ගංගා දෙගොඩ තලා යද්දී දිය පොද­කට අඬන බක්මි­ටි­යාව

2017-06-16 11:43:00       660
feature-top
මහ වැසී වැටී ගංගා පිටාර ගලා කඳු කඩා වැටී පළාත් ගණනාවක ජනතාව පීඩා විඳිද්දී දිය පොදක් නැතිව සිඳි ගිය ඇළ පතුල හාරමින් දිය පොදක් සොයන පිරිසක් සොයා ඉකුත් දිනෙක අපි නැගෙනහිර පළාතට ගියෙමු. කලකට ඉහත යුද්ධයෙන් පීඩා විඳි මේ මිනිස්සු අද ද ජීවිතයේ ‍අනේක වූ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නෝය. ජීවත් වීමට මහ පොළොව හා සතා සිවුපාවුන් සමඟ පොරබදන බක්මිටියාව මිනිසුන්ගේ කතාවයි මේ. අම්පාර සිට හිඟුරාණටත් එතැනින් පන්නලගමටත් ගිය විට බක්මිටියාව ගමට යන පාර හමුවේ. පන්නලගම හන්දියෙන් දකුණට හැරුණ විට ගල්බොරළු සහිත වැළිපාර දිගේ බක්මිටියාවට යෑමට අපි ඒ හිමිදිරියේ ගමන ඇරැඹූවෙමු.

වාහනය ඉදිරියට ඇදෙන්නේ පැද්දෙන ගමනිනි. ඒ මාර්ගයේ වළ ගොඩැලි අධික බැවිනි. ගමට යන මඟ දෙපස එක යායට ඇත්තේ බඩ ඉරිඟු හේන්ය. නමුදු ඒ බඩ ඉරිඟු හේන්වල දැන් අස්වැන්න නෙළා හමාරය. දැඩි පෑවිල්ලට හසු වූ හේන් යාය පෙනෙන්නේ පරඬලා ලෙසිනි. අවට ගහ කොළ තිබුණ ද ඒ හිමිදිරියේ වුව ද ගත වදින්නේ උණුසුම් සුළඟය.

වයස අවුරුදු හැත්තෑ එකක් පමණ වන සුබසිංහ මාමා අපට හමු වූයේ ගමනේ අතරමඟකදීය.

“ මම උපන් දා ඉඳලා ජීවත් වෙන්නේ මේ ගමේ. මගෙ අයියව කොටි මැරුවා. අපි හේන් කරලා ජීවත් වෙන මිනිස්සු. වනජීවී එකෙන් ඇවිල්ලා අලි අඹනවා. නමුත් දැන් අලි අපව එළවනවා. ඉස්සර නම් අලි රතිඤ්ඤා කරලටත් බයයි. යුද්ධ කාලේ අපේ ගමේ හැට ගණනක් විතර කොටි ගහලා මැරුවා. මිනිස්සු හුඟ දෙනෙක් ගම දාලා යන්න ගියා. මෙදා පාර බඩ ඉරිඟුවලින් අපට ලාභයි. බඩ ඉරිඟු කිලෝ එකක් රුපියල් හතළිස් අටයි. ඒත් ගිය පාර වෙලාවට වැස්ස නොලැබුණු නිසා අපිට ලාභයක් ලබන්න බැරි වුණා. නමුත් අපිට බොහෝ දුෂ්කරතා තියෙනවා.” සුබසිංහ මාමා පවසන්නේ ගමේ මිනිසුන්ට ඇති ප්‍රශ්නවලින් ටිකකි.

ගම ඇතුළට යන්නට යන්නට තවත් දුෂ්කරය. ඈතින් ඇසෙන කුරුල්ලෙකුගේ හඬක් ඇරෙන්නට වෙනත් හඬක් ගමෙන් නෑසේ. ජලය හිඟ වීම ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්නවලින් එකකි.

කොහේදෝ ගමනක් යමින් සිටි පුංචි බණ්ඩා ගුණසේන මාමා අපට හමු වූයේ අතරමඟදීය. ඔහු ගම පිළිබඳ අප නොදන්නා තොරතුරු කියන්නට ඉදිරිපත් වුයේ ස්ව කැමැත්තෙන්මය.

“1815 ඌවේ කැරැල්ල වෙලාවේ හැංගෙන්න ආපු අයගෙන් තමයි මේ ගම හැදිලා තියෙන්නේ. ඒ කාලේ පවුල් තුනහතරක් තමයි ගමේ ඉදලා තියෙන්නේ. ගමේ අයගේ වාසගම හැදිලා තියෙන්නේ දෙමළ අයගේ වාසගම් හැදෙන විදිහට. ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ ගොවිතැන් කරලා. මම ගොවිතැනට අමතරව යාතුකර්ම කරනවා. පොල් ගෙඩිය කරකවලා, කුල්ල කරකවලා යම් යම් යාතු කර්ම කරනවා. (ගුණසේන වෙදමහතා අපට කුල්ල කරකවා පොල්ගෙඩිය කරකවා පෙන්වීය. ඔහු කියන අනාවැකි අපට හරි අපූරු අත්දැකීමක් වුයේය.) ගමට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වතුර නැතිකම. පැවිල්ලට ඇළ හිඳුනට පස්සේ දුවිලිගල ඔයේ වළවල් හාරලා තමයි ගමේ මිනිස්සු වතුර බොන්න ගන්නේ. මේ වතුර හරි පිරිසුදුයි. කුඹුක් ගස් හේදිලා එන වතුරනේ.” ගුණසේන මාමා පවසන්නේය. ඒ අතර ප්‍රධාන සුභසිංහ මාමා උදැල්ලක් ගෙනැවිත් දූවිලිගල ඔයේ වළක් හාරන්නට වූයේය. උදළු පහර දෙක තුනක් වදින විට දිය මතුවන්නට වුයේය. එය පුංචි වළකි. ඒ වළේ දිය පිරෙනතුරු වරු ගණනක් බලා සිටිය යුතුය. දූවිලිගල ඔයේ ඈතින් ඈතට මෙවැනි වළවල් ගණනාවකි. බක්මිටියාවේ ගැමියන් දිගු පෑවිල්ට ජලය ගන්නේ එවැනි වළවල් වලිනි.

හේන් ගොවිතැන් කිරීට හැකියාවක් නැති ගැමියන් මේ දිනවල සිටින්නේ ගමින් පිටය. ඒ කුලී රස්සා සොයාගෙන ගොස්ය. දැන් ගමේ සිටින්නේ වයෝවෘද්ධ කිහිප දෙනෙකුත් වැඩිහිටියන් හා පාසල් ළමයින් පමණි. රන් මැණිකා අම්මා අපට හමු වුයේ ඇගේ නිවෙස ඉදිරිවපිටදීය.

“අපේ ගමට පිටින් එනවා අඩුයි. හැම දේටම පිහිටට ඉන්නේ ආමි එක තමයි. අද මම ක්ලිනික් යන දවස. ඒත් යන්න වාහනයක් නැහැ. අද ගමට තියෙන බස් එක වැඩ නැහැ. බක්මිටියාවේ ඉඳලා තෝට්ටම ඩිස්පැන්සරියට යන්න වීල් එකකට රුපියල් දාහක් දෙන්න ඕන. සල්ලි නැති නිසා ඒ ගමන ගියේ නැහැ. අපි හැමදාමත් නගරයෙන් වෙන් වෙලා ඉන්න මිනිස්සු. බැරිද පුතේ අපේ මේ පාර හදලා දෙන්න ඔය කාට කාට හරි කියලා.” රන්මැණිකේ අම්මා විමසූයේ ආයාචනාත්මක හඬිනි.

දූවිලිගල ඔය ඇත්තේ ගම මැද්දේය. ඔය මහ වැස්සට පිටාර ගලන්නේය. එවිට ගම ඇතුළේම එහෙ මෙහෙ යෑම අපහසුය. දූවිලිගල ඔය හරහා පාලමක් ඉදිකිරීමට අත්තිවාරම වැටුණේ මීට වසර තුනකට පමණ පෙරය. නමුදු තවමත් පාලමේ වැඩ ඉවරකර නැත. ගැමියන් ඒගැන කතා කරන්නේ කනගාටුවෙනි.

බක්මිටියා ගම කෙළවර වන්නට තිබෙන මොරාන වෙල් යායේ ගොවිතැන් කරමින් සිටි සමන් බණ්ඩාර සමඟ අපි කතාකරන්නට වීමු.

“පැළ කාලේ ඉදලම ගොයම රකින්න ඕන. ගමට හැම වෙලේම අලි එනවා. අපි හේන්වලත් පැල් රකිනවා. මම අඳේට කුඹුරු කරන්නේ. අක්කරයට රුපියල් පන්දාහක් ගෙවනවා. මේ ගමේ කියන්න කිසිම වරදක් නැහැ. ඒත් ගමට පාරක් තිබුණ නම් අපිට මීට වඩා දියුණු වෙන්න පුළුවන්. දැන් පාලමේ ගල් පැළවෙන්නත් ඇවිල්ලා. අලින්ගෙන් අපට කරදරයි . අලි එන්නේ රංචු පිටින්. එත් අපිට අලි කියන්නේ කරදරයක් නෙමෙයි. මොරාන කුඹුරු යායට මගේ ගෙදර ඉඳලා කිලෝ මීටර දෙක තුනක් පයින් එන්න ඕනෑ. මේ ගම දුෂ්කර තමයි . වතුර නැහැ, පාර නැහැ, අලි ඉන්නවා කියලා අපිට අපේ ගම දාලා පිට ගමකට යන්න හිත හදාගන්න බැහැ . මොන දුක විඳගෙන හරි අපි මේ ගමේම ඉන්නවා.” සමන් පවසන්නේ යළිත් කුඹුරට බසින ගමන්ය.

එක යායට නිදිකුම්බා මල් සිය දහස් ගණනින් පිපුණු හිස් ඉඩමක් පසු කරමින් අපි මොරාන වෙල් යායේ සිට ගම මැදට එන්නට විමු. දැන් කාලයක පටන් ගමේ යුද හමුදා කැම්ප් එකක් තියෙන්නේය. ගැමියන් ඔවුන් පිළිබඳ කතා කරන්නේ ආදරයෙනි.

“උණක් හෙම්බිරිස්සාවක් හැදුනම අපිට හමුදාවෙන් බෙහෙත් දෙනවා. නැත්නම් ඉතින් අපි බෙහෙත් ගන්න කිලෝමීටර ගණනක් පයින් යන්න ඕන. ගමට කොටි ගැහුවට පස්සේ තමයි කෑම්ප් එක හැදුවේ . ගමේ හැම දේටම ආමි එකෙන් උදව් තියෙනවා .” ගැමියෙක් පැවසිය.

යුද හමුදා කඳවුර ඇත්තේ බක්මිටියාව පාසල ආසන්නයේමය. අපි පාසලට ඇතුළුවන විට පාසල් දරුවන් රැසක් මේසයක් මත ඇති පත්තරයකට ඔළුව නවාගෙන ලොකු වැඩකය. අපි ඔවුන් බලන්නේ කුමක්දැයි යන්න පිළිබඳ විමසිලිමත් විමූ.

“අපි ප්‍රහේලිකාව පුරවනවා.” දරුවෝ එක්කෙනා දෙන්නා බලමින් උන් පත්තරය අසලින් ඈත් මෑත් වෙමින් පැවසූහ.

“අපි සිළුමිණ පත්රෙන්”

දරුවන් අප දෙස බැලුයේ පුදුමයෙනි. ඒ පාසලේ විවේක වෙලාවයි.

“අපේ දරුවන්ට අමතර පන්ති යන්න එන්න විදිහක් නැහැ. එක කන්නයකට හොඳ වුණොත් අනික් කන්නය පාඩුයි. ඒනිසා දරුවන්ට වියදම් කරන්න අමාරුයි. අපේ දරුවෝ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගන්නේ මේ පාසලේ. දුෂ්කර පළාතක් නිසා ගුරුවරුන් මේ ඉස්කෝලේ රැඳෙන්න අකමැතියි. ඒත් ඉන්න ගුරුවරුන් දරුවන්ට රෑ දහය වනතුරු උගන්වනවා. හවස ඉස්කෝලේ ඇරුණම දරුවෝ ගෙදර ඇවිල්ලා කාලා නාලා ආයෙමත් ඉස්කෝලේ යනවා. අම්මලා එකතු වෙලා ගුරුවරුන්ට දරුවන්ට තේ හදලා දෙනවා. මේ පාසලේ දරුවෝ එකසිය තිස් පහක් පමණ ඉගෙන ගන්නවා. අපේ දරුවෝ වොලි බෝල් ක්‍රීඩාවෙන් කළාපයෙන් පළමු තැන තේරිලා ඉන්නේ.” ලීලාවති පවසන්නට වුයේ පාසලෙන් තම දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳය.

පාසල පසුකර එන විට හමුවන්නේ තේ කඩයයි. එය අප දුටු හැටියට නම් ගමට ඇති එකම තේ කඩයයි. එහි තේ පමණක් නොව තවත් බොහෝ දේ ඇත්තේය. අප කඩයට ගොඩවන විට දහනායක මාමා වතුර මුට්ටියට ගින්දර දමමින් සිටියේය. ඒ ආසන්නයේම පුටුවක වාඩි වී ඔහුගේ බිරිය සුදු මැණිකේ බලා සිටින්නීය.

“මම මේ කඩේ කරන්නේ අවුරුදු හතළිහක් තිස්සේ. ගමට එන කවුරුත් මේ කඩේට ඇවිල්ලා තේ එකක් බීලා තමයි යන්නේ.” මුදලාලි මාමා උණු උණු තේ කෝප්පයක් අතට දෙන අතරේ පවසයි. කලක් ඔවුන්ගේ කඩය බොහෝ සරුසාරයට තිබිණි. නමුදු දැන් එය එතරම්ම සරු නැත . කඩය සරුසාර නොවීමට ද හේතුවක් ඇත්තේය. සුදු මැණිකේ අම්මා ඒ හේතුව පවසන්නට වුයේ බොහෝ වේලවකට පසුය.

“කොටි ගම් වැදුණු වෙලාවේ අපේ කඩේටත් ආවා. ගමේ මිනිහෙක් ඉස්සරහට දාලා තමයි කඩේ දොර ඇරවා ගත්තේ. කිහිප දෙනෙක්ම ආවා. අපි කිව්වේ ජීවිත හානි කරන්න එපා මොනවා අරන් ගියත් කමක් නැහැ කියලා. ඒ කාලේ අපි සල්ලි බැංකුවල දාන්නේ නැහැ. හම්බ කරපු හැම සතේම තිබුණේ ගෙදර අල්මාරියේ. ගෙදර තිබුණු හැම දේම අරගෙන ගියා. ඇඳන් හිටපු රෙද්ද විතරයි ඉතිරි වුණේ. ඒ වැටුණු වැටිල්ලට අදටත් අපිට ගොඩ එන්න බැරි වුණා.

ගමේ මිනිසුන් මොන ප්‍රශ්න තිබුණද දවස ගෙවන්නේ සතුටිනි. ඔවුන්ගේ ජීවිතවල බොහෝ දුෂ්කරතා ඇත්තේය. ඒ දුෂ්කරතා පෙළෙහි මුලටම ඇත්තේ ගමට පාරක් නැතිකමය. වතුර නැති කමය.

“අපි ගැන බලන්න වගකිවයුතු අය ආවේ නැති වුණාට ඡන්දය කාලෙට නම් මොන දුෂ්කරතා තිබුණත් ඔවුන් ගමට එනවා. ඒත් පහුවෙනකොට ඔවුන්ට අප අමතකයි.” ගැමියා පවසන්නේ කනගාටුවෙනි.

ගමට පාසලක් මෙන්ම පන්සලක් ද ඇත්තේය. වසර ගණනාවක් මිරහල පුරාණ රජමහා විහාරය පැවැතියේ පාළුවට ගොස්ය. නමුදු වර්තමානයේ විහාරාධිපතිධුරය උසුලනු ලබන පන්නල්ගම ගුණසිරි හිමියෝය.

“ගමේ මිනිස්සු පන්සලත් සමඟ බොහෝම සම්බන්ධයි. ඒත් ගමේ මිනිස්සුත් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉන්නේ. මේක පුරාණ විහාරයක් . සද්ධාතිස්ස රාජ්‍ය යුගයට අයත් පන්සලක් මේක. මේ ගමට මීරාහල කියලා නම හැදිලා තියෙන්නේ ඒ කාලේ මී මල්වලින් මත්පැන් හදලා තියෙන නිසා. දැන් පන්සලේ දහම් පාසල පවත්වාගෙන යනවා. නමුත් පන්සලේ විදුලි බිල ගෙවා ගන්න වුණත් හරි අමාරුයි.” විහාරාධිපති හිමියෝ පැවසූහ.

හැන්දෑ අඳුර ගහකොළ අතරින් ගමට එද්දී අපි ගමෙන් සමුගන්නට විමු. සුදු වැලි පාරේ දූවිලි අවුස්සමින් ආ රථය වැල්ලේ එරිනි. ඒ ගොවියන්ගෙන් බඩ ඉරිඟු ගෙන යන්නට ආ ලොරියක් හා පාර මාරු වීමට යෑමේදීය. පෑවිල්ල කාලයට බක්මිටියාවට මේ ලෙස ගිය ද වැසි සමයට නම් ගමට යෑම සිහිනයක් වනු ඇත. ඒ පාරවල් මඩ වී වතුර පිරී අවහිර වන බැවිනි. අහසට වැඳ වැස්ස වසීවා කියා යදින ගැමියන්ම අනේ කොහොම හරි අපේ පාර හදලා දෙන්න යැයි වගකිව යුත්තන්ට කියන්නේ ද දෑත් එකතු කරමය. බොහෝ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන මේ මිනිසුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම වෛද්‍ය කඳවුරක් කිරීමට යම් අයෙකුට හෝ සංවිධානයකට ඉදිරිපත් විය හැකි නම් එය මහත් පිංකමක් වනු ඇත.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »