශ්‍යතාවක්ම සොයා බැලුවා.” ධම්මික කුමාරසිරි මල්ලවආරච්චි, තම ගමට ගංවතුර උවදුරේදී උදවු කළ කාට කාටත් පිං දෙමින් පවසන්නේය.

හාන්දු කන්ද ගමට ආසන්නයෙන්ම ඇති බදුවල කන්දේ පැත්තක් ද නාය ගියේය. ඒ නාය යෑමෙන් වයසක යුවළක් මිය ගියහ. දැන් ගැමියන් ජීවත්වන්නේ බියෙනි. කොයි මොහොතේ තම ගමට ආපදාවක් වේදැයි යන්න ඔවුහු නොදනිති. ගමට පැමිණි ගොඩනැඟිලි පර්යේෂණ නිලධාරීන් පවසා ඇත්තේ නායයෑමේ අවදානම ඇති ප්‍රදේශවල අයට දහවල් කාලයේ වුවද එම නිවෙස්වල රැඳී නොසිටින ලෙසය. නමුදු ගැමියන් හැඬු කඳුළින් යුතුව අසන්නේ ‘අපි කොහේ යන්න ද’ කියාය.

යන එන මං නැති ගම්මුන්ගෙන් කොටසක් දැන් සිටින්නේ නැදුන් රජමහා විහාරයේය. එහි උදයට, දහවලට, මෙන්ම රාත්‍රියට ද ආහාර සැකසෙන්නේය. අතීතයේදී පන්සල නිමකර ඇත්තේ ද ගංවතුරට ඔරොත්තු දෙන අයුරිනි. එනිසා පහළ මලුව යට වුවද පන්සලට එල්ල වන ගංවතුර උවදුර අවමය.

පන්සලේ තිබුණු ඔරුවත් අපි එදා ගංවතුරට දැම්මා. මේ පැත්ත දැන් හැම වසරකම වගේ ගංවතුරට ගොදුරු වෙනවා. එදා තව ඔරු දෙක තුනක්වත් තිබුණනම් මිනිස්සුන්ගේ දේපළ හානිය අවම කරගන්න තිබුණා. හාමුදුරුවෝ වුණත් අපි අපිට කරන්න පුළුවන් උපරීමය ගම්මු වෙනුවෙන් කෙරුවා. මීට පෙර එක්දහස් නවසිය හතළිස් හතේ තමයිලු මේ වගේ ගංවතුරක් මේ පළාතට ඇවිල්ලා තියෙන්නෙ. මේ හරියේ ගෙවල් තිහක් යට වුණා. ඒ ගෙවල් තිහටම තිබුණේ එක ඔරුවයි.” විහාරාධිපති හඳපාන්ගොඩ මහින්ද හාමුදුරුවන්ගේ උපදෙස් අනුව තමයි මං ඇතුළු අනෙක් භික්ෂුන් වහන්සේ කටයුතු කළේ.” මල්ලව ලංකානන්ද හිමි පවසන්නේ පන්සලෙන් ගමට වූ සේවාව පිළිබඳවය.

බැලු බැල්මට දැන් තත්ත්වය සන්සුන්ය. නමුදු කබරගල, හාන්දු කන්ද, බදුවල කඳු පාමුල වෙසෙන්නන් මෙන්ම නායයෑමේ අවදානම සහිත බිම්වල වෙසෙන්නන් සිටින්නේ හිතේ ගින්දරෙනි.

ගංවතුරේදී කුසේ ගින්නෙන් සිටි හාන්දුකන්ද ගැමියන්ගේ කුස ගින්දර නිවූයේ කිරිඇල්ලේ රූපා අක්කාය.

“පන්සලේ හිටපු අය බලන්න ගියා. තේ වතුර බොන්න කලමනා ගිහින් දුන්නා. ඊට පස්සේ කෑම දුන්නා. මේවා මම කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන කරන දේවල් නෙමෙයි. හාන්දු කන්දේ ඉන්නේ බොහෝම අහිංසක හිතහොඳ මිනිස්සු. පස්සේ පස්සේ ආධාර ලැබුණා. ඒ ආධාර බෙදන්න ආව අයට, රජයේ නිලධාරීන්ට පොලීසියට කෑම දුන්නේ මගේ ගෙදරින්.”

රූපක්කා තමන් කරන සේවාව කියන්නට අදිමදි කරන්නේය. රූපක්කාගේ කෑම ගෙදර වසර විස්සක් පමණ පැරැණිය. කෘත්‍රිම රසකාරක නැති ඇගේ කෑමවලට ඉල්ලුමක් ඇත්තේය. ඇය ව්‍යාපාරයක් හැටියට නොව සේවාවක් හැටියට ‘කෑම’ කඩය කරගෙන යන්නීය.

හාන්දු කන්ද ගම නායයෑමේ උවදුරට ලක්වී දවස් දෙක තුනකට පස්සේය බාහිරව හා රජයේ ආධාර උපකාර ලැබුණේ. නමුදු ගම්මු, තම අසල්වාසීන් ආදරයෙන් රැකබලා ගත්තේ තමන්ට ද ශක්තියක් ඇති බව පෙන්වමිනි.



Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »