බණක් අහන්න පන්ස­ලක් නැති ගමක්

2017-06-14 09:39:00       660
feature-top
මේ පසු වූයේ උතුම් වූ පෙසොන් පොහොයයි. අප බෞද්ධයන් තම තමන්ගේ ගම් ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන කරා ගොස් පිංකම්වල යෙදෙද්දී සාමාන්‍ය දිනයකට හෝ වන්දනා කිරීමට හරිහමන් විහාරස්ථානයක් නොමැතිව ළතැවෙන පිරිසක් ගැන කතාවකි මේ. රටපුරා දෙමහල්ව තෙමහල්ව ඉදිවූ විහාරස්ථාන කරා ගොස් බැතිමතුන් තෙරුවන් නමදිද්දී තමන්ටත් වඳින්න පුදන්න හරිහමන් පන්සලක් ලැබෙනතුරු මේ පිරිස සුසුම් හෙළමින් බලා සිටිති. ඒ ගම්මානය පුත්තලම නගරයෙන් කිලෝ මීටර් හත අටකට එපිටින් පිහිටි විලුකය. අපි ඔවුන් හමුවී සොයා ගත් ඔවුන්ගේ කතාවයි.

පුත්තලම නගරයෙන් ගමන් ආරම්භ කළ අපට පරණ මන්නාරම් මාර්ගය ඔස්සේ පැමිණෙද්දී ප්‍රථමයෙන්ම හමුවූයේ කුඩා වෙළෙඳ සංකීර්ණයකි. එහි තේ කඩ කිහිපයක් ඉදිවී ඇති අතර, පසෙක සිල්ලර කඩද නැතිවාම නොව. එයට යාබදව ඉදිකර ඇති විශාල දෙමහල් මුස්ලිම් පල්ලියකි. පල්ලියට මදක් නුදුරින් දිවයන කාපට් ඇතිරූ ප්‍රධාන මාර්ගයේ අපි ගමන් කළෙමු. එහිදී පළමුව අපට හමුවන්නේ දුම්රිය හරස් මාර්ගයකි. ඒ එළුවන්කුලම අරුවක්කාඩුව සිට පුත්තලම දක්වා සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය ඛනිජ රැගෙන යන දුම්රිය මාර්ගයයි. ඉන් ඔබ්බට අලි නෑවිය හැකි තරම් වූ වළවල් මඟහරිමින් අපි මාර්ගයේ දුෂ්කර ගමනක යෙදුනෙමු.

එදින ඉරිදා දිනයකි. සුදු ඇඳුමෙන් සැරසුණු කුඩා දැරියක මල් වට්ටියක් ද රැගෙන අප ඉදිරියටම එනු නෙත ගැටුණේ ඒ අතරතුරය.

‘‘කොහෙද මේ චූටි දුව යන්නේ... මල් වට්ටියකුත් අරගෙන’’ ඇයද එක්තරා කටකාර දැරියක බව ඇගේ බැල්මෙන් අපට හැඟී ගියේය. ‘‘ මං කොහෙ ගියත් ඔයාලට මොකද? ’’ කොණ්ඩ කරල් දෙක ගස්සා දුවන්නට සැරසෙමින් දැරිය පැවසුවාය.

ඒ වෙන යමක් නිසා නොව අප අත රැඳි කැමරා ආයිත්තම් දැක සැක පහළ කිරීම යැයි අපට සිතිණි. මෙවැනි දුෂ්කර ගම්මානයක සිටින දරුවන් කෙසේ කැමරා අම්පන්න දකින්නද?

‘‘හා...හා.. ඔහොමද දහම් පාසල් යන ළමයි වැඩිහිටියන්ට කතා කරන්නෙ ’’

‘‘දහම් පාසල් මොන දහම් පාසල්ද ’’ ප්‍රශ්නාර්ථයකින් යුතුව දැරිය පැවසුවාය.

‘‘අපිට දහම් පාසලක් නැහැ අපි දහම් පාසල් යන්නෙ මේ නුග ගහ ළගට ’’

අප ආවේද මෙතැනසොයාය. අපි තවදුරටත් දැරියගෙන් තොරතුරු විමසීමු.

ඇය අප අදාළ ස්ථානයට කැටුව ගියාය. කුඩා දැරිය යන අඩි පාර දිගේ ගමන් ගත් අපට දකින්නට ලැබුණේ එක්තරා මනස්කාන්ත දර්ශනයකි. සැබැවින්ම අපට සිහිපත් වූයේ පෙර කල ගුරු ගෙදරකි. ඉතා පැරැණි නුග රුකක් පාමුල සුදු ඇඳුමෙන් සැරසුණු දරු පැටව් පිරිවරාගත් ගැබනි මවක් ඒ දරුවන්ට අකුරු කියා දෙන්නීය. එක් අතකින් ඒ දසුන දුර්ලභය. දරු ගැබක් ඔසවාගෙන දරුවන්ද පිරිවරාගෙන ඇය බෙදා දෙන්නේ දහම් දැනුමය.

අපේ නගරාසන්න බොහෝ ප්‍රදේශවල විහාරස්ථානවල දහම් පාසල් අධ්‍යාපනය ලබන අපේ දූ දරුවන් ඒ අතින් කෙතරම් වාසනාවන්තදැයි මට සිතිණි. එම දහම් පාසල් අතරින් බොහොමයකට අඩුම වශයෙන් හිසට සෙවණක් හා වාඩිවී සිටින්නට පුටු බංකු මේස ඇත්තේය. පැදුරු කඩමලු බිම එළාගෙන නුග සෙවණේ දහම් අධ්‍යාපනය ලබනා මේ දරුවන් කෙතරම් අසරණද? ස්ථීර දහම් පාසල් ගොඩනැගිල්ලක් තබා මේ දරුවන්ට වඳින්න පුදන්නටද හරිහමන් තැනක් නැත්තේය.එහෙත් මේ දරුවන්ට ද දහම් අධ්‍යාපනය අවශ්‍යය.

අප මේ ස්ථානයට පැමිණ සිටි ඒ මොහොතේ පාපැදියෙන් එතැනට පැමිණි කාන්තාවක් අසල නිවෙසකින් ඉදලක් ඉල්ලා ගෙන එම ස්ථානය පිරිසුදු කරන්නට වූවාය. මෙය අපට ගැටලුවකි.

‘‘උපාසක අම්මා අතු ගාන්න ආවාද? මොකද මේ හිටි ඇටියෙම අතු ගාන්න හිතුණේ? ’’ අපි ඇය විමසීමු.

‘‘අනේ නැහැ මහත්තයෝ අපට බණක් දහමක් අහන්න පන්සලක් නැහැනෙ. ඒකයි මේ අතුගාලා සාරි ටිකක් එල්ලන්න හදන්නෙ තව ටිකකින් හාමුදුරුවො මෙතැනට බණකට වඩිනවා ’’

මෙතැන ඇත්තේ දරුවන්ගේ සෙල්ලම් ගෙයක්වත්ද? මෙහෙම තැනක බණක් කියන්නේ කොහොමද? අපට ඇති වූයේ කුකුසකි. සුළු මොහොතක් යද්දී එතැනට පැමිණි ගමේ අය ඉනි දඬු ගසා සකසන ලද කුඩා පැල්පතක් වටා සාරි එල්ලනට වූහ. ඒ සමඟම වාගේ උවැසි උවැසියන් සාදු සාදු හඬින් සාදු නද දෙද්දී එතැනට ස්වාමීන් වහන‍්සේ නමක් වැඩියහ.

‘‘අවසර අපෙ හාමුදුරුවනේ ’’

‘‘ඔය මහත්තයලා කොහෙන්ද ’’

‘‘අපි සිළුමිණ පත්තරෙන් අපෙ හාමුදුරුවනේ...මේ ගමට පන්සලක් නැහැ කියන ආරංචියට තමයි අපිත් ආවේ. ’’

‘‘බොහොම හොඳයි මහත්තයො බොහොම හොඳයි පුළුවන්නම් ලිපියක් දාන්න ගොඩක් අය එනවා බලනවා යනවා හැබැයි පන්සලනම් තාම හැදුණේ නැහැ. එහෙම හැදුණානම් අද මට මෙහෙම ඉන්න වෙන්නෙත් නැහැනෙ. ’’ යැයි පුවත් පතේ නම සඳහන් කිරීමට අකැමැති එ හිමියෝ පැවසූහ. උන්වහන්සේ කිලෝමීටර් හතකට අටකට එපිටින් පිහිටි ශ්‍රී ධම්මරාජික විහාරස්ථානයේ සිට මෙතැනට වැඩම කරවා සිටියේ විලුක ගම්මුන්ගේ ආරාධනාවකට අනුව බෝධි පූජා පිංකමක් පැවැත්වීමටය.

බණ ඇසීමට ගම්මුන් බොහෝ පිරිසක් එක්රැස් වන්නට වන්නේ ඔය අතරතුරය. ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් කටයුතු කළ ඒ ගම්මුන්ගේ දෑස් අපේ කැමරා ආම්පන්න කරා ඇදී ගිය අවස්ථා එමටය. එතැන නායකත්වය ගෙන කටයුතු කළේ ධර්මදාසය. ඔහු එහිදී අපත් සමඟ කතාබහක යෙදිණි.

‘‘අපේ ගමේ නම විලුක මේ ගමේ පවුල් හැටක් විතර ඉන්නවා. ඒ පවුල් හැටම වගේ බෞද්ධ. ඉතිං අපිට එදා ඉඳලම වඳින්න පුදන්න පන්සලක් නැති එක ලොකු ගැටලුවක්. ඒක නිසා අපේ සිරිත් විරිත් දැන් ටිකෙන් ටික නැතිවෙලාම යන තත්ත්වයකට වැටිලා තියෙන්නෙ. අපට පන්සලක් නැහැ. ඒත් මේ ගමේ ඇති තරම් බොරළු තියෙනවා. ඒ බොරළු ටික හොරෙන් ඇද ගන්නනම් ඕන තරම් අය එනවා. දැන් මේ වෙද්දි කෝටි තුන් හාරසීයක බොරළුම ඇදලා ඇති. හැබැයි ඒක නැවතුනෙත් ‘සිළුමිණ’ පත්තරේට පිං සිද්ධ වෙන්නයි. නැත්නම් අපේ ගම ඉවරෙටම ඉවරයි. අපිට බණක් අහන්න පන්සලක් නැහැ. බණක් කියන්න හාමුදුරුවො කෙනෙක් නැහැ. ළමයින්ට දහම් පාසලක් නැහැ. කව්රු හරි පිං කැමති කෙනෙක් ඉන්නවනම් අපිට පන්සලක් ඉදිකරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’’

චමෝදි උදයංගි ගමේ දැරියකි. ඉගෙනුම ලබන්නේ 11 වැනි ශ්‍රේණියේය. ගමට දහම් පාසලක් නොමැතිකම ඔවුනට දැඩි අඩුපාඩුවකි.

‘‘අපිට දහම් පාසලකට යනවානම් අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් 6ක් විතර යන්න වෙනවා. ඒ යන්න වෙන්නෙත් පයින්. ඒ නිසා අපි කව්රුත් දහම් පාසල් යන්නෙ නැහැ. මේ අවුරුද්දෙ අපිට සාමාන්‍ය පෙළ විභාගය තියෙනවා. ඒත් ඒකට අවශ්‍ය දැනුම ගන්න අපට දහම් පාසලක් නෑ.’’

විලුක ගමේ පදිංචි එච්.ඒ.මාලනී මහත්මිය ද මේ සම්බන්ධයෙන් අප හා කතාබහ කළාය.

‘‘ගමට පන්සලක් නැති එක අපට ලොකු අඩුවක්. බෝධි පූජාවක් තියන්නෙත් අපි ටික එකතුවෙලයි. බණ කියන්නෙත් අපි. බණ අහන්නෙත් අපි. හාමුදුරුවො වඩින්න කැමති නැහැ. මොකද සාරි කඩමලු එල්ලලා තියෙන නිසා. බුදු මැදුරක් හදලා තියෙනවා දැන් අවුරුදු ගාණකට කලින් දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නෙ ඒ බුදු ගේ විතරයි. තව පැත්තකින් අපේ ගමේ කට්ටිය එකතු වෙලා ආවාස ගෙයක් හැදුවා. ඒකෙත් වැඩ අද වෙද්දි බාගෙටයි වෙලා තියෙන්නෙ. ඉතිං අපි ‘සිළුමිණ’ හරහා පිං කැමති කොයි කාගෙන් හරි ඉල්ලන්නෙ බණක් දහමක් අහන්න අපිට මේ පන්සල ඉදිකරලා දෙන්න කියලයි.’’

‘‘මෙතැනට බුදු පිළිම වහන්සේ නමක් අපේ ගම්මු ටික එකතු වෙලා ඉදිකරගෙන තියෙනවා. උපාසිකාවොත් අපි. තවත් වෙලාවකට අපම ගුරුවරුත් වෙනවා. මේ කුඩා දරුවන්ට දහම් දැනුම දෙන්න කුඩාවට හරි අපට දහම් පාසලක් ඉදිකරලා දෙන්න කියලයි අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ.’’ නුග ගහ යට දහම් පාසලට සිය දරුවා කැටිව ආ එච්.ඩබ්.සුනීතා දමයන්ති මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් විලුක ගමේ පදිංචි එල්.ආර්. චන්ද්‍රවතී මහත්මියය අප හා අදහස් ප්‍රකාශ කළාය.

‘‘අපි දැන් අවුරුදු පහළොවක් තිස්සෙ ඉඳලා ගමට හරි හමන් පන්සලක් නැතිව දහ දුක් විදිනවා. අපිට පන්සල් යන්න තියෙන්නේ කිලෝ මීටර් 6-7ක් දුරකට. දානෙ අරන් යද්දි ඔළුවෙ තියාගෙන පයින් යනවා කිලෝ මීටර් 4ක් විතර ඉතුරු ටික තමයි බස් එකෙන් යන්නෙ. අපේ ගමේ කුඩාවට හරි පන්සලක් හදා ගන්න කියලා අපි අඩිතාලම දැම්මෙ දැන් අවුරුදු පහළොවකට පමණ ඉස්සෙල්ලයි. ඒත් අපට තාම පන්සල හදා ගන්න බැරි වුණා. පන්සල තාමත් එදා හදපු ටික විතරයි.

අවාස ගෙයක් හදලා තියෙනවා ඒකත් හදපු තැනමයි. ඒ අවාසෙ හැදුවනම් හාමුදුරු නමක් වඩම්මවන්න තිබුණා.

ඒ කටයුතුත්තත් දවසෙ ගානෙ මග හැරෙනවා ඒකට හේතුව මේ ගමේ ඉන්නෙ ගොඩක් දුප්පත් අයයි. ඒ අය දවසෙ කුලියක් මලියක් කරලා කීයක් හරි හොයා ගන්නවා මිසක් ඒකෙන් දරුපවුල නඩත්තු කරන්නත් අමාරුයි. ඉතිං මම අවසාන වතාවටත් ඉල්ලා සිටින්නෙ අපේ ගමට පන්සලක් ඉදිකරලා දෙන්න කියලයි.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »