අත් නැතුව ටයර් මාරුකර විස්කම් පාන දිරිය මිනිසා

2017-06-13 09:40:00       684
feature-top
කොස්ගස් හන්දියත් ඩිටෝ හන්දියත් අතර ටයර් වැඩපලකි. නිවාඩු දිනයක් නිසා ටයර් වැඩපළ වසා තිබුණි. ටයර් වැඩපළ වසා ඇති බව නොදැන පැමිණි ගනුදෙනුකරුවකු ඒ අසල සිටි අත්දෙකම නැති පුද්ගලයකුගෙන් ටයර් වැඩපලක් ඇති තැනක් අසන්නට විය. නමුත් අත් දෙකම නැති පුද්ගලයා පවසා සිටියේ තමන්ට ටයරය මාරු කර දිය හැකි බවය. අත් දෙක නැති පුද්ගලයාගේ ප්‍රකාශයෙන් පැච් එකක් දමා ගැනීමට පැමිණි රියැදුරා අන්දමන්ද විය. අත් දෙකම අහිමිවූ පුද්ගලයා ඩිකියේ ජැක් එක ඉවතට ගනිමින් වීල් බ්‍රෂ් එකෙන් ටයර්වල ඇණ බුරුල් කරන්නට වූයේ නිමේෂයකිනි. ඉන්පසු වැළමිට ගාවින් ජැක් එක රථය යටට තල්ලුකර බලා සිටත්දී රථය ඔසවා නට්වලින් ගැලවූ ටයරය පිටින් තබා අමතර රෝදය රථයට සවිකිරීමට මේ වැලමිටින් අත්දෙක ඉවත් කර ඇති පුද්ගලයා දැක්වූ දස්කම දුටු රථය එළවාගෙන ආ රියැදුරා පැත්තකට කතා කොට ඔහුට මේ අත්දෙක අහිමිවූ ඉතිහාසය හාරා අවුස්සන්නට විය.

තම අත්දෙකම වැළමිට ගාවින් නැතිවුණත් වාහනවල ටයර් ගලවා අමතර රෝද සවිකර ජීවත්වන පුද්ගලයාගේ සම්පූර්ණ නම වීරසිංහ ආරච්චිලාගේ සිසිර කුමාරය. ඔහුගේ උපන් බිම වන්නේ කොළඹ පුරහල හන්දියේ චිරප්‍රසිද්ධ රහුමානියා හෝටලයට යාබදව තිබූ වත්තක් බව ඔහු කියයි. ඔහුගේ  පියාගේ නම රංජිත් වන අතර ඔහු තවමත් කොළඹ මහ නගර සභාවේ සේවය කරයි. සිසිර කුමාරට සිටින්නේ අක්කලාම දෙදෙනෙකි. ඔවුන් නමින් නිලන්ති සහ පේ‍රමිලාය.

මෙම ලිපිය ලිවීමේදී සිසිර කුමාර උගත් පාසල අප සඳහන් කරන්නේ නැත්තේ ඔහු මෙරට ප්‍රධානම පාසලක උගත් පුද්ගලයකු නිසාය. තම පාසල් මිතුරන් සමකාලීනයන් ගැන අහද්දී එය පැවසීමට සිසිර කුමාර අදිමදි කරන්නට විය.
1987 පමණ වෙද්දී සිසිර කුමාර උසස් පෙළට පෙනී සිටින්නට සූදානම් වෙමින් සිටියදී අම්මා රෝගාතුර තත්ත්වයකට පත්වූවාය. කහඋණ වැලඳී අසාධ්‍ය වූ අම්මා අවසානයේ මරණයට පත්වූවාය. අක්කලා දෙදෙනා සමග සිසිර කුමාර මොලොව තනිවිය. තිදෙනාගේ අධ්‍යාපනයට බරපැන දරන්නට තරම් නගර සභාවේ සුළු රැකියාවක් කළ සිසිර කුමාරගේ පියා මසකට ඉපයූ කාසි ‍පොට්ටනිය ප්‍රමාණවත් වූයේ නැත.

ගෙදර අගහිඟකම් බොහෝ වූ නිසා මෙරට ප්‍රධානම පාසලකට ඇතුළුවී අධ්‍යාපනය ලබන්නට වරම් ලැබුවත් උසස් අධ්‍යාපනය හමාර කරන්නට තරම් සිසිර කුමාර වාසනාවන්ත වූයේ නැත.

අනූව දශකය ආරම්භයත් සමග සිසිර කුමාරගේ නිවසටද අත්විය යුතු ඉරණම අධිකරණය විසින් තීන්දු කර හමාරය. වත්තක් ලෙස විවිධ පුද්ගලයන් බලහත්කාරයෙන් නිවාස තනාගෙන තිබුණද එම ඉඩමේ නීත්‍යනුකූල අයිතිකරුවකු විය. බලහත්කාරයෙන් ඉඩම අල්ලාගත් පුද්ගලයන් එයින් ඉවත් නොවූ තැන ඉඩමේ අයිතිකරු ඔවුනට එරෙහිව නඩු පවරා පුරා අවුරුදු 18ක් නඩු කියා ජය ගත්තේය. ඉන්පසු එම වත්තේ සියලු දෙනා එක් රැයකින් පලවා හරිනලදී. සිසිර කුමාර ඇතුළු පවුල් ගණනාවකට සිදු වූයේ මහමගට වැටීමටය. සිසිර කුමාර බඩවියත සරිකරගැනීමට මගක් නැතිවූ තැන අලුත් බිස්නස් වැඩකට අත ගසන්නට සිතා ගත්තේය.

ඔහුගේ නව ව්‍යාපාරය වූයේ පිටකොටුවේ තොග කඩවලින් චුයින්ගම්, ටොෆි, චොකලට් මිලදී ගෙන දුම්රියේ ඔබ මොබ යමින් අලෙවි කිරීමයි. සතියේ දිනවල කෝච්චියේ බිස්නස් කළ ඔහු සතිඅන්තයට තම ව්‍යාපාර කටයුතු කළේ විහාරමහාදේවි උද්‍යානයේ සතුටු උයනේය. ජීවත්වීමට දැඩි වෙහෙසක් ගත්තද බිස්නස් එකෙන් ලැබුණු ආදායම යන්තමින් එදා වේල පිරිමසාගැනීමට පමණක් ප්‍රමාණවත් විය.

1996 නත්තල් දිනය එළැඹෙන්නේ මේ අතරය. නත්තලට මගීන් දුම්රියේ පිරී ඉතිරී සීරු මාරුවට ගමන් කිරීම නිසා එදා සිසිර කුමාරගේ අතමිට කවදාවත් නැති තරම් සරු විය. එහෙත් මේ නත්තල තමන් ජීවිතයේ ගත කරන ඉරණම් දවසක් වන බව ඔහු කිසිදා නොසිතන්නට ඇත. නත්තල් දා ‍පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ නිදාගත් සිසිර කුමාර රැය පහන් කළේ අමුතුම ප්‍රබෝධයකින් යුතුවය. උදෑසනම නැගිට කෝච්චි පෙට්ටියකට නැගි සිසිර කුමාර එම පෙට්ටියෙන් බැස දුම්රිය පදික වේදිකාව දිගේ සෙමින් ඇවිද ආවේ අනෙක් පෙට්ටියට නැගීමටය. හදිසියේ දුම්රියේ ඇති වූ ගැස්සීමකින් සිසිර කුමාර ප්ලැට් ෆෝම් එක අයිනෙන් රූටා ගොස් දුම්රිය පීලි මතට ඇද වැටෙන්නට වූයේ තත්ත්පර ගණනකිනි. දුම්රිය පීලි මත වැදුණ ඔහුගේ හිස බරපතළ ලෙස තුවාල විය. ඔහුගේ අත්දෙක උඩින් දුම්රිය ගමන් ගන්නවාත් සමගම සිසිර කුමාරට තමන්ගේ වැළමිට ගාවින් හිරි වැටෙන්නාක් මෙන් දැනෙන්නට විය. ඔහුට මතක එපමණය. දින පහකට පසුව ඔහුට සිහිය එන විට ඔහු සිටියේ කොළඹ මහ රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේය. ඔහුගේ අත් දෙකටම බැන්ඩේජ් දමා තිබුණි. සිහිය ආ සිසිර කුමාරට ශල්‍යකර්මයට පෙර වෛද්‍යවරයා කරුණු පහදන්නට විය.

“ඔයාගේ අත් දෙකම ඩැමේජ් වෙලා. එකක් නම් බේරන්න පුළුවන්. අනිත් එකත් උත්සාහ කරලා බලමු.”
මේ අතර සිසිර සමග දුම්රියේ බිස්නස් කළ වෙළෙන්දන් ඔහුගේ ගෙදරට දැන්වීම නිසා ඔහුගේ පියා සහ අක්කලා ඔහු බලන්නට රෝහලට පැමිණීම ඔහුට අස්වැසිල්ලක් විය. ශල්‍යකර්මයෙන් සිසිර කුමාරගේ හිසට මැහුම් 18ක් දමා තිබුණු අතර උඩුඇන්ද සහ යටිඇන්ද රේල් පීල්ලට වැදීම නිසා දත් 12කට වඩා හානියට පත්වී තිබුණි. මාසයකුත් දවස් අටක් සිසිර කුමාරට මහ රෝහ‍ලේ ප්‍රතිකාර ලබන්නට සිදුවිය. ශල්‍යකර්මයේදී ඔහුගේ දකුණු අත වැළමිට ගාවින් ඉවත් කරන්නට සිදුවූ අතර යන්තම් වම් අත බේරාගත්තේ වැළමිට අසලට දකුණු අතෙන් ගත් සම බද්ධ කිරීමෙනි.

එක් අතක් වැළමිට ගාවින් ඉවත් කොට ආදායම් මාර්ගයක් නැති වුවද 75 හැවිරිදි තම පියාට බරක් වීමට සිසිර කුමාර කැමැති වූයේ නැත. දිනක් වත්මන් නෙළුම් ‍පොකුණ රඟහල අසල ඉන්ධන පිරවුම්හල අසලට වී සිසිර කුමාර සිටියේ අහස ‍පොළොව ගැටගහන තරම් වූ තම ආර්ථික ප්‍රශ්න විසඳා ගත නොහැකිවය. තමන්  වෙතට කිසිවකු හඹා එන බව ඔහුට වැටහිනි. සිසිර කුමාරට අත්වූ ඉරණම දැනගත් ඒ ‘මහත්මයා’ගේ පදිංචි ප්‍රදේශය නාවල විය. ඔහුට යම් පිහිටක් වීමට ඒ මහත්මයා තම පසුම්බියෙන් රු. 25,000ක මුදලක් ගෙන එයින් ස්විප් මිලදී ගෙන අලෙවි කොට ජීවත් වන ලෙස දන්වා සිටියේ සිසිර කුමාරට අදහගත නොහැකි ලෙස. අවුරුද්දක් පමණ ඉන්පසු සිසිර කුමාරගේ රැකියාව වූයේ ස්විප් විකිණීමයි. එය ඔහුට ටිකෙන් ටික යාදෙන ව්‍යාපාරයක් විය. නමුත් අවාසනාවන්ත ලෙස වැල්ලවත්ත ප්‍රදේශයේදී මේ ආබාධිතයාගේ සබ්බ සේසතම ‘වැල්ලවත්ත’ මුහුදු තීරයේදී මංකොල්ලකන ලදී.
“අසරණ මගේ අතේ තිබ්බ ඔක්කෝම සල්ලියි, ස්විපුයි කොල්ල කෑවා. අනේ මහත්තයෝ මට කර කියා ගන්න දෙයක් නැති වුණා.” ආයෙත් කබළෙන් ළිපට වැටුණා.”

සිසිර කුමාර පවසන්නට වූයේ වේදනාබරිතවය.
සිසිර කුමාරගේ මුල්ගම කලින් කී පරිදි ටවුන්හෝල්හි රාහුමනියා හෝටලය පිටුපස වත්තට මුහුණලා ඇති පල්ලිය එකල ඉතා කුඩා එකක් විය. එය යාබදව තිබුණේ ටයර් වැඩපළකි. පාසල් කාලෙයන් පසු සිසිර කුමාරගේ විනෝදාංශය වූයේ එම ටයර් වැඩපළේ වැඩ කිරීමයි. ලොතරැයි ව්‍යාපාරයත් නැතුව අසරණ වූ ඔහු අවසානයේ එම ටයර් වැඩපළේම අත්උදව් දෙන්නට විය. මේ අතර වසර ගණනාවක් යන විට සිසිර කුමාරගේ ඉතිරි අතේද යම් ආසාත්මිකතාවක් ඇති වන්නට වූයෙන් ඔහු නැවතත් ශල්‍යකර්මයකට භාජනය විය. එහිදී ඔහුගේ ඉතිරි අතත් වැළමිට අසලින් ඉවත් කරන්නට සිදුවිය. අන්තිමට සිසිර කුමාරට අත් දෙකේම වැළමිට ගාවින් අහිමි විය. ඔහුට ජීවිතයේ හිමිවූ එකම දේ ‍පොදි බැඳගත් බලා‍පොරොත්තු ‍පොට්ටනිය පමණි. දුම්රිය අනතුරින් හිස රේල් පීල්‍ලේ වැදීම නිසා තමන් සමග පාස‍ලේ උගත් සමකාලීනයන් ගැන කියන්නට ඔහුට මතකය තරමක් අඩුය. නමුත් තම පාසල් මිතුරන් තමන්ට මේ ලිපිය මගින් දුටුවහොත් තමන්ට පිහිටට එනු ඇති බව ඔහු කියයි.

“මට මුකුත් එපා. වයසක තාත්තාට බරක් නොවී කොහේ හරි තැනක නවතින්නට දෙනවා නම් මහා පිනක්.”
ඔහු අප සමග පවසා සිටියේය. වැළමිට ළඟින් අත් දෙකම නැති වුණත් ඔහු තම ජීවන සටන අතහැර නැත. ඕනම දෙගොඩහරිජාමයේ වුවද කොස්ගස්හන්දිය, බොරැල්ල ආදී ප්‍රදේශයක වාහනයක ටයරයක ප්‍රශ්නයක් ඇති වූ විට සිසිර කුමාර එම වාහනය හඹා එන්නේ ඒ නිසා විය යුතුය.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »