මතකය නෑ ඇවිදින්න බෑ කෑම කන්න බෑ
පන්සලට පය තියපු ගමන් සේරම ලෙඩ ඉවරයි...

2017-06-12 10:15:00       585
feature-top
ඉසිවර පින් බිමක අනුහස්‌ පිරි හාස්‌කම්
මතකය නෑ ඇවිදින්න බෑ කෑම කන්න බෑ
පන්සලට පය තියපු ගමන් සේරම ලෙඩ ඉවරයි...
මොළේ ගෙඩියකින් පීඩා විඳි සරසවි සිසුවිය කියන කතාව

මගේ අයියා දිවයින පත්තරේ පළ කරන
ඉසිවර අරණ ලිපි පෙළ එකතු කරනවා...
නැවත මට විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න පුළුවන්...

කැබිතිගොල්ලෑව වාහල්කඩ මංගලාරාමය රෝගී ජනතාවගේ ලෙඩ සුව කරන ඉසිවර අරණකි. සෑම තරාතිරමකම රෝගී ජනතාව ඒ පුණ්‍ය භූමියේ කූඩාරම්ගතව රැඳී සිටින්නේ ලෙඩ දුක්‌වලට ප්‍රතිකාර ලබාගැනීමටය. පිළිකා, වකුගුඩු ආබාධ වැනි මාරාන්තික රෝග ඇතුළුව සෑම රෝගයකටම එම ස්‌ථානයේදී ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. වාහල්කඩ මංගලාරාමාධිපති හිමියන් පවසන පරිදි ප්‍රතිකාර කරනු ලබන්නේ සත්පත්තිනිs මෑණියන්ගේ දේව වරමකිනි. ආගම් බේද, ජාති බේද එහි නැත. අසරණ වී මංගලාරාමයට පැමිණෙන ඕනෑම රෝගියකුට පත්තිනි මෑණියන්ගේ අභිමතය පරිදි ප්‍රතිකාර කරනු ඇත. සත් පත්තිනි මෑණියන්ගේ ප්‍රාතිහාර්ය බලයෙන් හෝ රටේ රෝගී ජනතාවට සහනයක්‌ ලැබේ නම් එය වාසනාවකි. එවැනි පහන් සිතිවිලිවලින් සිත පුරවාගෙන විහාරාධිපති වහන්සේ සමඟ ඒ පින්බිමේ ඇති කූඩාරමක්‌ ගානේ ඇවිද ගොස්‌ රෝගීන් සමඟ අපි කතා බහ කළෙමු. රෝගීන් අපට කියූ කතා ගැන මෙන්ම මේ පින්බිමේ හාස්‌කම් ගැන දැන් අපි ඔබට කියන්නෙමු. මේ පෙළගැසෙන්නේ එම කතා මාලාවේ දොළොස්‌වැනි කොටසය.

ඈත අහසේ වැහි වලාකුළු ඈතට පාවේ. ඈත, මෑත කඳු මුදුන්, වන ගොමු පිස හමා එන සුළඟ සීතලය. පෑගෙන වැලි කැට ද සිසිල්ය. ඉඳහිට මල් වැස්‌සකින් වාහල්කඩ පින්බිම දෝවනය වෙයි. එහෙත් ඒ මල් වැස්‌ස දකුණට බලපෑ අනෝරා වැස්‌සක්‌ වූවා නම් මේ පින්බිමේ කූඩාරම්ගතව සිටින රෝගීන්ට යන, එන මං නැතිව අන්ත අසරණ වනවා නොඅනුමානය. එහෙයින් හිරු ප්‍රචණ්‌ඩ ලෙස දවාළුව ද මේ ඉසව්වට මහා වැසි අකැපය. වාහල්කඩ පින්බිමේ සිටින සියලු දෙනාගේ ප්‍රාර්ථනාව ද එයයි.

තවත් කුටියක්‌ තැනීමට ඉඩ නැති ගානය. ඇස ගැටෙන සෑම තැනම කූඩාරම්ය. වාහල්කඩ පින්බිමේ රාජකාරි කරන කපු තාත්තා කෙනෙක්‌ අපව තවත් කූඩාරමකට කැඳවාගෙන ගියේය. එම කූඩාරම ඉදිරිපිට අසුනකට බරදී සිටින තරුණියකි. ඇය අසල මැදිවිය පසු කරගෙන යන මවකි. කිසිවකුගේ රූප සොබාවෙන් ලෙඩ ගතියක්‌ නොපෙනේ. කපු තාත්තා අපව ඔවුන්ට හඳුන්වා දුන්නේය. දැන හඳුනාගැනීමත් සමඟ සිනාවකින් මුව හැඩ කර ගත් තරුණිය දිගු කතාවකට අසුන මත හරි බැරි ගැසිණි.

'අසනීප වෙලා ඉන්නෙ මමයි...' ඇයගේ මුහුණට පෑයූ සිනාව බිඳුවක්‌ හෝ අඩු නොවිණි.

අසනීපය මොකක්‌ද...?

'වෛද්‍යවරු කියන්නෙ මොළේ ගෙඩියක්‌ කියලා...' අප කියන්නට පෙර ඇය කතාවේ මුලට ගියාය.

'මගේ නම විශාඛා ලක්‌මිණි. අපි පදිංචි වෙලා හිටියේ හලාවත සේරුකැලේගම. මම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ තෙවැනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌. වයස අවුරුදු 23 යි.

''විශ්වවිද්‍යාලයේ තුන්වැනි වාරයේ නිවාඩුවෙන් පස්‌සේ පහුගිය අප්‍රියල් 24 වැනිදා තමයි නැවත පන්ති ආරම්භ වුණේ. එදා අපි විශ්විද්‍යාලයට ගිහින් නව පන්ති වාරයට කාලසටහන ලැබෙන තෙක්‌ යාළුවො එක්‌ක උසුළු, විසුළු කරමින් මිදුලේ හිටියා. එහෙම ඉන්න අතරේ ඔලුව රිදෙන්න ගත්තා. මම ගණන් ගත්තෙ නෑ. ඒත් ටිකෙන් ටික හිස කකියන ගතිය වැඩි වුණා. මම යාළුවන්ටත් නොකියා කැන්ටිමට ගිහින් වේදනා නාශක පෙති දෙකක්‌ බිව්වා. ඒත් හිසේ වේදනාව අඩු වුණේ නෑ. ඊට ටික වේලාවකින් වමනය යන්න ගත්තා. මම මිදුලේ තණ පියළි මත හාන්සි වුණා. ඊට පස්‌සෙ සිහිය එනකොට මම හිටියේ ඉස්‌පිරිතාලෙ ඇඳක්‌ උඩ...'' විශාඛා සුසුමක්‌ පිට කර හද සැහැල්ලු කර ගත්තාය. අප අතර ගලා යන කතාවට විරාමයකි. ඒ අතර කාලයේදී අප අසලට තරුණයකු ද පැමිණියේය. ඔහු විශාඛාගේ සහෝදරයාය. කෙටි නිහඬතාව බිඳිමින් විශාඛාගේ මව කතා කරන්නට විය.

''විශ්වවිද්‍යාලයෙන් කතා කරලා දුවට අසනීපයි, ඉස්‌පිරිතාලෙට ඇතුළත් කළා කියලා කියපු ගමන් පුතයි, මමයි කොළඹ ජාතික රෝහලට ගියා. ඒ යනකොටත් දුවව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරලා. එතකොටත් පරීක්‍ෂණ කිහිපයක්‌ම කරලා. වෛද්‍යවරු මට කිව්වා දුවගේ මොළේ ගෙඩියක්‌ තියෙනවා ඔපරේෂන් එකක්‌ කරලා ඉවත් කරන්න පුළුවන්. ඒකට අම්මාගේ අවසරය ඕනා කියලා. දුවගේ ජීවිතය බේරාගන්න ඔපරේෂන් එක කරන්න මම කැමැත්ත දුන්නා. වෛද්‍යවරු අවස්‌ථා කිහිපයකදීම දුවව සූදානම් කළාට ඔපරේෂන් එකට ගත්තේ නෑ. ඊට පස්‌සෙ වෛද්‍යවරු මට කතා කරලා ඔපරේෂන් එකේදී ලොකු අවධානමක්‌ තියෙනවා කියලා දුවව නැවත වාට්‌ටුවට දැම්මා. මට කර කියාගන්න දෙයක්‌ නැති වුණා. මම අන්ත අසරණ වුණා...'' ඇයගේ මුවමඬල අඳුරු වළාවකින් වැසී ගියාය. විශාඛාගේ කය අප අසලය. එහෙත් සිත දුර ඈතකය. නැවතත් අප අතර නිහඬතාවකි. මොහොතකින් පියවි සිහියට පැමිණි විශාඛා නැවත කතාව පටන් ගත්තා.

''අයියා නිතරම පත්තර, පොත්පත් කියවනවා. දිවයින පත්තරය අනිවාර්යයෙන්ම කියවනවා. දිවයින ඉරිදා පත්තරේ පළ කරන වාහල්කඩ ඉසිවර අරණ කියන ලිපි මාලාවම කියවලා විතරක්‌ නෙමෙයි ඒ පත්තර පිටුත් අයියා එකතු කරලා. ඒ එක්‌කම යාළුවො හරහා මේ පන්සලේ කෙරෙන වෙදකම ගැන හොයා බලලා. මම ඉස්‌පිරිතාලෙ ඉන්නකොට අයියා මේ පන්සලට ඇවිත් නායක හාමුදුරුවො මුණගැහිලා මට බෙහෙත් ගෙනියන්න උත්සාහ කරලා තියෙනවා. මෙතැන එහෙම බෙහෙත් දීලා යන්න දෙන්නෙ නෑ. ලෙඩේ සුව කරලමයි යවන්නෙ. පස්‌සෙ අනුකම්පා කරලා නායක හාමුදුරුවො අයියගේ අතේ මට පිරිත් පැන් එවලා තිබුණා. වාහල්කඩ ඉඳලා කෙළින්ම අයියා ආවේ ඉස්‌පිරිතාලෙට...'' විශාඛාගේ සහෝදර ප්‍රේමයට අයියාගේ දෙනෙත් රතු වෙලාය. ටීක්‌ බෝල දෙකක්‌ මෙන් ඇස්‌ දිස්‌න දෙන්නේය.

''මට ප්‍රතිකාර කරපු ලොකු ඩොක්‌ටර් හරිම සැරයි. වචනයක්‌ කතා කරන්න බයයි. ගෙදර යන්නද කියලා අහන්න බයෙන් ටිකට්‌ කපනකම් හිටියා. පිරිත් පැන් ටික අතට හම්බවුණාට පස්‌සෙ මම අධිෂ්ඨානයක්‌ කර ගත්තා 'පන්සලේ මේ කරන දේ සත්‍ය නම් මට ගෙදර යන්න ලොකු ඩොක්‌ටර්ගෙන් අවසර ලැබෙන්න ඕනා' කියලා හිතාගෙන පිරිත් පැන් ටික බිව්වා. ඊට ටික වේලාවකට පස්‌සේ කවදාවත් සමීපව කතා නොකරපු ලොකු ඩොක්‌ටර් මම ළඟට ඇවිත් හොඳට කතාබහ කළා. ඒ වේලාවේ මම ඇහුවා 'සර් මට ගෙදර යන්න පුළුවන්ද' කියලා.

''ඔයා කැමැති නම් යන්න පුළුවන්...' ඩොක්‌ටර් හිනා වෙලා කියපු ඒ වචනවලට මට ඇඬුණා. මේ නම් දේව හාස්‌කමක්‌මයි. ඒ වේලාවේම ඩොක්‌ටර්ට කියලා ටිකට්‌ කපා ගත්තා. ඊට පස්‌සෙ අම්මයි, අයියයි එක්‌ක කෙළින්ම ආවේ මේ පන්සලට. බදාදා දවසක්‌. වෙදකම් අහන්න ආපු ගොඩක්‌ සෙනඟ හිටියා. පෝළිමේ ඇවිත් නායක හාමුදුරුවන්ට බුලත් කොළ නවය තියලා සිමෙන්ති පොළොවේ වාඩි වුණා විතරයි. හාමුදුරුවො ස්‌කෑන් කළා වගේ මගේ ශරීරයේ තියෙන සියලු රෝග කිව්වා. මැණියන්ගේ සළුවෙන් මගේ හිස පිරිමදිමින් ආශිර්වාද කළා...''

''පන්සලට එනකොට මගේ ඇඟට කිසිම ශක්‌තියක්‌ තිබුණේa නෑ අම්මට වත්තන් වෙලා ආවේ. කිසිම මතකයක්‌ නෑ. කෑම කන්න බෑ. හිසේ වේදනාව දරා ගන්න බැරිව හිටියේ. මරණයේ වේදනාව හොඳටම දැනුණා. මරණය දැක, දැක හිටියේ. නායක ස්‌වාමීන් වහන්සේ කියන විදිහට නියම මාත්‍රාවට බෙහෙත් ටික බිව්වා. බෝධි පූජාවලට සම්මාදම් වුණා. දෙහි කැපීම්වලට සහභාගි වුණා. දැන් හිසේ කැක්‌කුම නෑ. ඇඟට කිසිම අපහසුතාවක්‌ දැනෙන්නෙ නෑ. කෑම කන්න පුළුවන්. දැන් මගේ වැඩ ටික මම තනියෙන් කර ගන්නවා. මට දැනෙනවා අසනීප තත්ත්වය ටිකෙන්, ටික අඩු වෙලා යනවා කියලා. සත්පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් අසනීප තත්ත්වය නිට්‌ටාවටම සුව වන බව මට විශ්වාසයි. ජීවිත බලාපොරොත්තු අතහැරලා හිටිය මට ජීවිත්වීමට වරම් දුන්න සත් පත්තිනි මෑණියන්ට බුදු බව අත් වෙන්න ඕනා. දහස්‌ සංඛ්‍යාත අසරණ රෝගීන් සුවපත් කරන නායක හාමුදුරුවො තව බොහෝ කාලයක්‌ ආයු වළඳා නිවන් දකින්න ඕනා. මම වගේ අසරණ රෝගීන් කී දාහක්‌ නම් මේ පින්බිමේදී සුවපත් වෙලා හිත සතුටින් පිට වෙලා යනවද... ඒ අය පින් දෙන්නෙ පත්තිනි මෑණියන්ට, නායක හාමුදුරුවන්ට විතරක්‌ නෙමෙයි මේ පන්සල ගැන රටට කියන දිවයින පත්තරයටත් එක්‌ක. දිවයින කරන මේ සමාජ සත්කාරය සැබෑම පුණ්‍යකර්මයක්‌. දැන් මේ පින්බිමේ ඉන්න ගොඩක්‌ දෙනෙක්‌ පත්තරේ බලලා ආපු අය...''

''කැම්පස්‌ එකේ මගේ යාළුවොත් හුඟ දෙනෙක්‌ මේ පන්සල ගැන දිවයින පත්තරේ පළ කරන ලිපිය දැකලා මට යන්න කියලා කිව්වා. මට බලන්න පත්තර පිටුත් ගෙනත් දුන්නා. ඒ අතරතුරේ තමයි අයියත් දිවයින පත්තරය බලලා මේ පන්සලට ඇවිත් ගිහින් තිබුණේ. මාව සනීප කරන්න අම්මයි, අයියයි විශාල කැපවීමක්‌ කළා. පුළුවනA හැම වෙලාවටම අයියා මාව බලන්න එනවා. මේ පුංචි කූඩාරමේ අපි තුන් දෙනාම ඉන්න දවස්‌ තියෙනවා. අදත් අයියා ඇවිත් ඉන්නේ...'' විශාඛා එසේ කියන විටත් ඇය මැදි කොට මවත්, අයියත් දෙපසය. විශාඛාගේ මවගේ දෙනෙත්වලින් සතුට දෝරෙ ගලා යන්නීය. සහෝදරයා විශාඛා දෙස බලා සිටී. විශාඛා නැවතත් වචන එකතු කළාය.

''මගේ යාළුවො මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා බෝධි පූජා පැවැත්තුවා. දුර කතර ගෙවාගෙන මෙතැනට ඇවිත් වැටීගෙන මට උපකාර කළා. දැන් මට සුවයි. ඒ හැමෝම කරපු උදව්වලට පින් දෙනවා. මේ පින්බිමේ ආශ්චර්යය ගැන විස්‌තර කරන්න මට තේරෙන්නෙ නෑ. මේක පුදුමාකාර තැනක්‌. ඒ වගේම විවිධ මිනිසුන් ජීවත් වෙන මේ ගම්මානයේ ජීවත්වීමට ලැබීමත් දැන් මට සතුටක්‌. මෙතැන ඉන්න බහුතරය ඒ තරමට ගුණයහපත්. මේ හිටිය දින කිහිපය බොහෝම සතුටින් ජීවත් වුණා...'' විශාඛාට කතා කරන්නට තවත් වචන නැති ගානය. තව නොබෝ දිනකින් පෙර සේම ඇයට විශ්වවිද්‍යාලයට යා හැකිය. මැකී ගිය මතකය නැවත ලැබී ඇති හෙයින් අධ්‍යාපන කටයුතු ද කිසිදු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව විශාඛාම අපට කීවාය.

පෙර කළ අකුසලයකට විශාඛාට මාරාන්තික රෝගයක්‌ වැළඳුණ ද, ඇයගේ පිං බලය වැඩිය. මාරකයක්‌ පැන නැවතත් ජීවත්වීමේ වරම් ලැබී ඇත්තේ ඇය පෙර කළ කුසල් මහිමය නිසාය. වාහල්කඩ පින්බිමට පැමිණෙන සෑම රෝගියෙක්‌ම සුවපත් වෙන්නෙ නැත. එමෙන්ම පැමිණෙන සෑම රෝගියෙක්‌ම වෙදකම් කිරීමට නායක ස්‌වාමීන් වහන්සේ භාරගන්නේ ද නැත. ඒ සියලු දේ තීරණය වන්නේ රෝගියාගේ පෙර කුසල් මතය. ලෙඩ දුක්‌වලට සුවය ප්‍රාර්ථනා කරගෙන වාහල්කඩ පින්බිමට යැමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනා ඒ බව මතක තබාගත යුතුය.

වාහල්කඩ ඉසිවර අරණේදී පිළිපැදිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඒවා මෙසේය. රෝගීන් භාරගනු ලබන්නේ බදාදා සහ සෙනසුරාදා දිනයන්හි පමණි. එමෙන්ම ස්‌වාමීන් වහන්සේ පරීක්‍ෂා කරනු ලබන්නේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සූදානම් වී පැමිණි රෝගීන් පමණි. එසේ පැමිණෙන රෝගීන් අනිවාර්යයෙන් බුලත් කොළ නවයක්‌ රැගෙන ආ යුතුය. උපන් දිනය සහ ලග්නය දැන සිටිය යුතුය. ප්‍රතිකාර ලබාගැනීමට අවම වශයෙන් දින 21 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ පින්බිමේ නේවාසිකව රැඳී සිටීමට හැකි විය යුතුය. එසේ නතර වීමට නොහැකි අය ප්‍රතිකාර ඇසීමෙන් වැළකී සිටීම තවත් රෝගියකුට කරන උපකාරයකි. එක්‌ වතාවකට බෙහෙත් ඇසීමට අවස්‌ථාව ඇත්තේ පවුලක එක්‌ පුද්ගලයකුට පමණි. එමෙන්ම රෝගීන්ගේ සුවදුක්‌ බැලීමට පැමිණීමේදී නිකරුණේ බෙහෙත් ඇසීමෙන් වැළකිය යුතුය. බෙහෙත් ඇසිමේදී පැහැදිළි වචනයෙන් පිළිතුරු ලබාදීම අනිවාර්යයි. පින්බිම තුළදී කායික හා වාචික සංවරය රැකගෙන විනීතව හැසිරීම මනුෂ්‍ය ගුණාංගයක්‌ බව ද මතක තබාගැනීම වඩාත් යහපත්ය. එමෙන්ම මේ පින්බිම ගැන අපට ලබාදිය හැකි තොරතුරු සීමිතය. විහාරස්‌ථානයේ හෝ ප්‍රතිකාර කරනු ලබන මංගලාරාමාධිපති වහන්සේ ද දුරකථන පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බැවින් අපට ලබාදිය හැක්‌කේ වාහල්කඩ මංගලාරාමයට පැමිණෙන ගමන් මාර්ගයේ විස්‌තර පමණි. එහෙයින් අපි ඔබගේ පහසුව සඳහා වාහල්කඩ මංගලාරාමයට යන ගමන් මාර්ගය මෙසේ සටහන් කර තබමු.

අනුරාධපුරය, මැදවච්චිය, පදවි ශ්‍රීපුර හාරහා කැබිතිගොල්ලෑව, වාහල්කඩ. පැමිණෙන රෝගීන්ට සරණක්‌ ලෙස කැබිතිගොල්ලෑවේ සිට පැමිණෙන වාහල්කඩ බස්‌ රථ මංගලාරාමය ඉදිරිපිට නතර කරනු ලැබේ.



Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »