මාළු විතරක්‌ නම් බැරියෑ; මුලූ මුහුදම හූරන් කනවා
ඉන්දියාව කරන මාළු කොල්ලය තවමත් ඉවර නෑ

2017-06-21 09:49:00       584
feature-top
දැන් අපිට ඉතිරිවෙලා තියෙන්නේ රැල්ල විතරයි
ඉන්දීය අගමැති එන්න සතියකට කලිනුත්
අපේ බෝට්‌ටුවක්‌ අත්අඩංගුවට ගත්තා
ජාත්‍යන්තර බලපත්‍ර ගන්න පෝලිමේ
ඒත් රටටම තියෙන්නේ බලපත්‍ර 1600යි
ධීවර නිලධාරින්ට කීයක්‌ හරි අතමිට දුන්නාම
ඕන දෙයක්‌ කරන්න පු`ථවන්

 


සමුහ කොල්ලයට එන ඉන්දියන් මාළු බෝට්‌ටු රැළක්‌.......

සියල්ල සිදුවෙමින් ඇත්තේ අතිශය ළෙන්ගතුවය. හිත් රිදෙන කතාවක්‌වත් නැත. මූණු පුරා පැණි බේරෙන සිනාය. අසල්වැසි ඉන්දියාව අපේ රටට දක්‌වන ළෙන්ගතුකමට සිත් ප්‍රීති ප්‍රමෝදයෙන් මන්මත් වන්නේය. එසේ සතුටින් පිරුණු සිත් ගිනියම් වෙන්නේ තමිල්නාඩු ධීවරයන් අපේ මුහුදට ඇතුළු වී කරගෙන යන මාළු කොල්ලය දකින විටය. එය නතර කිරීමට ඉන්දීය බලධාරීන්ට වුවමනාවක්‌ නැති බව පෙනෙන විටය. තමිල්නාඩු ධීවරයන් වැල්ලේ ගෙවල්වල ලිප් බොක්‌කට පැන මාළු ඇතිළියම හොරාගෙන ගිය ද අපේ බලධාරීන් එය නොදැක්‌කා සේ විලම්භීත දෙඩවීම නිසාය. කළු ගලක ඔළුව ගසා ගන්නවාට වඩා නිවටකම නුවණක්‌කාරකම් සේ අරුත් ගැන්වෙනවා වන්නට පුළුවන. එහෙත් නිවටකමට වුවද සීමාවක්‌ තිබිය යුතුය. මේ මොහොත වන විට සීමාව ඉක්‌ම ගොස්‌ ඇති වග අප මතක්‌ කර සිටින්නේ අතිශය වේදනාවෙනි.

නීත්‍යනුකූලව රටක මුහුදු සීමාව අයත් වන්නේ වෙරළේ සිට නාවික සැතපුම් දෙසීයක දුරකටය. වෙරළේ සිට නාවික සැතපුම් දොළොහක්‌ දක්‌වා වන සීමාව තුළ බලපවත්වන්නේ මුහුද පිළිබඳ වන ජාත්‍යන්තර නීතිරීති නොව, අදාළ රටේ ගොඩබිමේ ක්‍රියාත්මක නීතියයි. එකී මුහුදු සීමාවට ද බලහත්කාරයෙන් ඇතුළු වී තමිල්නාඩු ධීවර යාත්‍රා මෙරට මත්ස්‍ය සම්පත කොල්ලකමින් සිටී. අද ඊයේ නොව, කාලයක සිටම මේ මත්ස්‍ය කොල්ලය සිදුවෙමින් තිබෙන බව ධීවර ප්‍රජාව සාක්‍ෂි සහිතව අපට සනාථ කර ඇති අවස්‌ථා එමටය. මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවර යාත්‍රා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ අවස්‌ථා පසුගිය කාලය පුරාම විටින් විට වාර්තා විය. එසේ අත්අඩංගුවට පත් ධීවර යාත්‍රා නිදහස්‌ කරගැනීම් වස්‌ ඉන්දීය නාවික හමුදාව මෙරට ධීවර යාත්‍රා සහ ධීවරයන්ව ජාත්‍යන්තර මුහුදු මාර්ගයේදී අත්අඩංගුවට ගෙන හුවමාරු ක්‍රමයට ධීවර යාත්‍රා සහ බෝට්‌ටු නිදහස්‌ කරගත් අවස්‌ථා ද ඕනෑවටත් වඩා අපි දැන සිටිමු. ඉන්දීයාව එසේ එකට එක කරන්නේ ස්‌වකීය කොල්ලකෑම සාධාරණීකරණය කිරීම සඳහා සැලසුම් සහගතවය.

2012 අවුරුද්දේ මෙරට නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයකු මරා දැමුවේ යෑයි කියනු ලබන ප්‍රශ්නයේදී ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ලේකම් නිරූපමා රාම් මෙරටට පැමිණ ලංකා රජයට ඉන්දියාවේ අප්‍රසාදය පළ කර සිටියාය. එකී රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවෙන් අනතුරුව මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම සීමා සහිත විය. තවත් අවස්‌ථාවක ඉන්දීය ධීවරයන් සිව් දෙනකු කුඩු තොගයක්‌ සමඟ මෙරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙරට නීතියට අනුව එකී කුඩ්ඩෝ සිව්දෙනාට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී. එහෙත් එල්ලුම් ගහට පණ එනතෙක්‌ ඔවුන්ව ජීවිතාන්තය දක්‌වා සිරගත කෙරිණි. තමිල්නාඩු ප්‍රාන්ත රජය කුඩ්ඩෝ සිව්දෙනා නිදහස්‌ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස්‌ කාර්යාලය හරහා ඇපෑලක්‌ ඉදිරිපත් කළේය. සිද්ධියෙන් කම්පනයට පත් ඉන්දීය අගමැතිවරයා ද කුඩ්ඩන් සිව්දෙනා නිදහස්‌ කර දෙන ලෙස මෙරට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබිණි. අවසානයේ මෙරට නීතිය පසෙකට දමා කුඩ්ඩො සිව්දෙනාව නිදහස්‌ කර තමිල්නාඩු සිරගෙදරට පිටත් කර යෑවීය. තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් ඉන්දීය මහා ආණ්‌ඩුව ක්‍රියාත්මක වූයේ එසේය. එහෙත් මෙරට ධීවර බෝට්‌ටුවක්‌ ඉන්දීය අත්අඩංගුවට පත් වූ පසු අපේ හිටපු ධීවර ඇමැතිවරු කීවේ 'හොරා කෑවා නම් විඳවපල්ලා' කියාය. ඒ වචනවලින් පසක්‌ වූයේ නීතිගරුක බව නොව එම ඇමැතිවරුන්ගේ කශේරුවේ ශක්‌ති ප්‍රමාණයයි. අතීතය ආවර්ජනය කළේ ඉන්දීය මත්ස්‍ය කොල්ලය අදටත් එලෙසම ක්‍රියාත්මකව පවතින නිසාය. මෙරට ධීවර යාත්‍රා ජාත්‍යන්තර ගමන් මාර්ගයේදී ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට ගත් අවස්‌ථා වාර්තා වන නිසාය. ඒ ගැන මෙන්ම ධීවර ගැටලු ගැන අප කියනවාට වඩා ධීවරයන් කියන විට හදවත්වලට වඩාත් හොඳින් සන්නිවේදය වේ. එහෙයින් මෙතැන් සිට කතා කරන්නේ අප නොව සමස්‌ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත ඇතුළු ධීවර ප්‍රජාවය.

''ඉන්දියාවයි, ලංකාවයි මොන ගිවිසුම ගැහුවත් වැඩක්‌ නෑ. තමිල්නාඩු ධීවරයන් අපේ මුහුද කොල්ලකන එක නතර කරලා නෑ. එක රැනට ධීවර යාත්‍රා සියය, දෙසීය ඇවිත් මුහුදේ පතුලේ ඉඳලාම හූරගෙන මාළු ටික අල්ලගෙන යනවා. මාළු පැටියෙක්‌ තියා මුහුදු පැළෑටියක්‌වත් ඉතුරු වෙන්නෙ නෑ. උන් අපේ මුහුද කාබාසිනියා කරන්නේ නීතිවිරෝධී බෝට්‌ටු යොදාගෙන. ඉන්දීය අගමැති ලංකාවට එන්න දවස්‌ කිහිපයකට උඩදීත් අපේ ධීවර බෝට්‌ටුවක්‌ ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට අරගෙන හුවමාරු ක්‍රමයට අපේ ධීවරයන්ව නිදහස්‌ කරලා මෙරට අත්අඩංගුවේ තිබූ ඉන්දියාවේ බෝට්‌ටු කිහිපයක්‌ නිදහස්‌ කර ගත්තා. අපේ නාවික හමුදාව තමිල්නාඩු ධීවරයන්ව අත්අඩංගුවට ගන්නේ මුහුදට ඇතුළු වෙලා මාළු කොල්ලකනකොට. ඒ පළියට ඉන්දීය නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදු මාර්ගයේදී අපේ යාත්‍රා අත්අඩංගුවට ගන්නවා.

ඉන්දීය නාවික හමුදාව අපේ ධීවර බෝට්‌ටු අත්අඩංගුවට ගන්නේ සාගර නීති තුට්‌ටුවකට මායිම් නොකර. අපිට හොරු කියලා උන් අපේ යාත්‍රාවල තියෙන මාළු මංකොල්ල කනවා. මේක බරපතළ ගැටලුවක්‌. ජාත්‍යන්තර මුහුදු මාර්ගවලදී නීති විරෝධී නොවන කිසිම යාත්‍රාවක්‌ අත්අඩංගුවට ගන්න බෑ. ඉන්දීය නාවික හමුදාව අපේ ධීවරයන්ට කරන මේ අසාධාරණය ගැන වහාම එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන්න ඕනෑ. ඉන්දීයාවට විරුද්ධව එහෙම පැමිණිලි කරන්න රජයට පණක්‌ නැති නම් අපේ සංගමය හරහා හෝ පැමිණිලි කරන්න වෙනවා. එහෙම නැතිව ඉන්දියාව කරන මේ අසාධාරණ වැඩේ හැමදාම බලාගෙන ඉන්න බෑ.

''ඉන්දීය අගමැති ලංකාවට එන්න දවස්‌ කිහිපයකට ඉස්‌සෙල්ලා ඉන්දීය නාවික හමුදාව අත්අඩංගුවට අරගෙන තිබුණ බෝට්‌ටුවේ වී.එම්.එස්‌. උපකරණ සවි කරලා තිබුණා. ඒ උපකරණ පරීක්‍ෂා කරලා බලනකොට කිසිම වෙලාවක ඉන්දීය බෝඩරය ඇතුළේ මාළු අල්ලලා තිබුණේ නෑ. මුහුදේ ගත කරපු දවස්‌ කීපයේම ජාත්‍යන්තර මුහුදෙන් පිට ධීවර කර්මාන්තයේ යෙදිලා හිටියේ නෑ. සංගමයක්‌ හැටියට අපි ක්‍රියාත්මක වෙලා ඒ බෝට්‌ටු නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවලට යෙදුන නැති බව ඔප්පු කරලා පෙන්නුවා. ඉන්දියාවටත් පිළිගන්න වුණා. ඒත් අපේ ධීවරයෝ දවස්‌ ගණනක්‌ හිරේ ලැග්ගා. අපේ මුහුදු සීමා ආක්‍රමණය කර මාළු කොල්ලකන ඉන්දීය බෝට්‌ටුවක්‌ අත්අඩංගුවට ගත්තම ඉන්දියාවෙන් එන එක කෝල් එකට ඒ බෝට්‌ටුව නිදහස්‌ කරලා යවනවා. ඒත් ඉන්දීයාව අපේ බලධාරීන් කතා කරන සුංගුවට අපේ බෝට්‌ටු නිදහස්‌ කරන්නේ නෑ. නිර්දෝෂී භාවය ඔප්පු කළත් ඉන්දියාවේ නීතිවලට යටත්ව ලියකියවිලි හුවමාරු වෙලා, නීත්‍යනුකූලව තමයි නිදහස ලබා දෙන්නේ. බෝට්‌ටුව නීත්‍යනුකූලව නිදහස්‌ වුණත් බෝට්‌ටුව පිරෙන්න තිබුණු මාළුවලින් භාගයක්‌වත් නෑ. මාළු හොරු කොල්ලකාලා...''

''ඒ බෝට්‌ටුව ගොඩබිමට එන්න තිබුණේ පැය 32 ක්‌ විතර. අන්තිමේ බෝට්‌ටුව නිදහස්‌ කරගෙන එනකොට මාසයකටත් වැඩිය ගියා. බෝට්‌ටුවේ ගිය ධීවරයන් හත්දෙනා හිරේ ලැගලා අපා දුක්‌ විඳලා මාස තුනකට විතර පස්‌සෙ ගෙදර එන්න වුණේ හිස්‌ අතින්. හත්දෙනාම කසාද බැඳලා පාසල් යන දරුවො ඉන්නවා. නැවත මුහුදු යනකම් ඒ ධීවරයන්ට ජීවත් වෙන්න දසඅතේ ණය වෙන්න වුණා. කවුද ඒවට වගකියන්නේ. කිසිම කෙනෙක්‌ නෑ. ධීවරයන්ට එන කරදර අපි විසින්ම දරා ගන්න වෙනවා. ඒ වුණාට තියෙන හැම නීතියක්‌ම අපිට ක්‍රියාත්මකයි. පොඩ්ඩ වැරැදුණොත් දඩ. දේශීය මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්‌ටුවලටත් වී.එම්.එස්‌. උපකරණ සවි කරන්න කියනවා. සවිකර ගත්තේ නැත්තම් දඩ ගහනවා. දේශීය මුහුදට වී.එම්.එස්‌. උපකරණ අවශ්‍ය නෑ. අපේ ධීවරයන්ට දේශීය මුහුද ගෙදර වගෙයි. වී.එම්.එස්‌. උපකරණ (යාත්‍රා නිරීක්‍ෂණ උපකරණ) අවශ්‍ය ජාත්‍යන්තර මුහුදේ රස්‌සාව කරන යාත්‍රාවලට. ඒත් අඩි 50, 60 විශාල බෝට්‌ටු කිසිම වී.එම්.එස්‌ උපකරණයක්‌ නැතිව ජාත්‍යන්තර මුහුදේ ධීවර රස්‌සාව කරනවා. මේ ළඟදී දවසක ජාත්‍යන්තර මුහුදේදී අකුණක්‌ වැදිලා එක බෝට්‌ටුවක්‌ කරදරයට පත් වුණා. බෝට්‌ටු හිමිකරුවා කලබල වෙලා එහේ මෙහේ දිව්වා. ඒත් බෝට්‌ටුව ගැන ආරංචියක්‌ ලැබුණේ සිද්ධිය වෙලා දවස්‌ ගණනකට පස්‌සේ. ඒ බෝට්‌ටුවේ වී.එම්.එස්‌ උපකරණ සවි කරලා තිබිලා නෑ. වී.එම්.එස්‌. උපකරණයක්‌ සවි කරලා තිබුණා නම් ක්‍ෂණිකව බෝට්‌ටුව තියෙන තැන දැනගන්න තිබුණා. ජාත්‍යන්තර මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙනකොට වී.එම්.එස්‌. උපකරණය ගොඩක්‌ ප්‍රයෝජනවත්. මුහුදේදී වන අනතුරු, සඥා ඇනහිටීම් ක්‍ෂණිකව ගොඩබිමට දැනගන්න පුළුවන්. එහෙම අනතුරට පත් යාත්‍රාව මුදවාගැනීමට කඩිනමින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ජාත්‍යන්තර මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම යාත්‍රාවලට වී.එම්.එස්‌. උපකරණ සවි කිරීමට අනිවාර්ය කළ යුතුයි...''

''ඒ වගේම විශාල යාත්‍රා දේශීය මුහුදේ ධීවර කටයුතුවල යෙදෙනවා. අඩි 50, 60 යාත්‍රා දේශීය මුහුදේ කර්මාන්තයේ යෙදිලා වැඩක්‌ නෑ. යාත්‍රාවක්‌ පිරෙන්න මාළු ගේන්න බෑ. ජාත්‍යන්තර බලපත්‍ර සහිත යාත්‍රා වරායන්වල ගාල් කරලා තියලා වැඩකුත් නෑ. අපේ රටේ ධීවර යාත්‍රා 1600 ට විතරයි ජාත්‍යන්තර මුහුදේ මසුන් මරන්න ජාත්‍යන්තර ටූනා කොමිසම අවසර දීලා තියෙන්නේ. ඒ සීමිත යාත්‍රා ප්‍රමාණය අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ යොදවන්න ධීවර බලධාරීන් කටයුතු කරන්න ඕනෑ. ජාත්‍යන්තර මුහුදේ කර්මාන්තයේ යෙදෙන්නේ නැති යාත්‍රාවල බලපත්‍ර අහෝසි කරන්න ඕනෑ. අලුත් ධීවර යාත්‍රා හිමියෝ ජාත්‍යන්තර බලපත්‍ර ගන්න පෝළිමේ ඉන්නවා. නීති ක්‍රියාත්මක කරන්න ඕනෑ අන්න ඒ දේවල්වලට. එහෙම නීති ක්‍රියාත්මක කරන්න නම් අදාළ ආයතනවල කොන්ද පණ තියෙන නිලධාරීන් ඉන්නත් ඕනෑ. ධීවර කර්මාන්තයට අදාළ ආයතනවල එහෙම නිලධාරීන් ඉන්නෙ සොච්චම් පිරිසක්‌. අනිත් සේරම පතෝල වගෙයි. මුදලට විතරක්‌ නෙමෙයි, මාළු කෑල්ලටත් යට වෙනවා. සමහර නිලධාරීන් තර්ජනය කරලා ධීවරයන්ගෙන් පගාව ගන්න අවස්‌ථා තියෙනවා. තව සමහර නිලධාරීන්ට කීයක්‌ හරි අතමිට මෙලොව්වොත් ඕන දෙයක්‌ කරගන්න පුළුවන්. ඉක්‌මනට මේ තත්ත්වයෙන් මිදුණේ නැති නම් ධීවර කර්මාන්තය තව, තවත් වල් වැදෙන එක නතර කරන්න බෑ...'' ධීවරයන් කියන කතාව පැහැදිළිය. එහෙත් සීතල කාමරවල පුටු රත් කරන ධීවර නිලධාරීන්ට සහ බලධාරීන්ට ධිවරයන් කියන මේ කතා අපැහැදිළිය.

ධීවර කර්මාන්තයෙන් රටේ ආර්ථිකයට එකතු කරන විදේශ විනිමය අතිවිශාලයි. ධීවරයන් විසින් සමාජයට කරන සේවය මෙපමණයි කියා තක්‌සේරු කළ නොහැකි තරම්ය. එහෙත් ධීවරයන්ගේ ප්‍රශ්න ගැන කතාකෙරෙනවා අල්පය. පතල් කර්මාන්තය හැරුණු විට ලෝකයේ ඇති අසීරුම සහ අවධානම්ම වෘත්තිය ධීවර කර්මාන්තයයි. ගහක්‌ කොළක්‌, මිනිස්‌ පුළුටක්‌ නොපෙනෙන රුදුරු දිය කඳක්‌ මත මාස ගණනක්‌ කරන ව්‍යායාමය මරුවා සමඟ කරන සටනකි. එහෙයින් ඔවුන්ගේ සේවයට නිසි ඇගැයීමක්‌ ලබාදීම අදාළ බලධාරීන්ගේ යුතුකමකි. එමෙන්ම තමිල්නාඩු ධීවරයන්ගෙන් මාළු කොල්ලය නතර කිරීමට ශක්‌තිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ විය යුතුය. එසේ නොවෙන්න මාළු නැති මුහුදක්‌ අපට ඉතුරු වීම වැළැක්‌විය නොහැකිය. ඉනිදු නන්නත්තාර වන්නේ ධීවර බලධාරීන් නොව දැලක්‌ දමා මාළුවෙක්‌ මරාගෙන ජීවිත ගැට ගසාගෙන සිටින අසරණ ධීවරයන්ය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »