අවධානය යොමු කළ යුතු ආපදා නිවාරණය

2017-06-07 10:53:00       583
feature-top
දශක ගණනාවක් තිස්සේ අප සොබා දහමට දැක්වූ අනාදරයට පිළිතුරු දීම සොබාදහම විසින්ම දැන් අරඹා තිබේ.  ගෙවී ගිය සතියේ රටම  වෙළා ගත් ‍පොකුරු ගංවතුර හා ‍පොකුරු නායයෑම  අපට පෙන්වා දෙන්නේ එයයි. එම ආපදාවෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් මියගොස් හා අතුරුදන්ව සිටිති. අවතැන් වූ සංඛ්‍යාව ලක්ෂ හයකට ආසන්නය.

සිදුවූ දේපළ  හා මූල්‍ය හානිය  තවම ගණන් බලාවත් නොමැත. කෙසේ වුවත් මෙම සංඛ්‍යා සැලකීමේදී පෙනී යන්නේ මෙම ආපදාව රටේ විශාල  ආතතියක් ඇති කළ බවය. පසුගිය කෙටි කාලය තුළ මෙවැනි ආපදා  හයක් පමණ  රට තුළින් වාර්තා විය. ඒ සියලු ආපදාවලින් උගත යුතු පාඩම් අප ඉගෙන ගත්තා යැයි පෙනෙන්නට නැත.

මෙවැනි කාලගුණික වෙනස්කම් පිළිබඳව පූරෝකථන කළ  හැකි උපකරණයක් 2011 වර්ෂයේ දී අප  රටට ගෙන්වනු ලැබිය. එම උපකරණය ගෙන්වනු ලැබුවේ රුපියල් බිලියන 3 කටත් වඩා වැඩි ගණනක් ගෙවීමෙන් අනතුරුවය. එලෙස ගෙන්වන ලද උපකරණය සවි කිරීම සඳහා තෝරා ගන්නා  ලද්දේ ගොන්ගල කඳුමුදුනය. එහෙත් එම කඳු මුදුනට රැගෙන යන අතර වාරයේ බිලියන 3ක් වටිනා මෙම උපකරණය කඳු මුදුනින් පහතට වැටී සුනුවිසුනු වූ බව දන්නේ අතළොස්සකි. ඒ හරහා සිදු වූ පාඩුව රුපියල් බිලියන 3කටත් වැඩිය. අදටත් ඒ සම්බන්ධයෙන් දඬුවම් ලද අයෙක් නොමැත. මෙම උපකරණය තිබුණේ නම් මෙවැනි අනතුරු පුරෝකථනය කිරීමේ හැකියාව ඇතිවන බව කිව යුතුය. අදටත් මෙම උපකරණයේ සුන්බුන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  ගොඩගසා තිබේ. මේ පිළිබඳ මීට ඉහත ද අප  හෙළි කළ ද සිදුවූ දෙයක් නොමැති තරම්ය. ඒ මේ කතාවේ එක් කළු පැතිකඩකි.

ගින්දර සොයා  ගැනීමට පෙර මිනිසා සිටියේ සීතලෙන් හැකිළෙමින් ගැහෙමින්ය.  ගින්දර සොයා ගැනීමත් සමග එය වෙනස් විය.  එලෙස ඇරැඹි ශිෂ්ටාචාර ගමන කාර්මික විප්ලවයත් සමග පෘථිවිය අතික්‍රමණය  කරන තැනට පත්විය. කසළ බිහිවිය. ස්වභාවික සම්පත් ක්ෂය වන්නට පටන් ගත්තේය.  කාබන් විමෝචනය ඇරැඹිණි. කාලයක් යන විට පෘථිවියේ උෂ්ණත්වය අංශකයකින් ඉහළ ගියේය. ධ්‍රැවීය අයිස්  දිය වන්නට විය. සාගර මට්ටම ඉහළ ගියේය. කුඩා දූපත් යටවන තත්ත්වයට පත්විය. ලෝකයේම දේශගුණය  වෙනස් වන්නට විය. එහි අවසානය වූයේ  චණ්ඩ ප්‍රචණ්ඩ  වැසි සේම  දරාගත  නොහැකි නියඟ නිතර ලෝකය  තුළ  ව්‍යාප්ත වීමය.

අනෙක් අතට අතීතයේ සිට සොබාධර්මය සමග අප විසින් පවත්වනු ලැබූ ධරණීය සහසම්බන්ධය ගෙවීගිය  දසක තුන හතර කාලය ඇතුළත සහ මුලිින්ම  බිඳ වැටී  ගිය බව රහසක් නොවේ.  පරිසර තක්සේරු වාර්තාවලින් තොරව වනාන්තර එළිපෙහෙළි කිරීම්, නව පදිංචි කිරීම්, දැවැන්ත සංවර්ධන  යෝජනා  ක්‍රම හා වෙනත් ඉදිකිරීම් ගණනාවක්  රට තුළ සිදුවිය.  මෙවැනි වර්ෂාවකදී අතිරික්ත ජලය බැස යාමට තිබූ අධික ජල ධාරිතාවක් රඳවා ගත  හැකි තෙත් බිම් සේම ගංගාධාර  වනාන්තර ද අද බොහොමයක් දක්නට නැත. අනෙක් අතට  රට මැදින් ගොඩනැගෙන වේල්ලක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවිය. එහි ඇතැම් කොටස් කොන්ක්‍රීට් කණු මත තැනීමට යෝජනා වුව ද එය ක්‍රියාත්මක  වූයේ නැත.

එකී නොකී සියලු කාරණා හේතුවෙන් ‍පොකුරු ගංවතුරක් හා ‍පොකුරු නායයාමක් රට තුළ සිදුවිය. ක්ෂණිකව රටට ලැබුණු වර්ෂාවට රැඳෙන්නට තැනක් ඉතිරිකර තිබුණේ ද නැත. බැස යන මාවත් ද අසුරා තිබිණි. ගංවතුර වඩාත් ප්‍රචණ්ඩ  වූයේ එනිසාය.

ඉහත කී නීති විරෝධී කාරණා හමුවේ මූල්‍යමය වාසි ලබාගත් පිරිස පසෙක සිටියදී එහි අසීමාන්තික වන්දිය ගෙවීමට සිදුවූයේ මේ අනිසි ක්‍රියාවලට  ජු වශයෙන් දායක නොවූ අහිංසක දුප්පත්  වැසියන්ටය. ඔවුහු මරණයෙන් වන්දි ගෙවූහ. පසුගිය කාලයේ කෙටි  කාල අන්තරයක් තුළ සිදු වූ මෙවැනි විපත්වලින් පෙන්වා  දෙන්නේ පැහැදිලිවම ඉදිරිය ද මෙවැනි විපත් බහුල කාලයක් බවය.

ලෝකය තුළ දැන් ඇත්තේ ආපදා සිදුවීමෙන් පසු කළමනාකරණය කිරීම නොව ආපදාවක් සිදුවීමට පෙර නිවාරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය. අප රට ද වහාම ආපදා නිවාරණය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඒ සඳහා රටට  ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව  පැනනගී.  විශේෂයෙන්ම  පක්ෂ  පාට අනුව වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රට තුළ වහාම ස්ථාපිත කළ යුතුය. එය අතික්‍රමණය කළ නොහැකි ප්‍රතිපත්තියක් විය යුතුය. සමස්ත රටේම පදිංචි කිරීම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් වහාම  සකස් කළ යුතුය.  පදිංචි කිරීම් කළ යුත්තේ ඒ මත පමණි.

මීට කෙටි කලකට පෙර ඔස්ට්‍රේලියාවට ද මීටවඩා බරපතළ  ගංවතුරක් පැමිණියේය. එම ගංවතුරින් මියගියේ එක් වයෝවෘද්ධ  කාන්තාවක් සහ පිලිපීන ජාතිකයකු පමණි. කාන්තාව මියගියේ හෘදයාබාදයකිනි. පිලිපීන ජාතිකයා මියගියේ ලබාදෙන උපදෙස් නොතකා  ගැඹුරු දිය පහරකට බැසීම හේතුවෙනි. එතරම්  හොඳට එම ගංවතුර කළමනාකරණය කර ගැනීමට ඔස්ට්‍රේලියානු රජයට හැකිවූයේ  ඔවුන් සතුව  පවතින ජාතික ප්‍රතිපත්ති හා මාධ්‍යයේ සබුද්ධික මැදිහත්වීම හේතුවෙනි.

තවදුරටත් මෙකී කාරණා මගහරින්නේ නම් අපට මගහැරෙන්නේ ආපදා නිවාරණයයි. ඉන් අප අභිමුව ගොඩගැසෙන්නේ සීතල මිනී කඳු පමණි.



Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »